වයිමලා වසං කරන ජීවන වියදම ගැන ඇත්ත මෙන්න

 ඡායාරූපය:

වයිමලා වසං කරන ජීවන වියදම ගැන ඇත්ත මෙන්න

“ජීවන වියදම ඉහළයි, ජීවත් වෙන්න බැහැ”

මේ පසුගිය අවුරුදු තුනහමාර පුරාම වත්මන් ආණ්ඩුවට එරෙහිව එල්ල කරන ප්‍රධාන චෝදනාවක්. මේ චෝදනාව කරමින් ආණ්ඩු විරෝධීන් උත්සාහ කරන්නේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ නොහැකියාව මෙන්ම ජනතාව කෙරෙහි සංවේදී නොවීම මෙවැනි පීඩාකාරි තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බවයි.

“එකම බොරුව සිය වරක් අඛණ්ඩව ප්‍රකාශ කළ විට එය සත්‍ය යැයි ජනතාව විශ්වාස කරනවා” යන ගොබෙල්ස්වාදී න්‍යාය අනුව දිගින් දිගටම සිදුවන මේ ප්‍රවාදය ආණ්ඩුව කෙරෙහි ඍණාත්මක බලපෑමක් කර තිබෙන තරමටම ජනතාව අතරත් අසහනය වර්ධනය කිරීමට හේතු වෙලා තිබෙනවා. එය කිසිසේත්ම හිතකර තත්ත්වයක් නොවෙයි. මන්ද මේ අහේතුක අසහනකාරීත්වය මඟින් දේශපාලන අවස්ථාවාදීන්ට යළි බලය අල්ලා ගැනීම සඳහා පහසු ප්‍රවේශයක් නිර්මාණය වෙනවා.

මූලාශ්‍රයක් නැති කතා

කිසිඳු ආකාරයක විශ්වසනීය මූලාශ්‍රයකින් තොරව නිර්මාණය කළ කතා ප්‍රවෘත්ති වශයෙන් ඉදිරිපත් කිරීමේ සුලභ තත්ත්වයක් අපට පසුගිය කාලය පුරාම අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකියි. ඒ සඳහා ආසන්නම උදාහරණ දෙකක් ජාතික තලයේ හා ප්‍රාදේශීය තලයෙන් අපට ලැබෙනවා. එයින් එකක් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වියපත් මාපිය යුවළක් වේල් ගණනක් ආහාරයට යමක් නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගෙන ඇති බවට ජාතික මාධ්‍ය විසින් කළ ප්‍රචාරයයි. මෙම ප්‍රචාරය මඟින් ඔවුන් ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමේ සියුම් වෑයමක් ගත් ආකාරය අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වුණා.

මේ ආකාරයටම රුපියල අවප්‍රමාණය වීම ගැන ද විපක්ෂය හා විපක්ෂයට හිතැති ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය විසින් ගෙන යන්නේ අතිෂයින් සාවද්‍ය ප්‍රචාරයක් බව පැහැදිලිව පෙනී යනවා. ලංකාවේ රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති සුපැහැදිලි ජාත්‍යන්තර හේතු හිතාමතා වසං කරමින් හා විකෘති කරමින් පසුගිය කාලය පුරාම මේ පිරිස ජනතාව හමුවේ අවධාරණය කිරීමට තැත් කරන්නේ සම්පූර්ණයෙන් සාවද්‍ය කතාවක්. මේ සඳහා කදිම උදාහරණයක් පසුගිය 03 වැනිදා ඇසීමට ලැබුණා. ඒ ඒකාබද්ධ කල්ලියේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන්. ඒකාබද්ධ කල්ලිය විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී අලුත්ගමගේ මන්ත්‍රීවරයා අවධාරණාත්මකව ප්‍රකාශ කළේ රුපියල අවප්‍රමාණය වීමට මහ බැංකු බැඳුම්කර සිදුවීම හේතු වී තිබෙන බවයි. අතිෂයින් සාවද්‍ය හා නොමඟ යවනසුලු මෙම ප්‍රකාශය බොහෝ පෞද්ගලික ගුවන්විදුලි නාළිකා ප්‍රධාන පුවතක් ලෙස විකාශනය කළේ මූලික මාධ්‍ය න්‍යායන් පවා නිර්ලජ්ජිත ලෙස අපයෝජනය කරමිනුයි.

පිළිගත හැකි හෝ විශ්වසනීය මූලාශ්‍රවලින් තොරව තම දේශපාලන හා ව්‍යාපාරික න්‍යාය පත්‍ර ඉටුකර ගැනීම වෙනුවෙන් අඛණ්ඩව සිදුවන මේ මාධ්‍ය අපයෝජනය කිරීම පොදුවේ සමස්ත ජනමාධ්‍ය කර්මාන්තයටත් සමාජයටත් දැඩි හානිකර තත්ත්වයක් බව මෙම මාධ්‍යකරුවන් හා හිමිකරුවන් විසින් වටහා නොගැනීම කනගාටුවට කරුණක්. මන්ද ඔවුන් විසින් මේ අපයෝජනය හා අපහරණය කරන්නේ ජනමාධ්‍යයේ පදනම වශයෙන් සැලකිය හැකි “විශ්වසනීයත්වය” යි.

මූලාශ්‍ර සහිත කතා

අවස්ථාවාදී දේශපාලන සංවාද, සාකච්ඡා සහ මත විමසුම් හමුවේ දිගින් දිගටම අවධාරණය වන්නේ වත්මන් ආණ්ඩුව යටතේ “ජනතාවට දරා ගත නොහැකි තරමට ජීවන වියදම ඉහළ ගොස් ඇති බවයි.” මෙම ගොබෙල්ස්වාදී ප්‍රචාර විධිමත් හා විශ්වසනීය මූලාශ්‍ර ඉදිරිපත් කිරීමකින් තොරව සිදුවීම තුළ පසුගිය 2015-18 කාලය තුළ මේ රටේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සම්බන්ධයෙන් රජය ගත් සියලු ආකාරයේ සාධනීය ප්‍රයත්නයන් නිශේධනය වී තිබෙන බවක් දැකිය හැකියි.

ශ්‍රී ලංකාවේ ජීවන වියදම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දේශීය හා විදේශීය වශයෙන් යොදා ගන්නා පිළිගත් නිල මූලාශ්‍ර වන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ඉදිරිපත් කරන වාර්තායි. එය පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ පමණක් නොව මෙම ආයතන ආරම්භ කළ දා සිට සිදුවන නිල හා පොදු තත්ත්වයක්. එමෙන්ම මෙම ආයතන මඟින් ඉදිරිපත් කරන වාර්තා කිසිවකුගේ අභියෝගයකට ලක්වී නොමැති වීම ද සඳහන් කළ යුතුයි.

එම ආයතන ද්විත්වය විසින් පසුගිය දා 2014 සැප්තැම්බර් මාසයේ සහ 2018 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ “ප්‍රධාන ආහාර භෝගයන්හි මිල වෙනස් වීම” පිළිබඳ සංෂිප්ත විග්‍රහයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද පිළිගන්නා නිල මූලාශ්‍ර අනුව සම්පාදිත එම තොරතුරු අනුව පැහැදිලි වන සුවිශේෂී කරුණ වන්නේ ජනතාවගේ එදිනෙදා ජීවිතය සඳහා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක් ඇතුළත් ඉහත සටහනේ පසුගිය 2014 සැප්තැම්බර් - 2018 සැප්තැම්බර් මිල ඉහළ යෑමක් වාර්තා වන්නේ ඩීසල් සහ සීනිවල පමණක් බවයි. එම මිල ඉහළ යෑම ද නොසැලකිය යුතු තරම් කුඩා අගයක් ගන්නා බවක් දැකිය හැකියි. උදාහරණයක් ලෙස ඩීසල් මිල ඉහළ ගොස් තිබෙන්නේ සියයට 1.67ක් වැනි ඉතාම සුළු අගයකිනි. සීනි මිලේ ඉහළ යෑම ද 6.31ක් වැනි පහළ අගයකි.

එහෙත් වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම, රුපියල අවප්‍රමාණය වීම ආදී තත්ත්වයන් තුළ පවා ඉන්ධන මිල ගණන් මහින්ද රාජපක්ෂ පාලනයේ අවසන් භාගයට වඩා විශාල අගයකින් පහළ අගයක් ගන්නා බව හඳුනා ගත හැකියි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට ගෑස් මිල සියයට 27.67ක් ද, පෙට්ට්‍රල් මිල සියයට 7.41ක් සහ භූමිතෙල් මිල සියයට 33.96ක් වැනි අති විශාල අගයකින් තව දුරටත් පහළ අගයක පවතී.

මේ තත්ත්වය කිරිපිටි සම්බන්ධයෙන් ද වඩාත් පහසුවෙන් හඳුනාගත හැකියි. රටේ කිරිපිටි අවශ්‍යතාවයෙන් අති විශාල ප්‍රමාණයක් ආනයනය කරන තත්ත්වයක් තුළ පවා රුපියල අවප්‍රමාණය වීම හමුවේද ප්‍රධාන කිරිපිටි වර්ග තුනේම මිල රාජපක්ෂ යුගයේ අවසාන කාර්තුවට වඩා සියයට 13.21ක් වැනි අගයකින් පහළට වැටී පවතී.

මෙරටේ බහුතරයක් ජනතාවගේ එදිනෙදා ආහාර වේලට ඇතුළත් වන රතු පරිප්පු මිල 2018 සැප්තැම්බර් මාසයේදීත් පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ 2014 සැප්තැම්බර් මස පැවැති මිලට වඩා සියයට 22.42ක් වැනි ඉතාම පහළ අගයකිනි. ටින්මාළු මිල සියයට 21.74කින් ද, මුංඇට මිල සියයට 17.11කින් ද, තිරිඟුපිටි මිල සියයට 2.87ක් වැනි අගයකින් ද අවුරුදු තුනක් ගත වුවත් පහළ මට්ටමක පවතින බවක් අපට පහසුවෙන් හඳුනා ගත හැකියි.

මේ තත්ත්වය සමස්තයක් වශයෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින පොදු තත්ත්වයක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තා පරිශීලනය කරන විට පහසුවෙන් හඳුනා ගත හැකියි.

ඉහත සඳහන් කරුණු දෙස අවධානය යොමු කරන විට අපට පැහැදිලි වන්නේ විපක්ෂය හා විපක්ෂයට හිතැති ජනමාධ්‍ය පුනපුනා ප්‍රකාශ කරන ආකාරයට “ජනතාවට එදා වේල සොයා ගත නොහැකි තරමේ” අහේනි තත්ත්වයක් රට තුළ සත්‍ය වශයෙන් නොපවතින බවයි.

රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුත් පවුලකට අගහිඟයකින් තොරව මාසයක් ජීවත් විය හැකි බවට පුනපුනා තර්ක කළ, ජීවන වියදම අඩු කිරීමට සක්‍රයාගේ පුතා වයිමාටවත් නොහැකි බවට පාරම්බෑ බන්දුල ගුණවර්ධන මහතා වැනි කේවට්ටයින් ද, ලෝක වෙළෙඳපොළ මිල ගණන්වල වාසිය ජනතාවට ලබා දෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට පයින් ගැසූ මහින්ද රාජපක්ෂ වැනි හිටපු පාලකයන් ද යළි බලය අල්ලා ගැනීමට මවා පාන මේ මිථ්‍යාව ජනතාව මනාව වටහා ගත යුතු කාලය දැන් පැමිණ ඇති බවයි අපගේ අදහස වන්නේ.

[චින්තක බණ්ඩාර කරල්ලියද්ද]

මාතෘකා