දේශපාලකයන් පිට වරද පටවා රට පස්සට තල්ලු කළ නිලධාරියෝ

 ඡායාරූපය:

දේශපාලකයන් පිට වරද පටවා රට පස්සට තල්ලු කළ නිලධාරියෝ

හැත්තෑ අවුරුද්දක් තිස්සේ මෙරට සංවර්ධනයටත් ඉදිරි ගමනටත් තිබූ ප්‍රධානතම ශාපය දේශපාලඥයින් හා පාලකයින්ය යන්න ඉතාම ජනප්‍රිය මතයකි. ඒ කතාව ද ගුරුවරු අපිට ගැහුවේ නැත්තං අපි දැන් ඉන්න ඕනේ හිරේය, ශිෂ්‍යත්ව විභාගය යනු දෙමව්පියන්ගේ විභාගයක්ය යනාදී වශයෙන් ජනප්‍රිය හා ස්ථාපිත වී ඇත්තා වූ ජනප්‍රිය හා ප්‍රකට කතා වාගේම විචාර බුද්ධියකින් තොරව වැළඳගෙන ඇත්තා වූ මිථ්‍යාවකි. දිය මිටි තැනින් ගලා බසින්නා වාගේ ද ඔක්කෝම කුණු බේරේ වැවට කියන්නා වාගේ ද සියලු දෙනාම පාහේ පහසුවෙන්ම ඇගිල්ල දිගු කළ හැකි දේශපාලනඥයින්ගේ පැත්තට සියලු දොස් තල්කු කොට වැරදිකරුවන් කොට දඩුකඳේ ගසා දමා ඇත. නමුත්, යථාර්ථවාදී සත්‍යය ඊට වඩා වෙනස්ය.

එය සියයට සියයක්ම අනෙක් පැත්තයැයි නොකියමි. නමුත් එය නියත වශයෙන්ම අඩකට වඩා නම් අසත්‍යය පිළිගැනීමකි. එසේ නම් එකී මහ පංගුවේ හිමිකාරිත්වය හෙවත් වැඩි වරද භාරගත යුත්තේ කවුරුන් විසින්ද. ඔවුහු නම් වයස ගෙවී ගොස් විශ්‍රාම යාමෙන් හා ඉතාම සීමිත කරුණු නිසා පමණක් කල් ඉකුත් වන නිලධාරීන්ය. නිසි මැනීමක් කළේ නම්, එකී නිලධාරි පංතිය විසින් සිදු කර ඇති හානිය දේශපාලනඥයින් විසින් සිදු කර ඇති හානිය මෙන් කිහිප ගුණයක් වන බව දකින්නට ලැබෙනු ඇත.

දේශපාලකයෝ

දේශපාලකයෝ යනු ජනතා නියෝජිතයෝය. තමන්ගේ අරමුණු, අභිලාෂ හා අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම පිණිස ජනතාවගේ බහුතරයගේ කැමැත්ත අනුව තෝරාපත් කරගන්නා වූ පුද්ගලයෝය. එවැන්නෝ වැඩිම ගණනක් එක් වී සිටින කඳවුරක් ආණ්ඩු බලය මෙහෙයවයි. ඒ අතර ව්‍යවහාර අර්ථයෙන් හොඳ වගේම නරක මිනිස්සුද වෙත්. ඒ ජනතා කැමැත්තය. ජනතාවගේ මේ කැමැත්ත විමසීම පිණිස දේශපාලනඥයෝ කලින් කලට ජනතාව අභිමුවට යති. ඒ සමහර අයට ජනතාව විසින් නියෝජිත වරම දීර්ඝ කර දෙන අතර තවත් අයගේ වරම අවසන් කොට ඒ වෙනුවෙන් වෙනත් අය ප්‍රතියෝජනා කරති. කෙසේ නමුත් වසර හතරක්, පහක් හෝ හයක් තුළ මේ සියලු දේශපාලනඥයෝද පාලක කඳවුරුද ජනතාව හමුවට ගොස් ඔවුන්ගෙන් අනුමැතිය පැතිය යුතු වේ. නිදසුනක් ලෙස 1980-85 කාලයේදී මේ ආකාරයෙන් දේශපාලනයේ සිටි අයවලුන් අතරින් අද වන විට ඉතිරි වී ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද? ඒ අය නම් ගම් ලෙසම මතක් කර දිය හැකි නොවේද?

ගමේ පාරට, බෝක්කුවට, ලයිට් කණුවට, රස්සාවට දේශපාලනඥයින්ගේ ඉරණම තීන්දු කළ හැකිය. සිනහවට, රැවිල්ලට, ගෙරවිල්ලට ඔවුන්ගේ ඉරණම තීන්දු කළ හැකිය. දේශපාලනඥයින් අතින් සිදුවන කුඩා වරද හෝ මහා වරදක් වන්නේය. දේශපාලනඥයින් යනු ජනතා මුදලින් නඩත්තු වන නිකමුන් පිරිසක් යැයි බොහෝ දෙනෙක් හඳුන්වති. සිදු කරන කුඩා හෝ සොරකමකට, වංචාවකට, දූෂණයකට මහා ඉහළ ප්‍රසිද්ධියක් හිමි වේ. පත්තරවල පිටු පුරා ඉඩ වෙන් වේ. තමන්ගේ නියෝජිතයින් වුවත් ඒ බව අමතක කරන්නා වූ හෝ ඒ ගැන නොදන්නා ජනයා වැඩි දෙනෙක් ජීවත් වන්නේ දේශපාලනඥයින් කෙරෙහි ඇත්තා වූ වෛරයකින් හා ක්‍රෝධයකිනි. කට ඇරියොත් දේශපාලනඥනයෝ පතුරු ගසති.

නිලධාරියෝ

නමුත් 1980-85 වකවානුවේ පරිපාලන හෝ කළමනාකරණ සේවයේ සිටි නිලධාරීන් අතරින් කී දෙනෙක් නම් අදත් එම ක්ෂේත‍්‍රවලම සේවය කරමින් සිටියිද. එදා රස්සාව කළ අද වන විට වයස 55 සම්පූර්ණ නොවූ සෑම කෙනෙක්ම පාහේ අදත් යහතින් සේවයේ නියැලෙති. එහි තේරුම දේශපාලනඥයින් ජනතාව හෝ වෙනත් විනිශ්චයක් හමුවේ පරාජය වුව ද නිලධාරීන් එවැනි සියලු පරීක්ෂණයන් සමත්ව දක්ෂව දිවි ගෙවන්නේ යන්නද? කිසිසේත්ම නැත.

ඔවුන් ඔවුන්ගේම ක්ෂේත්‍රයේම පැවැත්වූ විභාග හෝ සම්මුඛ පරීක්ෂණ හැරුණු විට මුහුණදී ඇති වෙනත් යම් විගණනය කවරක්ද? වසර හතරකට පහකට හෝ හයකට වරක් තබා අවුරුදු දහයකට පහළොවකට වරක්වත් යටකී වර්ගයේ පරීක්ෂාවකට ඔවුහු ලක්වෙත්ද? ඔවුන් ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන ඇති රාමු හා රෙගුලාසි තුළ සිරවී ඔවුන් තුළින්ම රැකවරණය තනාගෙන ජීවත් වෙති. ඔවුන් විසින් රටේ ඉදිරි ගමන හෝ ප්‍රගමනය වෙනුවෙන් කරනු ලබන සේවාවේ හොඳ නරක විවෘත වේදිකාවකදී විනිශ්චය කෙරෙත්ද? නැත.

පරිපාලන රෙගුලාසි, කාර්යාල ක්‍රම හා මුදල් රෙගුලාසි වැනි දේට මුවා වී ඒවා මායිම් කොට ගසාගත් වැටවල්වලින් එපිටට එක නූලක් හෝ පය නොගසා, පෙන්ෂන් එක පරිස්සම් කර ගැනීමේ වෑයම බොහෝ නිලධාරීන්ගේ ක්‍රමයයි. ඒ අතරට මේ වන විට එෆ්සීඅයිඩී, ලලිත් වීරතුංග නඩු තීන්දුව හා තවත් එවැනි නිදර්ශක කිහිපයක් විසින් තවදුරටත් මේ නිලධාරීන්ගේ ඇග බේරා ගැනීමේ සූක්ෂම පැවැත්ම තහවුරු කර ඇත. ආණ්ඩු හෝ දේශපාලනඥයින් කොතරම් මාරු වුවත් තමන්ගේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ අබමල් රේණුවක හෝ අභියෝගයක් නොමැති ඔවුහු බොහොමයක් වැඩ කරන්නේ ඔවුන්ගේ ක්‍රමයකට හා ඔවුන්ගේ වේගයටය. දේශපාලඥයින්ගේ සැලසුම්වලට කාලරාමු ඇත. ඒවා ඇතැමක් කෙටි කාලීන වනවා සේම තවත් ඒවා එක් අවුරුදු, පස් අවුරුදු හෝ දිගුකාලීන ඒවා වෙයි. ඊළඟ වතාවේ ඡන්දයෙන් ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට නම් දේශපාලනඥයින් විසින් ජනතාවගේ සිත් දිනා ගත යුතුය. ඒ වෙනුවෙන් වැඩ කළ යුතුය. කලින් කලට ක්‍රම වෙනස් කළ යුතුය. නමුත් නිලධාරීන්ට ඒවා ගැන ඒ හැටි හදිස්සියක් නැත. ෆයිල් අත්සන් කරන්නේ තමන්ට වුවමනා වෙලාවටය. ඒවා අත්සන් කිරීම වෙනුවට කාගේ හෝ ඇගේ ගසා හිරකර තබන්නට වෙර දරණු අප පුද්ගලිකවම පවා අත්දැක ඇත. වගකීම් ගන්නට ඇත්තේ බියකි. එවැනි අත්දැකීම් ඔබටත් ඇතිවා නිසැකය. රටේ නැති නිවාඩු වර්ග සියල්ලමද රාජකාරී නිවාඩු හා නිමක් නොමැති මීටින්ය.

පෙරකී පරිදි ගමේ පාරට, බෝක්කුවට, ලයිට් කණුවට, රස්සාවට හෝ කාර්යක්ෂමතාවට, ඵලදායීතාවට අනුව නිලධාරීන්ගේ ඉරණම තීන්දු නොවේ. ඔවුන්ගේ බොහෝ වැරදි ජනතාවට විවර වන්නේ හෝ නැත. ඒවා ගැන වැඩි බරට සැරට කතා කරන්නට වැඩි දෙනෙක් පෙළඹෙන්නේ නැත. ඔවුන් දේශපාලනඥයින් මෙන් ජනතා මුදලින් නඩත්තු වන පිරිසක් යැයි බොහෝ දෙනෙක් කරදර වන්නේ නැත. අල්ලස් හෝ දූෂණ අතින් ගත් විට ප්‍රමාණාත්මකව කප් ගසා සිටින්නේ දේශපාලනඥයින්ද නිලධාරීන්ද යන්න අල්ලස් කොමිසම ඇමතීමෙන් පමණක්ම දැන ගත හැකිය. එවැනි චෝදනා ගැන පවා විමර්ශන සිදු නොවන්නේද හෝ මන්දගාමී වන්නේ දේශපාලනඥයින් නිසා නොවේ.

දේශපාලනඥයින්ගේ වාහන පර්මිට් විකිණීම් ආදිය ගැන පිටු පුරවා නම් ගම් ගණන් හිලව් ආදිය සියල්ල ලියවුණද නිලධාරීන් විසින් සිදු කරන ඒ සමානම කාර්යයන් ගැන පත්තරකාරයෝද ජනතාවද සිවිල් සංවිධානද හාන්කවිසියක් නොදන්නා ගානය. අලුත් නගරාධිපති කෙනෙක් පත්වන විට නිල නිවස ප්‍රතිසංස්කරණය කරන ආකාරය ගැන කතා කරන්නට එඩිතර වන ජනයා කලින් කලට එන නිලධාරීන් තම තමන්ගේ නිල නිවාස ආදිය තමන්ට ඕනෑ විදිහට හදාගන්නට කරන වියදම් ගැන දන්නේවත් නැත. යාන වාහන, වරදාන වරප්‍රසාද, වියහියදම් ආදී සෑම දේ ගැනම කතාව ඒකමය. නිල රථයේ ඉන්ධන විකිණීම්, සියලු පුද්ගලික වැඩ කන්තෝරු වෙලාවේ කරන්නා, කන්තෝරු ඇතුළේ ප්‍රේම විගඩම් නැටීම් ආදියද අඩු නැතිය.

නමුත් ඔවුහු ඔවුන්ගේම හෙවිළිවලින් රැකෙති. සරලවම කියන්නේ නම් කුමන් තත්ත්වයක් හමුවේ වුවද ඔවුහු තමන්ගේ පංතියට හානියක් වීමට ඉඩ නොදෙති. ආණ්ඩුවට සෑම විටම විපක්ෂයක් ඇත. පාලකයාට සෑම විටම පාලකයා විනිශ්චය කරන පාලිතයෙක් ඇත. දේශපාලනඥයාට සෑම විටම තරගකාරයෙක් ඇත. ඒ නිසාම, දේශපාලනඥයින්ට නිතර නිතර පනින්නට සිදුවන කඩුලූ‍ බොහෝමයකි. නිලධාරීන්ට එසේ නොවේ. නිලධාරී පැලැන්තියේ බොහෝ දෙනා විසින් කොන්දේසි විරහිතව තම පංතිය රකිනු දකින්නට ඇත.

සෑම විටම දේශපාලනඥයින් යනු කිසි වගකීමක් හෝ උගත්කමක් නැති පාර්ශ්වයක් බවත් නිළධාරීන් යනු උගත්, බුද්ධිමත් හා දූරදර්ශී පාර්ශ්වයක් වන්නේ යන්න තවත් එල්බගත් සමාජ මතයකි. එය සත්‍යයක්ද? ගමේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීට වඩා ග්‍රාම නිළධාරීවරයා අවංක හා දක්ෂද? ග්‍රාමසේවකලා සොරකම්, දූෂණ, වංචා, නොරත්ද? සමෘද්ධියේ සිට ආණ්ඩුවෙන් දෙන කොස් පැළය දක්වා සියල්ල අවශ්‍යතා හා වුවමනා මත බෙදා දීම ඔවුන් විසින් සිදු කරයිද? සමෘද්ධි නියාමකලා යනු අවංකත්වයේ ප්‍රතිමූර්තිය වන්නේද? මේ සියල්ලෝ දේශපාලනඥයින් නමැති සොරකැලට වඩා යහපත්ද? ප්‍රාලේලා, දිසාපතිලා, පොලිස් නිලධාරියෝ, ආදායම්බදු නිලධාරියෝ, රේගු නිලධාරියෝ වැනි සෙසු සියල්ලෝ ඒ ඒ ස්ථරයන්ගේ දේශපාලඥනයින් හා සැසඳීමේ දී යහපත්ද?

අවසනුව, මඩ ගොහොරු වුණු මේ ක්‍රමය එක නඩත්තු කරන්නේ නිලධාරීන් විසින් මිස දේශපාලනඥයින් විසින් නොවේ. එහි වැඩි ගෞරවය හිමි වන්නේ නිලධාරීන්ටය. රට ආපස්සට යාමට හෝ රටේ මන්දගාමී ඉදිරි ගමනට දේශපාලනය යම්තාක් වගකිව යුතුය ඒ තාක්ම හෝ ඊටත් වඩා නිලධාරීන් ඊට වගකිව යුතුය. රට මේ තාක් හෝ දුරක් පැමිණ ඇත්තේ නිර්මාණශීලී හා ප්‍රගතිශිලී නිලධාරීන් හා දේශපාලනඥයින් අතලොස්සට පින් සිදු වන්නටය. එහෙයින්, රැල්ල ඇත්තේ දේශපාලනඥයින්ට එරෙහිව නිසා සියලු දොස් ඔවුන් වෙත යොමු නොකර ගෙවුණු අඩ සියවසක් පුරා ප්‍රතිසංස්කරණය නොවුණු නිලධාරී පැලැන්තියේ සංගායනාවක් සිදු කළ යුතුය. කෙසේ නමුත් මේ ලිපිය කියවන ඔබ යටකී ඉතාම හොඳ අතලොස්සට අයත් කෙනෙක් නිසා මේ ගැන වැඩි කලබලයක් ඇතිකර නොගනු ඇතැයි සිතමි. මේ කියා ඇත්තේ ඔබ තරම් හොඳ නැති අය ගැනය.

මාතෘකා