අපි මාස තු‍නෙන් පැළ ලක්ෂ 50 ක් වවනවා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

අපි මාස තු‍නෙන් පැළ ලක්ෂ 50 ක් වවනවා : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යංශය තෝරා ගත්තේ මිනිසා ප්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (05) මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමින් පැවසීය.

“අද අපි සියලු දෙනා එක්වී සිටින්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන පරිසර සමුළුව සඳහායි. මෙම පරිසර සමුළුව සඳහා ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව 1600 ක් දෙනා සහභාගි වී සිටිනවා. ඒවගේම පාසල් ළමුන් 800 ක් සහභාගි වී සිටිනවා. දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 500 ක් සහභාගි වී සිටිනවා. අනෙකුත් ආරාධිතයන් ඇතුළු 3000 කට වැඩි පිරිසක් සහභාගි වී සිටිනවා.

අපි මේ විදියට පරිසර සමුළු රටේ සෑම දිස්ත්‍රික්කයකම පවත්වාගෙන යනවා. මෙය අපි ලංකාවේ පවත්වන පළමුවැනි පරිසර සමුළුව නොවෙයි. මෙවැනි සමුළු ගණනාවක් රට පුරා පවත්වා තිබෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මේ ආකාරයේම සමුළු ගණනාවක් විවිධ දිස්ත්‍රික්කවල පවත්වා තිබෙනවා. එමෙන්ම දරුවන් රැකීම සඳහා සමුළු ගණනාවක් විවිධ දිස්ත්‍රික්කවල පවත්වා තිබෙනවා. මේ සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ජනාධිපති කාර්යාලයෙන්.

“මීට පෙර කතා කළ මහත්වරු වගේම නිවේදක මහත්වරුත් කළ ඉදිරිපත් කිරීම්වල බොහෝ තැන්හි සඳහන් වුණා ජනාධිපතිවරයා වශයෙන් මම පරිසර අමාත්‍යංශය තෝරාගත්තා කියා. මට පෙර සිටි සියලුම ජනාධිපතිවරු, ජනාධිපති ධුරයට දිවුරුම් දෙන විට තෝරාගත්තේත් මුදල් අමාත්‍යංශය. මම මුදල් අමාත්‍යංශය තෝරාගත්තේ නැහැ. භාරගත්තේ නැහැ. මම ජනාධිපති වෙන්න පෙර මේ රටේ ජනාධිපති ධුරයට තිබුණේ රජ කෙනෙකුට වඩා මහා අසීමිත බලතල. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගොස් කිව්වා, මම අත්හැරියේ රජ කෙනෙකුගේ බලතල නොවේ, අධිරාජ්‍යයකුගේ බලතල කියා.

මෙහි සිටින මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරු 225ක් ළඟටම මම ගියා. ගෙවල්වලටත් ගියා. ළඟට ගිහින් කිව්වා මගේ බලතල පාර්ලිමේන්තුවට ගන්න කියා. ඒ නිසා මම ජනතාවගේ සේවකයෙක් විදියට බලය සහ ධනය දෙකම අත්හැරිය කෙනෙක්. මම මුදල් අමාත්‍යංශය භාරගත්තේ නැත්තේ ධනය මට අවශ්‍ය නොවන නිසා. ව්‍යවස්ථාවේ තිබූ ජනාධිපතිවරයාගේ අසීමිත බලය ඉවත් කළේ මට බලය අවශ්‍ය නැති නිසා. තව අවුරුද්දකට පසුව පත්වන මීළඟ ජනාධිපතිවරයා මට අද තිබෙන බලතලත් නැති කෙනෙක්. ඒ සියල්ලටම නායකත්වය ගත්තේ මමයි.

“අප ඇයි මේ පරිසරය ගැන කතා කරන්නේ? පරිසරය අද ලෝකයේම විශාල ප්‍රශ්නයක්. පරිසරය පිළිබඳ අභියෝගය තිබෙන්නේ අපේ රටේ පමණක් නොවේ. අද ලෝකයේ සෑම මිනිසෙක් වගේම සෑම සත්වයෙක්ම, ගහකොළ සියල්ලම පරිසරයේ අභියෝගයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා අද ලෝකයේ නායකයින් පරිසරය ගැන කතා කරන්න පටන් ගෙන තිබෙනවා. අවුරුදු පහළොවකට, විස්සකට පෙර ලෝකයේ විද්‍යාඥයෝ, ලෝකයේ මහා සංවර්ධනයක් බලාපොරොත්තු වූ අය පරිසරයේ ස්වාභාවික සම්පත් ගැන සිතුවේම නැහැ. ඒ සෑම කෙනෙක්ම නොවේ. ඒ පිළිබඳව සිතන විද්‍යාඥයෝද සිටියා. පරිසරය පිළිබඳව ප්‍රධාන වශයෙන් ලෝකයට දේශනා කළේ බුදුන් වහන්සේ. ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම පිළිබඳව උන්වහන්සේ දේශනා කළා. එමෙන්ම ක්‍රිස්තු ධර්මයේත් පරිසරය ගැන සඳහන් කර තිබෙනවා. හින්දු ධර්මය තුළත් තිබෙනවා. ඉස්ලාම් ධර්මයේත් ඒ ගැන පැහැදිලි කරනවා. ඒ සෑම ආධ්‍යාත්මික දේශනයක, දර්ශනයක පරිසරයේ වැදගත්කම සඳහන් වෙනවා.

“මේ දරුවන් දන්නවා, ඇල්බට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයාව. ඇල්බට් අයින්ස්ටයින් නම් විද්‍යාඥයා කියා තිබෙනවා, මම හැරෙන්න අනෙක් සියලුම දේ පරිසරය කියා. ඔහු කියපු දේ අද මමත් කියනවා. මම හැරෙන්න අනෙක් සියලුම දේ පරිසරය කියලා. අපි මෙහි සිටින්නෙත් බොහෝ අමාරුවෙන් නේද? හැම කෙනෙක්ම අතෙහි තිබෙන පත්‍රිකාවලින් පවන් ගසා ගන්නවා මට පේනවා. එයයි ප්‍රශ්නය. පරිසරය පිළිබඳව අභියෝගයක් නැත්නම් මේ පත්‍රිකාවලින් පවන් ගහන්න ඕන නැහැ. ඔය තත්ත්වය ඇති කරගත්තේ අපිමයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් හදාගත්තේ මිනිස්සුමයි. මිනිසා, සතාසිව්පාවාට සහ සියලු ගහකොළවලට ජීවත්වීම අහිමි කරන්නේ මිනිසුන් විසින්මයි. මුළු ලෝකයම මේ අභියෝගයට මුහුණ දී තිබෙනවා.

“අද අපේ රටේ වන ගහනය සියයට 29යි. මම කියන්නම් ඔබට මෙන්ම රටටම දැනගන්න ලංකාවේ දිස්ත්‍රික්කවල අඩුවෙන්ම වනාන්තර තිබෙන්නේ කොහේද කියා. ඒ ඒ දිස්ත්‍රික්කවල භූමිය අනුව වන ගහනයේ ප්‍රතිශතය මම කියන්නම්. මම දිස්ත්‍රික්ක 25 කියන්නේ නැහැ. වෙලාව යනවා. ලංකාවේ වන ගහනය අඩුම දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රිකකයි. භූමියෙන් සියයට 2යි වනය තිබෙන්නේ. ඊළඟට ලංකාවේ වන ගහනය අඩුම දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය. එය සියයට 3යි. තුන්වන දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය. එය සියයට 5යි. ඔබේ දිස්ත්‍රික්කයට මා ඇවිත් ඔබට සතුටු විය හැකි කාරණයක් සඳහන් කරන්නම්.

ලංකාවේ වන ගහනය වැඩිම දිස්ත්‍රික්කය කුමක්ද කියා. ලංකාවේ වන ගහනයෙන් වැඩිම දිස්ත්‍රික්කය වවුනියාව දිස්ත්‍රික්කය. එය සියයට 65යි. ලංකාවේ වන ගහනය දෙවැනියට වැඩි දිස්ත්‍රික්කය කුමක්ද? ඒ මුලතිව් දිස්ත්‍රික්කය සියයට 64යි. ලංකාවේ වන ගහනයෙන් තුන්වන තැනට වැඩි මන්නාරම දිස්ත්‍රික්කයයි. එය සියයට 63යි. ඔබ නියෝජනය කරන ප්‍රදේශවල තමයි වන ගහනය වැඩිම. ඒ වුණත් අපිට සිදු වෙලා තිබෙනවා මෙහි ඉන්න ගමන් කඩදාසිවලින් පවන් ගසන්න. ඔබ දන්නවා මිනිසුන්ට වගේම සතුන්ට ජීවත් වීමට අවශ්‍ය දේ. ඔක්සිජන් වාතය අවශ්‍යයි. ඊළඟට ජලය අවශ්‍යයි. ඊළඟට ආහාර අවශ්‍යයි. මේ තුනම හදාගන්න නම් පළමුවැනි දේ කුමක්ද? වනාන්තරය.

“ඉන්දියාවේ දිල්ලි නගරයේ, චීනයේ බීජිං නගරයේ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ මිනිස්සු විද්‍යාඥයන් දුන්න ඔක්සිජන් බෝතල් නහයට දාගෙන යනවා. අපේ මේ රටේ ගස් වවන්න වනරෝපා ජාතික වැඩසටහන පටන්ගත්තා. ඒ රුක්රෝපණ ජාතික වැඩසටහන සඳහා සෑම වසරකම ඔක්තෝබර් මාසය නම් කරලා තිබෙනවා. මේ වැඩේ අද පටන් ගත්තේ. අපි ජනවාරි මාසය වන විට බලාපොරොත්තු වෙනවා අඩුම වශයෙන් පැළ ලක්ෂ දහයකින් ඉදිරියට යන්න. අපි ලක්ෂ 50ක වැඩසටහනක් ඉලක්ක කරලා තිබෙනවා. බොහෝ විට ඔබ වගේ අනෙක් සියලු දෙනාත් මේකට එකතු වුණොත් ජනවාරි මාසයේ අපිට ලක්ෂ 50ක සීමාව ඉක්මවන්න පුළුවන්. මේ සෑම කෙනෙක්ම දන්නවා දරුවෙකුගේ වටිනාකම. පරිසරයේ වටිනාකම වගේ මිනිසුන්ගේ ප්‍රශ්න ගත්තාම ඒ වටිනාකම් ගැන හිතන්න ඕනෑ කොහොමද කියලා.

“මේ පරිසර සමුළුවේ වැදගත්කම කුමක්ද? මේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම ඒ වගකීම තේරුම්ගන්න ඕනෑ. ලෝකයේ අධිතාක්ෂණය සමඟ තමයි පරිසරය විනාශ වුණේ. කර්මාන්ත ප්‍රමුඛ කාර්මිකකරණය සමඟයි පරිසරය විනාශ වුණේ. ඒ නිසා අපි සැම කෙනෙක්ම වගකීම් ඉටුකරමු. ඒ වගකීම ඔබට භාරයි. ඒ වගකීම මමත් භාරගෙන තිබෙනවා. බලය අත්හැරලා, මුදල් අමාත්‍යංශය අත්හැරලා පරිසරය භාරගත්තේ ඒ නිසයි. මිනිසුන් ප්‍රමුඛ සියලු සත්වයාගේ ජීවත්වීම තහවුරු කරන්න ඕනෑ නිසයි.

ඒ නිසා මේ පරිසර සමුළුවේ අරමුණු අපි ඉටුකරගන්න ඕන. අපි ලස්සන රටක් හදමු. අපේ රටේ නියඟය අදත් ඉතා බරපතළයි. ඒ තත්ත්වය ඔබ දන්නවා. මේ මන්නාරම, වවුනියා, මුලතිව්වල ජීවත් වන පිරිස ඉන්නවා, වතුර නැති නිසා දවස් තුන හතරකට සැරයක් තමයි නාන්නේ, බොන්න වතුර ගන්නේ සල්ලිවලට. මෙය ඉතාම නරක තත්ත්වයක්. නමුත් එය නියඟයේ බලපෑමත් එක්ක ඇතිවෙච්ච අභියෝගයක්. රටේ තවත් පැත්තක ගංවතුර. ඒ නිසා මේවාට අපි විසඳුම් දෙන්න ඕනෑ. විසඳුම් වර්ග 3 ක් තිබෙනවා. සමහර ඒවා කෙටිකාලීනයි. සමහර ඒවා මධ්‍යකාලීනයි. සමහර ඒවා දීර්ඝ කාලීනයි. දීර්ඝ කාලීන විසඳුම්වල අංක එක තමා පැළ හිටුවන එක සහ ගස් ආරක්ෂා කරන එක.”

මාතෘකා