උතුරේ ගෙවල් හැදීම ගැන 2015 ඉඳලා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා විතරයි, වැඩ කෙරුණේ නෑ : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

 ඡායාරූපය:

උතුරේ ගෙවල් හැදීම ගැන 2015 ඉඳලා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා විතරයි, වැඩ කෙරුණේ නෑ : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මැතිවරණ කොමිෂම සමග සාකච්ජා කරමින් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (29) තිස්සමහාරාම සඳගිරිගොඩ වෙල්යායේ පැවති රාජකිය වප්මගුල් උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය,

“අද කෘෂිකර්මයේ තියෙන පසුබිමත් එක්ක අද අපි රටක් ලෙස මුහුණ දෙන ආර්ථිකයේ ප්‍රබලතම ඛේදවාචකය තමයි මේ රටේ අපි විශාල ආහාර ප්‍රමාණයක් පිට රටින් ගෙනත් කනවා. එක් පැත්තකින් නියඟය වගේ කරුණු බලපෑවා. නමුත් තවත් පැත්තකින් රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තියේ තියෙන වැරදි, රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියේ තියෙන වැරදි වගේම සියලු දේම ගෝලීය සංස්කෘතියක් තුළ අපි එකම විදියට ජීවත් විය යුතුය කියන ඒ විකාර දේශපාලන උන්මාද කතා එක්ක අපේ දේශීයත්වය දිනෙන් දින යට යනවා.

අපි ඈත අතීතයේ සිටම අපේ ආහාර නිෂ්පාදනය කළා විතරක් නෙමේ, ලෝකයටත් අපේ ආහාර අපනයනය කළා. ඒ නිසා කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ යෝධ වැඩපිළිවෙළේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරලා ආරම්භ කළ මේ අලුත් රජය යටතේ ගොවියා නගාසිටුවීමට ගත හැකි සැම පියවරක්ම ගැනීමට අපි සුදානම්ය කියන පණිවිඩයත් මම මේ වෙලාවේ මේ ගොවි ජනතාවට දෙනවා.

“මහින්ද අමරවීර මහත්තයා කෘෂිකර්ම ඇමතිවරයා විදියට මේ කෙටි කාලය තුළ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ නිසා එතුමා හිටපු කෘෂිකර්ම ඇමති විතරක් නෙමේ, ඉදිරියටත් කෘෂිකර්ම ඇමතිවරයාමයි කියලා මම කියන්න ඕනේ. කෘෂිකර්ම ඇමති විදියට එතුමා මේ කෙටි කාලය තුළ සිදු කළ සේවාව සම්බන්ධයෙන් මම බොහොම සතුටු වෙනවා. මොකද මේ මාස කිපය තුළ කෘෂිකර්මාන්තය අලුත් තාක්ෂණයත් එක්ක අලුත් දේවල් රාශියක් කරන්න එතුමා කටයුතු කරමින් යනවා. එතුමා රට වටා ඇවිද යමින් අඹ උයන්, පළතුරු උයන් ඇති කරමින් විවිධ කෘෂාකර්ම ශ්‍රේෂ්ත්‍රෙය් නව ප්‍රබෝධයක් ඇති කිරීමට එතුමා පියවර අරගෙන තියෙනවා.

ඒ නිසා මේ ජාතික වප්මගුල ආදරණීය ගොවි ජනතාවට විශේෂිත එකක් වෙනවා. වප්මගුල කියන්නේ ගොවියා ඔටුණු පළඳින දවස හැටියටයි ඇත අතීතයේ සිටම සලකන්නේ. මේ වප්මගුල් උත්සව සදහා ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ සියලුම නිලධාරීන් එකතු වෙලා මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න, නව ආහාර සංස්කෘතියක් ගොඩනගන්න ගන්නා වූ මේ උත්සාහය මා බෙහෙවින් අගය කරනවා. මේ වෙලාවේ මම කියනවා මේ ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ජනතාව ශක්තිමක් කරන්න දිය හැකි සෑම සහයෝගයක්ම රජයක් විදියට අපි දෙනවා.

පැවති නියඟය මේ වන විට අවසන්ව වැසි ලැබෙමින් තියෙනවා. අපි පසුගිය දවසේ තීරණය කළා සියලුම ගොවින්ට පුළුවන් තරම් බීජ වර්ග බෙදා හැරිමට. පසුගිය දිනක මන් කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයකට ගියා. ඒ ගියේ විශාල පොල් වත්තක් මැදින්. ඒ වෙලාවේ මම දැක්කා පොල් වගාවේ යටිවගාවන් මොකුත් තිබුණේ නෑ. ඉතින් මේ පොල් වතුවල යටිවගාවන් ඕනෑ තරම් කරන්න පුළුවන්. එළවළු පල

“අපේ මේ පින්වන්ත බිම උතුරේ සිට නැගෙනහිරටත් නැගෙනහිර සිට දකුණ දක්වා ගත්තොත් මේ සෑම බිම් අඟලකම බීජයක් සිටුවන්න පුළුවන්, ගහක් හදන්න පුළුවන් පින්වන්ත භූමියක් තමයි අපිට මේ තියෙන්නේ. මේ පිං බිමේ වටිනාකම් පිළිබඳව අවබෝධ කරගෙන මේ පිංබිමට ගැළපෙන පරිදි ආහාර සැලසුම් හදන්න ඕනේ. මේ බිමට ගැළපෙන පරිදි ආහාර සංස්කෘතිය හදන්න ඕනේ.

මේ පිං බිමට ගැළපෙන විදියට ආර්ථික ප්‍රතිපත්ති වගේම දර්ශනයන් හදන්න ඕනේ. දේශීයත්වය, අපේ කම්, අපේ උරුමයන් සදහා වටිනාකමක් දෙන්න ඕනේ. ඉහළ තක්සේරුවක් දෙන්න ඕනේ. එහෙම නැතිව අපේකම අමතක කරලා ලෝකයේ වෙන වෙන දර්ශනයක් කර තියාගෙන, වෙන රටවල්වල අය කියන දේවල් අහගෙන නෙමෙයි. ලෝකයේ ඇවිදලා එහි දැනුමයි, තාක්ෂණයයි අපි අරගන්න ඕනේ.

“මේ පුණ්‍යභූමිය කෘෂිකර්මයෙන් හා ආර්ථිකයෙන් ශක්තිමත් කරනවා වගේම ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස්සුන්ගේ අයිතිවාසිකම්, මාධ්‍ය නිදහසත් ශක්තිමක් කළ යුතු වෙනවා. අපි අලුත් රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමේ පියවරක් ලෙස මැතිවරණ කොමිෂම සමග සාකච්ජා කරලා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා. අද පළාත් සභා 06ක නිලධාරීන් අතරමං වෙලා ඉන්නවා.

ඒ ගොල්ලන්ට දේශපාලන නායකත්වයක් නෑ. මගපෙන්වීම් නෑ. නිලධාරීන් මහත්වරුන්ට වැඩ කරන්න පුළුවන් යම් යම් සිමාවල ඉඳගෙන විතරයි. චක්‍රලේඛ කඩාගෙන ජනහිතකාමී ලෙස වැඩ කරන්න දේශපාලන නායකත්වය අවශ්‍යයි. නීති රීති චක්‍රලේඛ සියල්ල ජනතාවගේ යහපත සඳහායි පාවිච්චි වෙන්න ඕනේ. කොහේ හරි තැනක ඒවා ජනතාවගේ අයහපත වෙනුවෙන් තියෙනවා නම් ඒවා වෙනස් කළ යුතුයි. ඒ නිසා අපි ඉතාමත් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වනවා.

“අද දකුණේ ඉඳගෙන මම කියනවා උතුරේ ජනතාවගේ තිබුණු ප්‍රශ්න විසඳන්න පහුගිය අවුරුදු තුන හමාරට ඒ වගකීම් දරපු අයට බැරි වෙලා තියෙනවා. උතුරේ ජනතාව යුද්ධයත් එක්ක දැඩි පීඩාවට පත් වෙලයි හිටියේ. 2015 ඉඳලා උතුරේ ගෙවල් ටික හදන එක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා විතරයි, වැඩ කෙරුණේ නෑ. ලැබිච්ච විදේශ ණය හා විදේශ ආධාර මොන ඇමතිද පාවිච්චි කරන්නේ, කාගේ යටතේද මේවා තියෙන්නේ කියලා කඹඇද්දා මිසක් අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ මිනිස්සුන්ගේ ගෙවල් ටික හදලා දුන්නේ නැහැ.

උතුරද දකුණද කියන ප්‍රශ්නය නෙමෙයි අපිට තියෙන්නේ. රටක් විදියට මිනිසුන්ගේ ප්‍රශ්න හා ගැටලු කොහොමද විසඳන්නේ කියන එකයි අපි කල්පනා කරන්න ඕනේ. මානව දයාව, අදරය, කරුණාව ඒ සියලු දේ කැටි කොටගත් ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැගිය හැක්කේ එකිනෙකාට ආදරය කිරීමෙන්, ගෞරව කිරීමෙන් කියන එක ඔබ අප කවුරුත් දන්නවා. ඒ නිසා නව අගමැතිවරයා ඇතුළු නව රජයේ බලාපොරොන්තුව ආර්ථික ශක්තිමත් කර යහපත් රටත් ඇති කරන්නයි”

[නුවන් ජයසේකර] සුරියවැව

මාතෘකා