අප නැවතත් අපනයන අාර්ථිකයට යා යුතුයි

 ඡායාරූපය:

අප නැවතත් අපනයන අාර්ථිකයට යා යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අප නැවතත් පැරණි සම්ප්‍රදායට යා යුතුයි. අපනයන ආර්ථිකයක් නැවත ඇති කරගත යුතුයි. අපේ උරුමය එයයි. ඉන් ප්‍රයෝජන ලබා ගනිමින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයට පත්වන ආකාරය අප අවබෝධ කර ගත යුතුයි” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (16) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය විසින් අම්පාර, උහන රජගල පුරාවිද්‍යා භුමියේ ප්‍රතිස්ථාපනය කරන ලද ඉපැරණි දාගැබක ධාතු නිධානෝත්සවය සඳහා සහභාගි වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“2015දී නව පාර්ලිමේන්තුව තේරී පත් වූ අවස්ථාවේ කෙටි කාලයකට මට පුරාවිද්‍යා විෂය ලැබුණා. ඒ කාලයේදී දඹර අමිල ස්වාමීන් වහන්සේත් මණ්ඩාවල මහතාත් ඇතුළු කණ්ඩායමක් පැමිණ රජගල පිළිබඳව සාකච්ඡා කර ඊට අවශ්‍ය සම්පත් ඉල්ලා සිටියා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ සාක්ෂි ඇති ස්ථාන සංවර්ධනය කළ යුතු නිසා මම ඊට අවශ්‍ය මුදල් ලබා දුන්නා. ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරුන්ගේ හා සංස්කෘතික අරමුදල ඒ සඳහා සහයෝගය දැක්වූවා. ඒ ආධාර හරහා තව වැඩකටයුතු ආරම්භ කරමින් එහි වගකීම ලංකා ආණ්ඩුව භාර ගත්තා. මෙම සංරක්ෂණ වැඩකටයුතු සිදු කිරීම පිළිබඳව මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත්, විශ්වවිද්‍යාලයටත්, එහි කථිකාචාර්යවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා.

“ලෝකයේ බොහෝ ස්ථානවල මෙවැනි කැනීම් කටයුතු කරන්නේ විශ්වවිද්‍යාල හරහායි. මහාචාර්ය කනිංහැම් මහතාත් එංගලන්තයේ විශ්වවිද්‍යාල සමඟ එක්ව කැනීම් කටයුතු සිදු කළා. එම නිසා අපත් දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල ඉස්මතු කර ගනිමින් මෙම වැඩකටයුතු සිදු කළ යුතුයි. එවැනි සහයෝගයක් නොතිබුණා නම් මෙම පෞරාණික රජගල පිළිබඳව අදටත් අපි දන්නේ නැහැ. රජගල හරහා අපට දැකිය හැකි වන්නේ කුමක්දැයි අප අවබෝධ කර ගත යුතුයි. එක් අතකින් ශ්‍රී ලාංකික බුදු දහමේ දියුණුවත්, අනික් අතින් අතීත ශ්‍රී ලංකාවේ ඉංජිනේරු කර්මාන්තයේ දියුණුවත් අපට රජගලින් දැකිය හැකියි.

“පසුගියදා ලන්ඩන් යුනිවසිටි ආයතනයෙන් නිකුත් කරන ලද පොතක ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් වී තිබුණා. එහි සදහන් වී තිබූ ආකාරයට ශ්‍රී ලංකාව වෙළඳ, අධ්‍යාපන, බෞද්ධාගමික හා සියලු අංශයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සඳහන් වී තිබුණා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කළ සහල්‍යා ප්‍රනාන්දු මහත්මිය විසින් නිකුත් කරන ලද පොතේ ශ්‍රී ලංකාව සාගර කේන්ද්‍රස්ථානයක් ලෙසත් සටහන් වී තිබෙනවා. අප ශ්‍රී ලංකාවේ රජවරු අතීතයේ බුදු දහම ආරක්ෂා වූ ආකාරය ආදී සියලු දේ පිළිබඳව හොඳින් දැනුවත්. නමුත් එදා ආසියාව, ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබූ සුවිශේෂි ස්ථානය පිළිබඳව මෙම කරුණුවලින් පෙනී යනවා. යුරෝපයේ ඇති සිතියම් නිරීක්ෂණය කිරීමේදී ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

“මහා විහාරය, ජේතවනාරාමය, අභයගිරිය නිසා අතීතයේ සංචාරකයින් විශාල වශයෙන් මෙහි පැමිණියා. සීගිරිය නැරඹීමටත් ශ්‍රී ලංකාවේ අනෙක් බෞද්ධාගමික සිද්ධස්ථාන නැරඹීමටත් අතීතයේදීත් සංචාරකයින් මෙරටට පැමිණියා. දැනුම් කේන්ද්‍රස්ථානයක් ලෙසත් එකල ශ්‍රී ලංකාව ප්‍රසිද්ධව තිබුණා. මෙවැනි විශාල ගොඩනැගිලි ඉදිකිරීමට මූලිකම පදනම වූයේ එවකට ශ්‍රී ලංකාවේ තිබූ දැනුමයි. අපට තිබූ ඉංජිනේරු ශිෂ්ටාචාරය ඉතාමත් දියුණු බව බොහෝ දෙනා පවසනවා.

“අතීතයේ චීනයට විශාලතම නැව් පැමිණියේ ශ්‍රී ලංකාවෙන් බව පැරණි පොත්පත්වල සඳහන් වෙනවා. චීනයත්, ඉන්දියන් සාගරය අවටත් වෙළඳ කලාපය පාලනය කළේ ශ්‍රී ලංකාවේ ශ්‍රී විජයරාජ බවත් ඇතැම් පොත් පත්වල සඳහන් වෙනවා. තට්ටු කිහිපයකින් සමන්විත විශාල නැව් අප නිර්මාණය කළේ කෙසේද? ලෝකයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස අතීතයේ ශ්‍රී ලංකාව කටයුතු කළ නිසා අපට එම ශක්තිය පැවතුණා. එක් අතකින් චීනයේ සිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට නැව් පැමිණියා. තිරියාය, ගෝකන්න ආදී වරායවලටත් අරාබි දේශයේ සිට මාන්තොට, හලාවත ආදී වරායන් වෙතත් නැව් පැමිණ ඒ අතර ගමනාගමනය සිදු වුණා. ඉන්දියාවේ සිට යාපා පටුන දක්වා නැව් පැමිණියා. ශ්‍රී ලංකාව නම් වූ මෙම කුඩා භූමිභාගය තුළ එදා බඩු භාණ්ඩ හුවමාරු වුණා. එම වරායන්වල සිට රට තුළට පැමිණෙන සියලු මාර්ගයන් මුණගැසුණු නගරයක් ලෙස අනුරාධපුරය හැඳින්වුණා.

“අතීතයේ රජවරු අනුරාධපුර දක්වා ඇති මාර්ග සොයාගත්තේ රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය යන චෛත්‍යවල කොත්කැරැල්ලේ දිශාව අනුව බව ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා වරක් මට පැවසුවා. ධාන්‍ය වර්ග, මැණික්, අලි අැතුන් අප වෙළඳාම් කළා. අරාබියෙන් රැගෙන එන භාණ්ඩ අප චීනයට වෙළඳාම් කළා. චීනයේ බඩු භාණ්ඩ අරාබියටත්, යුරෝපයටත් බෙදාහැරියා. එම වෙළඳාම හරහා ලැබෙන මුදල් හේතුවෙන් රජගල ඇතුළු මෙවැනි විශාල ස්ථාන ඇති කිරීමට අපට හැකි වුණා.

“අප දුප්පත් රාජ්‍යයක් නම් සීගිරිය වැනි නිර්මාණයක් කිරීමට නොහැකියි. එවැනි ස්ථානයක් ඉදිකිරීමට කොතරම් ආර්ථික ශක්තියක් අවශ්‍යද? රජගල වැනි අතිවිශාල ආගමික සිද්ධස්ථානයක් ඉදි කිරීමට කෙතරම් ආර්ථික ශක්තියක් අවශ්‍යද? අප ආණ්ඩු බලයේ සිටින නිසා ආර්ථික වැඩකටයුතු පාලනය කිරීමට කෙතරම් මුදලක් අවශ්‍ය ඇයි දැයි අප දන්නවා. ඒ කාලයේ එවැනි විශාල ආර්ථික ශක්තියක් ශ්‍රී ලංකාව සතු වී තිබෙනවා. අප විශාල වෙළඳ රජ්‍යයක් බවට පත්වූයේ ඒ හරහායි.

“අප නැවතත් එම පැරණි සම්ප්‍රදායට යා යුතුයි. අපනයන ආර්ථිකයක් නැවත ඇති කර ගත යුතුයි. අපේ උරුමය එයයි. ඉන් ප්‍රයෝජන ලබා ගනිමින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයට පත්වන ආකාරය අප අවබෝධ කරගත යුතුයි. ඉන්දියාවේ ප්‍රදේශවලට බඩු භාණ්ඩ ප්‍රවාහනය කළේ ශ්‍රී ලංකාව හරහායි. සොලී, පල්ලව ආදී කිසිදු අතීත ඉන්දීය නගරයක ශ්‍රී ලංකාවේ තරම් වරාය තිබුණේ නැහැ. ඔවුන්ට වරාය තිබුණේ කේරළ කොචින් නගරය ආශ්‍රිතව පමණයි. මේ වරාය ආශ්‍රිතව සිදු වුණු ගනුදෙනුවල ප්‍රතිඵල ලෙස රෝම, අරාබි, ග්‍රීක, චීන ආදී කාසි වර්ග ශ්‍රී ලංකාවේදී සොයාගෙන තිබෙනවා.

“තේ රබර්, ඇඟලුම් කර්මාන්ත පමණක් නොව ඕනෑම භාණ්ඩයක් පිටරටවලින් මෙරටට ගෙනවිත් ඒවා වෙනත් රටවල්වලට ප්‍රතිඅපනයනය කිරීමට අප කටයුතු කළ යුතුයි. අනුරාධපුරය ප්‍රමුඛ අපේ ඉතිහාසය තුළින් අප ලබාගත යුතු ප්‍රධානම ආදර්ශය නම් අපනයන වෙළඳාමයි.

“ගෝලීය ආර්ථික අර්බුද වර්තමානයේ ඇති වෙමින් තිබෙනවා. අපට ශ්‍රී ලංකාව තුළ අපනයන ආර්ථිකයක් ඇති කරගත හැකි නම් ඒවාට මුහුණ දිය හැකි හොඳම මාර්ගය වන්නේ එයයි. ථෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්තයට වර්තමානයේ වුවමනා ප්‍රමාණයටත් වඩා විදේශ විනිමය තිබෙනවා. එදා අතීතයේ තායිලන්තයට බුදු දහම ලබාදුන් ශ්‍රී ලංකාවට අද විදේශ විනිමය ප්‍රමාණවත් නැහැ. එම නිසා රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අප ප්‍රමුඛතාව දෙනවා.

“ආසියාවේ බලවත්ම රටවල් වන ජපානය, චීනය, දකුණු කොරියාව, ඉන්දියාව ආදි සියලුම රාජ්‍යයන් සමග හොඳම සම්බන්ධතාවක් ඇති එකම රට ශ්‍රී ලංකාවයි. අප එම සම්බන්ධතා දැන් ප්‍රයෝජනයට ගත යුතුයි. අපනයන වෙළෙඳාම හරහා අප දියුණු විය යුතුයි. ඒ හරහා පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් මීටත් වඩා මුදල් ලබාදීමට අපට හැකි වෙනවා.

“අපේ ඉතිහාසය ඉන්දියාව, ජාවා, බ්‍රසීලය ලන්ඩන් ආදී ලෝකයේ බොහෝ ස්ථානවල තිබෙනවා. ඒවා නැවත මතු කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. රජගල ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මෙම රජගල ඉදිරියටත් ආරක්ෂා කර ගනිමින් එහි උපරිම ප්‍රයෝජන ලබා ගනිමු යැයි මම අවසාන වශයෙන් පවසනවා.”

මාතෘකා