අකල් මැතිවරණවලින් සිද්ධ වෙන දේ

 ඡායාරූපය:

අකල් මැතිවරණවලින් සිද්ධ වෙන දේ

මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනු ලබන්‌නේ ‌මහජනතාව විසින් තෝරා පත්කර ගත් නි‌යෝජිතයන්‌ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසිනි. මෙරට මැතිවරණ ක්‍රමයට අදාළ මූලික විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේම අන්තර්ගත කර තිබෙන්නේ ඒ නිසාය. ඒ අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටේ පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම උරුම කරදී තිබේ.

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම අපට හිමි වන්නේ 1931 වසරේදී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මඟින් රටට හිමිවුණ සර්වජන ඡන්ද ක්‍රමය හරහාය. 1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රථමයෙන්ම 15 දෙනකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක, විධායක සභාවන් ශ්‍රී ලංකාවට උරුමකර දුන් අතර එහි විවිධ වෙනස්වීම්වලට බඳුන් වෙමින් මේ වන විට මන්ත්‍රීවරු 225 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් දක්වා විකාශනය වී තිබේ. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූදා සිට මේ දක්වා පාර්ලිමේන්තු මැතිවරණ 16ක් පවත්වා ව්‍යවස්ථාදායකයට මහජන නියෝජිතයන් තෝරා පත්කරගෙන ඇති අතර එම ව්‍යවස්ථාදායකය එක් එක් කාල පරිච්ඡේදවලදී විවිධ නම්වලින් හඳුන්වා දී තිබේ. ඒ අනුව පළමුව 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලට අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙසත්, 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණවලදී පාර්ලිමේන්තුව ලෙසත්, 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව ජාතික රාජ්‍ය සභාව ලෙසත්, 1978 ජනාධිපති ආණ්ඩු ක්‍රමය යටතේ නැවතත් පාර්ලිමේන්තුව ලෙසත් හඳුන්වා දී තිබේ. මේ කුමන නමකින් හැඳින්වුවද රට කරවීමට ප්‍රතිපත්ති හදන තීන්දු තීරණ ගන්නා ව්‍යවස්ථාදායකය වන්නේ එයයි.

පෙර පැවැති මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ දිස්ත්‍රික්ක 1978 ව්‍යවස්ථා‌වෙන් පූර්ණ ‌වෙනසකට ලක් වූ අතර, පිළිගත් ‌දේශපාලන පක්ෂ ‌හෝ ස්වාධීන අ‌පේක්ෂකයන් විසින් නම් කරන ලද තනි අපේක්ෂකයන්‌ගෙන් සැදුම්ලත් ඡන්ද ‌කොට්ඨාස ක්‍රමයක් මත පදනම්ව ඊට පෙර තිබූ ක්‍රමය සැකසී තිබිණි. අදාළ ඡන්ද ‌කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අ‌පේක්ෂකයා ජයග්‍රාහකයා හැටියට ප්‍රකාශයට පත් ‌කෙරිණි. කේවල ආසන ක්‍රමය ලෙස හැඳින්වූ ‌මෙම ක්‍රමය දිස්ත්‍රික් 22 අරබයා වූ සමානුපාතික නි‌යෝජන ක්‍රමයක් බවට ‌වෙනස් කරන ලදී.

ඒ අනුව සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකින්ම පත්විය යුතු මන්ත්‍රීවරුන්‌ගේ සංඛ්‍යාව නිශ්චය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ ‌කොමසාරිස්වරයා විසින් සිදු කෙරේ. නි‌යෝජන දිස්ත්‍රික්ක 22 සඳහා ලබාගත් ඡන්ද පදනමින් මන්ත්‍රීවරුන් 196 ‌දෙනා පාර්ලි‌මේන්තුවට ‌තේරී පත්‌වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 15 වැනි සං‌ශෝධනය මගින් හඳුන්වා ‌දෙනු ලැබූ 99(අ) ව්‍යවස්ථාව යට‌තේ අදාළ ‌දේශපාලන පක්ෂ ‌හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ජාතික මට්ට‌මින් (ජාතික ලැයිස්තුව) ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව පදනමින් මන්ත්‍රීවරු 29 ‌දෙ‌නකු පත්කරනු ලැ‌බේ. එබැවින් ‌මේ අනුව දිස්ත්‍රික් මට්ටමින් සමානුපාතික ක්‍රමයක්ද ඒ ඡන්ද‌යේම ප්‍රතිඵල මත ජාතික මට්ටමින් සමානුපාතික ක්‍රමයක්ද මෙරට මැතිවරණ ක්‍රමය තුළ පවතී.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය විමසීමේදී එහි ආරම්භක අවස්ථාවට ගියහොත් 1947 ආරම්භ කළ පක්ෂ අනුව මන්ත්‍රීන් තෝරන ව්‍යවස්ථාදායකය 2017 වන විට අගමැතිවරු 11 දෙනකු යටතේ පාලනය වූ අතර 1978න් පසු ජනාධිපතිවරණ 07ක් පවත්වා ජනාධිපතිවරු 05 දෙනකු තෝරා පත්කරගෙන තිබේ. ජනාධිපතිවරු 06 දෙනකු පාලනය කර තිබුණද ඩී. බී. විජේතුංග මහතා ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයකු නොවන නිසා මෙහිදී එය අදාළ වන්නේ නැත. නිසි කලට මැතිවරණ පැවත්වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවද මැතිවරණ කල්දැමීම්ද මෙරට මැතිවරණ ඉතිහාසය තුළ වරින්වර වාර්තා විය. එහෙත් ඒ බොහෝ මැතිවරණ කල්දැමීම්වලදී පෙනී යන කරුණ නම් පවත්නා යම්කිසි රජයක් මැතිවරණ පැවැත්වීමට නියමිත කාලයට ඉක්මන් වීම හෝ නියමිත කාලයට වඩා ප්‍රමාද වීම බොහෝ විට හේතුවී ඇත්තේ ජයග්‍රහණයට නොව පරාජයට බවය. ඉතිහාසයේ මේ දක්වා පැවති එවැනි සියලුම අවස්ථාවලදී එම මැතිවරණ මෙහෙයවූ එකල බලයේ සිටි කණ්ඩායම පරාජයට පත්වීම විශේෂත්වයකි.

ඉතිහාසය තුළ ලියැවී ඇති එම සිදුවම් එකින් එක විමසා බැලුවහොත් ඒ බව මනාව පැහැදිලි වනු ඇත.

එය ආරම්භ වන්නේ 1952 මාර්තු මස

ඩී. එස්. සේනානායක මැතිතුමා අසු පිටින් වැටී මියයෑම නිසා හිස් වූ අගමැති තනතුරට ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර ඩඩ්ලි සේනානායක පත්කර ගැනීමෙනි. ඉන් ස්වල්ප දිනකට පසුව පැවැත්වූ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම මන්ත්‍රී ආසන 74ක් ලබාගනිමින් ආණ්ඩුව පිහිටුවූහ. නමුත් රටේ ආර්ථිකය එතරම් ශක්තිමත් නොවීය. ලංකාවේ වෙළඳ ද්‍රව්‍යවල මිල ගණන් පහත යෑම නිසා රජයේ ආදායම අඩුවිය. මේ නිසා ආණ්ඩුව පිටරටින් ගෙනෙන සහල්වලට දී තිබූ බදු සහන ඉවත් කරන ලදී. මේ හේතුව නිසා පිටරටින් ගෙන්වන සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩිවිය. මේ නිසා මුළු රටේම කැලඹීමක් ඇති වී අගමැතිවරයාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ සහ හර්තාල් ව්‍යාපාර ඇතිවන්නට විය. එහිදී අගමැතිවරයා කළේ තම ධුරයෙන් ඉල්ලා අස්වී සර් ජෝන් කොතලාවල මහතාට අගමැතිකම භාර දී විදේශගත වීමය. එවැනි අභියෝග හමුවේ 1956 වනතෙක් රජය ගෙන ගියද පැවති අස්ථාවරත්වය හමුවේ වසරක ධුර කාලයක් ඉතිරිව තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජය කටයුතු කළේය. එම එක්සත් ජාතික පක්ෂ රජයේ රජයේ අවසන් කාලයේදී ද්‍රවිඩ පක්ෂද ඔවුන්ගෙන් ඈත් වූ අතර 1951 දී එජාපයෙන් ඉවත් වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ එක්ව මහජන එක්සත් පෙරමුණ පිහිටුවාගෙන 1956දී පැවති මැතිවරණයට ඉදිරිපත් විය. බණ්ඩාරණායක මහතා රට පුරා දියත් කළ පංච මහා බලවේගය එම මැතිවරණයේදී විශාල ජනතා ආකර්ෂණයක් දිනාගත් අතර සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ පොරොන්දුව නිසා විශාල ජන ප්‍රසාදයක් මහජන එක්සත් පෙරමුණ වටා ගොනුවිය. එම නිසා එම පක්ෂය ආසන 54ක් දිනාගත් අතර, නව ලංකා සම සමාජ පක්ෂයද ආසන 14ක් දිනාගනිමින් ඔවුන්ට එක්විය. එම මැතිවරණයෙන් පැවති එජාපයට හිමි වූයේ ආසන 08ක් පමණි. තවත් වසරක් බලයේ සිටීමට හැකියාව තිබුණද නියමිත කාලයට කලින් මැතිවරණය පවත්වා තමන් අත වූ බලය විරුද්ධ පක්ෂයට පූජාකර එක්සත් ජාතික පක්ෂයට ගෙදර යන්නට සිදුවූයේ එලෙසිනි.

1959 වසරේදී බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයෙන් අනතුරුව අගමැති තනතුර ඩබ්. දහනායක මහතාට හිමිවූ අතර හිතුවක්කාරී ගමනක නිරත වෙමින් විටින් විට තම කැබිනට් මණ්ඩලය වෙනස් කරමින් ගිය අත්තනෝමතික පාලනය නිසා 1960 මාර්තු පවත්වන ලද මැතිවරණයේදී ඒ මහතාට තම මන්ත්‍රී අසුනවත් රැකගැනීමට නොහැකි විය.

1970දී බලයට පත්වූ සමගි පෙරමුණ රජය ඉතිහාසයේ විශාලම මැතිවරණ ජයග්‍රහණය ලබා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන ලැබූ අතර, පැවති මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය. ඉන්පසුව ශ්‍රී ලංකාව නිදහස් නිවහල් ස්වෛරී ජනරජයක් බවට පත්වූ අතර එතෙක් පැවති අග්‍රාණ්ඩුකාර ධුරය වෙනුවට ජනාධිපති ධුරයක් ද, ශ්‍රී ලංකාවේ අධිකරණයට අවසන් අධිකරණ බලයත්, බ්‍රිතාන්‍ය රැජිනගේ ඔටුන්න ලෙස නිර්මාණය කර තිබූ මෙරට රාජ්‍ය ලාංඡනයට නව අරුතක්ද එක්විය. එලෙස රටට නව ආණ්ඩු ක්‍රමයක් ලබාදීමට සමත් වූවද සිරිමාවෝ බණ්ඩාරනායක රජය නියමිත කාලයට වඩා වසර දෙකක් ප්‍රමාද කර මැතිවරණය පැවැත්වීම නිසා තුනෙන් දෙකක බලයක් තිබූ එම රජයට සිදුවූයේද 1977 මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වීමටය. ඔවුන්ගේ බලය ආසන 08 දක්වා පහළට ඇද දමද්දී එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව ආසන 142ක් හිමිකර ගත්තේය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විරුද්ධ පක්ෂය බවට පත්වූ අතර සමගි පෙරමුණට විපක්ෂය වීමටවත් නොලැබීමේ දරුණු සෝදාපාළුවකට ලක්වූයේ මැතිවරණය වසර දෙකකින් කල් දැමූ නිසාය.

ඒ ආකාරයට 1977දී හොරගොල්ලෙන් සේදවත්තට මාරු වූ රටේ බලය පසුව කෙසෙල් වත්තටත් ඉන්පසු නැවත 1994දී හොරගොල්ලටත් මාරුවිය. බස්නාහිර පළාතෙන් දකණු පළාතට යමින් 2005 වසරේදී රටේ බලය හිමිවූයේ මැදමුලනේ මහින්ද රාජපක්ෂ මහතාටය. 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයේ මාවත 2017 වසර තෙක් සනිටුහන් කර තිබුණද ඊට වසර දෙකකට පෙර මැතිවරණයකට යෑමට මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කළේය. එහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවා ගත් ප්‍රජානත්ත්‍රවාදී පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පරදවා ජයග්‍රහණය ලැබීමට සමත් විය. තවත් වසර දෙකක් නීත්‍යනුකූලව බලයේ සිටීමට හැකියාව තිබියදී ජන මතය උරගා බැලීමට ඉක්මන් වූ මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේ වසර දෙකකට පෙර විධායක ජනාධිපති පුටුවෙන් බැස යෑමට සිදුවීමයි.

මේ ආකාරයට බලන විට මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය එක පිළිවෙළට ගලා යාමට ඉඩ නොදුන් පක්ෂයට හෝ කණ්ඩායමට අත්වූයේ පරාජය බව මැතිවරණ ඉතිහාසය සාක්ෂි දරයි. මෑත කාලයේ මැතිවරණ කල්දැමීම සහ කලින් පැවැත්වීමේ තීන්දු තීරණ ගත් සියලු පාර්ශ්වවලට එහි ප්‍රතිඵලය හිතකර නොවුණි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටත් මහජන මතයටත් පිටුපා තීන්දු තීරණ ගන්නා දේශපාලඥයන්ගේ අනාගතය ප්‍රජාතන්ත්‍රවාදය විසින්ම තීන්දු කරනු ඇත යන්න හෙට දවසටද වලංගු නොවෙතැයි කිව හැක්කේ කාටද?

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා