පාරා වළල්ලක් වූ බ්‍රෙක්සිට් 2

 ඡායාරූපය:

පාරා වළල්ලක් වූ බ්‍රෙක්සිට් 2

එක්සත් රාජධානිය යුරෝපා සංගමයට ඇතුළත් වීමේ සිට ඉවත් වීම සඳහා පියවර ගෙන මේ වනවිට එහි අවසාන අදියරට එළැඹ සිටීම දක්වා පසුගිය සතියේ ලිපියේ සාකච්ඡා කෙරිණි. මෙය මේ වන විට ඒ කාරණය එරට මතු නොව සමස්ත යුරෝපය පුරාම දේශපාලන කුණාටුවක් බවට පත් වී හමාර බව අන්තර්ජාතික පුවත් වාර්තා අසන කියවන විට පැහැදිලි වනු ඇත.

එළැඹෙන මාර්තු 19 දින මැදියම් රෑ 11.59 වනවිට සියල්ල අවසන් වී තිබිය යුතු අතර 20 උදා වනු ඇත්තේ යුරෝපා සංගමයේ සාමාජික සංඛ්‍යාව 27ක් බවට පත් කරමිනි. අද සිට හරියටම දින 189කි.

මේ කාලය තුළ දෙපාර්ශ්වයටම බරපතළ කාර්යභාරයක් පැවරී තිබේ.

ජුලි 06 දින අග්‍රාමාත්‍ය ගම්බද නිල නිවාසය වන චෙකර්ස් හවුස්හි කැබිනට් රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී එළැඹුණු තීරණ අනුව අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශනයක් නිකුත් කළාය. මෙය නිකුත් කරන ලද්දේ සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ එකඟත්වයෙන් බව පැවසුවත් ඊට පක්‍ෂ නොවූ අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස්වූහ. ජුලි 08 දින ඉවත් වූ බ්‍රෙක්සිට් විෂය භාරව සිටි ලේකම් ඩේවිඩ් ඩේවිස් සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු විෂය භාර ලේකම් බොරිස් ජොන්සන් එසේ ඉවත් වූ දෙදෙනාය.

එක්සත් රාජධානියේ ලේකම් තනතුරක් යනු කැබිනට් අමාත්‍ය තනතුරකි. මෙයින් අගමැතිනිය බලවත් අපහසුතාවකට පත් වූවාය. ඩේවිස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඩොමිනික් රාබ් සහ ජොන්සන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ජෙරමි හන්ට් යන මන්ත්‍රීවරුන් පත් කරන ලදි.

චෙකර්ස් ලේඛනය නමින් හැඳින්වෙන එය ස්වයංඝාතන වෙස්ට් කබායකි’යි බෝරිස් ජොන්සන් පසුගිය 08 දින මාධ්‍යයේ ලිපියක් පළ කළේය. ‘දුරස්ත පාලකය ඇත්තේ බ්‍රසල්ස්හි ය.’

පිටු සියයකින් සමන්විත චෙකර්ස් ලියැවිල්ලේ ඇතුළත් කරුණු සැකෙවින් දක්වතොත් මූලික වශයෙන් කරුණු හතරකි. ඒවා නම් (1) එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය නිදහස් වෙළෙඳාම සඳහා එකම පොදු නීතියක් භාවිතා කරයි. (2) ඒකාබද්ධ යුක්තිය පසිඳලීමක් ක්‍රියාත්මක වනු ඇත. (3) සුසාධ්‍ය රේගු එකඟතා ක්‍රියාත්මක කෙරේ. (4) ජනතාවට දේශ සීමා හරහා නිදහසේ සංචරණය කළ හැකි වනු ඇත. මේ අනුව නෝර්වේ රාජ්‍යය යුරෝපා සංගමය සමඟ සබඳතා පවත්වන ආකාරයට තම රටට ද අවස්ථාව දිය යුතු බව එක්සත් රාජධානිය ඉල්ලා සිටියි.

එහෙත් මේවාට යුරෝපා සංගමයේ එකඟත්වය වෙනුවට ලැබී ඇත්තේ විරෝධයකි. ඉවත් වුණොත් එරටටද සලකනු ඇත්තේ අන් ඕනෑම සාමාජික නොවන රටකට පරිද්දෙන් යැයි එහි මහලේකම් පසුගියදා පවසා තිබිණි.

නෝර්වේ රාජ්‍යය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවේ. එරට 1960 ඇරැඹි යුරෝපා නිදහස් වෙළෙඳ සංගමයේ සහ 1994 ඇරැඹි යුරෝපා ආර්ථික ප්‍රදේශය යන සංවිධාන දෙකේ සාමාජිකත්වය දරයි. 1994 වසරේ එරට යුරෝපා සංගමයේ සාමාජිකත්වයට අයදුම්පතක් ඉදිරිපත් කොට ඒ සඳහා ජනමත විචාර දෙකක් ඒ වසරේ ජනවාරි සහ නොවැම්බර් යන මාසවල පැවැත් වූ නමුත් දෙවර ම එරට ජනතාව විසින් ඊට සිය නොඑකඟතාව පළ කරන ලදි. ඉන්පසු එරට මේ දක්වා සාමාජිකත්වයට ඇතුළත් වීමට උත්සාහයක් ගෙන නැත.

චෙකර්ස් ලේඛනයේ භාෂාව පැටලිලි සහිත බව පෙන්වා දෙනු ලැබ ඇති කාරණාවකි. ජොන්සන්ට අනුව එම ලේඛනය බෙලහීන මෙන්ම ඛේදනීයද වේ. මෙම ප්‍රකාශය ‘දැඩි පිලිකුළෙන් යුතුව හෙළා දකින බව’ කන්සර්වේටිව් පාක්‍ෂිකයන් විසින් මාධ්‍යයට ප්‍රකාශ කොට තිබිණි. ජොන්සන්ද එම පක්‍ෂයේම සාමාජිකයෙකි. ස්වදේශ ලේකම් සජිඩ් ජාවේඩ් කියන්නේ ‘යමක් ලියන විට යහපත් වචන සැලසුම් සහගත ලෙස යොදන්නට දැනගත යුතුයි’ කියාය.

බ්‍රිතාන්‍යයට තවත් ගැටලුවක් වී ඇත්තේ උතුරු අයර්ලන්තය සම්බන්ධ දේශ සීමා ප්‍රශ්නයයි. බ්‍රිතාන්‍ය දූපත් සීමාව තුළ ඇති ස්වෛරී රාජ්‍යයක් වන අයර්ලන්ත ජනරජය යුරෝපා සංගමයේ සාමාජිකයෙකි. එහෙත් උතුරු අයර්ලන්තය ස්වෛරී රාජ්‍යයක් නොවන අතර එහි පවතින්නේ වෙනස් ආකාරයක පාලනයකි. එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ කටයුතු ගැන සඳහන් කරන සෑම අවස්ථාවකම ‘ .... සහ උතුරු අයර්ලන්තය’ ලෙස සඳහන් කරයි.

මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය අතර ප්‍රධානතම වෙනස්කම වන්නේ උතුරු අයර්ලන්තය ඊට ඇතුළත්ද නැද්ද යන කාරණාවය. සාමාන්‍යයෙන් සරල ලෙස මේ දෙකම එකක් ලෙස භාවිතා කෙරෙතත් එක්සත් රාජධානියට එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන සිව් පාර්ශ්වයන් ඇතුළත්ය. එහෙත් බ්‍රිතාන්‍යයට උතුරු අයර්ලන්තය ඇතුළත් නැත.

2016 ජුනි මස 23 දින පැවැති ජනමත විචාරණයේදී සමස්තයක් වශයෙන් ඡන්දය දුන් එක්සත් රාජධානි වැසියන් ගෙන් 51.89%ක් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි ඡන්දය භාවිතා කළ බව සත්‍යයකි. එහෙත් උතුරු අයර්ලන්තය පමණක් සැලකූ විට එහි සමස්ත ඡන්ද දායකයන් අතරින් 62.64% ඡන්දය භාවිත කරන ලද අතර ඔවුනතරින් 55.88% ක් සිය රට තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුය කියා ඡන්දය පාවිච්චි කොට තිබිණි. එය ගැටලුවක් නිර්මාණය කරන බව පැහැදිලිය.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධ සංසිද්ධියට එම සංගමය විසින් සමථකරණ මණ්ඩලයක් පත් කරනු ලැබ ඇත. එහි ප්‍රධාන සමථකරු වශයෙන් ප්‍රංශ දේශපාලනඥයකු ව සිටි මයිකල් බානියෙර් පත් කරනු ලැබ තිබේ. ඔහු සහ බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් විෂය භාර ලේකම් අතර නිතිපතා සාකච්ඡා පැවැත්වේ. ඒ අනුව වර්තමානයේ එම තනතුර දරන ඩොමිනික් රාබ් සහ බානියෙර් අතර හමුවක් පසුගිය 08 දින බ්‍රසල්ස්දී පැවැත්විණි. උතුරු අයර්ලන්තයේ ආනයන අපනයන සම්බන්ධ තොරතුරු මීළඟ රැස්වීමට ගෙන එන ලෙස පෙර රැස්වීමේ දී රාබ්ට පවසා ඇති නමුත් එදින රැස්වීමට රාබ් පැමිණ ඇත්තේ කිසිදු සූදානමක් නොමැතිවය. මේ සම්බන්ධයෙන් බානියෙර්ල රාබ්ට දොස් පැවරූ බව සඳහන්ය. අගමැතිනි මේට වැඩ කරන්නට සිදුව ඇත්තේ එයාකාර ඇමතිවරුන් සමඟ වීම කාර්යය වඩාත් දුෂ්කර කරයි.

මේ අතර බ්‍රෙක්සිට් අවසන් වීමෙන් පසු උතුරු අයර්ලන්තයේ දේශ සීමාවේ ආරක්‍ෂාව තහවුරු කිරීම පිළිබඳව දැන් සිටම වැඩ පිළිවෙළක් සකස් කළ යුතුව ඇති බව එහි පොලිස් ප්‍රධානී ජෝජ් හැමිල්ටන් පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ විශාලතම වෘත්තිය සමිති තුන වන යුනයිට්, යුනිසන් සහ ජීඑම්බී නමින් හැඳින්වෙන බ්‍රිතාන්‍ය වෘත්තිය සමිතිය විසින් පීපල්ස් වෝට් කැම්පේන් නම් ව්‍යාපාරයක් මගින් පවත්වන ලද ජනමත විචාරණයකට අනුව එම සමිතිවල සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකකට අධික සංඛ්‍යාවකගේ මතය වී ඇත්තේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් නොවිය යුතුය යන්න බව පැවසේ. මිලියනයක් පමණ බ්‍රිතාන්‍ය වැසියෝ යුරෝපයේ අනෙක් රටවල වීසා නොමැතිව විවිධ රැකියාවල නිරත වෙති. ඔවුන්ගේ රැකියා මේ බ්‍රෙක්සිට් නිසා අවදානමකට මුහුණපායි. ඒ ගැන රජය කල්පනා කළ යුතු අතර යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුද යන්න ගැන නැවත ජනමත විචාරණයකට යන්නේ නම් සුදුය. බ්‍රෙක්සිට් ක්‍රියාවලියට පක්‍ෂ ලේබර් පක්‍ෂයට සම්බන්ධ ශ්‍රමිකයන් විසින් මේ බව එම පක්‍ෂයේ නායක ජෙරමි කෝබින් වෙත ඒ බව දන්වා ඇත. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන අදහස මුලින්ම ගෙන ආවේ ලේබර් පක්‍ෂය වන අතර දැන් පක්‍ෂයේ සාමාජිකයන්ගෙන් පවා ඒ ගැන විවේචන එල්ල වනු දැකිය හැය. වර්තමානයේ විවේචනයට ලක් වන්නේ කෝබින්ය.

එසේම කන්සර්වේටිව් පක්‍ෂයේ නායකයන් අතරද බ්‍රෙක්සිට් ව්‍යාපාරයට විරුද්ධ සිටිති. ඉහත සඳහන් ඩේවිස් සහ ජොන්සන් මෙන්ම තවත් මන්ත්‍රීවරු ඒ අතර වෙති. අගමැතිනිය වුවත් ඊට කැමති නැත. එහෙත් කරන්නට දෙයක් නැත. සිය රට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි තීරණය කළේ මහජනතාවය. මහජනතාව බුද්ධිමත් යැයි පොදුවේ පැවසේ. එහෙත් මේ තීන්දුව එවැන්නක් නොවන බව පැහැදිලිය. ඒ අතරම කිව හැක්කේ මහජන මතය වෙනස් කරන්නට වර්තමාන සමාජ ක්‍රමය තුළ බාහිර බලවේගවලට හැකියාවක් ඇති බවය.

[එස්. නන්දලාල්]

මාතෘකා