මෛත්‍රී මෙතැනින් කොතැනටද?

 ඡායාරූපය:

මෛත්‍රී මෙතැනින් කොතැනටද?

“යුද්ධය අවසන් වෙලා වසර 10ක් ගත වන අවස්ථාවක අලුත් විදිහට මාගේ මාතෘ භූමිය දෙස බලන්න කියා මා ඉතා ගෞරවයෙන් යුතුව ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රබල යුද්ධයක් තිබී එය අවසන් කරන ලද සාමකාමී රටක, ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක, ජාතික සමගිය ශක්තිමත් වූ රටක, නැවත යුද්ධයක් ඇති වීම වැළැක්වීමට සියලු කටයුතු කර ඇති රටක, මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක, ආර්ථික දියුණුව, සමෘද්ධිය ළඟාකර ගැනීමට ඔබ සියලු දෙනා අලුත් අදහස් ඇතිව නව සිතුවිලි ඇතිව අපට සහයෝගය දෙන්න කියා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ තිබෙන්නා වූ ප්‍රශ්න අපට විසඳගන්න ඉඩ දෙන්න කියා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටක ස්වාධීනත්වය ඉතා වැදගත්. ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අප විසින් කරන්නා මානුෂීය මෙහෙවර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පුළුල් කාර්යයන් සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා.” මේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය සැප්තැම්බර් 25 වැනිදා එක්සත් ජාතීන්ගේ 73වැනි මහා සමුළුව අමතා කළ දේශනයෙන් ලංකාවේ බොහෝ දෙනෙකු උපුටා දැක්වීමට කැමති පරිච්ඡේදයයි.

තරමක් දීර්ඝ යැයි සැලකිය හැකි, විනාඩි 18 ක කාලයක් පැවැති ජනාධිපතිවරයාගේ දේශනය තුළ ඉතාම පහසුවෙන් තෙවැදැරූම් අන්තර්ගතයක් දැකිය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

1. එක්සත් ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අභිලාෂය.

2. තම පාලන සමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා ජාතීන් අතර සංහිඳියාව වැඩිදියුණු කිරීමට ගත් පියවර ලෝක නායකයන් හමුවේ අවධාරණය කිරීම.

3. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙස එක්සත් ජාතීන්ට කළ අවධාරණය.

මෙම තෙවැදෑරුම් ප්‍රකාශයන්ට අමතරව ත්‍රස්තවාදයෙන් රට මුදාගත් රණවිරුවන්ට ස්තූති කිරීමටද ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සමුළුව යොදාගත් ආකාරයක් දැකිය හැකි වුණා.

ජනාධිපතිවරයාගේ අභිමානය

ඉහත සඳහන් කළ පරිදි මූලික වශයෙන් කොටස් තුනක් යටතේ වර්ග කළ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ප්‍රථම හා දෙවැනි කොටස සම්බන්ධයෙන් පොදුවේ ධනාත්මක පිළිගැනීමක් ලැබී තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සහයෝගයෙන් තොරව ලංකාව වැනි රටකට ස්වයං සංවර්ධනයක් අත්පත් කර ගැනීම අසීරු පමණක් නොව අභියෝගාත්මක එකක්ද වන නිසයි. මේ මොහොතේදීත් ලංකාවේ අධ්‍යාපනය, සංස්කෘතිය, සෞඛ්‍ය හා පරිසර ආදි අංශ රැසක එක්සත් ජාතීන්ට අයත් විවිධ ආයතන හා සංවිධාන සක්‍රීය මෙහෙවරක නිතර වෙමින් සිටිනවා. ඒ හරහා අදාළ අංශවලදී රාජ්‍ය අංශයේ මැදිහත්වීම හා මූල්‍ය දායකත්වය සැහැල්ලු කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකියාව ලැබී තිබෙනවා. මේ තත්ත්වය තුළ එක්සත් ජාතීන් සමග තවදුරටත් සහයෝගයෙන් තොරව වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් ලංකාවට නැහැ.

තම රාජ්‍ය පාලනය තුළ අත්පත් කරගත් ජයග්‍රහණ ගැන ලෝක නායකයින් හමුවේ අභිමානයෙන් කතා කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබෙන බවට තර්කයක් නැහැ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳව මේ දිනවල රැස්ව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ පවා ශ්‍රී ලංකා ආණ්ඩුවට ගෞරවණීය තත්ත්වයක් හා පිළිගැනීමක් ලැබී තිබෙනවා. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුවීම, උතුරු - නැගෙනහිර පළාත්වල සාමාන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් විශාල ප්‍රමාණයක් යළි ඔවුන් වෙත ලබාදීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කර ක්‍රියාත්මක කිරීම මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළක් දියත් කිරීමත් එක්සත් ජාතීන් ඇතුළු ලෝක නායකයින්ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන කරුණු බව දේශපාලන කුහකත්වයෙන් තොරව පිළිගත යුතුයි.

යහපාලන බලවේගවල කනස්සල්ල

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට ඇප කැප වූ යහපාලන බලවේග, සුළුජන බලවේග ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල දැඩි කනස්සල්ල පළ වෙන්නේ රණවිරු වන්දනාවද ඇතුළත් වන තෙවැනි කරුණ සම්බන්ධයෙනුයි. එහිදී ජනාධිපතිවරයා අවධාරණාත්මක හා සියුම් තරවටුවක ස්වරයෙන් සඳහන් කළ බව හැඟී යන “අපේ තිබෙන්නා වූ ප්‍රශ්න අපට විසඳගන්න ඉඩදෙන්න කියා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා” යැයි ලෝක නායකයන් හමුවේ අවධාරණය කිරීමට තරම් ශක්තිමත් හා අවංක තැනක ජනාධිපතිවරයා සිටිනවාදැයි මේ යහපාලන බලවේග දැඩිව ප්‍රශ්න කරන ආකාරයක් දැකිය හැකියි. මේ සම්බන්ධයෙන් තම විවේචන පළ කළ බොහෝ දෙනෙකු උපහාසයෙන් යුතුව සඳහන් කළේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සමුළුව පොළොන්නරුවේ හෝ ලංකාවේ දේශපාලන රැළියක් වශයෙන් සිතා “ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට ආමන්ත්‍රණය කළ බවයි.” මහින්ද රාජපක්ෂ මහතාගේ රෙජිම පාලනය තුළ අඛණ්ඩව ජප කළ “අපේ ප්‍රශ්න අපටම විසඳා ගැනීමට ඉඩදෙන්න” යන අවස්ථාවාදී මන්ත්‍රය මෛත්‍රීපාල සිරිසේන මහතාද මැතිරීමට පටන්ගත්තේ කුමන පදනමක් යටතේදැයි අප මෙහිදී විමසා බැලිය යුතුයි.

මේ ප්‍රකාශය ගැන ගැඹුරින් විමසා බලන විට පෙනී යන්නේ 2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන් අමතන විට දැකිය හැකි වූ තමා බලයට පත් වූ හේතුව සහ එයට ශක්තිය දුන් බලවේග පිළිබඳ ස්වයං විශ්වාසය මේ වන විට මුළු මනින්ම බැහැර කර ගෙන පයක් පිටුපසට ගැනීමට සූදානමින් සිටින තත්ත්වක් ප්‍රදර්ශනය කරන බවයි. “මහින්ද - මෛත්‍රී හවුලක් ” ගැන මේ වන විට ඉතා සංවිධානාත්මකව දියත් වන මාධ්‍ය මෙහෙයුම ගැන සිතන විට මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරක් නොව පියවර දෙක තුනක් වුවත් පසුපසට ගැනීමට ඉඩ ඇති බවට යහපාලන බලවේග කනස්සල්ල පළ කරන්නේ අහේතුකව නොව සිරිසේන මහතා විසින් පසුගිය කාලය තුළ ප්‍රකට කළ ඇතැම් ප්‍රතිගාමී පියවර පිළිබඳ පැහැදිලි කනස්සල්ලක්ද සහිතවයි.

රණවිරු වන්දනාවේ වන්දිය

මෙහිදී ඉදිරියෙන්ම සිටින්නේ ජනාධිපතිවරයා විසින් අනවශ්‍ය ප්‍රමාණයට පෙරට ගෙන තිබෙන “රණවිරු වන්දනාවයි.” මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සිංහල බෞද්ධ ජාතිවාදීන් විසින් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට කළ අභූත චෝදනාවක් වන “රණවිරු දඩයම” නම් සාවද්‍ය ප්‍රවාදය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අන්දමන්ද වී සිටින බවක් මේ වන විට රහසක් නොවෙයි. ඍජුව යුද හමුදාවට චෝදනා එල්ල වන මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ සිදුවීමේ සිට වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජයගුණරත්න දක්වා මේ දිගුව අපට දැකගත හැකියි. මේ සිදුවීම් ද්විත්වය ප්‍රමුඛවත් මේ හා සමාන තවත් සිදුවීම් රැසක් සඳහාත් ජනාධිපතිවරයා ඍජුව මැදිහත් වීම චූදිතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නොබියම පෙනී සිටීම බොහෝ දෙනෙකුගේ බලවත් කනස්සල්ලට හේතුවක් වී තිබෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ ආරක්ෂක අංශ ප්‍රබලයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන මේ නොමසුරු මැදිහත් වීම ජනවාරි 08 දේශපාලන න්‍යාය පත්‍රයට සපුරා පටහැනි රාජපක්ෂවාදී ප්‍රවේශයක් බවයි. එක්සත් ජාතීන්ගේ මහා සභාව අමතා කළ කතාවේදීද මේ රණවිරු වන්දනා මානසිකත්වයෙන් ගැළවීමට ජනාධිපතිවරයාට නොහැකිවීම තුළින් ජනාධිපතිවරයා යළි යළිත් ප්‍රදර්ශනය කළේ ජනවාරි 08 දේශපාලන න්‍යාය පත්‍රයේ තීරණාත්මක කොන්දේසියක් ජනාධිපතිවරයා විසින් නොසලකා හැරීම බවයි පැහැදිලි වන්නේ. ඒ රණවිරු වන්දනාව රාජපක්ෂ පාලනයකට පාවඩ එලීමක් මිස එය කිසිසේත් යළි මෛත්‍රී පාලනයකට පාවඩ එලීමක් වශයෙන් යොදාගත නොහැකි නිසයි.

අනෙක් අතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි වර්ණවත් එකමුතුවක් හමුවේ රණවිරු වන්දනාව ප්‍රදර්ශනය කිරීම මේ යුද්ධයෙන් පමණක් නොව ඊනියා රණවිරුවන්ගේ නාමයෙන් වින්දිතයන් බවට පත් (සන්ධ්‍යා එක්නැලිගොඩගේ සිට) අතිබහුතරයක් දමිළ සහ දකුණේ සැලකිය යුතු පිරිසක් තුළ කම්පනයක් හා කනස්සල්ලක් ඇති කරන බවක් දැකිය හැකියි. විශේෂයෙන් මේ වන විට විභාග වෙමින් පවතින නඩු කිහිපයක් සම්බන්ධයෙන් පවා මේ රණවිරු වන්දනාව තීරණාත්මක බලපෑමක් බවට පත්ව තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයා ලෝක නායකයන් හමුවේ රණවිරු වන්දනාවේ යෙදීම මගින් තමන්ට සාධාරණයක් ඉටුවේද යන සැකය වින්දිතයන් තුළ පැන නැගීම පුදුමයක් නොවෙයි. අනෙක් අතින් ජාත්‍යන්තරය විසින් ලංකාවෙන් වගවීමද අපේක්ෂා කළේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැනි සිදුවීම්වලට හෙයින් ඒවාට තිරිංග යොදමින් “අපේ ප්‍රශ්න අපට විසඳා ගැනීමට ඉඩදෙන්න” යැයි ලෝකයාට තර්ජනය කිරීම හාස්‍යජනක බවයි පෙනී යන්නේ.

තිරය පිටුපස කතාව

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක්සත් ජාතීන්ගේ දේශනය සම්බන්ධයෙන් තවත් වැදගත් කතාවක් මේ වන විට දේශපාලන කරළියේ සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ කතාව සැලසුම් කළ කතාව නොවන බව ජනාධිපතිවරයා මීට වඩා ප්‍රබල ආන්දෝලනාත්මක කතාවක් කිරීමට සැලසුම් කර තිබූ බවත්ය. මේ කතාවට පදනම වැටෙන්නේ ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 14 වැනිදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කළ ප්‍රකාශයක් පදනම් කරගෙනයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරමින් නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තමා පියවර ගන්නා බවත් එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශ රාජපක්ෂවාදී න්‍යාය පත්‍රය සමග සමපාත වන එකක් බව බැලූ බැල්මට පෙනී ගිය හෙයින් මේ ගැන බොහෝ පාර්ශ්වවලින් විවිධ අදහස් පළ වූ බවක් දැකිය හැකි වුණා. ජනාධිපතිවරයාගේ මේ ප්‍රවේශය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනකුද, එක්සත් ජනපද තානාපති කාර්යාලය, යුරෝපා කොමිසම ඇතුළු බලවත් රාජ්‍ය රැසක් ජනාධිපතිවරයාට සිය කනස්සල්ල පළ කර තිබුණා. ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි පසුගාමී පියවරක් නොගන්නා ලෙසයි. එය ජනාධිපතිවරයාගේ පෞද්ගලික කීර්තියට සේම පොදුවේ ශ්‍රී ලංකාවටද බලවත් හානියක් වනු ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට පැහැදිලි කළ බවයි ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර දෙමළ ජාතික සංධානයද ජනාධිපතියරයාගේ නව ප්‍රකාශයට එරෙහිව දැඩි ස්ථාවරක් ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ හෝ මේ බලපෑම් හමුවේ ජනාධිපතිවරයා ජිනීවා යෝජනාවට එරෙහිව සැලසුම් කළ කතාව වෙනුවට වෙනත් කතාවක් කිරීමට එකඟත්වය පළ කළ බවයි වාර්තා වුණේ. අඩු අවදානමක් හා හානියක් ඇති කතාවක් කරමින් සිංහල බෞද්ධ ජාතිවාදීන්ද තෘප්තිමත් කරමින් ජාත්‍යන්තරයද නොබිඳවා ගෙන තම ගරුත්වය රැකගැනීමට මේ අනුව ජනාධිපතිවරයාට අවස්ථාව හිමි වෙලා තිබෙනවා. යම් ආකාරකයකින් අගමැතිවරයාගේ සහ බටහිර රාජ්‍යවල ඉල්ලීමට පිටුපා ජනාධිපතිවරයා රාජපක්ෂ පන්නයේ කතාවක් කළේ නම් ලංකාවට ජාත්‍යන්තර තලයේ හා දේශීය වශයෙන් (විශේෂයෙන් දමිළ ජනතාවගෙන්) දැඩි පීඩනයක් හා අප්‍රසාදයක් පළ වීමට අවස්ථාව තිබුණ බවයි දේශපාලන විචාරකයින්ගේ අදහස වන්නේ.

මෙතැනින් කොතැනටද ?

ජනාධිපතිවරයාගේ වත්මන් ප්‍රවණතා සියුම්ව නිරීක්ෂණය කර විට පැහැදිලිව පෙනී යන්නේ ජනාධිපතිවරයා තීරණාත්මක දේශපාලන කඩඉමක් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින බවයි. ඒ බව දේශපාලන ඕපාදූප වශයෙන් මේ වන විට ජනමාධ්‍ය තුළ නිර්මාණය වන පුවත් ඇසුරින් පමණක් නොව ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හරහාද පැහැදිලිව දැකගත හැකියි. මහින්ද රාජපක්ෂ මහතාගේ සිංහල බෞද්ධ ඡන්ද පදනම සමග යළි තරඟ කිරීම සඳහා සිංහල බෞද්ධ ඡන්දදායකයන්ට ආමන්ත්‍රණය කරමින්, එකී ප්‍රවේශය හේතුවෙන් සුළුජාතීන් සහ ජනවාරි 08 බලවේගවල විශ්වාසය බිඳගනිමින් ජනාධිපතිවරයා ආරම්භ කර ඇති මේ නව ගමන ලංකාවේ දේශපාලන ගමන්මගේ තීරණාත්මක ලක්ෂයක් වනු ඇති බවයි මේ වන විට කරුණු සිදු වෙමින් තිබෙන ආකාරය අනුව පැහැදිලි වන්නේ. ඒකාධිපති රෙජීම පාලනයක් ගෙන ගිය රටක් යළි ප්‍රජාතන්ත්‍රවාදය වෙත එක් කරමින් ගෞරවාන්විතභාවයක් අත්පත් කර ගත් මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ඉලක්ක කර ගෙන ආරම්භ කර ඇති නව ගමන ගැන වඩාත් සංවේදී වීම ජනවාරි 08 බලවේගවල වගකීමක් මෙන්ම වගවීමක් බව අවධාරණය කළ යුතුයි.

 

[චින්තක බණ්ඩාර කරල්ලියද්ද]

මාතෘකා