මේක වෙනවා කියලා අවුරුදු හතරකට කලින් මම ලියලා දුන්නා

 ඡායාරූපය:

මේක වෙනවා කියලා අවුරුදු හතරකට කලින් මම ලියලා දුන්නා

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්

තිස්ස අත්තනායක

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු ලෙස එජාපයේ ගමන තිබෙන්නේ කොතැනද කියලා ඔබට තක්සේරුවක් ඇති?

එක්සත් ජාතික පක්ෂය මේ රටේ ප්‍රධානම පක්ෂයක්. නමුත් අවාසනාවට වගේ 1994 වර්ෂයේ සිට එජාපය ලැබූ පරාජයන් නිසා දිගින් දිගටම මෙරට රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වුණා. 1946 එජාපය බිහිකළ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගෙන් පසුව පත්වුණු හැම නායකයෙක්ම රටටත් පාක්ෂිකයන්ටත් ජයග්‍රහණ අරගෙන දුන්නා. අවාසනාවට වගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ එය සිදුවුණේ නැහැ. අප මුහුණ දුන් ප්‍රධාන මැතිවරණ ගණනාවක් තිබෙනවා. 1994 වසරෙන් පස්සේ 1999 ජනාධිපතිවරණය, 2005 ජනාධිපතිවරණය, 2010 සහ 2015 ජනාධිපතිවරණ දෙකම එජාප අපේක්ෂකයෙක්වත් ඉදිරිපත් කළ නොහැකි මට්ටමට මේ ප්‍රධාන පක්ෂය පත්වුණා.

2000, 2001, 2004, 2010 වගේම 2015 කියන මහ මැතිවරණවලින් 2001 සහ 2015 මැතිවරණවලින් යම් ජයග්‍රහණයක් ලැබුවේ වෙනත් සාධක පදනම් කරගෙනයි. එහිදී නායකත්වයෙන් ලබාදුන් ජයග්‍රහණයක් ඇත්තේම නැති බව බැහැර කරන්න බැහැ. කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා එජාපය යන්නේ කනත්තට බව.

එජාපය කඩා වැටෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වය යටතේ කියලද ඔබ කියන්නේ?

මම කීවේ එජාපය එන්න එන්න කඩා වැටෙනවා. මම එහෙම කියන්නේ එජාපයට අපහාස හෝ අගෞරව කරන්න නෙවෙයි. එජාපය අල්ලගෙන ඉන්නේ පාක්ෂිකයන් නෙවෙයි. වරින් වර බලය තියෙද්දි එජාපයට එකතු වෙමින්, බලය නැති වෙනකොට එජාපය අතහැර ගිය ආගන්තුකයන් මේ පක්ෂය ගිලගෙන තියෙන්නේ. ඒ නිසයි අපට තිබුණු ජාතික බලවේග අපෙන් ඈත් වුණේ. අද එජාපයට සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් එකට කරපු ශක්තිය තිබෙනවාද කියලා බලන්න. වරින් වර ඔවුන්ව හයර් කරනවා කීවොත් වරදක් නැහැ. සිංහල බෞද්ධකම, ජාතික එකමුතුව, එජාප මුස්ලිම් හා දෙමළ බලවේග සියල්ල බැහැර වෙලා. අද එජාපයට තනිව සටන් කළ හැකි ශක්තියක් නැහැ කියන එකයි මගේ අදහස.

එජාපයේ තරුණ මන්ත්‍රීවරුන්ට පෙර මඟ කියා දෙන පිරිසක් නැද්ද?

අලුත් නායකයන්, සංවිධායකයන් එජාපය තුළ ගොඩනැඟෙන්න ඕනෑ. ජේ. ආර්. ජයවර්ධන තමයි එජාපයේ අපි දැක්ක දැවැන්තම නායකයා. ඔහු පක්ෂයේ නායකයා වී එජාපයට ස්ථිර බලයක් ලබා දුන්නා. එතැනින් පසුව ඔහු ආණ්ඩු කරන කාලය තුළ ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රණසිංහ ප්‍රේමදාස වගේ අලුත් නායකයන් පෙළක් ගොඩනැඟුවා. ඔවුන්ට ගොඩනැඟෙන්න ඉඩදුන්නා. අද ඒ තත්ත්වය පක්ෂය තුළ නැහැ. වරින් වර කැපී පෙනෙන නායකයන්ව මතවාද, මතභේද, මත ගැටුම් ඇති කරගනිමින් ඉවත්වීම, ඉවත් කිරීම දෙකම සිදුවෙනවා. හරි වැරැද්ද පෙන්වා දෙන්න ගියාම එය වැරැද්දක් ලෙස දකිමින් කොන් කරන්න උත්සාහ කරන හැටි මම දැක්කා. මම අවුරුදු 27ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ මහ ලේකම්වරයා ලෙස සිටිමින් මේ දේ දැක්කා. පක්ෂය අලුත් මිනිස්සුන්ට ගොඩනැඟෙන්න ඉඩ දෙන එකේ අඩුවක් පේනවා.

ඔබ එජාපයේ පැරණි සහ ප්‍රබල නායකයකු ලෙස අංකුරවලට ගොඩනැඟෙන්න ඉඩ ප්‍රස්ථාව සලසන්න තිබුණා නේද?

මගේ කාල පරිච්ඡේදයේ පක්ෂය තුළ අලුත් දේශපාලන ව්‍යාපාර ඇති වුණා. පක්ෂයේ අනිත් අයගෙත් උදවු අරගෙන, පාරට බැහැලා සටන් කරන ව්‍යාපාර බොහොමයක් මම කළා. 2001 මහනුවර, කොළඹ ජනබල මෙහෙයුම, 2005 මාතර කොළඹ ජනබල මෙහෙයුම, ගමේ නායකයන් 12000ක් ඇති කරන ව්‍යාපාර ආදිය ආරම්භ කළා. මොන දේ කරන්නත් නායකත්වය පිළිබඳව තිබෙන ප්‍රතිරූපය ඉතා වැදගත්. ඒ ප්‍රතිරූපය සමඟයි ඉදිරියට යන්න වෙන්නේ. තනතුරක් දැරුවා කියලා තනිවම පක්ෂයේ මහා පරිවර්තනයක් කරන්න බැහැ. නමුත් පක්ෂයට බලය ගන්න, ඉදිරි ජයග්‍රහණ සඳහා බිම් මට්ටම ශක්තිමත් කරන්න, අර්බුදවලින් ගොඩ එන්න හැම විටම මම උත්සාහ කළා.

වත්මන් එජාප මහ ලේකම්ගේ කාර්යභාරය ගැන ඔබට අදහසක් ඇති?

ඒ ගැන කතා කිරීම සදාචාර සම්පන්න නැහැ. මම නිවැරදියි, වෙන කෙනෙන් වැරදියි කීම හොඳ නැහැ. නමුත් මිනිස්සුන්ට ඒ ගැන හොඳ තක්සේරුවක් තියෙනවනේ.

එජාපය ආණ්ඩු කිරීමට ගත් මෑත කාලීන අවස්ථා දෙකේදීම ඉක්මනින්ම එය බිඳ වැටුණා. මේකට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

ලැබුණු බලය රැක ගන්න, තම පාක්ෂිකයන් රැක ගන්න ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිකමයි එයට හේතුව. මම 2001 ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු ලෙස කටයුතු කළා. එජාප ආණ්ඩුව තිබුණත් රජයේ ප්‍රධානියා වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියයි. මුල් වකවානුවේ දෙපිරිස සහජීවනයෙන් වැඩ කළේ. නමුත් කාලයකදී අපේම වැරැද්දෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ ගැටුම් ඇති කරගත්තා. කැබිනට් මණ්ඩලයේ අනවශ්‍ය ගැටුම් ඇති කරගත්තා. එහි ප්‍රතිඵලය වුණේ 2004 වසරෙදි ජනාධිපතිවරිය ආණ්ඩුව විසුරුවා හැරීමයි. ඒ අනවශ්‍ය ගැටුම් පාලනය කරගැනීමට එජාප නායකත්වයට නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් සමඟ ගැටුම් ඇති නොකරගෙන ලිච්ඡවී ක්‍රමයට පාලනය ගෙන යන්න උත්සාහ කළා නම් එජාපයට මේ ඉරණම අත්වෙන්නේ නැහැ.

මේ අවස්ථාවේ ඇතිවුණු ගැටුම මීට වඩා වෙනස්. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ සහායත් ඇතිව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ගැනීමට ඔහුව තල්ලු කිරීම තමයි කරගත්තු පළමු වැරැද්ද. රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි බව නිසාම මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගැටුම් ඇති කරගෙන තිබෙන බව අපට පේනවා. අද සිදුවන දේ ගැන ලිපියක් මඟින් මීට වසර 4කට පෙර මම රනිල් වික්‍රමසිංහ මහතාට බාර දුන්නා.

එජාපය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද කියන ප්‍රශ්නයත් මේ දිනවල ඇහෙනවා?

මෙහි දෙපැත්තක් තිබෙනවා. ජනතාව වෙනුවෙන්, රටේ දියුණුව වෙනුවෙන් වැඩ කිරීම ආණ්ඩුවක වගකීමක්. දෙවනුව තමන්ගේ පාක්ෂිකයන් රැක බලා ගැනීමත් පක්ෂයක වගකීමක්. දේශපාලන බලය රැක ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් වගකීමක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මේ කාර්යයන් දෙකම අතහැරියා කියලා මට පෙනුණේ. බලයට පත්වී මුලින්ම තම පාක්ෂිකයන් වෙනුවෙන් යමක් කරන්නට අමතක කළා. වසර 20ක කාලයක් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු ජනතාව, සන්නිවේදන බලකාය ආදී තමන්ගේ ජනතාව අමතක කළා. ඔවුන් තම පක්ෂය අතහැර ගියා. එසේම ජාතික වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඔවුන් ඒ වෙනුවට කළේ පහුගිය ආණ්ඩුවට බැණ වදිමින් නිදහසට කරුණු කියන එක. මිනිසුන්ට නිදහසට කාරණා අවශ්‍ය නැහැ. ජනතාව වෙනුවෙන් ආණ්ඩුව වැඩ කරනවා දකින්නයි ජනතාවට අවශ්‍ය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් හැදූ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථා අද වන විට එජාපයටත් පාරාවළල්ලක් වෙලා කීවොත්?

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඇති කළ ව්‍යවස්ථාව ශක්තිමත් ව්‍යවස්ථාවක්. ව්‍යවස්ථාවේ වගන්තිවලින් චෝදනාවට ලක්වූයේ විධායක ජනාධිපති ධුරය සඳහා පමණයි. එවැනි අවස්ථා තිබුණත් මෙතෙක් බිහිකළ හොඳම ව්‍යවස්ථාව 1978 ව්‍යවස්ථාවයි. 2000 වසරේ ඉදිරිපත් කළ ව්‍යවස්ථාවේ මූලික අරමුණ වුණේ බලය බෙදීමයි. උතුරේ ඇතිවුණු ගැටුම්වලට විසඳුමක් ලෙස මුළුමනින්ම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න හැදුවා. නැවතත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කළේ බලය බෙදන්නයි.

විධායක ජනාධිපති ධුරයේ අසාර්ථක තැන වෙනස් කිරීම වෙනුවට මුළුමනින්ම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න ගියොත් රටේ ජාතීන්, ආගමිකයන් අතර මත ගැටුම් ඇති වෙනවා. අන්තවාදී කොටස්වල අදහස් මඟින් ව්‍යවස්ථාවක් ඇති කිරීම භයානකයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. එය ගෙනා අරමුණු අතර රාජපක්ෂ පවුලේ දේශපාලනය අවසන් කිරීම ඇතුළත්. තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයක් මිස රටේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයක් නෙවෙයි.

එජාපයේ නායකත්වය මේ වන විට එජාප ව්‍යවස්ථානුකූලව අහෝසි විය යුතුයි කියලා ඔබ කියා තිබුණා?

මම දන්න කාලය තුළ නායකයා පත්වුණේ වාර්ෂික සමුළුවෙන්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්වූ පසු මේ පත් කිරීමේ ක්‍රමවේදය වරින් වර වෙනස් කළා. එජාපයේ නායකයා යාවජීව නායකයා වන ලෙස ව්‍යවස්ථාවට ගෙන ආවා. මේ නිසා නොයෙක් ආකාරයේ ගැටුම් ඇතිවුණා. ඒ නිසා 2010 වසරේදී එජාප ව්‍යවස්ථාවේ 8 -1 වගන්තියේ සංශෝධනයක් මඟින් පක්ෂයේ නායකයා ඡන්දයෙන් පත් කරන ක්‍රමවේදයක් ගෙන ආවා. 2012 වසරේ 8- 1 වගන්තිය නැවත සංශෝධනය කළා. එය නායකයා අවුරුදු 6ක් දක්වා හෝ නැවතත් ජාතික මැතිවරණයක් දක්වා වන ක්‍රමවේදයක්. මගේ මතකයේ හැටියට 2012 වර්ෂයේ තමයි පක්ෂ නායකයා තේරුවේ. එම ව්‍යවස්ථාව අනුව තේරුවා නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අහෝසි විය යුතුයි. ජාතික මැතිවරණයක් කියන කාරණය සැලකුවොත් 2015 ජාතික මැතිවරණයෙන් පත්වූ ආණ්ඩුවත් දැන් අවසන් වෙලා.

X2015 වසරේදී පක්ෂ මාරු කිරීම සම්බන්ධව ඔබට දැන් තිබෙන්නේ කුමන හැඟීමක්ද?

2015 වසරේදී පක්ෂ මාරු කිරීමක් නෙවෙයි මම කළේ. එහිදී ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මත ගැටුමක් ඇති වුණා. එජාපයෙන් රටට නායකයකු බිහිවිය යුතුයි කියන එක මගේ ඉලක්කය වුණා. මම සැලසුම් කළ වැඩපිළිවෙළට විවිධ බාධා ඇති වුණා. පොදු අපේකෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා ගැනීම ගැන මම විරුද්ධ වුණා. මේ තීරණය කවදා හෝ එජාපය පශ්චාත්තාප වීමට හේතු වන තීන්දුවක් බව මම ලියලා දුන්නා. ඒ සමඟ ඇති වුණු මත ගැටුම් සමඟ මා එළියට තල්ලු වුණා. අද මම අලුත් ගමනක් යන්න පටන් අරන් තියෙනවා.

ඒ අලුත් ගමන් කොතනින්ද පටන් ගත්තේ?

මම ස්වාධීන මතයක ඉන්නේ. මම සන්ධාන ගත දේශපාලනයකට යනවා. රටට ආදරේ කරන, රටට ගෞරවයක් ඇති කරන, රටේ ජනතාව රැකබලා ගැනීමට හැකි තැනකට මම සම්බන්ධ වෙනවා. රට ගමන් කළේ වෙනත් දිශාවකට. රට ඉදිරියට ගෙන යන තැනකට මම සහාය දෙන්න සූදානම්.

ඔබ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වෙනවා කියලත් ආරංචි පැතිරෙනවා?

අපි බලමු. එජාපය ප්‍රමුඛ සන්ධානය ගැනත් විශ්වාසයක් තියන්න අමාරුයි.

සාකච්ඡාව [රසිකා හේමමාලි]

මාතෘකා