WHO IS ජමාල්

 ඡායාරූපය:

WHO IS ජමාල්


පසුගිය දෙසතිය තුළ මුළු ලෝකයෙම විශාල aකැලඹීමක් ඇති කරමින්, ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනා ගැනීමට සමත් වූ සිදුවීමක් බවට ජමාල් කශෝගිගේ අතුරුදන් වීම පත් විය. ඔහු ඇ‍ෙමරිකාවේ පදිංචිව සිටි, සෞදි අරාබි ජාතික මාධ්‍යවේදියෙකි.  
ජමාල් කශෝගි මහතා අවසන් වරට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි තානාපති කාර්යාලයට ඇතුළු වන දර්ශන සී.සී.ටී.වී කැමරාවල සටහන් වූයේ ඔක්තෝබර් දෙවැනිදාය. නමුත්, එසේ ඇතුළු වූ ජමාල් නැවත තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියේ නැත. 


"හූ ඊස් ජමලා කශෝගි?" 
සෞදි අරාබියේ උපන් පනස් දෙහැවිරිදි ජමාල් කශෝගි බොහෝ කාලයක් තිස්සේ මැද පෙරදිග ආශ්‍රිත ජනතාවන්ට සිදුවන අකටයුතුකම් සහ එම කලාපීය පාලක පැලැන්ති මඟින් සිදුකරන අක්‍රමිකතා නිරාවරණය කිරීමෙහි ලා ප්‍රවීණත්වයක ඉසිලූ චරිතයකි.  
ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක්‍රමණය සහ ඔසාමා බින් ලාඩ්න්ගේ චරිතය පිළිබඳව ඔහු විසින් දීර්ඝ මාධ්‍ය ගවේෂණ සිදුකර ඇත. ඒ සියල්ල එසේ වුවත්, ඔහු දිගු කලක් සෞදි රජ පවුලට සමීප සබඳතාවක් පවත්වා ගත් අයකු ලෙස හඳුනා ගත හැක. 
එහෙත් මෑතක සිට ඔහු සහ රජ පවුලේ සාමාජිකයන් අතර සිත් බිඳීමක් ඇතිව තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ. 


රජ පවුලේ සාමාජිකයන් අතරින් විශේෂයෙන්ම මොහොමඩ් බින් සල්මාන් කුමරු පිළිබඳව අමනාපයක් ඔහු තුළ පැවති බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් හෙළිදරව් කර තිබිණි. මේ නිසාම සවුදි අරාබිය අතහැර ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට යන ඔහු, එතැන් සිට ස්වයං පිටුවහලට ලක්වූ මාධ්‍යවේදියකු ලෙස වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාසික කොලමක් රචනා කරමින් සල්මාන් කුමරුගේ ක්‍රියාකලාපය සහ ප්‍රතිපත්ති විවේචනය කිරීමට කටයුතු කළේය. 
ඔහුගේ පළමු කොලම හරහා ඔහු මොහොමඩ් බින් සල්මාන්, සිය පියාගේ අනුප්‍රාප්තිකයා වූ දා පටන් තම මතයට එරෙහිවන සියලු දෙනා අත්අඩංගුවට ගන්නා මර්ධනකාරී ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් සිටින බවට චෝදනා එල්ල කළේය. එමෙන්ම තමන්ද අත් අඩංගුවට ගනු ලැබීමට සහ වධ බන්ධනවලට ලක් වීමට ඉඩ ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.  


තත්ත්වය මෙසේ තිබියදී, ඔක්තෝබර් මස දෙවැනිදා, පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කශෝගි, තුර්කියේ ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වන්නේ තමාට එහිදී කිසිදු කරදරයක් සිදු නොවනු ඇත යන විශ්වාසයෙනි. එසේ වන්නේ, එය සෞදි කොන්සල් කාර්යාලයක් වුවත් තුර්කියේ පිහිටි නිසාය. තානාපති හෝ කොන්සල් කාර්යාල විශේෂ ආරක්ෂාව සහිත ස්ථාන බව නොරහසකි. ඔක්තෝබර් මස තුන් වැනිදා ජමාල් කශෝගි අතුරුදන් වී ඇති බවට තුර්කි රජය විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කළේය. පසු දින, එනම් ඔක්තෝබර් සිවු වැනිදා, කශෝගි තමන් භාරයේ නොමැති බවත්, ඔහු පෙර දින ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයෙන් පිටත්ව ගොස් ඇති බවත් සෞදි රජය ප්‍රකාශ කළේය. එතැන් සිට මෙම මාධ්‍යවේදියාට සිදුවූ දෙය පිළිබඳව බොහෝ පාර්ශ්ව හරහා විවිධාකාර තොරතුරු ලොවට හෙළිදරව් වෙමින් පවතියි. ඇතැම් වාර්ථාවලට අනුව, මෙම මාධ්‍යවේදියා සෞදි කොන්සල් කාර්යාලය තුළදීම පණපිටින් සිටියදී කැබලිවලට කපා, අත් පා ආදී ශරීර කොටස් වෙන් කර මරා දමා තිබේ. එසේ අමානුශික ලෙස ඔහුව මරණයට පත් කර තිබෙන්නේ, කශෝගි සෞදි කොන්සල් කාර්යාලයට පැමිණීමට නියමිත බව දැන සිටි, පෞද්ගලික ගුවන් යානයකින් සෞදි අරාබියේ සිට තුර්කියට පැමිණි කොන්සල් කාර්යාලය තුළ රැක සිටි සවුදි රජයේම ඝාතකයන් පිරිසක් බවට සමහර වාර්තාවන්හි දැක්වේ. 


ඔක්තෝබර් 17 වැනිදා තුර්කි රජයේ අපරාධ පරීක්ෂණ විශේෂඥයන් පිරිසක් උක්ත සෞදි කොන්සල් කාර්යාලය පරීක්ෂාවට ලක් කළත්, එහිදී ඔවුන්ට කිසිවක් හමුවූයේ නැත. නමුත් ප්‍රදේශවාසීන්ගේ පෞද්ගලික 
සී.සී.ටී.වී. කැමරාවල දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සෞදි කොන්සල් කාර්යාලයෙන් පෙට්ටි කිහිපයක් සමඟින පිරිසක් පිටත්ව යනු දැක ඇති බව ඇතැම්හු සඳහන් කරති. 


ඉන් පසුව ඔවුන් ඔහුගේ දේහයේ කොටස් රැගෙන ගොස්, තුර්කියේ ඉස්තාන්බුල් නුවරට යාබද ප්‍රදේශයක් වන බෙල්ග්‍රාඩ් වනයේ වළලා දමා ඇති බවට හෝ ඒ ආශ්‍රිත කුඩා ගමක ගොවිපළක වලලා දමා ඇති බවට ඇතැම් වාර්තා සැක පළ කර තිබේ. 
ඇතැම් නිදහස් මාධ්‍යවේදීන්ගේ වාර්ථා මෙම ඝාතකයන් ඔටුන්න හිමි බින් මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝග පරිදි පැමිණි බව සඳහන් කරතත්, ඇතැම් මාධ්‍ය එය සෞදි රජුගේ වුවමනාව පරිදි සිදු කරන ලද්දක් බව හුවා දක්වමින් සිටියි. කෙසේ වෙතත්, මෙම සිදුවීම සමඟ ලොව පුරා මතුවූ විරෝධාකල්ප රැල්ල නිසා සෞදි රජය දැඩි පීඩනයකට පත්විය. මේ නිසා සෞදි රජයට කශෝගිට සිදුවූ දෙය පිළිබඳව දල අදහසක් හෝ ප්‍රකාශයට පත් නොකර සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. ඒ නිසා ඔක්තෝබර් මස 19 වැනිදා සෞදි රජය විසින් ඉතාම අපැහැදිලි කරුණු කාරණා සහිත පරස්පර විරෝධී ප්‍රකාශයක් කරමින්, ජමාල් කශෝගි කොන්සල් කාර්යාලය තුළ සිදු වූ ගැටුමකදී මරණයට පත් වූ බව පිළිගත්හ. 


සෞදි රජයේ වාර්තාවට අනුව, කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයේ ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස, තියුණු යමක් මතට වැටීම නිසා ඒ මහතා මියගොස් ඇති බව සඳහන්ය. 


මේ ප්‍රකාශය හාස්‍යජනක බව ලොව පුරා බොහෝ මාධ්‍ය ජාල සහ විශ්ලේෂකයන් පවසද්දී, කශෝගිගේ මරණයට වගකිව යුත්තන් සොයාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා, සෞදි රජයට එල්ල කරන ජාත්‍යන්තර පීඩනයට ලෝකයේ ප්‍රබලම රටවල රාජ්‍ය නායකයෝ සහ විදේශ අමාත්‍යවරු එක්ව සිටිති. සෞදි අරාබියේ ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ආයෝජක රැස්වීමකින් තමන් ඉවත් වන බව ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය ආදී බලවත් ආර්ථිකයන්ගේ රාජ්‍ය නියෝජිතයන් පවසා ඇත. 
සෞදි රජය කුමක් කීවත්, කශෝගිව වුවමනාවෙන් ඝාතනය කළ බවට සාක්ෂි ඇතුළත් විඩියෝ පට සහ හඬ පට තමන් සතුව ඇතැයි තුර්කි රජයේ පාර්ශ්ව පවසති. කශෝගිව පණපිටින් කපා කොටා වෙන් කරනු ලබද්දී, ඔහුගේ කෑගෑසීම් නොඇසෙන ලෙස ඝාතකයන් සංගීතයට සවන් දුන් බව, එයින් එක් හඬ පටයක අන්තර්ගතය ලෙස තමා සතුව තිබෙන බව තුර්කි රජයේ පාර්ශ්ව වැඩි දුරටත් සඳහන් කරති.  


නමුත්, මෙම සිද්ධියේ මුල සිටම සෞදි අරාබියට පක්ෂපාතී ස්ථාවරයක් ගෙන සිටි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජමාල්ගේ මරණය පිළිගනිමින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයේදීද සෞදි රජයට එරෙහිව නොයන්නට වගබලා ගෙන තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනපතිවරයා එම මාධ්‍යවේදියාගේ මරණයට ශෝකය පළ කරන ප්‍රකාශයේදීම, සෞදි අරාබිය යනු ඇමරිකා එක්සත් ජනපදයේ කුලුපග මිතුරකු ලෙස හඳුන්වා දී, ඉරානයේ ව්‍යාප්තවාදයට එරෙහිව තිබෙන හොඳම අවිය වන්නේ සෞදි අරාබිය බවත්, එරට පිහිටීම යුද උපක්‍රමික ලෙස ඇමරිකාවට වාසිය සලසන බවත් පැවසීමට අමතක නොකළේය. 


ට්‍රම්ප්ගේ මෙම මිත්‍රශීලී ප්‍රතිචාරයට හේතුව සෞදි රජය සහ ඇමරිකාව අතර අත්සන් කිරීමට නියමිත ඩොලර් බිලියන පහක් වටිනා, යුගයේ සුවිශාලතම අවි ගනුදෙණුව ආරක්ෂා කර ගැනීමට බව බොහෝ විචාරකයන්ගේ මතයයි. මේ පිළිබඳව ට්‍රම්ප්ව ඇමරිකානුවන්ගේ බොහෝ දෝෂ දර්ශනයට ලක් වෙමින් සිටී. මීට අමතරව තවත් ඩොලර් බිලියන 100ක පමණ දිගු කාලීන ව්‍යාපෘති මේ දෙරට අතර පවතින බැවින්, සෞදි-ඇමරිකන් ද්විපාර්ශ්වික සබඳතා බිඳ වැටී, ඒවාට හානියක් සිදුවුවහොත් එක්සත් ජනපදයේ රැකියා හය ලක්ෂයක් පමණ අහිමිවනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි. 
මේ වනවිට කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් 18 දෙනෙකු අත් අඩංගුවට ගෙන, ඉන් පහළොස් දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙන අතර, ඔවුන්ගෙන් සමහරෙක් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ බුද්ධි අංශයකට සෘජුව සම්බන්ධ නිලධාරීන් බව හෙළිදරව් වෙමින් පවතියි. එයින් එක් අයකු වන මෙශල් සාද් අල් බොස්තානි නැමැත්තා, කශෝගි මහතා අතුරුදන් වූ දිනම, යළි සෞදි අරාබියට පැමිණ සිටියදී රිය අනතුරකට ලක්ව මියගිය බවට තොරතුරු ලැබී ඇත. මේ සිද්ධියත් සමඟ කශෝගිගේ ඝාතනයට එරට ඉහළම පාර්ශ්ව සම්බන්ධ බවට තිබුණු සැකය තවත් තීව්‍ර වී තිබේ. අනුන්ගේ පව්කාරකම්වලට කුලියට කර ගසන බොස්තානිලාට අවසානයේ සිදුවන්නේ මෙබඳු අරුම පුදුම රිය අනතුරුවලට ගොදුරු වන්නට බව විචාරකයෝ සඳහන් කරති. 


ලසන්තලා, ප්‍රගීත්ලා සහ කශෝගිලා ජමාල්ගේ ඝාතනය ශ්‍රී ලංකාවේ පැවති රාජපක්ෂ පාලන සමය අතරවාරයේ සිදුවූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩව පැහැර ගෙන අතුරුදන් කිරීම යන සිද්ධි දෙකටම ඉතාම සෘජුව අනුරූපී වන සිද්ධි දෙකකි. ලෝකයේ අධිපතිවාදී පාලන තන්ත්‍රයන්ට එරෙහිව යමින්, ඒවායේ සැබෑ තොරතුරු ලොවට හෙළි කරන නිර්භීත මාධ්‍යවේදීන් මරා දැමීම, එබඳු ඒකාධිපති බලවේගවලට පොදු ලක්ෂණයකි.  


නූතනය තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන පටිපාටීන් ජනප්‍රිය වෙමින් පවතිද්දී, සෞදි අරාබිය පාලනය කරන්නේ තවමත් එඬේර යුගයේ ඇවතුම් පැවතුම් ඇති පවුල් පාලනයක් වටා ගොඩනැඟුණු රාජාණ්ඩුවක් බවට නැවත ඔප්පු කර තිබේ. මොහොමඩ් බින් සල්මාන් කුමරු ඒ තත්ත්වය වෙනස් කර, සෞදි අරාබියට නව යුගයේ පුනරුදයක් උදාකරන බවට ලොව පුරා බොහෝ දෙනා විශ්වාස කර සිටියත්, මේ සිදුවීම නිසා ඔහුගේ ප්‍රගතිශීලී භාවය කෙරෙහි සහ මනුෂ්‍යත්වය තුළ ප්‍රතිගාමී සෞදි සමාජය පිහිටුවන ක්‍රියාවලිය කෙරෙහි තිබුණු විශ්වසනීයත්වය දැඩි ලෙස පලුදුව තිබේ. මාධ්‍ය සතු ශක්තිය හොඳින් දන්නා පාලකයන්, තමා කරගෙන යන ප්‍රෝඪාවන්ට එරෙහිව පෑන මෙහෙයවන නිර්භීත මිනිසුන් කෙරෙහි දක්වන්නේ අපරිමිති බියකි. මේ බිය බොහෝ විට කෙළවර වන්නේ අදහස් සමඟ අදහස් ගැටීමකින් හෝ පිළිතුරු දීමකින් නොව, අදාළ පන්හිඳ කුරිරු ලෙස නිහඬ කර ඉතිහාසයට එක් කරමිනි. ඉන් පසුව ඔවුහු කිසිදු වගවීමකින් තොරව මරා දමන ලද පුද්ගලයාගේ අවසානය වංචාකාරී වචන හරඹයකට ලඝු කරති. කශෝගි පමණක් නොව, ප්‍රගීත් එක්නැලිගොඩලා ද ආගිය අතක් නැති අතුරුදන් වූවන් බවට පත්කළ පාපතර පාලක බලවේග, ඉන්පසුව ඒ පිළිබඳව ප්‍රශ්න සහ පරීක්ෂණ එනවිට "හූ ඊස් ලසන්ත?"  (ලසන්ත කියන්නෙ කවුද?) වැනි සිල්ලර වචන දමා ගැසීම්වලින් තමන් කළ පාපයන් මඟහරින්නට උත්සාහ කරති. කශෝගි සිද්ධිය සම්බන්ධව පසුගිය දෙසතිය මුලුල්ලේ සෞදි පාර්ශ්වයෙන් ලොවට ලැබුණු එකිනෙකට පරස්පර, සිල්ලර සහ හාස්‍යජනක ප්‍රතිචාර දුටුවිට කෙනෙකුට සිහිපත් වන්නේ ලසන්තලා, ප්‍රගීත්ලා ගැන සොයන ලෝකයට පසුගිය පාලකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයි.  


කශෝගිගේ ප්‍රියාදරිය වන තුර්කි ජාතික කාන්තාව තම සැමියා නැති සොවින් විස්සෝප වෙද්දී, සන්ධ්‍යා එක්නැලිගොඩ තවම තම සැමියා එනතුරු දින ගනිමින් මඟ බලා සිටින්නීය. තම සැමියන්ට වූයේ කුමක්දැයි පැහැදිලිව දැන ගැනීමට ඔවුහු බලා සිටිති. මේ තත්ත්වයට වගකිව යුත්තන්ට දඬුවම් ලැබී තමන් හට යුක්තිය ලැබෙන තුරු බලා සිටිති. සෞදි අරාබි රාජාණ්ඩුවේ ඒකාධිපති වියරුවෙන්ද, එබඳුම වියරුවකින් ශ්‍රී ලංකාව පාලනය වූ පසුගිය පාලන සමයේ දස වසරෙන්ද, සත්‍ය සොයා යෑමේ වරදට පහර කෑ අයගේ වේදනාව තවමත් මාධ්‍ය තුළ දෝංකාර දෙමින් පවතී. මාධ්‍ය සහ ජාත්‍යන්තර බල කිරීම් හමුවේ වුවද, ජමාල්ගේ මරණය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සෞදි රජය කටයුතු කළද, ප්‍රසිද්ධ රහස් ඉතිරි කරමින් ජීවිතය උදුරා ගත් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් ගැන සත්‍යය තොරතුරු තවමත් ඉතිහාසයේ අඳුරු ගුහාව තුළය. ඒ රාජපක්ෂලා, අත්තනෝමතික සෞදි පාලකයන්ටත් වඩා බිහිසුණු සහ කුරිරු නිසාය. 


අපට සහ අප වටා සිටින පොදු මහජනතාවගේ යුතුකම වන්නේ තම දෑස් බැඳ ඇති පටි මුදාහැර සත්‍යය වෙනුවෙන් ජීවිතය කැප කළ අයට යුක්තිය ඉල්ලා සාමූහිකව හඬ අවදි කිරීමය.

 

[මධුක තක්සල] 

මාතෘකා