පාර්ලිමේන්තුවේ කථානායකවරුන්ගේ භූමිකාවෙන්

 ඡායාරූපය:

පාර්ලිමේන්තුවේ කථානායකවරුන්ගේ භූමිකාවෙන්

එක්දහස් නවසිය හතළිස් හතේ පැවති මැතිවරණයෙන් පසුව ඇති වූ ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායකතුමා වූයේ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාණන් ය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම මන්ත්‍රීවරයකු ලෙස සමාජ වේදිකාව හමුවේ සිය ඔද තෙද බලය පෙන්වමින් මහ ජනයාටද සුවිසල් සේවාවක් ඉටු කළ පුද්ගලයෙකි. එතුමෝ එකලද බළන්ගොඩ මන්ත්‍රී ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වී සිටියේය.

වර්ෂ 1947 පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කර සිටියේ එවර කුරුණෑගල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් නිදහස්ව තරග කර ජයගත් රාජ්‍ය නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතණන් ය. ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ ශ්‍රීමත් ෆ්‍රැන්සින් මොලමුරේ මහතාණන්ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණු නිසා එතුමෝ ප්‍රථම පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයා බවට පත් වූහ. ආරෝහ පරිණාහයෙන් යුතු - ඒ කියන්නේ උසට සරිලන මහතින් යුතු මොලමුරේ ශ්‍රීමතාණන්ගේ ආර්යාව වූයේ ඇඩ්ලින් මීදෙණිය මොලමුරේ මැතිණියය. තම පියාණන් විසින් නියෝජනය කරන ලද රුවන්වැල්ල ආසනය එතුමාගේ අභාවයෙන් පසුව තරග කර දිනා ගන්නා ලද්දේ මෙම දුවණිය විසිනි. ඉන්පසුව වර්ෂ 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පැවැත්විණ. එයට කලින් වර්ෂ 1935දීත් එහි පුරා පැවති මැලේරියා වසංගතය නිසා ප්‍රදේශයම බිහිසුණු ලෙස රෝගස්ථ වූ අවස්ථාවේදී දිවයිනේ දස දෙසින් පැමිණි විවිධ සමාජ සේවකයන්ගේ ආධාර උපකාර ඔවුන් වෙත පිරිනැමිණ.

මේ අතර අගනුවරින් පැමිණි ඒරොප්පේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා ඒ සමඟම වාමාංශික දේශපාලන උණ ගැනී සිය රට පැමිණි වසරේ දීම "ලංකා සමාසමාජ පක්ෂය" නමැති දේශපාලන පක්ෂය පිහිටුවන්නට මුල් වූ පිරිසද මෙසේ සුවිසල් ලොරි රථයකින් අගනුවර සිට වෛද්‍යාධාර සහ වියළි ආහාර ද්‍රව්‍ය ද රැගෙන මෙහි පැමිණි සිටි පිරිස අතර වූහ. එහිදී එම රෝහීන් පිරිසට අකුරැස්සේ සිට පැමිණ දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ මහතා වෛද්‍යාධාර සිදු කරද්දී එතුමාට සහාය වූයේ බළපිටියෙන් පැමිණි කොල්වින් රෙජිනෝල් ද සිල්වා තරුණයාය. එකල ඔහු නීතිය ඉගෙන ගන්නට සුදුසු වී සිටි සමයය. බොරළුගොඩ රාලහාමිගේ මහගෙදරින් පැමිණි පිලිප් ගුණවර්ධන තරුණයා සමඟ එකතු වූ තොටළඟ සිට මෙහි පැමිණි නානායක්කාර පතිරගේ මාර්ටින් පෙරේරා තරුණයා මෙම රෝගස්ථ නිවැසියන්ගේ නිවෙස්වලට ගොස් බෙදා දුන්නේ තමන් විසින් නගරයෙන් ආධාර වශයෙන් ගෙන ආ පරිප්පු ය. එම නිසාම ඔවුහු මෙම රූපත් තරුණයා හැඳින්වූයේ "පරිප්පු මහත්තයා" නම පටබැඳගෙනය. එහිදී කතාබහෙන් හැසිරුණු විලාසයෙන් ඔහු ඔවුන්නට කිසිදා අමතක නොවන කෙනෙකු බඳු විය. ඔවුන්ගේ සිත් මෙම තරුණයා කෙතරම් ඇඳ බැඳගෙන සිටියේද යත් ඉන්පසුව 1936දී පැවති මැතිවරණයට ඔහු ඉදිරිපත් වූ අවස්ථාවේදී එතෙක් මීදෙණිය මහාදිකාරම්ගේ පරපුරටම සින්නවීමෙන් පැවති රුවන්වැල්ල මන්ත්‍රී ආසනයේ මන්ත්‍රීවරයා වීමේ අවස්ථාව "පරිප්පු මහත්තයා" වෙත ලබාදුන්හ. වැඩි ඡන්ද 2975කින් මෙසේ එතෙක් කල් රුවන්වැල්ල ආසනයේ මොලමුරේ කුමාරිහාමි පැරදවීම ලංකා සම සමාජ පක්ෂය ලත් විශිෂ්ට ජයග්‍රහණයක්ද විය. ඒ සමඟම අවිස්සාවේල්ල ආසනය තරග කළ පිලිප් ගුණවර්ධන මහතාද එහි සිටි රදලයකු පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය. එහි වැඩි ඡන්ද 8604කි.

ඉන්පසුවද දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිසා වසර එකොළහක් තිස්සේ මහ ඡන්දයක් නොපැවැත්වුණු හෙයින් වර්ෂ 1947 මහ මැතිවරණයක් පැවැත්වුණු අවස්ථාවේදී රුවන්වැල්ල ආසනය ඇන්.ඇම්. පෙරේරා මහතාත් අවිස්සාවේල්ල ආසනය පිලිප් ගුණවර්ධන මහතාත් විසින් දිනා ගන්නා ලද්දේය.

වර්ෂ 1947දී මැතිවරණයෙන් ජයග්‍රහණය ලද ඩී.ඇස්. සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයෙන් එතුමෝ අගමැතිවරයා ලෙස පත්ව කැබිනට් මණ්ඩලයක්ද තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී එවකටද බළන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන් පත්ව සිටි මොලමුරේ මැතිතුමෝ ප්‍රථම පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයා වශයෙන් පත්වූහ. එතුමාගේ කාලසීමාව ඇතුළත රසබර, වැදගත්, අර්ථවත් රසකතා කීපයක්ද කියැවිණ. මෙම යුගයේ මහනුවර මන්ත්‍රී වශයෙන් පත් වූ ටී.බී. ඉලංගරත්න මැතිතුමාට විරුද්ධව ඡන්ද නඩුවක් පැවති හෙයින් ඉන්පසුව එම ආසනයේ තරගයට ඉදිරිපත් වූයේ එතුමාගේ නව යොවුන් බිරිඳ වූ තමරා කුමාරි ඉලංගරත්න මැතිණියයි. එතුමිය ඉන් ජයගෙන මහනුවර මන්ත්‍රිණිය වශයෙන් කථානායක මොලමුරේ මැතිතුමන් හමුවේ දිවුරුම් දුන්හ. එතුමිය එසේ දිවුරුම් දී තම ආසනය කරා ගොස් ඉඳගත් විටදී එතුමිය දෙස කරුණාබර මුහුණින් යුතුව බැලූ මොලමුරේ කථානායකතුමෝ,

"මේ වගේ තුරුණු ලස්සන මන්ත්‍රීවරියක් ආරස්සාව පිළිබඳව මෙහිදී බොහොම පරිස්සම් වෙන්න ඕනෑ" යැයිද කියා සිටියහ. එතුමා එසේ කියා සිටියේ එක්තරා අන්දමක අවවාදාත්මක ස්වරයකිනි. එහෙත් මේ සම්බන්ධයෙන් එවකට වැල්ලවත්ත ගල්කිස්ස මන්ත්‍රීවරයාව සිටි කොල්වින් ආර්. ද සිල්වා මහතා එතුමන් කී කතාව හරහට වැටහුණා සේ ය. කුමක් හෙයින්ද යත් මේ වනවිටද තමරා කුමාරි ඉලංගරත්න මැතිණිය තමන් වැනි වූ වාමාංශිකයන් පිරිසකගේ රැකවරණයද ලබා තිබුණු බැවිනි.

"තමුන්නාන්සෙට ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ. එතුමියගේ ආරස්සාව අපි බලා ගන්නම්. අපි එතුමියට අසරප්පා නෝනට සිදු වුණු දේ සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නෑ" යනුවෙන් කියා සිටියේ මොලමුරේ මැතිතුමාගේ චරිතයේ සිදු වූ අඳුරු පැත්තක්ද සිහියට නංවා ගනිමිනි.

වරෙක දණ්ඩගමුවේ මන්ත්‍රී අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමා තම කතාවේදී,

"මට මේ සේනකලා පුක්කුසලා කාවින්දලා දේවින්දලා ගැන විශ්වාසයක් නෑ" යැයි කියා සිටියේ එකල රජයේ අමාත්‍යවරුන් දෙස උපහාසයෙන් බලමිනි. එහෙත් මේ වචන ඇසීමෙන් පසුව මොලමුරේ කථානායකතුමෝ බලවත් ලෙස කෝපයට පත් වූහ. ඉන්පසු එතුමා කළේ දණ්ඩගමුවේ මන්ත්‍රීතුමා, "නොසරුප් බස් - කුණුසරුප" කිව්වා යැයි චෝදනාකොට මන්ත්‍රීවරයකුට කියා නම් කර ඊරියගොල්ල මහතා සභා ගැබින් පිටතට නෙරපා දැමීමය. ඊරියගොල්ල මහතා කළේ භාෂා පරිවර්තක ප්‍රධානියා වෙතට ගොස් ඔහු හමුවේ කරුණු කියා "මා කුණුසරුප නොකී බව කථානායකතුමාට වටහා දෙන්න" යැයි ඉල්ලා සිටීමය. ඔහු වහා ගොස් කථානායකතුමා හමු වී කාරණය කියා සිටියේ ය.

"ඇයි ඊරියගොල්ල මන්ත්‍රීතුමා පුක්කුස කියලා කිව්වානේ. ඒක කුණුහරපයක් නොවේදැ" යි කථානායකතුමෝ ඔහුගෙන් විමසූහ.

"සමාවෙන්න කථානායකතුමා, පුක්කුස කියන්නේ උම්මග්ග ජාතකයේ වේදේහ රජ්ජුරුවන්ගේ එක පණ්ඩිතයෙක්, ඊරියගොල්ල මන්ත්‍රීතුමා ඇමතිවරුන් දෙස බලා කිව්වේ මේ සේනකලා පුක්කුසලා කාවින්දලා දේවින්දලා ගැන මට විශ්වාසයක් නැහැයි කියල. ඒක කිව්වේ උපහාසයෙන්" යනුවෙන් කියා සිටියේ ය.

"එහෙමද? මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැනේ. කෝ ඊරියගොල්ල මන්ත්‍රීතුමා ආපසු මෙතැනටම කැඳවන්න" යී එතුමෝ කීහ.

ඊරියගොල්ල මන්ත්‍රීතුමා කථානායකතුමා වෙත පැමිණි අවස්ථාවේදී එතුමා කළේ,

"මම නොදැන කළ වරද ගැන මට සමාවෙන්න" යනුවෙන් ඊරියගොල්ල මන්ත්‍රීතුමාගෙන් සමාව ඉල්ලීමය. ඉන්පසු එතුමන් කළේ තමනට නොහැඟුණු වචනයක් ගැන අසන්නට ලැහුණු අවස්ථාවක භාෂා පරිවර්තක ප්‍රධානියා කැඳවා ඒ ගැන විමසා බැලීමය.

රටේ විද්වතුන් කලාකරුවන් පඬිවරුන් කවියන් සමඟද මොලමුරේ කථානායකතුමෝ සමීප සම්බන්ධතා පැවැත්වූහ. නොයෙක් විට ඔවුන් කැඳවා සංග්‍රහ කර සාද පවත්වා ඔවුනට යම් යම් ප්‍රතිදානද සලසා දුන් අවස්ථාද බොහෝ ය. ඒ මඟින් එතුමෝ තමන් නොදත් කාව්‍ය ශාස්ත්‍ර හා ඓතිහාසික තොරතුරුද සිතට උරාගත්හ. වරෙක එවකට සිටි ඉහළම පෙළේ රසදායකයකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා සමඟද ගිය රහස් ගමනක් ගැන මානවසිංහ මහතා ලියූ ලිපියක සටහන් කර තිබුණා අපට මතකයය. වරෙක ගම්බද හස්ථ රේඛා සම්බන්ධයෙන් සුවිශේෂී දස්කම් දැක් වූ ගුරුන්නාන්සේ කෙනෙකු හමුවට මානවසිංහ මහතාද සමඟ මොලමුරේ මැතිතුමන් ගියේ ගම්බද මුදලාලි කෙනෙකු සේ සරමක් සහ කබායක් හැඳගෙනය.

ශාස්ත්‍රඥයා මේ ගම්බද මුදලාලිගේ අත ගෙන එහි වූ හස්ථ රේඛා මැනවින් පරීක්ෂා කළේය. වැඩි කතාබහක් නැතිව බලා සිටව ඉන්පසුව නළල රැලි ගන්වාගෙන යළි අත ආපසු තැබුවේය.

"මේ මුදලාලි මහත්තයාගෙම අතද?" යැයි ඉන්පසුව ගුරුන්නාන්සේ අසා සිටියේය.

"ඇයි ගුරුන්නාන්සේ එහෙම අහන්නේ?" යැයි මුදලාලි විමසුවේය.

"මේ මුදලාලි මහත්තයාට මාව රවටන්න බැහැ. මගේ සාස්තරය රවටන්නත් බැහැ. ඔබතුමා මුදලාලි කෙනෙක් නෙමෙයි. ඔබතුමා මේ රටේ රජෙක් වගේ තැනක බැබළෙන පුද්ගලයෙක්. ඒක ඔබතුමාගේ මේ හස්ථ රේඛාවලත් සඳහන් වෙලා තියනවා කියා මට කියන්න පුළුවන්. ඔබතුමා එහෙම රජෙක් වගේ කෙනෙක් නෙමෙයි කියලා කියනවා නම් මම අදම මේ සාස්තර කීම අත්හැරලා දමනවා" යැයි එවෙලේ එතුමා කියා සිටියේ මානවසිංහ මහතා පමණක්ද නොව අසල සිටි නන්නාඳුනන්ද මවිතයට කරවමිනි. අන්තිමේ එතුමා එතැනින් පිටත්ව ගියේ ගුරුන්නාන්සේට තමන්ගේ නියම තත්ත්වය හෙළි කර අතක් බරට ගුරු පඬුරුද පිරිනැමීමෙන් අනතුරුවය. මෙම සිද්ධිය මානවසිංහ මහතා විසින් හෙළිකර තිබුණේ මොලමුරේ කථානායකතුමාගේ අභාවය පිළිබඳව ලියූ 'වගතුග' තීරයකිනි. පාර්ලිමේන්තුවේ කථානායක ආසනයේදීම ඇති වූ හදිසි හෘදයාබාධයකින් අනතුරුව ආරෝග්‍යශාලා ගත කළ එතුමෝ දෙදිනකට පසු අභාවප්‍රාප්ත වූහ. ඉන්පසුව පාර්ලිමේන්තුවේ, ජාතික රාජ්‍ය සභාවේ ආදී වශයෙන් වූ අපේ පාලන තන්ත්‍ර මූලස්ථානයේ විවිධ කථානායකතුමන්ලා කීප දෙනෙකුම බිහි වූහ. මොලමුරේ මැතිතුමාගෙන් පසුව ඇල්බට් ඇෆ්. පීරිස්, ආර්.ඇස්. පැල්පොල, ස්ටැන්ලි තිලකරත්න, හියු ප්‍රනාන්දු, අල්හාජ් බාකීර් මාකාර්, ආනන්ද තිස්ස ද අල්විස්, අනුර බණ්ඩාරනායක, වී.ජ.මු. ලොකුබණ්ඩාර, චමල් රාජපක්ෂ ආදී මහත්වරුන්ද වර්ථමාන සමයේ කරු ජයසූරිය මහතාද මෙම කථානායක පදවියට පත්ව සිය රාජකාරිය නිසි සේ ඉටු කිරීමට තම නැණ බල‍ය යෙදවූහ. මෙම පිරිසගේ කාලය තුළද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට රසවත් හරවත් දෙයින් විනෝදවත් වීමටද ජනතාව හමුවේ එයින් කිසියම් ඓතිහාසික රසවින්දනයක් ලබාගැනීමට ද මඟපෑදූහ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මඟින් ජනතාවටද සුවිසල් සේවාවක් කිරීමටද මඟහසර පෑදූහ.

මේ අතර එක් දිනක සිරිමාවෝ අගමැතිනියගේ රජය පැවති කාලයේ මුදල් ඇමති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා කළ කථාවකට එරෙහිව ස්ටැන්ලි තිලකරත්න කථානායකතුමා තර්ජනාත්මකව කළ නියෝගයක් නිසා පෙරේරා මහතාට බලවත් සේ කේන්ති ගිය බව පෙනින. "ඒ කියමනට මම කථානායකතුමාට විරුද්ධව පියවරක් ගන්නවා" යැයි ආචාර්ය පෙරේරා අගමැතිනියගේ ආසනය ළඟට ගොස් කියා සිටියේය.

"එය පාර්ලිමේන්තු සභා නීති විරෝධී කටයුත්තක්" යැයි මෙහිදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය "මේ රත්තරන් මොළයක් ඇතිව පැවතියේ යැයි කියන ඩබල් ඩොක්ටර්" හට කියා සිටියාය. එවෙලේ ඔහු කළේ අගමැතිනියගේ අවවාදය පිළිගෙන තම ආසනය වෙත ගොස් ඉඳ ගැනීම පමණය. වර්ෂ 1936 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව, පාර්ලිමේන්තුව, ජාතික රාජ්‍ය සභාව ආදියේද වසර තිස් ගණනක අත්දැකීම් ලබා සිටි ආචාර්ය පෙරේරා මහතා දශක දෙකක පමණ සුළු කලක් පාර්ලිමේන්තු රීති පිළිබඳව මනාව දත් බණ්ඩාරනායක අගමැතිණියට පරාජය වූ අවස්ථාවක් ලෙස දේශපාලන විද්වත්හු මෙම සිද්ධිය දැක දැන මවිතයට පත් වූහ. සමහර විට ආචාර්ය පෙරේරා මුදල් ඇමතිතුමා එවන් අත්දැකීමක් ලැබූ ප්‍රථම අවස්ථාවද එය විය හැකිය.

ආර්.ඇස්.පැල්පොල කථානායකතුමාගේ යුගයේදීය වසර විස්සක් පුරා රටේ වගකිව යුතු ඇමතිකම් දෙකක්ම දැරූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර - නිදහස් අධ්‍යාපනයේ පියා අන්ත අසරණභාවයට පත් වූයේ එතුමන්ගේ ගෝලයකු වූ ලංකා අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක උතුමාණන්ගේ ඇනැවීම අනුව පැල්පොල කථානායකතුමාණන්ට ලියූ ලිපියකින් 'මේ මගේ අන්තිම කාලය. මම.බොහොම අසරණ වෙලා ඉන්නේ. මට මේ සුළු කාලය ගෙවන්නට පිං පඩියක්වත් ලබාදුන මැනවි'' යැයි ආයාචනයක් කරන්නට සිදුවූයේ එසමයේදිය. මෙම කාරණය මැතිසබය වෙත ඉදිරිපත් කළ පැල්පොල කථානායකතුමෝ එමඟින් රුපියල් දස දහසක පාරිතෝෂිකයක්ද මසකට රුපියල් පන්සියයක පිං පඩියක්ද කන්නන්ගර හිටපු ඇමතිතුමා වෙත ලැබෙන්නට සැලැස්වූහ.

එකල කොට්ටාවේ මන්ත්‍රී වශයෙන් සිටි රොබට් ගුණවර්ධන මැතිතුමන් නොයෙක් විට කරන ලද කතාවල සමහර කොටස් පැල්පොල කථානායකතුමාණන්ට නොරිසි වූ අවස්ථා අනන්තය.

"මන්ත්‍රීතුමා, ඒ කොටස ඉල්ලලා අස් කරගන්න" යැයි එතුමෝ කියා සිටියහ.

"මම හුඟක් කතා කළා. මොනවද කථානායකතුමා ඉල්ලා අස් කරගන්න ඕනේ?" යැයි කියමින් තමනට අනිසි වුණා යැයි කියන කතා කොටස කථානායකතුමාගෙන්ම කියවා ගන්නටද රොබට් ගුණවර්ධන මන්ත්‍රීතුමෝ සමත් වූහ. කථානායකතුමා එම කොටස යළිත් කීවිට රොබට් ගුණවර්ධන මන්ත්‍රීතුමා කියන්නේ "අහ්, මම ඒ කොටස ඉල්ලා අස් කරගන්නවා" කියාය. මෙසේ එතුමාගේ කතා කොටස් ගැන පැල්පොල කථානායකතුමා කියද්දි සිදුවූයේද ඒ පිළිවෙතමය. එය අනෙක් මන්ත්‍රීවරුන්ගේ උපහාසයටද ලක් විය. ඉන්පසු පැල්පොල කථානායකතුමෝ ඒ පිළිවෙත අත්හැර දැමූහ. පසුකලෙක පාර්ලිමේන්තුවෙන් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිතුමියගේ ප්‍රජා අයිතිවාසිකම් පස් වසරකට අහිමි කර දමමින් එතුමිය පාර්ලිමේන්තුවෙන් පළවා හරින්නට හැත්තෑ හතේ බලයට පැමිණි ජේ.ආර්. ජනාධිපතිතුමෝ කටයුතු කළහ. එයින් කලකට පසු බණ්ඩාරනායක මැතිණියගේ එකම පුත් අනුර බණ්ඩාරනායක මැතිතුමාට පාර්ලිමේන්තුවේ කථානායක පදවිය ලබාදෙන්නටද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් කටයුතු කළේ එතුමියගේ හිත එක්තරා අන්දමකට සනසනු පිණිස යැයි සමහර දේශපාලන නිරීක්ෂකයෝ පසුකලෙක කියා සිටියහ.

වරෙක පාර්ලිමේන්තුවේ කථානායක පදවියට පත්වූ බේරුවල අල්හාජ් බාකීර් මාකාර් මැතිතුමෝද විවිධ ශාස්ත්‍රාන්තර ධර්මාන්තර පිළිබඳව හසල බුද්ධිමතෙකුද වූහ. බෞද්ධ දර්ශනය පිළිබඳ හසල බුද්ධියකින්ද යුතු වූ එතුමෝ පාර්ලිමේන්තුවද හසුරනු ලැබුවේ "මගේ එක් අතක කුරාණය තියෙනවා. අනිත් අතේ ධම්මපදය තියෙනවා. ඒ අනුවයි මම කටයුතු කරන්නේ. අපි සියල්ලන්ම සමානාත්මතාවයෙන් යුතුව සලකා පොදු මහජනතාව වෙත සේවය කරන්න බැඳිලයි ඉන්නේ. ඒ නිසා අපි හැමවිටකදීම සාමය, සමගිය, සමාදානය සහ පරාර්ථචර්යාව වෙනුවෙන් කැප වෙමු" කියමි කළ මෙහෙයද ඉතා අගනා පාර්ලිමේන්තු සම්ප්‍රදායික කටයුත්තක් ලෙසද සඳහන් කළ හැක්කේ ය. සිංහල පඬිවරයෙකු හා හෙළ හවුලේ අනුගාමිකයකුද වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාණන් පාර්ලිමේන්තුවේ කථානායක ආසනය හොබවන සමයේදීද තමන් යටතේ වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතරද මනා පැවැත්මක් හා වගකීමකින් යුතු වන ලෙස තම පාලන තන්ත්‍රය මෙහෙයවන්නටද සමත් වූහ. එහෙයින්ම ලොකුබණ්ඩාර කථානායකතුමෝ මන්ත්‍රීවරුනට සිංහල සාහිත්‍යයේ අගය ඉහළින්ම දක්වන්නටද සාර්ථක ප්‍රයත්නයක යෙදුණහ. ඉන්පසුව උදා වූ චමල් රාජපක්ෂ කථානායක යුගයේදීද එතුමෝ බෙහෙවින්ම තැන්පත් පාලකයකුගේ මඟහසර දක්වමින් ආදර්ශවත්ව මැතිසබය මෙහෙයවන්නට සාර්ථක ප්‍රයත්නයක යෙදුණහ.

වර්තමාන සමයේ කරූ ජයසූරිය කථානායකතුමෝ ද සිය උපරිම බුද්ධි බලය යොදවමින් සිය කාර්යයේහි යෙදුණහ. නොයෙක් විට විවිධ පක්ෂ මතිමතාන්තර අනුව කලි කලහා, බැන අඩගැසීම් හා නොයකුත් විපරීත කටයුතු සිදු කෙරුණද අදද අපි පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක් සේ සලකමු. මේ අනුව බලනවිට එතෙක් මෙතෙක් කල් පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැක ගනිමින්ද සමහර විටෙක නොයෙක් කලි කලහයන් විසින් එය බිඳ දමමින් සාමය නැති කරවමින්ද කටයුතු කෙරුණු නමුත් පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක හැසිරීම කාටත් පූර්වාදර්ශයක් වශයෙන් සඳහන් කළ යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා