විසිවැනි සංශෝධනයේ අධිකරණ තීන්දුව

 ඡායාරූපය:

විසිවැනි සංශෝධනයේ අධිකරණ තීන්දුව

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතු බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය නියෝජ්‍ය කථානායකවරයා විසින් පසුගියදා (09) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණි. මේ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් පසු එය සම්මත කිරීමට සහාය දෙන ලෙසත්, ඊට අවහිර නොකරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ගෙන යෑමට තිබෙන අවස්ථාවට බාධා නොකරන ලෙසත් ජවිපෙ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. මේ සමඟම විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශපාලන කරළියේ කතාබහට ලක් වෙමින් පවතී. එම නිසා මේ සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් මත විමසුමක් කිරීමට අපි තීරණය කළෙමු.


ප්‍රගතිශීලී සංශෝධනයක් අවශ්‍යයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන මතයේ. විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සංශෝධනයක් නෙවෙයි. විධායක බලතල සංශෝධනය වීමක් ඒකෙන් කරන්නේ. ඒකත් ප්‍රගතිශීලී ලෙස කරන්න පුළුවන්. ඒත් විසි වෙනි සංශෝධනයෙන් සිද්ධ වෙලා තියෙන්නේ පාලකයන්ගේ සහ නීති විශාරදයන්ගේ දෘෂ්ටි කෝණයෙන් විධායක බලතල සංශෝධනය කිරීමක්. ඒත් ඒක සිද්ධ වෙන්න ඕනේ මහජනයාගේ දෘෂ්ටි කෝණයෙන්. ඒ වගේම තමයි මේකේ විදිහට බලතල අහෝසි වෙලා තියෙන්නේ මේ වෙලාවේ පවතින බල අරගලයට විසඳුමක් ලෙස විතරයි. විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වැඩි බලයක් දීලා තියෙන්නේ ජනාධිපතිවරණය අහෝසි කරන්න. ඒක දැන් තියන බල අරගලයට විසඳුමක් විතරයි. මීට වඩා මහජනතාවගේ පාර්ශ්වයෙන් හිතන ප්‍රගතිශීලී සංශෝධනයක් අපිට අවශ්‍යයි.


සංශෝධනයක් නොවේ, නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි

නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ බරපතළ සංශෝධනයක්. ජනාධිපති බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් තමයි එයින් අරුත් ගැන්වෙන්නේ. මේක නිර්මාණය කරපු අය බලාපොරොත්තු වෙන්නේ ඒකාධිපති ව්‍යවස්ථාවේ තියන මූලික ලක්ෂණ අහෝසි කරන එක. මම හිතන්නේ මේ සඳහා වෙනම සංශෝධනයක් කිරීම සාර්ථක නැහැ කියලා. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කමිටුව නව ව්‍යවස්ථාවක් සූදානම් කරලා තියෙනවා. ඒක ඔක්තෝබර් 25 ඉදිරිපත් කරනවා. විධායක බලතල අහෝසි කිරීම වෙනම කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම තමයි වඩා සුදුසු. එය මේ වන විට ජයම්පති වික්‍රමරත්න කමිටුව සිදු කරලා තියනවා. ඒක වඩා ඵලදායී වෙයි කියලා මම හිතනවා.


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිවැරදියි

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිවැරදියි. ජනමත විචාරණයක් තියන්න සිද්ධ වෙනවා. විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. අපේ ප්‍රතිපත්තිය විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට ගැළපෙන ක්‍රමයක් ගේන එක. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය අතරමඟ නතර වෙලා තියනවා කියලා පේනවා. ඒක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් තමයි හදන්න ඕනේ. මේක අතරමඟ නතර කරගෙන ඉන්න නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා මේ යෝජනාව ගෙනාවේ. ව්‍යවස්ථාවක් හදා ගන්න ඕනේ. ඒත් ඒකට හැමෝම දායක වෙන්න ඕනේ. පෙනෙන විදිහට නම් මේ ගැන අනිත් අයගේ උනන්දුවක් නැහැ. සමහරු කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ ගැන මතය වෙනස් කරනවා. මේක මිනිස්සු මුලා කරන වැඩක්. අපි 1977 ඉඳන් මේකට විරුද්ධයි. මගේ තර්කය අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සහ බල තුලනයක් ඇති කරන්න නව ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. මේක රටේ මූලික නීතිය. ඒ නිසා රටේ දේශපාලන පක්ෂ එක්කාසු වෙන්න ඕනේ. අනෙකුත් පනත් ගැන වගේ මේක පාර්ලිමේන්තුවේ තර්ක කර කර ඉන්න බැහැ.


වඩා ජනහිතකාමී තීන්දුවක් ගන්නවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියනවා. ඒකට අපි එකඟ වෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතිනවා. දැන් මේ අධිකරණමය තීන්දුවත් එක්ක අපිට ඒ සාකච්ඡා යාවත්කාලීන කරන්න පුළුවන්. ඒ වගේම අධිකරණමය තීන්දුව අනුව විසි වෙනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත විය යුතුයි. මේ සම්බන්ධයෙන් අපේ පක්ෂය කමිටුවක් පත් කරන්නත් තීරණය කරලා තිබුණා. අපි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වන විට විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු වෙලා තියෙනවා. විසිවෙනි සංශෝධනය මඟින් වඩා ඵලදායී, වඩා ශක්තිමත්, වඩා ජනහිතකාමී, සමාජයට ප්‍රතිලාභ ලැබිය හැකි නම් ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් ගන්නවා.


ජනතා තීරණයකින් සම්මත කරගන්න පුළුවන්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්. ජනරංජන

විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපි පිළිගන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි කියලා. මේක තමයි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හොඳම විදිහ. ඒක රටේ ජනතාවට ඉදිරිපත් කරලා සම්මත කළ යුතුයි. ජනමත විචාරණයේදී බය වෙන්න සැක කරන්න ඕනේ නැහැ. මොකද ඒක ජනතාවගේ තීරණය. ඒ වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් තියලයි මේක ජනතාවට ඉදිරිපත් කරන්න ඕනේ. මහජන ඡන්දයෙන් බලන්න පුළුවන් ඔවුන් මොකද කියන්නේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව රටේ ජනතාව තීරණයක් දුන්නොත් 20 වෙනි සංශෝධනය සම්මත කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.


ජනමත විචාරණයකට යන එක හොඳයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

විසි වෙනි සංශෝධනයට එරෙහිව දාපු නඩුව වගේම පෙත්සම් කීපයක් තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ වගන්ති කිහිපයකට ජනමත විචාරණය ගන්න කියලා. අනිත් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වෙනවා කිව්වා. සමහර වගන්තිවලට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ඇති. සමහර වගන්තිවලට ජනමත විචාරණයක් අවශ්‍යයි. දැන් මේක පාර්ලිමේන්තුවේ සම්මත කරන්න අපට සහයෝගය දෙන්න. ජනමත විචාරණයට ඉඩ දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ජනමත විචාරණයකට යන එක හොඳයි. මොකද ජනතාවගේ ඡන්දෙන්ම මේක අනුමත වෙනවා. ඊට පස්සේ ඒක කාටවත් වෙනස් කරන්නත් බැහැ. මොකද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් වෙනස් කළාම ඊළඟ පාර්ලිමේන්තුවෙන් මේක නැවතත් වෙනස් කරන්න පුළුවන්. ජනමත විචාරණයකින් සම්මත වුණොත් මේක අයින් කරන්නත් ජනමත විචාරණයකට යා යුතුයි. ඒ නිසා ජනමත විචාරණයකට යන එක වඩා හොඳයි. ජනමත විචාරණයකට යන්න බයයි නම් තමයි පාර්ලිමේන්තුවෙන් එය වළක්වන්නේ.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා