භාරකාර ආණ්ඩුවක් සඳහා කථා කරන්නේ රටට තියෙන ආදරයට නෙමෙයි : එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

 ඡායාරූපය:

භාරකාර ආණ්ඩුවක් සඳහා කථා කරන්නේ රටට තියෙන ආදරයට නෙමෙයි : එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩු බිහිකිරීම හා ආණ්ඩු බිඳවැට්ටීම කළ යුත්තේ ජන බලය හරහා පමණක් බවත් භාරකාර ආණ්ඩු මුවාවෙන් ඔළුගෙඩි වෙනස් කිරීමෙන් නොවන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවසීය. ඔහු ඒ බව පැවසුවේ (10) “සසුනට අරුණ - වැවයි දා ගැබයි - ගමයි පන්සලයි” සංකල්පයට අනුව දිවයින පුරා චෛත්‍ය නොමැති විහාරස්ථානවල චෛත්‍ය ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් කළුතර, දොඩම්ගොඩ ශ්‍රි ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදීය.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ශක්තියෙන් තමා ආරම්භ කළ සැමට නිවස උදාගම්මාන ව්‍යාපෘතියෙන් 2025 වසර අවසන් වන විට ගම්මාන 20000ක් ඉදිකර සැමට සෙවණ ලබාදෙන බවද, ඒ පිළිබඳව තමා රටේ ජනතාවට පොරොන්දු වන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

“වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුණ කෙනෙක් නෙමෙයි. එතුමා සාමාන්‍ය පවුලකින් ආපු පුද්ගලයෙක්, ගොවි පවුලක පුද්ගලයෙක්. මගේ පියාණන් වගේ මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ සාමාන්‍ය ජනතාව රජ පුටුව දක්වා ගෙනගියා. මේ රටේ ජනාධිපතිවරු බවට පත්වුණේ සාම්ප්‍රදායිකව විපක්ෂ නායකවරු සහ අගමැතිවරුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්ප්‍රදාය වෙනස් කරමින් ජනාධිපති වුණා. පොඩි තැනින් ලොකු ගමනක් ගිය නිසා එතුමා ඒ තැනට ආපු දවසෙ ඉඳලා විරුද්ධවාදීන් කළේ එතුමාව වට්ටා දමන්නයි. ඒ, පැහැදිලි ඊර්ෂ්‍යාව, කුහකකම නිසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එල්ල වුණු මඩ ප්‍රහාර මගේ පියාටත් ඒ කාලේ එල්ල වුණා.

“රටේ එක්සත් ජාතික පාක්ෂිකයින් අතිබහුතරයක් මේ පොඩි මනුස්සයාව රටේ ඉහළම තැනකට ගෙනිච්චා. එතුමා ජනාධිපති වෙද්දි හිටපු විරුද්ධවාදීන් එතුමාට කිව්වා අයියෝ සිරිසේන කියලා. එතුමාට කිව්වා ආප්ප කාලා පාවාදුන් සිරිසේන කියලා. දැන් අතිගරු ශීමත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්න බැරි වුණ කුහකයෝ, අයියෝ සිරිසේන කියපු කට්ටිය එතුමාට කතාකරනවා භාරකාර ආණ්ඩුවක් හදන්න. රටට, ජනතාවට තියෙන ආදරයට නෙමෙයි එහෙම ආරාධනා කරන්නේ. එතුමාව වට්ටල එතුමා හිටපු තැනට ඇද දමන්නයි මේ කට්ටිය භාරකාර ආණ්ඩු හදන්න කතා කරන්නේ. සභාග ආණ්ඩු, භාරකාර ආණ්ඩු හදමු කියන්නේ රටටත් රටේ ජනතාවටත් වැඩිය තමන්ට තියෙන ආදරය නිසයි. අධිවේගී මාර්ගයෙන් තමන්ගේ නිල නිවසටයි, අරලියගහ මන්දිරයටයි යන්න තියෙන ආසාව නිසයි මේ භාරකාර ආණ්ඩු හදන්න මේ කට්ටිය සූදානම් වෙන්නේ. අරලියගහ මන්දිරයේ සුරසැප ජීවිතය නැවත මතක් වන නිසා විපක්ෂයේ අය කූට උපක්‍රමයක් හදනවා භාරකාර ආණ්ඩුවක් ගෙනත් ආපහු බලය ඩැහැගන්න.

“මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් ලොකු පරිත්‍යාගයක්, කැපවීමක් කරලා තමයි මේ යහපාලන ආණ්ඩුව හදලා රටේ ජනතාවට සෙත සලසා දුන්නේ. ආණ්ඩු බිහිකිරීම හා වැට්ටීම කළ යුත්තේ ජනබලයක් හරහායි. නැතුව දේශපාලන කුමන්ත්‍රණ හරහා ඔළුගෙඩි මාරුකිරීම තුළින් නෙමෙයි. අපිට ආරංචි වෙනවා විපක්ෂයේ අය තමන් පසුගිය ආණ්ඩු කාලයේ උපයපු මහා ඩොලර් කඳුවලින් කොටසක් වියදම් කරමින් සිටිනවා මේ ඔළුගෙඩි මාරුකිරීමේ සෙල්ලම ගෙනල්ලා ජනාධිපති මෛත්‍රිපාල මහතාව ජනාධිපති පුටුවෙන් එළියට දමන්න. අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව විනාශ කරන්න. කුට්ටි පිටින් ඩොලර් කඳු උපයපු අයට මේ දේ කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. පුංචි තැනේ සිට ඉහළට ගිය මේ සොඳුරු මිනිසාව දේශපාලන ප්‍රපාතයකට ඇදදැමීමේ කුමන්ත්‍රණය අපි නැති කරන්න ඕන.

“අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට ශක්තිය දීලා තියෙනවා රටේ නිවසක් නැති ජනතාවට නිවසක් සාදාදීමේ සැමට සෙවණ ගම්උදා වැඩසටහන ඉදිරියට කරගෙන යෑමට. ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වන විට රටේ උදාගම්මාන 2500ක් ආරම්භ වෙනවා. 2020 වන විට තවත් උදාගම්මන 5000ක් හදනවා, තුන්වන අදියරේදී තවත් ගම්මාන 10,000ක් හදනවා. 2025 අවසන් වන විට උදාගම්මාන 20,000ක් හදලා සැමට සෙවණ සලසා දෙනවා. හදවතට තට්ටු කරලා අහන්න, දේශප්‍රේමී බෝඩ් එල්ලන් ඉන්න විපක්ෂයේ අය බලය ගන්න හදන්නේ පුංචි මිනිහට ගෙවල් හදන්න නෙමේ. මේ අය ඉහළ පුටුවලට යන්න මාන බලන්නේ තමන්ගේ පවුලට රටේ දේශපාලන අයිතිය සින්නක්කර ඔප්පුවෙන් ලියා දෙන්න. මේ බලය ගන්න කෑගහන්නේ මගෙන් පස්සේ පුතාට, පුතාගෙන් පස්සේ මුනුබුරාට, මිනිබිරියට බලය දෙන්න ඕන කියන චේතනාවෙන්.

“අපි කියනවා, කමක් නෑ කුමන්ත්‍රණ කරන්න. ඒකෙන් අපි ශක්තිමත් වෙනවා. අපිව කපන්න කපන්න අපේ ගමන මුවහත් වෙනවා. අපි තවත් වැඩි වැඩියෙන් උදාගම්මාන හදනවා, වෙහෙර විහාර හදනවා, දහම් පාසල් හදනවා, ජනසමාජයට කළ යුතු පරම යුතුකම වන මිනිසා ජීවත් කරවීම, සාසනය දියුණු කිරීම අපි කරනවා.

“අපි කළුතර දිස්ත්‍රික්කයේ චෛත්‍ය 40ක් හදනවා. කළුතර විතරක් නෙමෙයි, දිවයින පුරා චෛත්‍ය, උදාගම්මාන හදනවාද නැද්ද කියලා ජනතාව තීන්දු කළ යුතුයි. රටේ භූමිය එක පවුලකට සින්නක්කරව ලියාදෙනවාද කියන තීන්දුව ඇත්තේ ජනතාව අතේයි.”

මාතෘකා