අත්හිටුවීමේ තීන්දුවෙන් පසු...

 ඡායාරූපය:

අත්හිටුවීමේ තීන්දුවෙන් පසු...

ජනතා පරමාධිපත්‍යය ලද ජයග්‍රහණයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

අද ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණයක් ලැබුනා. ව්‍යවස්ථාව තහවුරු වුණා. දේශපාලන ශීලාචාරත්වය තව පියවරක් ඉදිරියට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය අද ගත්ත තීරණය අපි අගය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉරාදමන්න ගිය අවස්ථාවක ජනතාවට අධිකරණයේදී ඔප්පු වුණා ව්‍යවස්ථාවට පයින් ගහන්න දෙන්නෑ කියලා. කථානායක කරු ජයසූරීය මහත්මයාට අපි ස්තූතිවන්ත වෙනවා. එතුමා පාර්ලිමේන්තුවේ බලයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලයත් දෙකම ආරක්ෂා කළා. එතුමා ඒ ගත්ත පියවර නිසා අද මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය ගොඩනැගුණා. මහනායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහස්සේලාටත්, හින්දු පූජකවරුන්ටත්, මුස්ලිම්, කතෝලික පූජකවරුන්ට අපි ස්තූතිවන්ත වෙනවා. මේ ඔක්කොම කළේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ව්‍යවස්ථාව, ඡන්ද බලය ආරක්ෂා කරන්නයි. අපි සටන අනිවාර්යයෙන් දිනන්න අවශ්‍යයි. අපි පාර්ලිමේන්තුවේ බහුතරය අනිවාර්යයෙන් පෙන්වනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ලිමේන්තුව කැඳවීමට දුන් තීන්දුවක් නිසා දැන් නිල වශයෙන් ක්‍රියාත්මක වන ආණ්ඩුවක් රටේ පවතිනවා. අද (14) නිල වශයෙන් පාර්ලිමේන්තුව කැඳවනවා. පාර්ලිමේන්තුව කැඳවීමට අධිකරණ තීන්දුව දුන්නේ කථානායකවරයා නෙමෙයි. ඒක ජනාධිපතිතුමා දුන්න තීන්දුවක්.

රාජ්‍ය සේවකයන් සියලු දෙනාට විශේෂයෙන්ම කියන්න කැමතියි ව්‍යවස්ථාව අනුව සහ ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව තම තමන්ගේ රාජකාරි ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම මම පොලිසියට කියනවා කථානායකවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන ලෙස. පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරන්න කැමති දේශපාලන පක්ෂ අපි සමඟ ඉන්නවා. අපි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වනවා.

ඊයේ (13) අධිකරණය ඉදිරියේ අප ලද ජයග්‍රහණය සැමරීම නිමිත්තෙන් මේ මාසේ 15 වැනිදා දහවල් වරුවේ විශාල උද්්ඝෝෂණයක් ලිප්ටන් වටරවුමේ පවත්වන්න අපි සු දානම්. ඒ සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනාට මම ආරාධනා කරනවා.


අතුරු තහනම ජයක් නොවේ

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ඉඩ දී ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කිසිවිටෙකත් ජයග්‍රහණයක් නොවන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අධිකරණ තීන්දුව ලබා දීමෙන් පසුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඕනෑම නඩුවක සාමාන්‍ය ලක්ෂණයක් වන්නේ මෙවැනි අතුරු තහනම් නියෝග නිකුත් කිරීම වන බවත්, එය අවසන් තීන්දුව නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.එක්සත් ජාතික පක්ෂය සෑම විටම මැතිවරණයන්ට බිය වී සිටින බවත්, කියා සිටි ඔහු ප්‍රජාත්නත්‍රවාදය ගැන කථා කරන පුද්ගලයින්ම ජනතාව ළඟට යෑමට බියෙන් පසුවන බව ද පැවසීය.

තමා ඇතුළු පිරිස එවැනි බියක් නොමැති බවත් කියා සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, කෙසේ මෙම නඩුව ජයග්‍රහණය කරන බවද පැවසීය.

පාර්ලිමේන්තුවට රැස්වෙන ලෙස ජනාධිපතිවරයා පැවසුවහොත් එය අනුගමනය කරන බව ද ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරත් කියා සිටියේය.


පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ලිපිය දැන් වලංගුයි

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් තුන් දෙනාම ඒකමතිකව තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ක්‍රියාමාර්ග බලරහිත කිරීමටත් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමටත් නියෝග කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 5 මහ මැතිවරණයක් කැඳවීමේ තීරණය බල රහිත වෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පාර්ලිමේන්තුව නැවත බදාදා දිනයේ කැඳවන බවට අපට ලිඛිතව දැනුම් දුන්නා. දැන් ඒ ලිපි වලංගුයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය ලබපු ජයග්‍රහණයක්.

බලලෝහීව ව්‍යවස්ථාව, සදාචාරය, ආත්ම ගෞරවය, ජනතාවගේ කැමැත්ත සියල්ල උල්ලංඝනය කරලා, පාර්ලිමේන්තුව වහන්න ගත්ත උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීත්‍යනුකූල නොවන බව ඔප්පු කරලා තියෙනවා. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට සහ මේ සටන වෙනුවෙන් කැප කිරීම් කළ සියලු ආයතනවලට සහ නීතිඥයන්ටත්, මහජනතාවටත් ජනතා විමුක්ති පෙරමුණේ ස්තුතිය පළ කරනවා.


ජනපතිගේ නීතිඥවරුන්ගේ තර්ක ශක්තිමත් නැහැ

අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී

මෙම නඩු තීන්දුවෙන් ලැබුණු පසුබෑමේ වරද ජනාධිපතිවරයා වෙත පැවරීමට වඩා ඔහුගේ නීති උපදේශකවරුන් වෙත පැටවිය යුතුයි. නීතිමය ප්‍රශ්නයක් නිසි ලෙස නිරාකරණය කරගැනීමට නොහැකි වූයේ ජනාධිපතිවරයාගේ නීති උපදේශකයන්ගේ ඇති වරද නිසයි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන මනෝහර සිල්වා සහ සංජීව ජයවර්ධන හැර අනිත් නීතිඥවරුන්ගේ තර්ක ශක්තිමත් වූයේ නැහැ.

ජනාධිපතිතුමාට මා ඉදිරිපත් කළ තර්කය වූයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම වැරදි සහගත බවයි.

අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදි ක්‍රියාවලියක්. කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව කැඳවා තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම හෝ තුනෙන් දෙකක බලයක් ලබාගෙන නැවත ඡන්දයකට යෑමයි. පාර්ලිමේන්තුව කැඳවා එමඟින් අගමැතිවරයා තෝරා ගැනීමයි. එනම් වැඩි විශ්වාසයක් ඇති පුද්ගලයා තෝරා ගැනීමට පාර්ලිමේන්තුවට එවැනි අවස්ථාවකදී හැකියි.

මෙවැනි නියෝගයක් ලබා ගැනීම අධිකරණයේ ස්වාධීනත්වයට ලැබුණු ජයක්.


සිදු වුණේ තාවකාලිකව අත්හිටුවීමක් පමණයි

නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත

ඊයේ දිනයේදී නඩුවේ මැදිහත්කාර පාර්ශ්වයක් ලෙස මම නඩුවට ඇතුළත් වුණා. පෙත්සම්කරුවන්ගේ අවශ්‍යතාව වුණේ මහ මැතිවරණය පැවැත්වීම නීති විරෝධී කියන එක. ඒත් අපි කිව්වේ මේ ඡන්දය පැවැත්විය යුතුයි කියන කාරණාව. මම පෙනී සිටියේ ඒ වෙනුවෙන්. ඊයේ (13) ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කරුණු කාරණා දැක්වුවා. අපි ඉදිරිපත් කළ ගැසට් පත්‍රය නීත්‍යනුකූල බව නීතිපතිවරයා විසින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ගරු අධිකරණය තාවකාලිකව මෙම ගැසට් පත්‍රය අත්හිටුවනු ලැබුවා. ඒත් මේ ගැසට් පත්‍රය සම්පූර්ණයෙන් අවලංගු කළා කියලා කියනවනම් ඒක බොරුවක්. නොවැම්බර් 19 වැනිදා දෙපැත්තෙම විරෝධතා ගොනු කරනවා, නොවැම්බර් 26 ප්‍රතිවිරෝධතා ගොනු කරනවා. නොවැම්බර් 30 ලිඛිත දේශන ගොනු කරනවා. අද (14) පාර්ලිමේන්තුව කැඳවීම කරන්න පුළුවන් වගේම ජනාධිපතිවරයාට අවශ්‍යනම් නැවත වාරාවසාන කිරීම කරන්නත් පුළුවන්. දෙසැම්බර් 4, 5 සහ 6 නැවත නඩුව විභාගයට ගන්නවා.


පිල් මාරු කරන්නන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ හැකිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඒ හරහා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමටත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට බලයක් පවතී. පසුගිය වසර 25 මුළුල්ලේම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගනු ලැබූ උත්සාහයන්හීදී දේශපාලන පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය‍ ඉදිරියේ අසාර්ථකව තිබේ. කෙසේ වුවද නිසි කාර්ය පටිපාටියක් අනුව විනය පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරය‍ෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට බාධා නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අධ්‍යයනයේදී පෙනී යයි. මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වූ පසු ඔහුට තම මන්ත්‍රී ධුරය අහිමි වේ.

පිල්මාරු කිරීම යනු කුමක්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමා පාර්ලිමේන්තුව වෙත පත් කර එවන ලද දේශපාලන පක්ෂයේ මතයට විරුද්ධ වෙමින් පාර්ලිමේන්තුවේ වෙනත් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහය පළකිරීම දේශපාලන පිල් මාරුව යනුවෙන් සරලව හැඳින්විය හැකිය.

පක්‍ෂ විනය කඩකළ පසු

මෙවැනි අවස්ථාවල දී දේශපාලන පක්ෂ විසින් විනය චෝදනා මත අදාළ මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය‍ අහෝසි කිරීම දක්නට ලැබ‍ෙන්නකි. මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී මාසයක් ගත වූ තැන ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවන බවට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 99(13)(අ) වන ව්‍යවස්ථාව මඟින් පැහැදිලිව දක්වා තිබේ.

මෙහි සාර්ථකත්වයක් පවතීද?

එසේ වුවත් එම ව්‍යවස්ථාවේ අතුරු ව්‍යවස්ථාව දක්වා සිටින්නේ පක්ෂය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පැවරීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හැකියාව පවතින බවයි. යම් හෙයකින් පක්ෂ සාමාජිකත්වය‍ අහෝසි කිරීමට ගනු ලැබූ තීරණය දෝෂ සහගත බවට ශ්‍රේෂ්ඨාධිකරණය‍ නිගමනය කළහොත් ඔහුගේ හෝ ඇයගේ පක්ෂ සාමාජිකත්වය‍‍ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වන්නේ නැත. පසුගිය වසර 25 තුළදී මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට දේශපාලන පක්ෂ විසින් ගනු ලැබූ උත්සාහයන් සියල්ලම පාහේ ශ්‍රේෂ්ඨාධිකරණය‍ ඉදිරියේ ව්‍යර්ථව තිබේ. ඔවුන්ට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණවල දී සිදු වූ තාක්ෂණික දෝෂයන් ඊට මූලික හේතුව වී ඇත.

නඩු තීන්දු ඉතිහාසය‍ කෙටියෙන්

ඒ අනුව කාර්ය පටිපාටිය අනුගමනය නොකිරීම:- පක්ෂ ව්‍යවස්ථාවට අනුව පත් කළ විනය කමිටුවක් විසින් නිසි කාර්යය පටිපාටිය අනුව ආරම්භ කරන විනය පරීක්ෂණයකදී:

පරීක්‍ෂණය අතරතුර සිදුවන දුර්වලතා:- සාධාරණත්වයේ සහ ස්වභාවික යුක්ති මූලධර්ම අනුගමනය කරමින් කරුණු සලකා බලා වරද ඔප්පු වූ පසු

සාධාරණ හා සමානුපාතික නොවීම:- සිදු කළ වරද පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තරම් සාධාරණ සහ සමානුපාතික හේතුවක් නම්:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරය‍ෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට දේශපාලන පක්ෂවලට හැකියාවක් ඇත.

manthri.lk වෙබ් අඩවියෙනි

මාතෘකා