මහින්ද යුගයේ සමතලා කළ ශ්‍රීලංකන් එයාලයින් තටු සලන හැටි

 ඡායාරූපය:

මහින්ද යුගයේ සමතලා කළ ශ්‍රීලංකන් එයාලයින් තටු සලන හැටි

ජපානයට පරමාණු ගසා සුනුවිසුනු කළාට පසු වසර ගණනාවක් අප්‍රමාණ දුක් විඳ නූතන ජපානය ගොඩනැඟුවේ මනා කළමනාකාරීත්වය නිසාය. සමහරවිට කෙනෙක් නොසිතුවාට මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකාව වැටී සිටි ආර්ථික අගාධයද එදා පරමාණුවෙන් සුන් වූ ජපානය පත්ව සිටි තත්ත්වයටම සමානය.

නොහික්මුණු ආර්ථික සැලසුම්, අල්ලස, දූෂණය, සොරකම වැනි දේ තුළින් රටම පිරිහී තිබිණි.

මෙරට ආර්ථික මර්මස්ථාන සියල්ලෙහි බලාධිකාරිය රාජපක්ෂවරුන්ට හෝ නෑදෑ සනුහරේට වෙන් කොට තිබූ අතර, එහි ප්‍රතිඵලය වූයේ සියලු ආයතන 'බිංදුවට' වැටෙන එකය.

ශ්‍රීලංකන් එයාර්ලයින්වලට ඔවුන් සිදුකොට තිබුණේද එවන් ව්‍යසනයකි. දැන් එය සීරුවට නැඟී සිටීමෙහි රහස කුමක්ද? විධිමත් කළමනාකරණය නොවේද?

ඉතාම මෑතක ශ්‍රීලංකන් එයාර්ලයින් ජයග්‍රහණ කිහිපයක් හිමිකර ගත්හ. එහි ආසන්නම ජයග්‍රහණය පසුගියදා ලැබීය. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන

'ශ්‍රීලංකන් එයාර් ලයින්ස්' සමාගම නියමිත වේලාවට කටයුතු කරන ලොව අංක එකේ ගුවන් සමාගම වශයෙන් තේරී පත් වී තිබේ.

ලොව ප්‍රකට වෙබ් අඩවියක් වන 'ෆ්ලයිට් ස්ටේට්ස් ඩොට් කොම්' (flightstats.com) වෙබ් අඩවිය 2018 සැප්තැම්බර් මස ගුවන් ගමන් දත්ත මත පදනම්ව කළ විශ්ලේෂණයට අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ සියයට 91. 34ක් ගුවන් ගමන් නියමිත වේලාවටම ගුවන්ගතව තිබෙන බව හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක්හි (Phu Quoc) පැවති ලෝක සංචාරක සම්මාන (World Travel Awards) ජාත්‍යන්තර උළෙලේදී “ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවය” (World’s Leading Airline to the Indian Ocean) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි.

2017 වසරේ ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලෝක සංචාරක සම්මාන ආසියානු කලාපීය සම්මාන උලෙළේදී (WTA Asia Ceremony) ආසියාවේ ප්‍රමුඛතම සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගුවන් සේවය (Asia’s Leading Cultural Airline) ලෙස සහ එම උලෙළේදීම ඉන්දියානු සාගර කලාපයේ ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය (Asia’s Leading Airline to the Indian Ocean) ලෙසද පසුගියදා පැසසුම් ලැබීය. ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ලඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර සාමාජික ගුවන් සේවයකි.

ඈත අතීතයකට දිව යන මෙරට ගුවන් සේවා ඉතිහාසය වළ පල්ලට දැමීමේ 'ඉරණම් සහගත' අපරාධය සිදුවන්නේ රාජපක්ෂ සමයේදී බව 'අමුතු කතාවක්' නොවේ. පසුගිය රජය සමයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහයි. 2014 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබා තිබූ පාඩුව රුපියල් කෝටි 3240ක්ය. ශ්‍රීලංකන් ගුවන් සේවය මුළුමනින්ම සුදු අලියකු බවට පත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ අයථා මුදල් පරිපාලනයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය වයස අවුරුදු 70 ඉක්මවූ මහල්ලෙකුගේ මෙන් නොව කෙළිලොල් තරුණයකුට සමාන වූ බව සේවක පිරිස සඳහන් කරති. සිය කායික හා මානසික සුවය සඳහා ගුවන් සේවා මුදල් වියදම් කර ඇත්තේ කිසිදු ලෝභකමක් නොමැතිව බව සඳහන් වේ.

සම්පත් සහ මුදල් අවභාවිතය සම්බන්ධව කප් ගැසූ යුගය වන්නේ ඉකුත් රාජපක්ෂ සමයය.

ගුවන් සේවය සුනු විසුනු කිරීමේ සක්‍රිය ක්‍රියාවලිය සිදු වූයේ මහින්ද යුගයේදීය. 'අහස අපට' කියාගෙන කඩා පැන්න 'මිහින්ලංකා' ගහෙන් වැටුණු 'ශ්‍රීලංකන් ගුවන් සේවයට' ගොනා ඇනීම විය. දින සියයේ වැඩසටහන තුළ නිකුත් කරන ලද වැලිඅමුණ වාර්තාවට අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ව්‍යුහය තුළ පවතින ගැටලු කිහිපයක් පෙන්වා දී තිබිණි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ එම සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් අගමැතිවරයා වෙත භාර දෙනු ලැබීමෙන් පසු එම වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිකුත් කළේ මීට වසර දෙකකට පෙරය. අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිකුත් කර ඇති සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වන ආකාරයට සිදුකර ඇති දූෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර තිබිණි. සිදුකර ඇති දූෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව පවසයි. “ශ්‍රීලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ඒ තනතුර ලබාදී තිබූ බව වැලිඅමුණ වාර්තාවේ සඳහන්ය. ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේන නැමැත්තා අධ්‍යාපන සුදුසුකම් කිසිවක් සපුරා නැතත්, රුපියල් මිලියන එකහමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රීලංකන් සමාගමෙන් ලබාගෙන ඇති අතර මිහින් ලංකා සහ මොබිටෙල් ආයතනවලද ප්‍රධානියා ලෙස වැටුප් ලබා ඇත. හිටපු ප්‍රබලයකුගේ පුතෙකුගේ කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීම එවක ආන්දෝලනාත්මක පුවතක් විණි. ඈ වෙනුවෙන් නියමිත වැටුපට අමතරව රුපියල් මිලියන 4.2කට වැඩි මුදලක් ගෙවා තිබිණි.

නාඩගම් සහ මාෆියා

ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, නිලධාරීන්, දේශපාලනඥයන් හා විශේෂිත වූ සේවක, සේවිකාවන් නිතර විදේශ සංචාරවල යෙදී ඇත. වරක් දේශපාලනඥයෙක් ඇතුළු කීප දෙනෙක් එතෙර ගුවන් කරණම් සන්දර්ශනයක් නැරඹීමට යාම සඳහා ලක්ෂ 20කට අධික මුදලක් වැය කර තිබිණි. මේ විගඩම් සහ කොල්ලකාරී ක්‍රියාවලිය ආයතනය හාන්සි කිරීමට සමත් විය.

රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ පැවතියේ 'මාෆියාව'කි. ආණ්ඩුව වෙනස් වුවද මාෆියාවේ හොල්මන් තවමත් සහමුලින්ම, පහව ගොස් නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2009 /2010 වසර තුළ රැගෙන ගිය ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 206ක් වන අතර, 2008/2009 වර්ෂවල දළ අලාභය රුපියල් බිලියන 3.308කි. 2016 ජනවාරි මස 31 වනදා වන විට ශ්‍රීලංකන් සතු සම්පත් මුදල් හා බැංකු ගිණුම් ශේෂ වටිනාකම ඩොලර් මිලියන 368. 58ක් වූ අතර, ශ්‍රීලංකන් සිදු කළ යුතු මුළු ගෙවීම්වල වටිනාකම ඩොලර් මිලියන 937. 47ක්ය. තරු විසිවෙන ප්‍රතිඵලය වන්නේ, ශ්‍රීලංකන් සම්පත් මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබීමය. නටපු නාඩගමේ තරම ඒ තරම්ම බිහිසුණුය. 2008 වසරේ සිට ශ්‍රීලංකන් සමාගම දේශීය හා විදේශීය ණය ලබාගෙන තිබේ. ඒවා උහුලාගත නොහැකි තරම් වන ණයය.

මිහින් ලංකා කළ විනාශය

මිහින් ලංකා ආයතනය 2007 වසරේ ආරම්භ කරන ලද අතර, එය සහනදායී ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යනු ලැබීය. මෙම ආයතනය දිගින් දිගටම පාඩු ලබනුයේ මහා භාණ්ඩාගාරයෙන් වරින් වර දෙනු ලැබූ විවිධ සහන මධ්‍යයේ බවද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. මේ අතරම ආසියාවේ ආශ්චර්යයේ මහිමය කියාපාමින් බංග්ලාදේශයේ ප්‍රකාශයට පත්වන ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රකට ‘මොනිටර්’ සඟරාව හොඳම අඩු වැය ගුවන් සේවයට හිමි 2011 වසරේ සම්මානය ශ්‍රී ලංකාවේ මිහින් ලංකා ගුවන් සේවයට පිරිනමා ඇත. සඟරාව වසරක් පාසා ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් තෝරාගනු ලබයි. මෙම තරගයේදී සුප්‍රකට අඩු වැය ගුවන් සේවා වන ‘එයාර් ඇරබියා’, ‘ෆ්ලයි ඩුබායි’ යන ගුවන් සේවා අභිභවා ‘මිහින් ලංකා ගුවන් සේවය’ මෙම සම්මානය හිමිකරගෙන ඇත. ගුවන් මගීන්ට නොමිලයේ ආහාරපාන සපයන ලොව එකම බජට් ගුවන් සේවය වීමේ භාග්‍යයද ‘මිහින් ලංකා ගුවන් සේවය’ හිමිකරගත්තේය. නමුත් මහා භාණ්ඩාගාරය සෝදාපාළු කරන්නට මිහින් ලංකා සමත් විය.

කඩාගෙන වැටීම

ඇස් පනාපිට කඩා ගෙන වැටෙන බංකොලොත් ආයතනයෙන්ම, 2009 සිට 2014 දක්වා කාලයේ කාල්ටන් රග්බි තරගාවලියට අනුග්‍රාහකත්වය සඳහා රුපියල් මිලියන 74.1ක මුදලක් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ලබා ගෙන තිබේ. කන එක 'හූරාගෙනම කාලා' යනුවෙන් කියන්නේ මේකටය.

එවකට සිටි සභාපති නිශාන්ත වික්‍රමසිංහ සැලසුම් කළේ ඒ 350 ගුවන් යානා හතර මිලදී ගන්නටය. ඒවා මිලට ගත්තා නම් ශ්‍රීලංකන් ගුවන් සේවය කනත්තක් පමණක් වනවාට සැක නැත. එහෙත්, අදාළ ගිවිසුම නිසා ගුවන් යානා මිලදී නොගෙන නිකන් ඉන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉඩක් ලැබුණේ නැත. වන්දි වශයෙන් පමණක් රුපියල් කෝටි 2500ක මුදල් ගෙවීමට සිදුවිය. මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණා දැමීමට යන බවට සමහර පාර්ශ්ව චෝදනා කොට තිබිණි.

ලෝක සමාගම් අහක බැලූ හැටි

එහෙත්, මෙරට ජාතික ගුවන් සේවය ප්‍රතිව්‍යුහකරණය කරන්නට රජය තීරණය කළද, ලෝක ප්‍රකට සමාගම් කළේ මේ විනාශ වූ ගුවන් සේවය දෙස හැරීවත් නොබලන එකය. එමිරේට්ස් සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවය දස වසරකට මිලදී ගත්තේ 1998 වසරේදීය. ශ්‍රී ලංකන් සේවාව එමිරේට්ස් වෙතින් ආපසු ලබාගන්නා 2008 මූල්‍ය වර්ෂයේදී සමාගම රුපියල් බිලියන 4.9ක ලාභයක් පැවැතියේය. 2011 අවසන් වන විට රුපියල් මිලියන 202.3 ක පාඩුවකට ආයතනය දක්කාගෙන ගියේ නිශාන්ත වික්‍රමසිංහගේ මූලිකත්වයය. අවුරුද්දක් ඇතුළත එනම් 2012 දී රුපියල් බිලියන 17ක අලාභයක් කරා එය ගමන් කළේය.

මහින්ද - හිල් ගැටුම

වසර 2008 ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් සමාගමේ කළමනාකාරීත්වය යටතේ ක්‍රියා කළේය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදෙස් ගතව සිටියදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි පීටර් හිල් මහතා සමඟ ගැටුමක් ඇති කරගත්තේය. එහි ප්‍රතිඵලය වුණේ එමිරේට්ස් ගිවිසුම අවලංගු වීමය. නැවත ශ්‍රීලංකන් භාරයට කළමනාකරණය පත්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා තම මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ සමාගමේ සභාපති බවට පත් කළේය. ඉන් වසරකට පසු 2009 සමාගමේ පාඩුව රුපියල් කෝටි නවසිය තිහකි. වසර 2014 වන විටදී පාඩුව ඉහළ යාමත් රුපියල් කෝටි තුන්සිය විස්සක් පමණ වූ අතර ඉහළම ලාභ ලැබූ සමාගමට සිදුවුන ඉරණම එයය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වසර 2015 වසර 2016දී එම පාඩුව රුපියල් කෝටි එකසිය හැට දක්වා අඩු කරගැනීමට සමත් විය.

වසර 2008දී එමිරේට්ස් ආයතනයට කොටස් තිබියදී ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් කෝටි එක්දහස් පන්සීයකි. ඉන් පසු එමිරේට්ස්වලින් ඉවත්වීමෙන් පසුව වසර 2015 වන විට ශුද්ධ වත්කම ඍණ රුපියල් කෝටි හත්දහස් පන්සියයකි. වත්කමට වඩා බැරකම් ඉහළ මට්ටමක තිබිණි.

ශුද්ධ ණය දෙස බැලීමේදී එය ගත්තා නම් තවත් දකුණු අධිවේගී මාර්ග එකහමාරක් ඉදිකොට පාසල් එකසිය පනහක්, ඇඳවල් තුන්සීයක් සහිත රෝහල් හැත්තෑපහක් ඉදිකිරීමට හැකියාව තිබිණි.

බැඳුම්කර නිකුත් කිරීම්

මෙවන් ව්‍යසනයක් සිදුව 2009 සිට වාර්ෂිකව දරුණු මූල්‍ය අර්බුදයකට ගොදුරුව ප්‍රාග්ධනය පවා ක්ෂය වී යන තත්ත්වයකට පත්වුණු ශ්‍රීලංකන් ගුවන් සේවයට වසර තුනකට රුපියල් බිලියන හතළිස් හයයි දශම හතරක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කොට තිබිණි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා කේටරින්, මිහින් ලංකා ආයතනවල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුකුමාර් මහත්මිය මේ බව කීවාය. වසර 2011 රුපියල් බිලියන දහහතරයි දශම දෙකක, වසර 2012 රුපියල් බිලියන දොළහයි දශම හයක, වසර 2013 රුපියල් බිලියන දහනවයයි දශම පහක භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කර තිබේ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ආයතන දෙක වසර 2006 සිට වසර 2018 දක්වා වාර්ෂිකව රුපියල් බිලියන එකසිය හැටක පමණ පාඩුවක් ලබා තිබෙන අතර රුපියල් බිලියන එකසිය හැත්තෑ හතක පමණ විවිධ ණය වගකීම් තිබේ.

මියගිය මිනිසෙකුට පණ දීම කළ නොහැක්කකි. ශ්‍රී ලංකන් ගුවන් සේවයටද අත් වූයේ එවැනි ඉරණමකි. 'යහපාලන' ආණ්ඩුවට පැවරී තිබෙන්නේ මළ ගුවන් සේවයට පණ දීමය.

[පේෂල ගුණසිංහ]

මාතෘකා