හිටපු පාලකයන් ලබාගත් විශාල ණය කන්දරාව අපට ගෙවීමට සිදුව තිබෙනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

හිටපු පාලකයන් ලබාගත් විශාල ණය කන්දරාව අපට ගෙවීමට සිදුව තිබෙනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

හිටපු පාලකයින් ලබාගත් ඩොලර් මිලියන 3000ක් පමණ වන විශාල ණය කන්දරාව අද අපට ගෙවීමට සිදුව තිබෙනවා. මේ ණය නොතිබුණා නම් ලංකාවේ ඩොලර් සංචිත ප්‍රමාණය තවත් වැඩි වීමට ඉඩ තිබුණා. ඉදිරි වසරේදී අපට ඩොලර් මිලියන 4000ක මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. අපේ රටට මේ තරම් බරක් එන්න ඒක ප්‍රධාන හේතුවක්.” යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (28) කුරුණෑගල, කටුපොත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“වර්තමානය වන විට පොලිසියේ කාර්යභාරය වැඩි වී තිබෙනවා. එම කාර්යබහුලත්වය නිසා පැරණි ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන මට්ටමක් ඇති වුණා. එම නිසා වසර දෙකකට පෙර අපේ රජයෙන් මිලියන 90ක මුදලක් වෙන් කළේ කටුපොත නව පොලිස් මධ්‍යස්ථානයක් ඉදිකිරීමටයි. ඒ අනුව ඉතාම නවීන පොලිස් ස්ථානයක් මෙහි ඉදිකර තිබෙනවා.

“අද ශ්‍රී ලංකාව තුළ පොලිසිය විශාල කාර්යභාරයක් සිදු කරනවා. ස්වාධීන පොලිස් කොමිසමක් යටතේ පොලිසිය ක්‍රියාත්මක වෙනවා. දේශපාලන නියෝග මත දැන් පොලිසිය ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ රටේ නීතිය, සාමය ක්‍රියාත්මක වන අවස්ථාවක අපත් නීතිය අනුව වැඩ කටයුතු කළ යුතුයි. ඒ ආකාරයට පොලිසිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන් විශාල උත්සාහයක් ගන්නවා.

“පොලිසිය නව පුහුණුව ලබා ගැනීමට, නිලධාරීන් බඳවා ගැනීමට, අපරාධ පාලනයට විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ අපරාධ පාලනයත්, සිදු වූ අපරාධ විසඳීමත් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. පොලිසිය සහ අමාත්‍යාංශය සහයෝගයෙන් වැඩ කටයුතු සිදු කරමින් සිටිනවා. රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා යටතේ පොලිසියේ ගැටලු විසඳීම, දේශපාලන පළිගැනීම් පිළිබඳ ගැටලු විසඳීම ආදිය ක්‍රමානුකූලව සිදු කරමින් සිටිනවා.

“පැමිණිල්ලක් සිදු කළ පසු පැය ගණනක්, දින ගණනක් බලා සිටීමට නොව, පැමිණිල්ලක් සිදු කළ වහාම එය ක්‍රියාත්මක කිරීමට හැකි ආකාරයේ පොලිස් සේවයක් අපට අවශ්‍ය වෙනවා. මේ පොලිස් ස්ථානය දියුණු කිරීමට ප්‍රධාන හේතුව මේ ප්‍රදේශයේ ඇති වී තිබෙන විශාල සංවර්ධනයයි. අද මෙම ප්‍රදේශය කුලියාපිටිය, කුරුණෑගල වැනි ශීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් බව කිව යුතුයි. ගම්පහ දක්වා පැමිණ තිබෙන දියුණුව කුලියාපිටිය, කුරුණෑගල, මහනුවර ප්‍රදේශ එකතු කරමින් මේ ප්‍රදේශවලටත් ගෙන ඒමට අප කටයුතු කරනවා. කුලියාපිටිය ප්‍රදේශය දියුණු කිරීමට අකිල කාරියවසම් ඇමැතිතුමා විශාල උනන්දුවක් ගෙන තිබෙනවා.

“කුලියාපිටිය නගරය තුළ අද විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. විශ්ව විද්‍යාලය දියුණු කිරීම, නව කර්මාන්ත ශාලා ඇති කිරීම ආදිය අද එහි සිදු වෙනවා. මේ ප්‍රදේශයේ ජනගහනය වැඩි වෙමින් තිබෙනවා. එවිට මේ ප්‍රදේශයේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වැඩි වශයෙන් ඉස්මතු වෙනවා. අකිල ඇමැතිතුමා රටේ අධ්‍යාපන ඇමැති ලෙස අධ්‍යාපනය නගා සිටුවීමට රට වටා වැඩසටහන් ක්‍රියාවට නංවන අතරතුර කුලියාපිටිය දියුණු කිරීමත් සිදු කරනවා.

“කුරුණෑගල දියුණු වන විට වාරියපොළත් දියුණු වෙනවා. එවිට මේ කටුපොත ඇතුළු ප්‍රදේශයත් ජනාකීර්ණ වෙනවා. එවිට වැඩි වශයෙන් මේ ප්‍රදේශයේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා.

කුලියාපිටිය, බිංගිරිය ප්‍රදේශවල කර්මාන්ත, ආයෝජන කලාප ඇති කරනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජන කලාපය ඇති වන්නේ බිංගිරියේයි. නාගරීකරණය, කර්මාන්තකරණය හරහා මේ ප්‍රදේශ දියුණු වෙනවා. අද ශ්‍රී ලංකාවේ ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගැනීමට නම් කර්මාන්තකරණය අවශ්‍ය වෙනවා. අපේ රටේ තරුණ තරුණියන්ට අනාගතයක් නිර්මාණය වන්නේ අපේ අපනයන වැඩි කර ගන්නවා නම් පමණයි. අප කැප වී සිටින්නේ ඒ සඳහායි.

“ලෝකයේ විශාල ආර්ථික අර්බුදයකට මුහුණපා සිටිනවා. ඇමෙරිකා ආර්ථිකය ශක්තිමත් වීම නිසා ඔවුන් ලබා දෙන පොලිය දැන් වැඩිවෙමින් තිබෙනවා. එවිට ශ්‍රී ලංකා රුපියල ඇතුළු ලෝකයේ බොහෝ රටවල මූල්‍ය ඒකක බාල්දු වීම සිදු වෙනවා. අපි එදා විපක්‍ෂයේ සිටින විට මෙම තත්ත්වය පැහැදිලි කළා. එදා පැවැති රජය විදේශ ණය ලබා ගන්නා විට අප එසේ නොකරන ලෙස ඔවුන්ට පැවසුවා. අමෙරිකානු ඩොලරයේ පොලිය වැඩි වූ විට රුපියල බාල්දු වන බව අප එදා පැවසුවත්, රාජපක්‍ෂ පාලනය පැවසුවේ එසේ සිදු නොවන බවයි. නමුත් අප කියූ දේ වර්තමානයේ එසේම සිදු වී තිබෙනවා. මේ වසරේ තුන් වන වතාවටත් ඇමරිකාව ඩොලරයේ පොලිය වැඩි කළා. අවසානයේ ගැටලුව විසඳීමට බාර වී තිබෙන්නේ අපටයි.

“අනෙක් අතින් ලෝක ඉන්ධන මිල ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා. ඉන්ධන මිල වැඩි වන විට ඒ සඳහා ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. අපේ සංචිතවල තිබෙන ඩොලර් ප්‍රමාණයත් අඩු වෙමින් තිබෙනවා. අපි අද මුහුණ දී තිබෙන්නේ මේ අර්බුදයටයි. වර්තමානයේ මේ ගැටලුවට මැදි වී සිටින්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි. සියලුම රටවල් මේ තත්ත්වයට මුහුණ දී තිබෙනවා.

“2013 – 2014 කාලවලදී ණය පොලිය ගෙවීමටවත් රටේ ජාතික ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් අප පාලනය ලබාගත් පසු එම තත්ත්වය යම් තරමකින් හෝ කළමනාකරණය කර ගැනීමට හැකි වුණා. අපට වැට් වැඩි කිරීමට සිදු වුණා. ඒ නිසා ඔබෙන් බැණුම් ඇසීමට සිදුවුණා. කෙසේ නමුත් අප ණය ගෙවා ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය කර ගත්තා.

“මේ ආකාරයට අප ඉදිරියට යන ගමන වේගවත් කරන අතරම ජනතාව වෙනුවෙන් කෙටි කාලීන සහන ලබාදීමටත් සිදුව තිබෙනවා. අපේ ඇතැම් ආනයන සීමා කිරීමට පියවර ගන්නා ලෙස මම මුදල් ඇමැතිතුමාට පැවසුවා. එවිට අපට යම් ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ට යම්කිසි සහනයක් ලබාදීමට හැකි වෙනවා.

“අපි රටේ අපනයනය වැඩි කිරීමටත් පියවර ගන්නවා. එවිට අපට තවත් මුදල් ලැබෙනවා. අපනයන සීඝ්‍රයෙන් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අපේ ආණ්ඩුව ක්‍රියා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ කර්මාන්තකරණයක් ඇති කිරීම, රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම ආදී වැඩසටහන්ද අපි ක්‍රියාත්මක කරනවා. 1994න් පසු ශ්‍රී ලංකාවේ කිසිම ආයෝජන කලාපයක් ආරම්භ කර නැහැ. නමුත් අප නැවතත් එම වැඩ කටයුතු ආරම්භ කළා. දැන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කර තිබෙනවා. බිංගිරියේ එක ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට පියවර ගන්නවා. දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ කටයුතු සිදු කරනවා. කර්මාන්තකරණයට හම්බන්තොට අක්කර 10,000 ක් වෙන් කරනවා.

“දකුණු, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. කර්මාන්ත ශාලා ඉදිකිරීමට යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට, සංචාරක හෝටල්, ගොඩනැගිලි ඉදිකිරීමට තරමක කාලයක් ගත වෙනවා. එම නිසා කෙටි කාලීනව අපේ අපනයන වැඩි කරමින් ආනයන සීමා කිරීමට අප කටයුතු කරනවා. ඒ හරහා 2025 සම්පූර්ණ වීමට පෙර මේ රටේ ආර්ථික ගැටලු විසඳීමට අප කටයුතු කරනවා.

“මෙම ගෝලීය අර්බුදය මේ වසරේ අවසන් වන්නේ නැහැ. එය ඉදිරි වසරේත් පවතිනවා. ඊට මුහුණදීමට අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කිරීමේ ශක්තිය තිබෙන්නේ මෙම ආණ්ඩුවට පමණයි. අප මේ රට කෙසේ හෝ ඉදිරියට ගෙන යනවා. ආසියානු, අප්‍රිකානු, යුරෝපීය රටවල් ගණනාවක් මෙම ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින අවස්ථාවේ ඉන් ගොඩ ඒමට අවශ්‍ය වැඩ කටයුතු අප සිදු කරනවා.

“ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක් වී සිටිනවා. අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි. ඒ සඳහා අපනයන ආර්ථිකයක් ඇති කරමින් මුළු රටම අපනයනයට හුරු කිරීමට සූදානම් වෙනවා. ගෝලීය අර්බුදය හරහා ලෝක ආර්ථිකය වෙනස් වී තිබෙනවා. අප දැන් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අප විසඳුම් සෙවිය යුතුයි. අපට ඒ හැකියාව තිබෙනවා”

මාතෘකා