ගුටි කෙලි, ලේ සෙලවීම් මැද මැතිසබයේ සිදුවුණු දේ

 ඡායාරූපය:

ගුටි කෙලි, ලේ සෙලවීම් මැද මැතිසබයේ සිදුවුණු දේ

පසුගිය 14දා උණුසුම්කාරී වාතාවරණයකදී කල් තැබූ පාර්ලිමේන්තුව ඊයේ (15) උදෑසන 10ට යළි රැස් විය. පෙරේදා (14) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාසභංගය හරහා ඔහු ඇතුළු අමාත්‍ය මණ්ඩලය බල රහිත වූ බවට විශ්වාසභංගයට පක්ෂ වූ කණ්ඩායමට ප්‍රකාශ කළද, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙර දිනයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන තිබිණි.

අගමැති පුටුව මහින්ද රාජපක්ෂ මහතාට වෙන්වී තිබිණි. සභාව ආරම්භයේදී අගමැති සහ සභානායක ධුර තමන් පිළිනොගන්නා බවට කථානායකවරයා ප්‍රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාග් සංග්‍රාමයක් ආරම්භ වූ නමුත් මහින්ද රාජපක්ෂ මහතාට සිය විශේෂ ප්‍රකාශය කිරීම සඳහා කථානායකවරයා ආරාධනා කළේය.

ඔක්තෝබර් 26 දිනට පෙර පැවති යහපාලන රජය බදු පොලී අනුපාතික අත්තනෝමතික ලෙස ඉහළ දැමීමටත්, ලාභදායි රාජ්‍ය ව්‍යාපෘති විදේශිකයන්ට විකුණා දැමීමටත්, මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරමින් ජනතාවට වක්‍රව අධික බදු බර පැටවීමටත් කටයුතු කළ බව මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. තමන් උපන් දවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත් එබැවින් අග්‍රාමාත්‍ය ධුරය සේ ජනපති ධුරය තමන්ට ‘ලොකු’ නැති බවත් ඔහු සිය කතාවේදී සඳහන් කළේය.

පැවැති රජයට රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි නිසා අගමැති ධුරය භාරගැනීමට ජනපතිවරයා තමන්ට ආරාධනා කළ බවද ඔහු සඳහන් කළේය.

තමාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ගැන අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මහතා ශබ්දය අනුව එවැන්නක් සම්මත කළ නොහැකි බවද රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා, ලක්ෂ 150ක් වන මෙරට ඡන්ද දායකයන්ට තීරණයක් ගැනීමට ඉඩ දිය යුතු බවත් සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කතාව ආරම්භ කළ මොහොතේ නැඟී සිටි එජාපෙ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මේ රටේ මේ මොහොතේ අගමැතිවරයකු හෝ රජයක් නොමැති බවය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවෙන් අනතුරුව නැවත නැඟී සිටි ලක්ෂන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ප්‍රකාශය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බව යෝජනා කළ අතර එම ප්‍රකාශය පිළිගන්නවාද යන්න තීරණය කරන ලෙස කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය. එහිදී නම් වශයෙන් කතා කර ඡන්දය ලබා ගන්නා ලෙස කිරිඇල්ල මන්ත්‍රීවරයා කළ යෝජනාව පිළිගත් කථානායකවරයා ‘නම් වශයෙන් කතා කර’ ඡන්දයක් ලබා දීමට කටයුතු කිරීමට සැරසුණේය.

ඒ අවස්ථාවේ කතානායක අසුන වෙත පැමිණි හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වන තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, දිලුම් අමුණුගම ඇතුළු පිරිස න්‍යාය පත්‍රයට අනුව සභාව කල්තබන ලෙස කථානායකවරයාට බලපෑම් කළහ. එම අවස්ථාවේ කථානායකවරයාට ඇඟිලි දිගු කරමින් කළ තර්ජන හමුවේ ඔහුව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නවීන් දිසානායක, මුජිබර් රහුමාන්, හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර යන අය කථානායකවරයා අසලට පැමිණෙනු දක්නට ලැබිණි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගර්භයේ කටයුතු සහමුලින්ම ඇන හිටින තත්ත්වයක් උදා විය.

සමහර මන්ත්‍රීවරුන් කථානායකවරයාට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරන්නට වූ අතර රංජිත් සොයිසා මන්ත්‍රීවරයා පරුෂ වචනයෙන් කථානායකවරයාට බැණ වදිනු දක්නට ලැබිණි.

මේ අවස්ථාවේ කතානායක දෙසට එල්ල වූ පහර කිහිපයක් වැළැක්වීමට ඔහු අසල සිටි දයා ගමගේ මන්ත්‍රීවරයා කටයුතු කළේය. මේ වන විට කතානායක අසුන ඉදිරියේ රැඳී සිටි දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා කතානායකගේ මයික්‍රෆෝනය කැඩීමට උත්සාහ කිරීමේදී ඔහුගේ අත තුවාල වී ලේ ගලා යාම පාර්ලිමේන්තුව තවත් කැලඹීමට භේතු විය. දිලුම්ගේ සහායට පැමිණි ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා කඩිනමින් ඔහුව පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගියේය.

මේ වන විට කතානායකට අභියෝග කරමින් සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු ගැටෙන ආකාරයක් පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම තම වම් අතෙහි ‘බටර් පිහියක්’ තබාගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පහර දීමට උත්සාහ කළ ආකාරය බොහෝ දෙනාගේ විවේචනයට හේතු විය. මන්ත්‍රීවරයාගේ නින්දා සහගත හැසිරීම හමුවේ ආරක්ෂිත ප්‍රහාරයක් එල්ල කිරීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කටයුතු කළේය. ඒ සමඟම මේ සටනට මැදිවූ හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිස කතානායක අසුනට වම් පසින් ඇති පඩිපෙළ ඔස්සේ පහළට ඇද වැටණු අතර මෙම සිදුවීම ගැටුම් තත්ත්වය මදක් සමනය වීමට හේතු විය. මේ අතර එජාපෙ නායක රනිල් වික්‍රමසිංහට සහ කථානායකවරයාට එරෙහිව සටන් පාඨ කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කතානායක අසුන අසල දිගටම රැඳී සිටියහ.

‘කරූ හොරා’, ‘මූට වඩා පබා හොඳයි’ යන විරෝධතා පාඨ කථානායකවරයාට එරෙහිවත්, ‘බැංකු හොරා යන්න ගියා’යන විරෝධතා පාඨය රනිල් වික්‍රමසිංහට එරෙහිවත් හඬ ගා කීමට මහින්දානන්ද අලුත්ගමගේ, ඩී. වී. චානක, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරු කටයුතු කළහ. මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ‘පට්ට හොරා’ යනුවෙන් හඬගාන අතරතුර ඒ මැද්දෙන් රාජපක්ෂ යනුවෙන් හඬ ගා කියන අයුරු සභාවෙන් ඇසෙන්නට විය. ඒ හඬ ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මන්ත්‍රීවරයාගේය.

මේ වන විට සභා ගර්භයේ මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාද රැඳී සිටියේ නැත. රනිල් නැඟිට යනු දුටු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු “බැංකු හොරා යන්න ගියා” යනුවෙන් හඬ ගෑ අතර බිමල් රත්නායක හා නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රීවරු “හොරු දෙන්නම යන්න ගියෝ” යනුවෙන් හඬ නඟා පැවසූහ.

රිෂාඩ් බදියුදීන්- ආනන්ද අලුත්ගමගේ, හරින් ප්‍රනාන්දු - කාංචන විජේසේකර, ජොන්ස්ටන් ප්‍රනාන්දු - එස්. එම්. මරික්කාර් වැන්නන්ගේ ද්වන්ද සටන්ද වරින් වර සභා ගර්භය තුළ දක්නට ලැබිණි.

මේ අතර ගැටුම දෙසට පැමිණෙමින් සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය වැළැක්වීමට සාගල රත්නායකත් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ ගැටුම වැළැක්වීමට මහින්දානන්ද අලුත්ගමගේත් ක්‍රියාත්මක වනු පෙනිණි.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතාබහක නිරත වූ පාඨලී චම්පික මන්ත්‍රීවරයාට යොහාන් රත්වත්තේ පහර දුන් ආකාරයද බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර විය. මත ගැටීම්, පහර දීම් මැද සභාව කල් තැබීමට කථානායකවරයාට සිදු විය. කථානායකවරයා තම බලය ඉක්මවමින් ක්‍රියාත්මක වීම නීතිවිරෝධී බවත් විශ්වාසභංගය පිළිගත නොහැකි බවත් ප්‍රජාතත්ත්‍රවාදය උදෙසා මහ මැතිවරණයට යා යුතු බවත් ආණ්ඩු පක්ෂය දිගින් දිගටම පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතරයට මහින්ද රාජපක්ෂ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නොමැති බවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් වැඩි විශ්වාසයක් ඇති පුද්ගලයාට රජය පිහිටුවීමට ඉඩ දීමට ජනපති ක්‍රියා කළ යුතු බවත් විපක්ෂය පවසන පොදු කාරණයයි. කෙසේ වෙතත් රට වැසියා ඇත්තේ දෙගිඩියාවෙනි. විකිණෙන මහජන නියෝජිතයෝද බල තණ්හාවට අතපයෙන් විසඳුම් සොයන මහජන නියෝජිතයෝද මේ රටේ ඡන්ද දායකයන්ට මේ සිදුවීම හරහා අපූරු පාඩමක් කියා දෙමින් සිටිති.

සටහන - [මංජුල සමරසේකර]

ඡායා - [මාලන් කරුණාරත්න]

මාතෘකා