ඒ බලවේගේ

 ඡායාරූපය:

ඒ බලවේගේ

"ඔබ ඇති තැන - නැත බිය සැක" කියන තේමා පාඨය හැදුවේ ගිරාඳුරුකෝට්ටේ තරුණයෙක්ය. ඒක හැදුවේ ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන්ය. 1993දී ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ලලිත්ලා පක්ෂයෙන් නෙරපූ විට ඔවුහු අලුත් පක්ෂයක් ගොඩනැඟූහ. ඒ ‘ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ’ය. එහි නායකයා ලෙස තෝරා ගැනුණු ලලිත්ගේ තේමා පාඨය වූයේ වරෙක ගිරාඳුරුකෝට්ටේ සංචාරයකදී තරුණයකු විසින් ඇඳි බැනරයේ වූ මේ "ඔබ ඇති තැන - නැත බිය සැක" යන වැකියයි. එදා අලුත් පක්ෂය බිහිවුණාම මිනිස්සු එය පිළිගත්තේ 'බොක්කෙන්'ය.

ප්‍ර.එ.ජා.පෙ සැලකෙන්නේ ලංකා දේශපාලන ඉතිහාසය තුළ එදාමෙදා තුර බිහිවූ හොඳම තුන්වන බලවේගය ලෙසය. සැබැවින්ම චන්ද්‍රිකා මැතිනියට බස්නාහිර පළාත් සභාවේ බලය ලබාගැනීමට හැකි වූයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව ප්‍ර.එ.ජා.පෙ සමඟ සන්ධානගත වීමෙන් පසුවය. ඒ මදිවට ප්‍ර.එ.ජා.පෙ වයඹ මහ ඇමැති පුටුවද සන්තක කොට ගත්තේ ප්‍රධාන පක්ෂ දෙකේ තට්ටු මාරු දේශපාලනයට 'කණ කිස්'පහරක් දෙමින්ය.

මාස කිහිපයක් වයස පක්ෂය ඡන්ද ලක්ෂ 10ක් ඉක්මවා ලබා ගත්හ. පක්ෂයේ නායක ලලිත් අතුලත්මුදලි ඝාතනය වීමත්, ගාමිණී දිසානායක පෙරළා එජාපයට ඒමත් නොවන්නට 'රාජාලියා' අලියා උස්සා පොළවේ ගසා හමාරය.

සාම්ප්‍රදායික සිතිවිලි තිබූ බොහෝ අය හිතුවේ මේ රටේ තුන්වෙනි බලවේගයක් මුල්තැන ගන්නේ නෑ කියාය. ජවිපෙ තුන්වෙනි බලවේගය ලෙස සමහරු සැලකුවද එය ආණ්ඩු බලය කරා යන්නා තබා 'තිස්සමහාරාමය' හැරුණු කොට වෙන එකම ප්‍රාදේශීය සභාවක්වත් දිනාගෙන හෝ නැත.

එහෙම තත්ත්වයක් තුළ 'තුන්වෙනි බලවේග' සිහිනයක් වී තිබිණි.

රාජාලිය හදාගෙන එජාපයට අභියෝග කළේ ලලිත්, ගාමිණී වුවද ඊට පාර කැපුවේ ප්‍රේමදාසය. ප්‍රේමදාස මහතාගෙන් පහර කෑ මන්ත්‍රීවරු "රාජාලියා" පක්‍ෂය පිහිටුවාගත්හ. මියගිය ටිරෝන් ප්‍රනාන්දු මහතා වරක්‌ කුරුණෑගලදී කීවේ ගාමිණී ලලිත් කප්පාදුව යළි එක්‌සත් ජාතික පක්‍ෂය ගොඩ නොඑන කප්පාදුවක්‌ බවයි. අද එක්‌සත් ජාතික පක්‍ෂයට වැදුණු මරු පහර වැදුණේ 1991දී ආර්. ප්‍රේමදාස මහතා අතිනි.

යහපාලන ආණ්ඩුව ‘කැලේ’ යන විට බොහෝ දෙනා කල්පනා කළේ කුමක් කරන්නද කියාය.

එහෙත් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය වේගයෙන් ජනතාව කෙරෙන් ඈත් වෙමින් තිබිණ. නව පරම්පරාව පක්ෂ දේශපාලනයට වඩා 'නවතාවයෙන්' දේශපාලනය දෙස බැලූහ. සම්ප්‍රදායිකව 'අත', 'අලියා' යනාදී ලෙස ලකුණු වෙන්කරගෙන සිටින ආකල්පය දුරස් විය. ජනතාවගේ 'අපේක්ෂා' සමඟ සමපාත 'තෙවැනි බලවේග' සුපිරි පක්ෂ ලෙස පෙරට ආහ. එහි ප්‍රමුඛ ආදර්ශය සැපයුවේ 'පොදුජන පෙරමුණය'.

පිහිටුවා මාස 6ක් තුළ ඔවුහු 'පුංචි ආණ්ඩුව' ලබා ගත්හ. මෙරුන් පැහැයෙන් මැතිවරණ සිතියම වර්ණවත් විය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුව බලය හෙබවූ පක්ෂය පුංචි ඡන්දයෙන් පරාජය විය. ප්‍රධානතම විශ්මය වන්නේ මාස හයක නොදරු පක්ෂයක් විසින් ඒ විශ්මය සිදු කිරීමය. ඒ නිසා දැන් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය දෙදරා ගොස් හමාරය.

'ඕනනම් අපිට හෙට වුණත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්.' යහපාලන ආණ්ඩුවේ කේවල් කිරීම් අතර වරක් එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් එහෙම කීවේය. ඒ පක්ෂයේම තවත් කිහිපදෙනෙක් ඔය කතාවම කීහ.

බලාගෙන ගියාම ආණ්ඩුවේ පාර්ශ්වකාරයන්ටත් ආණ්ඩුව එපා වෙලා තිබිණි. ආණ්ඩුව පවතින්න හේතු කිසිවක් හොයාගන්න නැතත් ආණ්ඩුව පෙරළෙන්න හේතු නම් ඕනෑවටත් වඩා තිබිණි.

'හරි, ආණ්ඩුව පෙරළලා ගේන්න ආණ්ඩුවක් තියෙනවද?'

කෙනෙක් එහෙම අහන්නට බැරි තැන. එහෙම අහනකොට සමහරු කීවේ 'මේ රටේ අලුත් පක්ෂෙකට ඉඩක් නෑ, ඒ හින්දා මහින්දලා ආයේ එනවා බොරු' කියලාය. හැබැයි ප්‍රංශයේ වෙච්ච විපර්යාසය දිහා බලපු කෙනෙක් හිටියානම් එදා එහෙම කියන්නේ නැත.

ප්‍රංශ ඉතිහාසය පමණක් නොව මුළු මහත් යුරෝපා ඉතිහාසයම උඩු යටිකුරු කරන්නට සමත් ප්‍රතිඵලයක් එක්ක එමානුවෙල් ප්‍රංශයේ නායකයා විය. එමානුවෙල් ඡන්දෙට ආවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් නොවේ. ඔහු ආවේ අලුත්ම පක්ෂයකින්ය. 1858 නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් පස්සේ එරට ප්‍රධාන දේශපාලන දහරාවන්ගෙන් පිටත අපේක්ෂකයකු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ප්‍රථම අවස්ථාවද මේකය. එමානුවෙල් දිනයි කියා කවුරුවත් හිතුවේ නැත. හැමෝම කීවේ අලුත් පක්ෂෙකට ප්‍රංශ සමාජයේ ඉඩක් නෑ කියලාය. දශක ගණනාවක් සාම්ප්‍රදායික රටාවට නායකයෝ පත් කරගත් මිනිස්සු මෙවර වෙනස් විය. අන්තිමට ප්‍රංශයට 'අලුත් පක්ෂයකින්' අලුත් නායකයෙක් හිමිවිය. ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශිත ඡන්දවලින් 65% ක් ලබා ගනිද්දී ප්‍රතිවාදී මරීන් ලපෙන්ට ලබා ගැනීමට හැකිවූයේ 35%ක ප්‍රතිශතයක් පමණක්ය. ඒ අනුව අන්ත දක්ෂිණාංශික මරීන් ලපෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්රෝන් සමත් විය.

"අපි ප්‍රංශ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළනවා. එය විශ්වාසයත් බලාපොරොත්තුවත් අලුත් කරන නව පිටුවක් වේවා." මෙහෙම කීවේ ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ය.

මැක්‍රෝන්ගේ මේ ජයග්‍රහණයත් එක්ක එක අතකින් තිගැස්මටත්, තව අතකින් නව බලාපොරොත්තුවකටත් ලෝකයම ‍දොරගුළු විවර විය. තිගැස්මට ලක්වුණේ හැමදාම තට්ටු මාරු ක්‍රමයට බලය ගත්ත ද්වි පක්ෂ තිබුණු රටවල්ය. බලාපොරොත්තු සහගත වුණේ, අලුත් පක්ෂ හරහා 'බලය' සොයන රටවල්ය.

වරක් ජනපති මෛත්‍රීපාල සිරිසේන අලුත් කතාවක් කීවේය. ඒ 'සුපිරි පක්ෂයක්' බිහිවන බවය. ඔහු කීවේ මැක්‍රෝන් තියරිය සිහිපත් කරමින්ය. හැබැයි, එහෙම කීවත් මැක්‍රෝන් සිස්ටම් එකට ශ්‍රීලනිපය අදාළ කරගන්නට බැරිය. මැක්‍රෝන් යනු අලුත් පක්ෂයකින් පෙරට ඇවිත් ප්‍රංශයේ බලය ගත්ත 'තරුණයෙක්ය.' ශ්‍රීලනිපය කියන්නේ සාම්ප්‍රදායික බල හුවමාරුවේ තියෙන පක්ෂයක්ය. එහෙම නම් ජනපතිගේ ප්‍රකාශයේ අර්ථ දෙකක් තිබිණි. එකක්, ශ්‍රීලනිපය වෙනුවට 'අලුත් පක්ෂයක්' පිහිටුවන බවය. එහෙම නොවේ නම් ඔහු කියන්නේ වෙනත් පිරිසක් පිහිටුවන 'අලුත් පක්ෂයක්' ගැනය. සත්තකින්ම සිදුවූයේ දෙවැන්නය.

ඒ නිසා දැන් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය දෙදරා ගොස් හමාරය.

ඒක එහෙමනම් ඒ පක්ෂය මහින්දලා මුල් වී පිහිටුවනු ලැබූ 'පොදුජන පක්ෂය'ද දන්නේ නැත. 'අලුත් පක්ෂ හදපු ලලිත්ලට ගාමිණීලට වෙච්ච දේ මතකද?' සමහරු එහෙම අහන්නේ හරිහැටි කරුණු නොදැනය. දාහත් වසරක එ.ජා.ප පාලනයේ අවසානය ආරම්භ කළේ පිහිටුවලා මාස තුනක්වත් වයස නැති ලලිත්ලාගේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණය.

"මා ළඟ මහා සංකල්ප නැහැ. ඇත්තේ පුංචි අදහස්. ඒ අදහස් මිනිසුන්ගේ අදහස් එක්ක එකතු වුණාම ඒ දෙක පෑහී අලුත් දෙයක් නිර්මාණය වෙනවා"

ලලිත් පක්ෂය පටන් ගත්තේ එහෙම කියලාය. එවක එක්සත් ජාතික පක්ෂයට තම පූර්ණ සහාය දැක්වූ උගතුන් බුද්ධිමතුන් රැසක් ඒ වනවිට ලලිත්, ගාමිණී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වටා එකතුව සිටියහ. ඒ අනුව පළාත් සභා මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බොහෝ විස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමඟ ඉදිරිපත් විය. එහිදී ලලිත් සඳහන් කර තිබුණේ 'රජය අලියා සලකුණ ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට පත් කරගෙන ඇතත් එම සංකේතයේ සම්ප්‍රදායයන් ඔවුන් වෙත නොමැත. ඔවුන් එම උතුම් ගුණය කෙලෙසා ඇත" යන්නය.

අවස්ථාවාදීන්ට 'අතුල් පහරක්' ගැසූ ලලිත්ලා අලුත් පක්ෂයෙන් මැතිවරණයට ආහ. ආවා විතරක් නෙවේ. ඔවුන් හා ජනතාව ඉන්න බව ඔප්පු කරලාම පෙන්නුවේය. 1991 සැප්තැම්බරයේ නුගේගොඩදී මෙම එජාපයෙන් නෙරපූ මන්ත්‍රීවරු අට දෙනා එක්ව පැවැත්වූ ජන රැලියට ලක්ෂ හතරහමාරකට අධික වාර්තාගත ජනකායක් එක්කාසු වීමෙන් ඔවුන්ට තිබූ අපරිමිත ජනතා බලය ඔප්පු විය. ලලිත්ගේ ඝාතනයත්, ගාමිණීගේ නැවත 'මහගෙදර' යෑමත් නොවන්නට 'රාජාලියා' නවතින තැන හිතාගන්නට බැරිය. ලලිත් - ගාමිණී යුගලය එක්ව පිහිටුවූ එම පක්ෂය අනපේක්ෂිත ලෙස විනාශ නොවන්නට සිදුවන දේ හිතාගන්නටත් බැරිය. මුල්ම මැතිවරණයේදී ශාඛා සමිතියක්වත් නැතිව තරග කළ 'රාජාලියා' සියයට 15කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ගත්තා විතරක් නොව 'වයඹ' පළාත් සභාවේ මහ ඇමැතිකමද දිනා ගත්තේය. බස්නාහිර එවක චන්ද්‍රිකා මහ ඇමැතිනිය වන්නේ 'රාජාලියාගේද' හයිය අරගෙනය. දකුණේ 'හැරවුම් ලක්ෂ්‍යය' හැදෙන්නේ ‘රාජාලියා’ නිසාය. එක්සත් ජාතික පක්ෂයෙන් ලලිත්ලා නෙරපා හරිනකොට ඔවුන් කළේ ශ්‍රීලනිපයට යන එක නොව අලුත් පක්ෂයක් හදන එකය.

බොහෝ දෙනකු අද 'අනුමාන' කතා කියන්නේ 'රාජාලියා' පූර්වාදර්ශයට අරගෙනය. හැබැයි එදා මෙදාතුර 'බලවත් ආණ්ඩුවක්' හොල්මන් කරලා දැම්මේ ඒ මාස තුනක් වෙච්ච පක්ෂයය.

එහෙම බැලුවම 'අලුත්' දේවල් 'අමුතු' දේවල් කියා හිතන්නට ඉඩක් නැත. මේ යහපාලන ආණ්ඩුව එකක් හරියට කළේය. ඒ පක්ෂ වෙත 'බර තබා' සිටීමේ සම්ප්‍රදාය වෙනස් කිරීමය. ඒ අනුව අලුත් පක්ෂවලට පැවැත්මක් නැතැයි කියන මිථ්‍යාව දැන්වත් ඉවත් කරගන්නා එක හොඳය.

ජනපති කියන ' මැක්‍රෝන් සිස්ටම් එකේ' පක්ෂයක් වේ නම් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය විය නොහැකිය. එය ඒ දෙකෙන්ම පරිබාහිර එකක්ය. එහි ඉන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම කලකිරී වෙන්ව ගිය අය විය හැකිය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේත් 'අළු යට ගිනිය'. පුපුරායෑම කොයි මොහොතේද කියන්නට බැරිය. එහෙම බැලුවොත් එදා බිහි වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉක්මවූ සුපිරි පක්ෂය කුමක්ද? සමහරු කියන්නේ පොදුජන පෙරමුණ කියාය. එය ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සමඟ යන ගමනක් වූ කල...!

ඒක කොහොමද කියා බලන්න වෙන්නේ ඉස්සරහටය.

[ප්‍රවීණ ජයවර්ධන]

මාතෘකා