සමහරු ශිෂ්‍යත්වය දරුවාගේ ජීවිතයම කියා හිතනවා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

සමහරු ශිෂ්‍යත්වය දරුවාගේ ජීවිතයම කියා හිතනවා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පහේ ශිෂ්‍යත්වය පාස් වන දරුවන්ගෙන් සියයට 15‍ක්වත් විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ. පසුගිය අවුරුදු ගණනක වාර්තා අරගෙන බලපුවාම පහේ ශිෂ්‍යත්වය පාස් වුණු ළමයින්ගෙන් සියයට 12‍ක් 13‍ක් තමයි විශ්වවිද්‍යාලයට ගිහින් තිබෙන්නේ. අනික් සියයට 85‍ක් පමණ විශ්වවිද්‍යාලවලට ගිහින් නැහැ. නමුත් අනවබෝධය, නොදැනුවත්කම නිසා බොහෝ මවුපියන් පහේ ශිෂ්‍යත්වය කියන්නේ දරුවාගේ මුළු ජීවිතයම කියලා හිතනවා. දරුවා ගොඩගන්න තියෙන්නේ එතනින් තමයි කියලා හිතනවා” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (06) මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් පැවැසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අපේ රටේ පාසල්වල අධ්‍යාපනය ඉතාමත් හොඳයි. ඒ නිසා ඉතාමත්ම හොඳ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වනවා. ජනාධිපතිවරයා විදියට ලෝක ගුරු දිනයේ දී ලෝකයේම ගුරු භවතුන්ට ඔවුන් කරන්නා වූ විශිෂ්ට සේවාව අගයමින් ගෞරවය සහ ප්‍රණාමය පුද කරනවා. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ඇති කරලා දැනට වසර හැත්තෑවකට වැඩියි. එම ප්‍රතිපත්තිය නිසා මොන තරම් උගතුන්, විද්වතුන් බිහි වෙලා තිබෙනවාද? එහි ගෞරවය හිමි විය යුත්තේ ගුරුවරුන්ටයි. බොහෝ දුෂ්කරතාවන් මැද මූලික සම්පත් පවා නොමැතිව අපේ ගුරුවරු කරන්නේ ඉතාමත් විශිෂ්ට සේවාවක්. ලෝකයේ ඕනෑම රටක රාජ්‍ය නායකයකු සමඟ කතා කළොත් අපේ රටේ අධ්‍යාපනය ගැන කතා කරනවා. අපේ රටේ ඉතාමත් හොඳ, ගුණාත්මක, උසස් ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනයක් තිබෙන බව ඔවුන් පවසනවා. ඒවගේම අපේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන ඔවුන් කතා කරනවා. අපට තිබෙන්නේ ලෝකයම පිළිගත් සෞඛ්‍ය සේවයක්.

“මේ රටේ අම්මලාට හුඟක් තරහා යන දවසක් තමයි පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණු දවස. විභාග සමත් වුණු දරුවන්ගේ අම්මලා බොහෝ සතුටු වෙනවා ඇති. මොකද දරුවා අරගෙන දුවන්නේ අම්මලානේ. ඇතැම් විට ඔබට මතක ඇති 2016 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵළ නිකුත් වුණු අවස්ථාවේ එක් ගැහැනු දරුවෙක් විභාගය අසමත් වෙලා නිවසට ගිය විට ඒ දරුවාගේ තාත්තා පයින් ගහලා තිබුණා එළියට විසිවෙන්න. 2015 අවුරුද්දේදිත් එක් දරුවෙක් විභාගය අසමත් වුණා කියලා එළිවෙනකන් දොර වහලා ළමයාව එළියේ තියලා තිබුණා. ඇතැම් මවුපියන් තම දරුවා ශිෂ්‍යත්වය අසමත් වුණා කියලා අසභ්‍ය වචනවලින් බැණ වදිනවා. අතින් පයින් ගහනවා. ශිෂ්‍යත්වය පාස් වෙලා දවස් කීපයක් යනකන් මෙවැනි විවිධ හිරිහැර කරනවා. මේ සිදුවීම් නිසා මේ දරුවන්ගේ පුංචි මනස මොන තරම් පීඩාවට පත්වෙනවාද?

“පහේ ශිෂ්‍යත්වය පාස් වන දරුවන්ගෙන් සියයට 15‍ක්වත් විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ. පසුගිය අවුරුදු ගණනක වාර්තා අරගෙන බලපුවාම පහේ ශිෂ්‍යත්වය පාස් වුණු ළමයින්ගෙන් සියයට 12‍ක් 13‍ක් තමයි විශ්වවිද්‍යාලයට ගිහින් තිබෙන්නේ. අනික් සියයට 85‍ක් පමණ විශ්වවිද්‍යාලවලට ගිහින් නැහැ. නමුත් අනවබෝධය, නොදැනුවත්කම නිසා බොහෝ මවුපියන් පහේ ශිෂ්‍යත්වය කියන්නේ දරුවාගේ මුළු ජීවිතයම කියලා හිතනවා. දරුවා ගොඩගන්න තියෙන්නේ එතනින් තමයි කියලා හිතනවා. මම ඊයෙත්, ගිය අවුරුද්දෙත් අධ්‍යාපන ඇමතිතුමාට කිව්වා පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල එන්න සතියකට කලින් දරුවන්ගේ අම්මලයි, තාත්තලයි ගෙනැල්ලා හොඳ දේශනයක් දෙකක් තියන්න කියලා. විභාගය සමත් වීම සහ අසමත් වීම තුළ දරුවා පිළිගන්නේ කෙසේද කියන එක මවුපියන්ට කියලා දෙන්න. දරුවන්ට වෛර කරන්නේ නැතිව, හිරිහැර කරන්නේ නැතිව, ප්‍රචණ්ඩත්වයෙන්, හිංසනයෙන් තොරව සමත් වුණා හෝ අසමත් වුණා හෝ දරුවාව ආදරයෙන් තුරුලු කරගෙන “දුවේ, පුතේ, ඔයාගේ හෙට දවස මේ විභාගයෙන් තීන්දු වෙන්නේ නැහැ. ඔයාට හොඳ අනාගතයක් තිබෙනවා. අපි මහන්සි වෙලා ඉගෙන ගමු. අපි තවත් මහන්සි වෙලා ඕ ලෙවල් හොඳට ලියමු. ඊට පස්සේ ඒ ලෙවෙල් කරමු. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යමු.” ඒ බලාපොරොත්තු ඇතිව ඒ දරුවාගේ හිත හදන එක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.

“ගිය අවුරුද්දේ පහේ ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල බලලා ගෙදර ගියාට පස්සේ දරුවෙක් සිය දිවි නසාගෙන තිබුණා. ඒ, දරුවාට කරපු හිංසාව විඳින්න බැරිව. ඔහු පිරිමි දරුවෙක්. එදා ඒ ආරංචිය එනකොට මට මතක විදියට මම හිටියේ ගම්පහ නිට්ටඹුවේ සංඝබෝධියේ උත්සවයකට ගිහින්. එහේ දරුවෝ තුන්දහසකට වැඩිය ඉන්නවා. ඒ උත්සවයේ කතා කරනකොටත් මම ඒ ගැන කිව්වා. ඒ නිසා මවුපියන් විභාග සමත් වෙන්න වගේම ජීවිතය සමත් වෙන්න තම දරුවන්ට මඟ පෙන්වන්න ඕනෑ. උනන්දු වෙන්න ඕනෑ. වාර්තාවලට අනුව පාසල දරුවන්ට ආරක්ෂිත ස්ථානයක්. පාසල්වල අනාරක්ෂිත සිදුවීම් වාර්තා වෙන්නේ කලාතුරකින්. නමුත් දරුවාගේ ආරක්ෂිතභාවය, සුරක්ෂිතභාවය, පෝෂණය පිළිබඳ ප්‍රධාන වගකීම තිබෙන්නේ මවුපියන්ට. අද පවතින තරඟකාරී වාණිජ සමාජයේ අවිනීත, අශීලාචාර, අශිෂ්ට දේවල් වේගයෙන් ගලා යන බව ඔබ දන්නවා.

“නවීන තාක්ෂණයත් සමඟ අද තිබුණු අභියෝග එදා අපට තිබුණේ නැහැ. අපට එදා තිබුණු අභියෝගය පාසල් යන්න බස් රථයක් නැති එක. අපි පාසලට කොච්චර පයින් ගිහින් තිබෙනවාද? මම ලක්ෂ උයන ගමේ පාසලට යන කාලේ කකුලට සෙරෙප්පු දෙකක් දැම්මේ නැහැ. පොළොන්නරුව රාජකීය විද්‍යාලයට ගියාම තමයි සපත්තු දාන්න පටන්ගත්තේ. එදා ඒ සමාජය භෞතික වශයෙන් මොන තරම් දුෂ්කරද? ඔය දරුවෝ කොයිතරම් වාසනාවන්තද? ගැහැනු දරුවෝ සුදු ගවුමක් ඇඳලා පිරිමි දරුවෝ සුදු කලිසමක් අත්කොට කමිසයක් ඇඳලා මේස් සපත්තු දාලා ලස්සනට ඉන්නවා. අඩුපාඩු තිබෙන්න පුළුවන් දරුවනේ. පවුලේ ආර්ථිකය, සමාජමය ප්‍රශ්නත් එක්ක නොයෙක් දේවල්වලට හිත යනවා වෙන්න පුළුවන්. ඔයාලට හිතෙනවා ඇති අපිට කොච්චර ප්‍රශ්න තියෙනවාද කියලා. ඇතැම් පවුල්වල තාත්තලා බීමත්ව ඇවිත් අඬදබර කරනවා. සමහර ගෙවල්වල ඉතාමත් බරපතළ විදියට ආර්ථික ප්‍රශ්න. මවුපියෝ ණය වෙලා. ජීවත් වීමේ අමාරුකම්. මේ වගේ නොයෙකුත් ආර්ථික, සමාජ ප්‍රශ්න පවුල් සංස්ථාවල තිබෙනවා. බාහිරින් පැමිණෙන මේ සෑම අභියෝගයක්ම ජය අරගෙන ඔබ හොඳින් අධ්‍යාපනය ලබන්න ඕනෑ. විභාග පාස් වෙනවා වගේම ජීවිතය පාස් වෙන්න ඕනෑ. එයට ඔබේ ගුරු මෑණිවරුන් පියවරුන් මග පෙන්නාවි. ඔබේ ආදරණීය මවුපියන් අපේක්ෂා සහගතව ඔබට උදවු කරාවි. රැක බලා ගනීවි.

“අද ලෝක ගුරු දිනයේදි මහනුවර ආදර්ශ පාසලට පැමිණිලා මේ පින්වන්ත දරුවන් වගේම විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මවුපියන් අනිකුත් ආරාධිත අමුත්තන් ඔබ සියලු දෙනාම හමුවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. මේ පාසලේ ජාතික වගේම ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ අත්කරගත් දරුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ ජයග්‍රහණ අනාගතයේදි ඔබට ප්‍රයෝජනවත් වේවි. ඉන් එක් දරුවෙක් මහවැලියෙන් මම දුන්නු ඉඩමේ ක්‍රීඩා පිට්ටනිය හදලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ සඳහා ඇස්තමේන්තු සකස් කර ගන්න. මම උවමනා මුදල් දෙන්නම්. ඒක ප්‍රශ්නයක් නැහැ. පාසලේ තිබෙන ගොඩනැඟිලි මදි කියලත් දැනගන්න ලැබුණා. ගොඩනැඟිල්ලක් ඉදි කරන්නත් මුදල් ලබාදෙන්න පුළුවන්. පළාත් සභාවෙන් ඇස්තමේන්තු කරලා මට කියන්න. ඒ දෙකටම මුදල් වෙන් කරන්නම්. ඒක ඉක්මන් කළොත් මට මේ අවුරුද්දෙම මුදල් දෙන්න පුළුවන්. මහ ඇමතිතුමාත් මෙතන ඉන්නවා. ඒ ගැන ඔබේ වගකීම ඉෂ්ට කරන්න.

“ජාත්‍යන්තර වශයෙන් සහ ජාතික වශයෙන් එක් එක් දවස් වෙන් කර තිබෙනවා. ඒ හැම දවසක්ම වෙන් කරන්නේ ඒ වෙන් කරන දවසට අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ සෑම කෙනෙකුගේම අවධානය යොමු වෙන්නයි. ගුරුවරයාගේ වරප්‍රසාද, අයිතිවාසිකම් පිළිගන්න, ඔවුනට ගෞරවය දක්වන්න, ප්‍රණාම පුද කරන්න සියලු දෙනාගේ අවධානය යොමු වෙන්නයි ලෝක ගුරු දිනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ.

“ඒ නිසා අපි රජය විදියට අපේ ගුරු සේවයටත් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අපට කළ හැකි උදවු උපකාර සියල්ල ඉටු කරදෙන බව ප්‍රකාශ කරනවා. අද ඔක්තෝබර් 06 වෙනිදා. තව දවස් දෙකකින් පළාත් සභාවේ නිල කාලය අවසන් වෙනවා. මහ ඇමතිතුමා කාලයක් විවේක ගන්නවා. මධ්‍යම පළාතේ මහ ඇමතිවරයා දීර්ඝ කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට වගේම අනිකුත් සේවාවන් සඳහා විශිෂ්ට සේවාවක් ඉටුකර තිබෙනවා. එතුමා පළාත් නවයේම සිටින මහ ඇමැතිවරුන් අතරේ ඉතාම ආදර්ශවත් හොඳ කෙනෙක්. එතුමාගේ විෂය ක්ෂේත්‍රයට අදාළව කරන කටයුතු සමාජමය කාර්යයන්, දේශපාලන කාර්යයන් ඒ සෑම දෙයක්ම ඉතාම හොඳ විනයක් ඇතිව මධ්‍යම පළාතට දී තිබෙන නායකත්වය මා ඉතාමත් අගය කරනවා. එතුමා ඇතුළු පළාත් සභාවේ ඇමති මණ්ඩලය, මන්ත්‍රී මණ්ඩලයට සුබ පතමින් ආශීර්වාද කරමින් ඉදිරි අනාගතය සඳහා නැවතත් සූදානම් වෙන්න කියන ඉල්ලීම කරනවා”

මාතෘකා