පහුගිය වසර විසි පහේ තැනු තනි පක්ෂ ආණ්ඩු

 ඡායාරූපය:

පහුගිය වසර විසි පහේ තැනු තනි පක්ෂ ආණ්ඩු

2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් එජාපය තනි ආණ්ඩුවකට නොගොස් ශ්‍රීලනිපය සමඟ හවුල් (ජාතික) ආණ්ඩුවකට ගියේ එවකට නිර්මාණය වී තිබූ දේශපාලන වාතාවරණය තුළ බව පැහැදිලි කරුණක්. ඒ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලැබීමත් සමඟ නිර්මාණය වූ තත්ත්වය සේම ජනාධිපතිවරණයට පෙර සිටම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කළ 'ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සංහිඳියාව මගින් රටේ දැවෙන ගැටලූ විසඳා ගැනීම' මේ ජාතික ආණ්ඩුවට ප්‍රධාන සේම, එකම හේතුව වූ බව පැහැදිලි කරුණක්.

ආණ්ඩු හැදීමට බහුතර බලය දීම

'2015 අගෝස්තු මහ මැතිවරණයෙන් එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව බලය දී නැතැ' යි යන ප්‍රකාශය දේශපාලන අවස්ථාවාදීත්වය හා කුහකත්වය ප්‍රදර්ශනය කරන සාවද්‍ය ප්‍රකාශයක් බව 2015ට පෙර මහ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ සරල විශ්ලේෂණයකින් වුවත් වටහා ගත හැකි බව මේ පිළිබඳ උනන්දුවක් දක්වන දේශපාලන විශ්ලේෂයන් සඳහන් කරනවා. ඔවුන් මෙහි දී පෙන්වා දෙන්නේ 1947 දී පැවැති ලංකාවේ ප්‍රථම මහ මැතිවරණයේ සිට අවස්ථා කිහිපයක දී හැර තනි පක්ෂයක් විසින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය සරල බහුතර බලය හෝ ලබා ගෙන නැති බවයි. මහ මැතිවරණයෙන් සාපේක්ෂ බහුතර බලය ලබාගත් පක්ෂය සුුළු පක්ෂවල හෝ ස්වාධීනව තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් ආණ්ඩු බලය පිහිටු වූ බවයි. මේ සඳහා ඔවුන් විසින් ලබා දෙන පැහැදිලි උදාහරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 17 වසරකට පසු ආණ්ඩු බලය පිහිටු වූ 1994 මහ මැතිවරණයයි.

එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය නිමා කරමින් 1994 අගෝස්තු 16 දා පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් 'පොදුජන එක්සත් පෙරමුණ' (මුළු ඡන්ද 38, 87, 823) ලබාගත්තේ මුළු ආසන සංඛ්‍යාව වන 225න් ආසන 105ක් පමණයි. ඒ ආසන 105 තුළ දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් ආසන 91ක් සහ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ ආසන 14ක් අන්තර්ගත වුණා. මෙහි දී එජාපය දිස්ත්‍රික් මට්ටමින් (මුළු ඡන්ද 34, 98, 370) ආසන 81ක් සහ ජාතික ලැයිස්තු ආසන 13ක් සමඟ ආසන 94ක් දිනා ගත්තා. වැඩිම ආසන ගණනක් දිනා ගනිමින් තෙවැනි ස්ථානය දිනා ගත්තේ 'ස්වාධීන කණ්ඩායම - යාපනය' යි. ඒ ආසන 9ක්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 06ක් ද, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 4ක් ද ලබාගත් අතර ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ ආසන 3ක් ද, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම (නුවරඑළිය) ආසනය බැගින් දිනාගෙන තිබුණා. මේ මහ මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර ආසන 11ක වෙනසක් තිබූ අතර ඡන්ද පරතරය වුණේ ඡන්ද 389, 453ක් පමණයි.

සුළුතර ආණ්ඩුව - 1994

එහෙත් මෙම මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය (113) හිමිකර නොගත්තත් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු බලය පිහිටුවීමට පියවර ගත්තා. ඒ සඳහා එජාප ජනාධිපති ඞී.බී. විජේතුංග මහතාගෙන් මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද කිසිදු විරෝධයක් එල්ල වුණේ නැහැ. එජාප ආණ්ඩුවක් පිහිටුවා ගැනීම පිළිබඳ ඇතැම් එජාප ප්‍රබලයින් (ගාමිණී දිසානායක වැනි) තම හැකියාව පැහැදිලි කරද්දී පවා අගමැති රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලබා දී අරලියගහ මන්දිරයෙන් නික්ම ගියා. මේ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 5 දෙනාගේ ද සහාය ඇතිව ආසන 112ක සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණ පියවර ගත්තා. එහෙත් එදා ආසන 105ක් පමණක් දිනාගෙන 'අපට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව බලය දී නැහැ' යැයි මැසිවිලි කීමට එදා ශ්‍රීලනිප හා පොදුපෙරමුණු ප්‍රබලයන් පියවර ගත්තේ නැහැ. ඔවුන් කිසිදු බියකින් තොරව ආසන 105ක් හිමිකර ගෙන ආණ්ඩු බලය පිහිටුවීමට ඉදිරිපත් වුණා. ඊට පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහායෙන් එය 112 දක්වා වැඩිකර ගත්තා.

එදා ආණ්ඩු බලය පිහිටුවීමට ක්‍රියාකළ කණ්ඩායමේ අති බහුතරයක් 2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනවා. ඒත් ඔවුන් 2015 මහ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නේ 'කාටවත් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව බලය දී නැති' මහ මැතිවරණයක් ලෙසයි. ඒ අනුව යමින් එජාපය මෙම මැතිවරණයෙන් දිනාගත් ජනතා ප්‍රබල බාල්දු කිරීමට ඔවුන් පසුගිය කාලය පුරාම පියවර ගනිමින් සිටිනවා. මෙය සැලකිය හැකි වන්නේ සම්පූර්ණයෙන් ම අවස්ථාවාදී මෙන්ම දේශපාලන කුහකත්වය ද ඉක්මවා ගිය තත්ත්වයක් වශයෙනුයි.

2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ඡන්ද 50, 98, 916ක් ලබා ගනිමින් එජාපය ආසන 106ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 47, 32, 664ක් ලබා ගනිමින් ආසන 95ක් දිනා ගත්තා. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ඡන්ද පරතය 366, 252ක්. මේ අනුව අපට 1994 සහ 2015 පිළිබඳ අවස්ථාවාදීත්වයෙන් තොර විග්‍රහයක් කළ හැකියි. එවිට නිර්මාණය වන චිත්‍රය වන්නේ කුමක්ද? ආසන්න වශයෙන් 1994 වර්ෂයේ දී පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු බලය පිහිටුවීමට පියවර ගත් විට දිනා සිටි ආසන 105ට වඩා 2015 දී එක්සත් ජාතික පක්ෂය එක් ආසනයක් (106ක්) හෝ දිනාගෙන සිටි බවයි. ආසන 105ක් දිනාගෙන පොදුජන එක්සත් පෙරමුණට 1994 දී ආණ්ඩුවක් පිිහිටුවීමට හැකියාව තිබුණේ නම් ආසන 106ක් දිනාගත් එජාපයට 2015 දී එවැනි බලයක් ජනතාව විසින් ලබා නොදුන් බව පවසමින් කරන මේ දේශපාලන විහිළුවේ අර්ථය ජනතාව, විශේෂයෙන් එජාපය වහාම වටහා ගත යුතු බව අපගේ අදහසයි.

විපක්ෂයෙන් බා ගැනීම

1994 මහ මැතිවරණයෙන් සුළුතර ආණ්ඩුවක් පිහිටු වූ පොදුජන එක්සත් පෙරමුණ ඊළඟට කළ කී දේ ගැන මීළඟට අපගේ අවධානය යොමු විය යුතුයි.

සුළුතර ආණ්ඩුවක් (112) පිහිටුවා බලය අල්ලා ගත් පොදුජන එක්සත් පෙරමුණ 1995 දී පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ වහාම කළ ප්‍රධාන දේ වුණේ ආණ්ඩු බලය ශක්තිමත් කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එක්කර ගැනීමයි. ඒ අනුව එජාප ප්‍රබලයන් වශයෙන් සැලකිය හැකි විජේපාල මෙන්ඩිස්, සුසිල් මුණසිංහ ඇතුළු විශාල පිරිසක් ආණ්ඩුවට එක්කර ගත් ජනාධිපතිවරිය ඒ සමඟම එජාපයෙන් තරග කළ ලංකා කම්කරු කොංග්‍රසය ද ආණ්ඩුවට එක්කර ගත්තා. ඇමැතිකම් ලබා දුන්නා. මේ අනුව මහ මැතිවරණයෙන් වසරක් පමණ ඉක්මවන විට සුළුතර පොදු පෙරමුණු ආණ්ඩුව බහුතර ආණ්ඩුවක් බවට පත් වුණා.

අද එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට බලය දී නැතැයි කියන පිරිස අවශ්‍ය නම් තමන් බලයේ සිටියදීම පැවැති 2000 ඔක්තෝබර් 10 වැනිදා පැවැති මහ මැතිවරණය දෙස ද අවදානය යොමු කළ හැකියි. මේ මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ දිනා ගත්තේ ද ආසන 107ක් පමණයි. එජාපය ආසන 89ක් දිනා ගත්තා. මේ අනුව 2000 මහ මැතිවරණයෙන් ද තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාව පොදු පෙරමුණට බලය ලබා නොදුන් බවට අපට කුතර්ක කළ හැකියි.

අවශ්‍ය නම් (2001 දෙසැම්බර් මහ මැතිවරණයෙන් එජාපය ආසන 109ක් දින ගෙන ආණ්ඩුව පිහිටු වූ අතර පොදු පෙරමුණ දිනා ගත්තේ ආසන 77ක් පමණයි) මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය පදවියට පත් 2004 මහ මැතිවරණයට ද අවධානය යොමු කළ හැකියි. එම මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනා ගත්තේ පාර්ලිමේන්තු ආසන 105ක් පමණයි. එජාපය ආසන 82ක් දිනා ගත්තා. දමිළ ජාතික සන්ධානය (20ක්) ජාතික හෙළ උරුමය (9ක්) ආදි වශයෙන් සෙසු ආසන බෙදී ගියා.

තම අතීතය අමතක කිරීම

ඉහත දත්ත විශ්ලේෂණය කරන විට අපට පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් විවිධ දේශපාලන පෙරමුණු 1994 සිට 2004 දක්වා පැවැති මහ මැතිවරණ ත්‍රිත්වයක දීම (1994, 2000, 2004) පැහැදිලිවම ලබාගෙන ඇත්තේ සුළුතර බලයක් පමණක් බවයි. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම එජාපයේ හෝ සෙසු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම මගින් බහුතර ආණ්ඩු බලයක් ලබා ගැනීමට ඔවුන් ක්‍රියා කළා. ඒ කිසිම අවස්ථාවක අද මෙන් චෝදනා කිරීමක් හෝ මැසිවිලි නැඟීමක් සිදු වුණේ නැහැ. විධායක ජනාධිපති ධුරයේ අනුහස මගින් අමාත්‍යධුර ලබාදීම ඇතුළු විවිධාකාර වරදාන මගින් තම සුළුතර බලය අති බහුතර බලයක් බවට පත්කර ගත්තා. මෙහි දී 2004 මහ මැතිවරණයෙන් පසු යුගය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. අද වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විවේචකයන් බවට පත්ව සිටින කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ආදීන් එදා මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ගියේ එජාපයේ සිට බව අප අමතක නොකළ යුතුයි.

"සැලූන් දොර" ඇර තබමින් විපක්ෂය බෙලහීන කරමින් තම සුළුතර ආණ්ඩු බහුතර ආණ්ඩු බවට පත්කර ගත් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන කල්ලිය සහ ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මේ දේශපාලන යථාර්ථය නොකතා ක්‍රියා කිරීම පුදුමයට කරුණක් නොවෙයි. ඒත් 1994 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රගුණ කළ මග අනුව 2015 අගෝස්තු 17 වැනිදා එජාපය ගියා නම් අද තත්ත්වය වෙනස්වනු ඇත.

1994 සිට 2015 දක්වා මහ මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආදී) දිනාගත් ආසන සංඛ්‍යාව

වර්ෂය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

1994 94 105

2000 89 107

2001 109 77

2004 82 105

2010 60 144

2015 106 95

[චින්තන බණ්ඩාර කරල්ලියද්ද]

මාතෘකා