භීතියෙන් පිරී තිබූ රටක් වෙනස් කරන්න අභීතව පෙරට ආ මෛත්‍රී ශ්‍රේෂ්ඨ නායකයෙක් : නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස

 ඡායාරූපය:

භීතියෙන් පිරී තිබූ රටක් වෙනස් කරන්න අභීතව පෙරට ආ මෛත්‍රී ශ්‍රේෂ්ඨ නායකයෙක් : නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ඒකාධිපති කුරිරු පවුල් පාලනය අවසන් කිරීම සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත 2015 ජනාධිපතිවරණයේදී ලබාදුන් ජනවරම පරාජිතයන්ගේ තුට්ටුදෙකේ භාරකාර ආණ්ඩුවට කිසි දිනක නොදෙන බවට තමාට විශ්වාස යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08) අනුරාධපුර ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් පැවසීය.

“වසර 30 ක් පුරා පැවති කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජය කර සාධාරණත්වය ජයගත් රට අපේ රටයි. ඒ වගේම ඒකාධිපතිත්වය, ආඥාදායකත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ රාජ්‍ය භීෂණය ජනමතයෙන් පරාජය කළ රටත් අපේ රටයි. අප එතැනට ගියේ කොහොමද? වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයේ සිට සිතුවේ පක්ෂයට වඩා රට ගැනයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැඩි ලෙස ආදරය කළා. නමුත් ඊට වඩා ඔහු රටට ආදරය කළා. එදා රට තුළ සිදු වූ විනාශකාරී වැඩපිළිවෙළ, හිංසනය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ රාජ්‍ය භීෂණය එතුමන් දුටුවා. මේ සියල්ල අවබෝධ කරගෙන රටට ඇති කැක්කුම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයා ලෙස භයංකාර අභියෝගයක් භාර ගත්තා. එම අභියෝගය භාර ගත්තේ රට බේරාගත් සරත් ෆෝන්සේකා මැතිතුමන්ට සිදු වූ ඉරණම දැක දැකයි. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට සිදු වූ විපත්තිය දැක දැකයි. තමන් පසුබෑමකට ලක් වුවහොත් අනිවාර්යයෙන්ම අඩි හයක් පොළොව යටට යන බව දැන දැනයි.

“අතිගරු ජනාධිපතිතුමන් රට දැය දේශය වෙනුවෙන් කිසිවෙකුත් ඉදිරිපත් නොවන අවස්ථාවක මෙම අභියෝගය භාරගෙන සාධාරණත්වය ජය ගත්තා. එතුමාගේ ජයග්‍රහණය තුළ ජාති, ආගම් භේදය විනාශ වුණා. ප්‍රජාතන්ත්‍රවාදය රජ වුණා. සාධාරණ සමාජයක් උදෙසා එතුමන් නායකත්වය ලබාදුන්නා. බොහෝ දේවල් අමතක වන අප මාතෘ භූමියේ මේ දේවල් අප නැවත නැවත මතක් කරගත යුතුයි. කළගුණ සැලකිය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එදා කළ කැප කිරීම සදා අමරණීයයි. ප්‍රශංසනීයයි. එම නිසා එක්සත් ජාතික පාක්ෂිකයින් මෙන්ම මෙරට සියලු ජනතාවත් එතුමාට සදා ණයගැති බව මා ප්‍රකාශ කළ යුතුයි.

“දැන් විවිධ ස්ථානවල විවිධ කතා අසන්නට ලැබෙනවා. සාධාරණත්වය දිනවන්නට ලබාදුන් ජනවරම පරාජය කර හොර පාරෙන් ගිහින් භාරකාර ආණ්ඩුවක් හදන්නට පරාජිත පිරිසට දොළදුකක් හැදිලා. එයට හේතුව කුමක්ද? අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති මන්දිරයේ ගත කළ සුරසැප ජීවිතය මේ පිරිසට අමතක කරන්න බැහැ. ඔවුන්ට රාත්‍රියේදීත් හීනෙන් පෙනෙන්නේ එම ජීවිතයයි. ඔවුන් දවල් හීන දකිනවා. පරාජිත කණ්ඩායම භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කරන්නට සුදානම් වන්නේ තමන්ගේ කෑදර ආශාවන්, කෑදර සිතුවිලි මුදුන්පත් කර ගන්නට, මුදල්වලට හා සම්පත්වලට ඇති ගිජුකමට සහ නැවත වරක් අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට සහ වර්ජනවලදී එදා රතුපස්වල මෙන් ජනතාවට වෙඩි උණ්ඩයෙන් සලකන යුගයක් ඇති කර ගන්නයි.

“මොවුන් අද හැමතැනම සාකච්ඡා පවත්වනවාලු. නමුත් මට එක දෙයක් පැහැදිලිවම කිව හැකියි. අපේ ජනාධිපතිතුමන් තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට කිසි විට සිල්ලරට අලෙවි කරන්නේ නැහැ. එතුමා කවදාවත්ම එවැනි දෙයක් කරන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයෙන් බැරිවෙලාවත් එතුමා පැරදුණා නම් එතුමාව පොළොවෙන් අඩි හයක් වළලන්නට සැලසුම් සැකසූ පිරිසටත් අද එතුමාව හමු වන්නට නිදහස තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. යහපාලනය තුළ අද එතුමාව ඕනෑම පුද්ගලයෙකුට මුණගැසෙන්න පුළුවන්. මේ පිරිස සුදානම් වන්නේ කුමකටද කියා අපේ ජනාධිපතිතුමන්ට හොඳට වැටහෙනවා. ඔවුන් මේ එන්නේ නැවත හිට්ලර් යුගයකටයි. මුසෝලිනී යුගයකටයි. ආඥාදායකත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය රජ කරවන යුගයකටයි. එදා තමන් සහ තම පවුලේ ජීවිත පරදුවට තබා රට වෙනුවෙන් පෙරට ආ එතුමා තමන්ට ලැබුණු ජනවරම තුට්ටු දෙකට කිසිම කෙනෙකුට විකුණන්නේ නැහැ. එය ස්ථිරයි.

“මෛත්‍රිපාල ජනාධිපතිතුමාට කතා කරන්න අවශ්‍යයි කිව්වාම ඕන කෙනෙකුට පුළුවන් එතුමාව මුණගැහිල කතාකරන්න. එදා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයෙන් පැරදුණා නම් අඩි හයක් පොළොව යට වළලන්න සැලසුම් හදපු අය තමයි මේ හම්බවෙන්න එන්නේ. ඒක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නේ. පාරාජිත කණ්ඩායමේ සාකච්ඡාවේදී ඔවුන්ගේ විසිතුරු සිහින මාලිගා ගැන අපේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා අහගෙන ඉඳියි. එතුමාට එතනදි තේරෙයි පැරදුණ කණ්ඩායම නැවත එන්න හදන්නේ මොකාටද කියලා. මේ එන්නේ කෝවිල් පද්ධතිය, බෞද්ධ සම්පත් විනාශ කරන හිට්ලර් යුගයක් නිර්මාණය කරන්න.

“ජනතාව දේශපාලනඥයන් දෙස අවබෝධයෙන් බැලිය යුතුයි. ජන්දයෙන් පැරදුණු හිටපු මැති ඇමතිවරු අපේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ළඟ දනින් වැටී මහින්ද රාජපක්ෂ මහතාට පරුෂ වචනෙන් බැණ බැණ ජාතික ලැයිස්තුවෙන් ඇමතිකම් ගත්ත අය දැන් ආපහු ඒකාබද්දෙට පැනලා. මොහොතකට සිතන්න, මේ අය එහාට මෙහාට පනින්නේ ජනතාවගේ යහපතට නෙවෙයි. ගොවිය, ධීවරයා, මධ්‍යම පාන්තිකයාගේ යහපතට නෙවෙයි. ඒ, දේශපාලන ආසාවටයි.”

මාතෘකා