වසර 30කට කලින් ‘රජිව්’ දුන්න තෑග්ග

 ඡායාරූපය:

වසර 30කට කලින් ‘රජිව්’ දුන්න තෑග්ග

පළාත් සභා ක්‍රමය මෙරට ස්ථාපිත කර පසුගිය නොවැම්බර් 14 වැනිදාට තිස් වසරක් සපිරුණි. පළාත් සභා ක්‍රමය මෙරට දේශපාලන සන්දර්භය තුළට නිල වශයෙන් ඇතුළු කෙරුණේ 1987 නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළිනි.

ප්‍රාදේශීය පරිපාලනය හෙවත් පළාත් පාලන සේවය මෙරටට අලුත් ව්‍යාපෘතියක්‌ නොවන අතර එය පුරාණයේ සිටම පැවත එන්නකි. පණ්‌ඩුකාභය රජ සමයේදී එය ගම් සභා නමින් හැඳින්විය. ක්‍රම ක්‍රමයෙන් විකාශනය වෙමින් ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්‌ටමින් හැඳින්වූ ප්‍රාදේශීය පරිපාලනය තුළ එදා තිබූ විශේෂත්වය වූයේ එකල එම සේවාවේ නිරත වූවෝ අද මෙන් මහජන ඡන්දයෙන් පත්වූවෝ හෝ දීමනා වැටුප් ලබන්නෝ නොවීමය. ප්‍රදේශයේ වැදගත් ප්‍රභූන් එකී සේවයේ නිරත වෙමින් සමාජ සේවයක් ලෙස පරිපාලනයේ නිරත විය.

ජලසම්පාදනය, වැව් අමුණුවලට ජලය සැපයීම හා රැස්‌කිරීම, ඇළවේලි ඉදිකිරීම මංමාවත් ඉදිකිරීම හා ඒවායේ නඩත්තුව වැනි කාර්යයන් මෙම අයගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. එම පැරණි ගම්සභා ක්‍රමය පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණයන්ගෙන් විනාශයට පත්ව තිබුණු අතර, බ්‍රිතාන්‍ය යුගයේදී යළි ගම්සභා ක්‍රමයට නව මුහුණුවරක්‌ ලැබිණි.

එය තවදුරටත් වෙනස් වීමට බඳුන් වූයේ 1987 නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයත් සමගයි. එවකට මෙරට උත්සන්න වී තිබූ බෙදුම්වාදී දෙමළ ත්‍රස්‌තවාදී අරගලයට සහ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්‌ ලබාදීම අරමුණු කරගනිමින් 1987 ජූලි 29 වැනිදා අත්සන් තැබුණු ඉන්දු-ලංකා සාම ගිවිසුම පළාත් සභා ක්‍රමය හදිසියේම රටට හඳුන්වා දීමෙහිලා පාදකවූ මූලිකම දේශපාලන කාරණාවයි.

දිවයිනේ සෑම පළාතක්‌ සඳහාම වෙන් වෙන් වශයෙන් පළාත් සභා පිහිටුවීම මේ යටතේ සිදුවූ අතර එහිදී දෙමළ භාෂාව කථාකරන ජනතාව බහුතරයක්‌ වෙසෙන උතුරු හා නැෙඟනහිර පළාත් දෙකට පමණක්‌ ඒකාබද්ධ තනි පළාත් සභාවක්‌ ස්‌ථාපිත කරනු ලැබීය. එම තීරණයට එදා රටේ සෙසු ප්‍රදේශවල බහුතරයක්‌ ලෙස වාසය කරන සිංහල-බෞද්ධ ජනයාගෙන්ද දැඩි විරෝධයක් එල්ල වුවද එය නොසලකා හරිමින් ඒකාබද්ධ පළාත් සභාව ස්ථාපිත කෙරුණි. එහෙත් 1988 දී පිහිටුවන ලද එම උතුරු-නැෙඟනහිර ඒකාබද්ධ පළාත් සභාව යළි වෙන් කෙරුණේ 2006දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් අනුවය.

පළාත් සභාවලට නියෝජිතයන් තෝරා පත්කර ගත යුතු වූයේ මහජනතාවගේ බහුතර කැමැත්ත මතය. ඒ අනුව ඊට සමගාමීව පළාත් සභා මැතිවරණය නමින් නව මැතිවරණයක්‌ද ජාතික මැතිවරණ පද්ධතිය තුළට ආදේශ කරනු ලැබීය. එතැන් සිට මේ දක්‌වා ප්‍රධාන පළාත් සභා මැතිවරණ 6ක්‌ පවත්වා ඇත. ඒ 1988, 1993, 1999, 2004, 2008/2009 සහ 2012/2013/2014 යන වසරවලදීය. මින් 1993, 1999, 2004 මැතිවරණ තුනම පවත්වා ඇත්තේ උතුරු-නැගෙනහිර හැර රටේ සෙසු පළාත් සභා හත වෙනුවෙන්ය. මෙම ප්‍රධාන මැතිවරණවලට අමතරව දකුණු පළාත තුළ 1994දී තවත් හදිසි පළාත් සභා මැතිවරණයක්‌ද පවත්වනු ලැබූ බැවින් එම පළාතේ පමණක්‌ මේ වනවිට පළාත් සභා මැතිවරණ 07 ක්‌ම පවත්වා තිබේ. එහෙත්, අරුමයකට මෙන් දෙමළ බෙදුම්වාදී ගැටලුවට විසඳුමක්‌ ලෙස ගෙන ආ මෙම පළාත් සභා ක්‍රමය යටතේ උතුරු-නැෙඟනහිර පළාත තුළ 1988 නොවැම්බරයේදී පළමු මැතිවරණය පැවැත්වීමෙන් පසුව නැෙඟනහිර පළාතේ ඊළඟ මැතිවරණය 2008දී පවත්වන තුරු වසර විස්‌සක්‌ම පළාත් සභා මැතිවරණයක්‌ පවත්වා තිබුණේ නැත. උතුරු පළාතේද 1988න් පසුව යළි පළාත් සභා මැතිවරණයක්‌ 2013 දී පවත්වන ලද්දේ අවුරුදු 25ක තරම් දීර්ඝ කාලයකට පසුවය. ඊට හේතු වූයේ එවකට පැවති යුද්ධය හේතුවෙන් මේ පළාත්වල එදා තිබුණු දැඩි අනාරක්‌ෂිත සමාජ වාතාවරණයයි.

මෙතෙක්‌ පැවති පළාත් සභා මැතිවරණ අතුරින් එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකිවී ඇත්තේ 1988 හා 1993 දී පැවති මුල්ම මැතිවරණ දෙක පමණි. අනතුරුව පැවති අවසන් පළාත් සභා මැතිවරණ හතරෙන්ම අඛණ්‌ඩව ජයගෙන ඇත්තේ ශ්‍රීල.නි.ප. නායකත්වයෙන් යුතු පොදු පෙරමුණු-නිදහස්‌ සන්ධානයයි. 1994 දී පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙන් ජයගනු ලැබුවේද පොදු පෙරමුණයි. 1988 උතුරු-නැෙඟනහිර පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්‌ති පෙරමුණටත්, 2013 උතුරු පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය ඉලංකෙයි තමිල් පක්‌ෂයටත් හිමිවිය. එ.ජා.ප.ය රටේ සමස්‌ත හා වැඩි ජයග්‍රහණය ලබාගත් 1993 දෙවැනි පළාත් සභා මැතිවරණයේදී බස්‌නාහිර, දකුණ සහ වයඹ පළාත් සභා තුනෙහි පමණක්‌ බහුතර බලය පොදු ජන එක්සත් පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් සැදුණු ඒකාබද්ධ විපක්‌ෂයට හිමිවිය.

මෙම පළාත් සභා මැතිවරණ සියල්ලම පවත්වා ඇත්තේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ වන අතර පැරණි ඡන්ද කොට්‌ඨාස පදනමින් සලකා බැලුවද පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්ෂය අභිභවමින් කැපීපෙනෙන වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක්‌ වාර්තා කිරීමට සමත්වී ඇත්තේ පොදු පෙරමුණු සන්ධානයයි. 1988 පළාත් සභා මැතිවරණයේදී එ.ජා.ප.ය ඡන්ද කොට්‌ඨාස 115ක්‌ද, එ.ස.පෙ. කොට්‌ඨාස 22ක්‌ද, ඊ.ජ.වි.වි.පෙ. කොට්‌ඨාස 16ක්‌ද, ශ්‍රීල.මු.කො. කොට්‌ඨාස 04ක්‌ හා ඊ.ජා.ප්‍ර.වි.පෙ. කොට්‌ඨාස 03ක්‌ද ජයගත්තේය. 1993දී කොට්‌ඨාස 105ක ජය එ.ජා.ප.යටත්, 28 ක ජය පො.එ.පෙ.ටත්, 03 ක ජය ප්‍ර.එ.ජා.පෙ.ටත් බෙදී ගියේය. 1999දී පො.එ.පෙ. කොට්‌ඨාස 98ක්‌ද, එ.ජා.ප.ය කොට්‌ඨාස 37ක්‌ද, ක.ජා.ස. කොට්‌ඨාස 01ක්‌ද ජයගෙන තිබිණි. 2004දී ඡන්ද කොට්‌ඨාසවල ජයග්‍රහණයන් බෙදීගියේ එ.ජ.නි.ස.ට 122ක්‌ද, එ.ජා.ප.යට 14ක්‌ද වශයෙනි. 2008/2009දී එ.ජ.නි.ස. කොට්‌ඨාස 136ක්‌ම දිනාගන්නා විට, එ.ජා.ප.යට ඉතිරිවූයේ කොට්‌ඨාස 10ක බලය පමණි. එ.ජ.නි.ස. කොට්‌ඨාස 129ක්‌ම දිනාගත් 2012/2013/2014 අවසන් මැතිවරණයේදීත් එ.ජා.ප.යේ බලය කොට්‌ඨාස 10 කට යළි සීමාවිණි. එවර කොට්‌ඨාස 17ක්‌ ඉ.ත. පක්ෂයටත්, 04ක්‌ ශ්‍රී.ල.මු.කො.ටත් හිමිවිය. 1994 දකුණු පළාත් සභා මැතිවරණයේදීද එජාපයට ජයගත හැකිවූයේ එක්‌ කොට්‌ඨාසයක් පමණක්‌ වන අතර, එහි සෙසු කොට්‌ඨාස 20ම ජයගෙන තිබුණේ පොදු පෙරමුණයි.

1988-2014 දක්‌වා පැවති සියලුම පළාත් සභා මැතිවරණවලට අදාළව ඡන්ද කොට්‌ඨාස පදනමින් ප්‍රතිඵල නිකුත්කොට තිබෙන සමස්‌ත අවස්‌ථා ගණන 895කි. ඉන් අවස්‌ථා 558ක්‌ හෙවත් සියයට 62.3ක්‌ම ජයගැනීමට සමත්වූයේ එම කාලය තුළ එ.ජා.ප.යට විරුද්ධව පළාත් සභා මැතිවරණවලට තරගකළ එ.ස.පෙ. (1988), පො.එ.පෙ. (1993, 1994 හා 1999), ප්‍ර.එ.ජා.පෙ. (1993) සහ එ.ජ.නි.ස. (2004, 2008/2009 හා 2012/2013/2014) යන එ.ජා.ප. විරෝධී පක්‌ෂ සහ සන්ධාන විසිනි. මෙම සම්පූර්ණ කාලය තුළ එ.ජා.ප.යට ඡන්ද කොට්‌ඨාස මට්‌ටමේ ජයග්‍රහණ වාර්තාකර ගත හැකිවී ඇත්තේ අවස්‌ථා 292කදී හෙවත් මුළු අවස්‌ථාවලින් සියයට 32.6කදී පමණි. මේ හැර, ඉ.ත පක්ෂය අවස්‌ථා 17කදීද, ඊ.ජ.වි.වි.පෙ අවස්‌ථා 16කදීද ශ්‍රී.ල.මු.කො. අවස්‌ථා 08කදීද , ඊ.ජා.ප්‍ර.වි.පෙ. අවස්‌ථා 03කදී සහ ක.ජා.ස. අවස්‌ථා 01කදීද පළාත් සභා මැතිවරණවලදී කොට්‌ඨාස මට්‌ටමේ ජයග්‍රහණ හිමිකරගෙන තිබේ.

පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුළ කැපී පෙනෙන ලක්‌ෂණයක්‌ වනුයේ එක්සත් ජාතික පක්ෂය කිසිදා ජය නොගත් ආසන 08ක්‌ම දිවයිනේ තිබීමයි. මහරගම, කැස්‌බෑව, අත්තනගල්ල, ජාඇල, මහර, පානදුර, අම්බලන්ගොඩ හා මාතර එම ආසන අටයි. මෙම ආසනවල ජය පළාත් සභා මැතිවරණ ඉතිහාසය පුරාම හිමිවී ඇත්තේ එ.ජා.ප. විරෝධී, ප්‍රගතිශීලී හා වාමාංශික පක්‌ෂවලට වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග නොකළ මුල්ම පළාත් සභා මැතිවරණයේදී එ.ස.පෙ. හමුවේ මහරගම ආසනයෙන් වැඩි ඡන්ද 1840ක පරාජයක්‌ ලද එ.ජා.ප.ය අනතුරුව 1993 හා 1999 දී පිළිවෙලින් ඡන්ද 13,623 හා 5267 කින් පොදු ජන එක්සත් පෙරමුණටද යළිත් 2004, 2009 හා 2014 දී පිළිවෙලින් ඡන්ද 14,457, 34,089 හා 28,217 කින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටද පරාජය වී තිබේ.

කැස්‌බෑව ආසනයද පළාත් සභා මැතිවරණ ඉතිහාසය පුරාවට හැමදාමත් ජයගෙන ඇත්තේ යූ.ඇන්.පී. විරෝධී වමේ ප්‍රගතිශීලී පක්‌ෂ විසින්ය. 1988දී එ.ස.පෙ. වැඩි ඡන්ද 380කින්ද, 1993 හා 1999 දී පො.එ.පෙ. පිළිවෙලින් වැඩි ඡන්ද 11,448 හා 8592කින්ද, 2004, 2009 හා 2014දී එ.ජ.නි.ස. පිළිවෙලින් වැඩි ඡන්ද 17,201, 42,526 හා 27,873කින්ද ජයගත් මෙම අසුනින් එ.ජා.ප.යට දිගටම අත්ව තිබෙන්නේ කටුක පරාජයන්ය.

පළාත් සභා මැතිවරණයකදී මේ දක්වාම එක්සත් ජාතික පක්ෂයට ජයගත නොහැකි වූ තවත් ආසනයක් වන්නේ අත්තනගල්ල ආසනයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ගෙදර බඳු මෙම අසුන ඔවුන් තරග නොකළ 1988 මුල්ම පළාත් සභා මැතිවරණයේදී පවා ජයගත නොහැකිවූ එ.ජා.ප.ය, එ.ස.පෙ. හමුවේ පරාජයවී තිබුණේ වැඩි ඡන්ද 4706කිනි. දෙවැනි මැතිවරණයේ සිට ශ්‍රීල.නි.ප.ය පළාත් සභා ඡන්ද කරළියට පිවිසීමෙන් පසු එ.ජා.ප.ය 1993 දී ඡන්ද 12,921කින්ද, 1999දී ඡන්ද 20,471කින්ද, 2004දී ඡන්ද 22,117කින්ද, 2009දී ඡන්ද 38,898කින් හා 2014දී ඡන්ද 37,068කින්ද ඔවුන් හමුවේ මෙම අසුනින් අඛණ්‌ඩව පරාජයවී තිබේ. ජාඇල අසුනේද එ.ජා.ප.යට මේ දක්‌වා කිසිදු පළාත් සභා මැතිවරණ ජයක්‌ ලැබී නොතිබීම තවත් සුවිශේෂී කරුණකි. 1988දී ඡන්ද 2890 කින්ද, 1993දී ඡන්ද 2667කින්ද, 1999දී ඡන්ද 3634කින්ද, 2004දී ඡන්ද 12,352කින්ද, 2009දී ඡන්ද 26,585කින් හා 2014දී ඡන්ද 20,922 කින්ද ලෙස එ.ජා.ප.ය පළාත් සභා මැතිවරණ ඉතිහාසය පුරා නොකඩවාම ජාඇල අසුන පරාජයට පත්වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය මේ වනතුරු පළාත් සභා මැතිවරණ ජයග්‍රහණයක් හිමිකර ගෙන නැති පස්‌වැනි ආසනය මහර ආසනයයි. මෙම ආසනය 1988දී වැඩි ඡන්ද 3716 කින් එ.ස.පෙ.ද, 1993 හා 1999 දී පිළිවෙලින් වැඩි ඡන්ද 7166 හා 7640 කින් පො.එ.පෙ.ද, 2004, 2009 හා 2014 දී පිළිවෙළින් වැඩි ඡන්ද 20,086, 41,516 හා 37,414 කින් එ.ජ.නි.ස.ද ජයගෙන ඇත්තේ එ.ජා.ප.යට අඛණ්ඩව පරාජය අත්කර දෙමිනි.

පළාත් සභා මැතිවරණ ඉතිහාසය පුරාම ශ්‍රී ල.නි.ප.යේත්, වමේත් ප්‍රබල බලකොටුවක්‌ වී තිබෙන පානදුර ආසනයේද එ.ජා.ප.යට මේ දක්‌වා කිසිදු ජයග්‍රහණයක්‌ හිමි වී නොමැත. 1988 දී ඡන්ද 4540 කින්ද, 1993දී ඡන්ද 7172කින්ද, 1999දී ඡන්ද 6445කින්ද, 2004 දී ඡන්ද 14,210කින්ද, 2009දී ඡන්ද 25,955කින් හා 2014දී ඡන්ද 16,132කින්ද ලෙස ඔවුන් හැමදාමත් මේ අසුන පරාජය වී තිබේ.

අම්බලන්ගොඩද මේ දක්වා එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයක් හිමිකර ගත නොහැකි වූ හත්වැනි ආසනයයි. මෙම අසුනෙහි පැවති පළාත් සභා මැතිවරණ 07 න්ම ඔවුන් නොකඩවා පරාජය වී ඇත. ඒ 1988දී එ.ස.පෙ.ට ඡන්ද 504කින්ද, 1993, 1994 හා 1999 දී පො.එ.පෙ.ට පිළිවෙලින් ඡන්ද 2758, 5691 හා 2956කින්ද, 2004, 2009 හා 2014දී එ.ජ.නි.ස.ට පිළිවෙලින් ඡන්ද 13,113, 23,370 හා 19,382ක් වශයෙනි.

මාතර ආසනයද පළාත් සභා මැතිවරණ ඉතිහාසය පුරාම එක්සත් ජාතික පක්ෂයට පරාජයම අත්කර දුන් ආසනයකි. 1988දී එ.ස.පෙ. වැඩි ඡන්ද 131 කින්ද, 1993, 1994 හා 1999දී පො.එ.පෙ. පිළිවෙලින් වැඩි ඡන්ද 2859, 9262 හා 6639 කින්ද, 2004, 2009 හා 2014දී එ.ජ.නි.ස. පිළිවෙළින් වැඩි ඡන්ද 12,526, 11,804 හා 9303කින්ද මාතර අසුන දිනාගන්නා විට එ.ජා.ප.ය පරාජය උරුම කරගෙන තිබේ.

එකී පරාජයන් හැරුණු විට පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුළ එ.ජා.ප.ය විසින් එක වරක්‌ පමණක්‌ ජයගෙන සෙසු සෑම අවස්‌ථාවකදීම පරාජයට පත්වූ ආසන 29 ක්‌ද තිබේ. 1988දී රත්මලාන, කෝට්‌ටේ, කඩුවෙල, හෝමාගම, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ, දොම්පෙ, බියගම, බණ්‌ඩාරගම, බෙන්තර ඇල්පිටිය, බද්දේගම, රත්ගම, අක්‌මීමන, හබරාදුව, කඹුරුපිටිය, කටුගම්පොල, පොල්ගහවෙල හා මාවතගම ආසනත්, 1993දී දොඩන්ගස්‌ලන්ද, නාත්තන්ඩිය, නැගෙනහිර අනුරාධපුර, මිහින්තලේ, මින්නේරිය, බලංගොඩ, කලවාන, කෑගල්ල හා රුවන්වැල්ල ආසනත්, එසේ පරාද වී ඇති අතර, 1999දී පමණක් කැලණිය ආසනය පමණක්‌ දිනාගෙන ඇති එජාපය එම ආසනවල පැවති අන් සෑම පළාත් සභා මැතිවරණයකදීම පරාජයට පත්වී තිබේ.

සෑම ඡන්දදායකයෙකුටම, නිදහස් ලෙස තෝරා ගනු ලබන සිය නියෝජිතයන් මඟින් රටේ පාලනයට සහභාගී වීමේ අයිතියක් ඇත. රටක රටවැසියන් භුක්ති විඳින අයිතිවාසිකම් අතරින් ඉතාම වැදගත් මූලික අයිතිවාසිකම වන්නේ ඡන්දය දීමේ අයිතියයි.ඉදිරියේදී එළැබෙන පළාත් සභා මැතිවරණවලදීද ජනතාව විසින් එම ප්‍රබල හැකියාව නැවත වරක් උරගා බලනු ඇත. පළාත් සභා මැතිවරණයකදී එහි ප්‍රතිඵලය පළාතට පමණක් අදාළ වුව ද එහි ප්‍රතිඵලය සමස්ත ජනතාවගේ අනාගතයට බලපාන ඉඟි සපයන අතර ලෝක ප්‍රජාවට ද වැදගත් පණිවුඩයක් ලබාදෙන්නකි. ඒ නිසා පළාත් භේදයකින් තොරව රටේ සියලු දෙනාගේ අවධානය මෙම මැතිවරණය කෙරෙහි යොමුවීම අරුමයක් නොවේ. එබැවින් මැතිවරණ කොමිසමේ සහ සියලු දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගේ සහයෝගය මත නිදහස් හා සාධාරණ මැතිවරණයකට සුදුසු වටාපිටාවක් සකස් කිරීම බලධාරීන්ගේ වගකීමයි.

මාතෘකා