ලෝකයට ඇහෙන්න එදා ජනපති කීවේ මොනවාද?

 ඡායාරූපය:

ලෝකයට ඇහෙන්න එදා ජනපති කීවේ මොනවාද?

2018 ඔක්තෝබර් 2 වෙනිදා 'රැස' පුවත්පතේ පළ වූ, චින්තක බණ්ඩාර කරල්ලියැද්ද විසින් ලියන ලද 'මෛත්‍රී මෙතැනින් කොතැනටද?' යන හිසින් යුතු ලිපියට පිළිතුරු ලිපියක් එස්.බී. කුරුඅඹේගෙදර අප වෙත එවා ඇත. චින්තක බණ්ඩාර කරල්ලියැද්ද 'රැස' කර්තෘ මණ්ඩලයේ සාමාජිකයකු නොවන බවත් ඔහුගේ මතය කර්තෘ මණ්ඩලයේ මතය නියෝජනය නොකරන බවත් සටහන් කරනු කැමැත්තෙමු.

එක්සත් ජාතීන්ගේ මහා සමුළුව පොළොන්නරුවේ පවත්වන දේශපාලන රැලියක් වශයෙන් සිතා ජනාධිපතිතුමා කතා කළ බව රැස පුවත්පත පසුගිය 2 වැනිදා වාර්තා කර තිබිණි. ‘මෛත්‍රී මෙතැනින් කොතැනටද?’ යන ශීර්ෂය යටතේ චින්තක බණ්ඩාර කරල්ලියද්ද නම් ලේඛකයා සිය ලිපියෙන් වැඩිදුරටත් මෙසේ විමසයි. “අපේ තිබෙන්නා වූ ප්‍රශ්න අපට විසඳගන්න ඉඩදෙන්න කියා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා යැයි ලෝක නායකයින් හමුවේ අවධාරණය කිරීමට තරම් ශක්තිමත් හා අවංක තැනක ජනාධිපතිවරයා සිටිනවා” ද?

ලේඛකයා මෙසේ 'ශක්තිමත් හා අවංක තැනක ජනාධිපතිවරයා සිටිනවාද?' යන්නෙන් ප්‍රශ්න කරන්නේ ජනාධිපතිතුමාගේ ශාරීරික යෝග්‍යතාව නොවන බව මම විශ්වාස කරමි. එසේනම් ඔහු ප්‍රශ්න කරනුයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන ශක්තිය හා අවංකකමයි.

ජනාධිපතිවරයාගේ දේශපාලන ශක්තිය හා අවංකකම පිළිබඳ චින්තක බණ්ඩාරගේ චින්තනය පුළුල් කරනු පිණිස ‘රැස’ පුවත්පතේ පළ වූ ලිපියකින්ම උදාහරණයක් ලබාදීමට හැකිය. මෙය අර්බුද සහ අභියෝග හමුවේ මිනිසුන්ගේ ශක්තිය හා අවංකකම වැඩ කරන හැටි පෙන්වන විස්මිත උදාහරණයක් බව මම විශ්වාස කරමි.

මෙන්න ඒ උදාහරණය. ජනිත් දිමන්ත අද අපේ කාලයේ වීරයෙකි. අපට පමණක් නොව ලෝකයටද ඔහු වීරයෙකි. ජනිත් වීරයෙක් ලෙස ඉපදුණේ නැත. වීරයෙක් ලෙස හැදී වැඩුණේද නැත. ගාල්ල, මාපලගම ඉපැදුණු මේ විසිතුන් හැවිරිදි තරුණයා වීරයෙක් ලෙස පිදුම් ලබන්නේ කෙසේද? ජනිත් දිමන්තගේ වීරත්වය ගැන නොව ජනිත් ගැන රැස වාර්තා කර තිබුණේ පසුගිය 2 වැනිදාය.

සැප්තැම්බර් 19 වැනිදා යාපනය, කොළඹ කෝච්චිය කාර්මික දෝෂයක් හේතුවෙන් මහ වනයක් මැද හදිසියේ නතර වන විට ගොම්මන් අඳුරද වැටෙමින් තිබුණි. පළපුරුදු කාර්මික ශිල්පීන් දෝෂය නිවැරදි කිරීමට විනාඩි හතළිස් පහකටත් වැඩි කාලයක් තිස්සේ ඔට්ටු වූද ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වී තිබිණි. තිරිංග තද වී තිබීම හේතුවෙන් දුම්රිය ඇදගෙන යෑමටද නොහැකිය. දෙස් විදෙස් දුම්රිය මගීන් තුන්දහසකට වැඩි පිරිසක් කිසිදු පිළිසරණක් නැති තත්ත්වයට තල්ලු වෙමින් තිබුණේය. ඒ වනවිටත් දැඩි වෙමින් තිබුණු අඳුර විසින් බියකරු වටපිටාවක්ද නිර්මාණය කළේය.

හදිසියේම දුම්රිය මගීන් පීරාගෙන ඉදිරියට ඇදුණු සිහින් උස තරුණයෙක් කාර්මික ශිල්පීන්ගෙන් අවසරය ගෙන දුම්රිය එන්ජිමේ යටට රිංගා සුළු වේලාවකදී දෝෂය නිවැරදි කළේය. දහස් ගණනකගේ බලාපොරොත්තු ක්ෂණයෙන් දල්වාලූ ඒ තරුණයා ජනිත් දිමන්ත බව දැන් අපි කවුරුත් දනී. හතර පස් වාරයකට වඩා දුම්රියේ ගමන් ගොස් නැති දුම්රිය එන්ජිමක් ජීවිතේට දැක නැති මේ තරුණයාට “මට මේ වැඩේ කරන්න පුළුවන්” කියන ශක්තිය ආවේ කොතැනින්ද? චින්තක බණ්ඩාරට ඊට නිසි පිළිතුරක් දිය හැකිද?

තනා නිම කළ මිනිසුන් ලෝකයේ කොහේවත් නැත. සාමාන්‍ය මිනිසෙක් වීරයෙක් බවට පත් වන්නේත්, අද වීරයෙක්ව සිටින මිනිසෙක් ශත පහකට වැඩක් නැති පුද්ගලයෙක් බවට පත් වන්නේත් ඔහු වෙත එන අභියෝගවලට මුහුණදීමේ විලාසයෙනි.

මේ සමාජ න්‍යාය තේරුම් ගැනීමට අතීතය බලෙන් අමතක කර ඇති ඇත්තන්ට මතක් කර දෙමි. 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූයෙත් ජනිත් මෙන් ක්ෂණයෙනි. ඔහුගේ ඉදිරිපත් වීමම මිනිසුන් තුළ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළේය. රට තුළ ඒ වන විටත් නිර්මාණය වී තිබුණු බියකරු දේශපාලන වටපිටාව තුළ ඔහුට ඒ ශක්තිය කොතැනින් ලැබුණේද?

එපමණක්ද? 2015 ජනවාරි 8 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණේ ලොව අංක එකේ විධායක බලතලය. එතරම් අසීමිත බලයක් වගේ වගක් නැතිව අත්හැර දැමීම තේරුම් ගැනීම අසීරුය. මහමඟ ගමන් කරන විටදී අපට හමුවන හුරුබුහුටි ගල් කැටයටත් අපේ බැඳීම ඇති වන්නට ගත වන්නේ තත්පර ගණනකි. ඒ බැඳීම කොතරම්ද යත් ගල් කැටය විසිකර දැමීමට බැරි ලෝභකමින් අප එය නිවසටද ගෙන එන්නේය. ගෙදර එකතු වන කුණු වීසි කරන්නටත් අපට ලෝභය. බඩු භාණ්ඩ කෙරෙහි මිනිස් සන්තානයේ ඇති බැඳීම එතරම්ම බලවත්ය. මෙවැනි මිනිස් සත්ත්වයන් මැද තමන්ට ලැබුණු අසීමිත බලය අත් හැරීමට හැකි මනසක තිබෙන අවංකත්වය තේරුම් ගැනීම අසීරුය.

මෙරට විශාලම වාරිකර්මාන්තය වන මොරගහකන්ද ජලාශය පිළිබඳව අටුවා ටීකා ටිප්පනි තවදුරටත් අවශ්‍ය නැති බව පාඨකයන් පිළිගන්නවා ඇති. ලංකා සමාජ, සංස්කෘතික සහ ආර්ථික දේහයම වෙනසකට ලක් කරන එම ජලාශයට අප තවමත් මොරගහකන්ද ජලාශය යැයි කීවද එය තවදුරටත් ඒ නමින් හැඳින්වීම සුදුසු නොවේ. එය ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ ජලාශයයි. ඉතිහාසකරුවාත්, ජනවහරත් පසු කාලීනව එයට කුලසිංහ ජලාශය යැයි කියනු ඇත. කවුද ඒ නම තැබුවේ? මා ඒ පැනය විමසන්නේ ජනාධිපතිතුමාගේ අවංකත්වය ප්‍රශ්න කරන්නන්ගෙන්ය. ඒ නම තැබුවේ සමස්ත මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන්ම දේශපාලන දිවියම කැප කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. තමන්ගේ නම මේ යෝධ ජලාශයට තැබීමට ඕනෑ තරම් සුදුසුකම් තිබියදීත්, එසේ නම් තැබුවේ නම් සිය නාමය යුග යුග ගණන් පැතිරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටියේද? මුළු මහවැලි ව්‍යාපෘතිය තුළම ‘මෛත්‍රීපාල සිරිසේන’ නමින් නම් කළ පුවරුවක් පිළිබඳව මා හට අදහසක් නොමැතිය. එනමුත් ඒ නාමයට මහවැලි සංවර්ධන ව්‍යාපෘතියම ලියැවෙනු ඇති බව නම් දනිමි.

මේ අතීත මෛත්‍රීගේ දේශපාලන ශක්තිය සහ අවංකත්වය පෙන්වන නිදසුන් කීපයකි.

ජනාධිපතිතුමාගේ හැත්තෑ තුන්වන එක්සත් ජාතීන්ගේ කතාව ‘සිංහල බෞද්ධ ජාතිවාදීන් ආමන්ත්‍රණය’ කළ කතාවක් බව ලේඛකයා කියයි. ජනාධිපතිතුමා සිය දේශනය කළේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවට පසුවය. ලෝකය තම අණසකට යටත් විය යුතු බවත්, එසේ නොවන්නන්ට දරුණු ප්‍රතිඵලවලට මුහුණ පෑමට සිදුවන බවත් ඔහු සුපුරුදු පරිදි වාග් විමයෙන්ද, ඉඟියෙන්ද දන්වා සිටියේය.

ට්‍රම්ප්ට පසුව නැඟී සිටි ජනාධිපතිතුමා ඇමෙරිකානු බලවතා ඉදිරියේ තබාගෙන තම රට නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන බවත් පලස්තීන සහයෝගීතාව තුළ තවදුරටත් කටයුතු කරන බවත් කීවේය.

මෙය ඓතිහාසික සිදුවීමකි. මීට පෙර රට නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සමුළුවලට සම්බන්ධ වූවන් ලංකාව නොබැඳි ප්‍රතිපත්තියෙනුත් පලස්තීන සහයෝගීතාවයෙනුත් ඉවත් වෙන බව ප්‍රකාශ කර තිබිණි. පලස්තීනයට සහයෝගය පළ කරමින් ඊශ්‍රායලයේ යුධමය පහරදීම් හෙළා දකින යෝජනාව සමුළුවට ඉදිරිපත් වෙද්දී ලංකාවේ නියෝජිතයා ඡන්දය නොදී සමුළුවෙන් ඉවත්ව ගියේය. පසුව ලංකාවට පැමිණ ‘ශ්‍රී ලංකා, ඇමෙරිකානු ජාත්‍යන්තර ඊශ්‍රායල සංගමය’ පිහිටුවා ගත්තේය. මේ දේශපාලන තීන්දු සහ ක්‍රියාමාර්ග විසින් ලංකාවේ ප්‍රතිරූපයට සිදු වූ හානිය ගණන් බැලිය නොහැකිය.

විනාශ කර තිබූ රටේ අභිමානය සහ විදේශ ප්‍රතිපත්තිය යළි නිවැරදි මාවතට ජනාධිපතිතුමා ගත්තේය. ඔහු මේවා කළේ ‘සිංහල බෞද්ධයන් වෙනුවෙන්වත් පොළොන්නරුවේ බයියන්’ ඉදිරියේවත් නොවේ.

මේ වර්තමාන මෛත්‍රීගේ දේශපාලන ශක්තිය සහ අවංකත්වයයි.

බොහෝ ජනයා වර්තමානයේ තමන්ට තේරුම් ගැනීමට බැරි දේ ගැන සැක උපදවයි. එසේත් නැතහොත් එම වැඩ දෙවියන්ගේ නාමයට බැර කරයි. ඔවුහු දේවල් තේරුම් ගැනීමේ සමාජ විද්‍යාව ප්‍රගුණ කිරීමට මැලි වෙති. මහා දාර්ශනිකයන් මෙන් ලියන මේ ඇත්තෝ සිය චින්තනයේ දුගී බව ලොවට හෙළිකරන බව නොදනිති.

ජනාධිපතිතුමාගේ දේශපාලන ශක්තිය හා අවංකත්වය ප්‍රශ්න කරන්නට අවලාද වචන දාහක් ලියා ඇති චින්තකද පෙන්වන්නේ චින්තනයේ දුගී බව හැර අන් යමක් නොවේ.

[එස්.බී. කුරුඅඹේගෙදර]

මාතෘකා