කළු පැල්ලම් පිරුණු ‘ලාම්පු කළගෙඩි’ සෙල්ලම

 ඡායාරූපය:

කළු පැල්ලම් පිරුණු ‘ලාම්පු කළගෙඩි’ සෙල්ලම

‘හිතවත, ජනාධිපති වශයෙන් මා තෝරා ගැනීම සඳහා වෙහෙස මහන්සි වූ ඔබ හැම දෙනාටත් මට ඡන්දය දුන් ඔබ හැමටත් පළමු කොටම ස්‌තුති කරන්නට කැමතියි. නිදහස්‌ ධර්මිෂ්ඨ සමාජයක්‌ ළඟාකර ගැනීම සඳහා මා හා එක්‌ව ගමන් ගන්නට මා කලින් එවූ ලිපියෙන් ඔබට ආරාධනා කළා. ඔබට මතක ඇති ඔක්‌තෝබර් 20 වැනිදා ඔබ දුන් ඡන්දයෙන් ඔබ පෙන්වූයේ මා කෙරෙහිත් මගේ ප්‍රතිපත්ති කෙරෙහිත් ඔබ තුළ ඇති අචල විශ්වාසයයි. අනිකුත් සියලු දෙනාටත් මා පතන්නේ මගේ රජය යටතේ සුබ අනාගතයකි. මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ හැමගේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා.’

මේ ලිපිය ලියනු ලැබුවේ ජේ. ආර්. ජයවර්ධනය. ඒ මෙරට පැවැති පළමු සහ එකම ජනමත විචාරණය වෙනුවෙන්ය. 1982 දෙසැම්බර් 22 දිනදී, 1982

ශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය පවත්වන ලද්දේ, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර 6කින් දිගු කිරීමේ විකල්පය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබාදෙනු සඳහාය. එය පළමුවන මෙන්ම, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය වෙයි. ලොවට ජනමත විචාරණ ක්‍රමය මුලින්ම හඳුන්වා දෙන්නේ ප්‍රංශයේ දේශපාලන චින්තකයකු හා දාර්ශනිකයකු වූ ජින් ජැක්‌ රූසෝ විසින් 1762දීය. සමාජ සම්මුති න්‍යාය තුළිනි. රූසෝගේ මතයන් ක්‍රියාත්මක වෙත් ප්‍රංශයේ 1973 ක්‍රියාත්මක වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටද ජනමත විචාරණය එක්‌කරන ලදී. 1776 ඇමෙරිකාවේ නිදහස්‌ ප්‍රකාශන සම්මත කිරීමටද ප්‍රාන්ත කීපයකම ජනමත විචාරණ පවත්වන ලදී. ඉන් පසු බ්‍රිතාන්‍යයේද වර්ෂ 1991දී බංග්ලාදේශයේ ජනමත විචාරණය ක්‍රියාත්මක කරන ලද්දේ එතෙක්‌ පැවැති ජනාධිපති ක්‍රමය වෙනස්‌ කොට පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහාය. උතුරු අයර්ලන්තයේ සාම ගිවිසුම අති බහුතරයකින් අනුමත කරගැනීම සඳහාද 1998 දී ජනමත විචාරණයක්‌ පවත්වන ලදී. ඔස්‌ට්‍රේලියාවේ, ස්‌විට්සර්ලන්තය ආදී බොහෝ රටවල ජනමත විචාරණ පවත්වන ලදී.

1977 නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එක්‌ කළ නව අංගයක්‌ වූයේ ජනමත විචාරණ ක්‍රමයයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකට ලක්‌විය යුතු යැයි තීරණය කරන පනත් හෝ කෙටුම්පත් මහජන මතය විමසීම සඳහා ජනමත විචාරණ පැවැත්වීමට ජනාධිපතිවරයාට හැකිය. ඊට අමතරව ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව ජනමත විචාරණ පැවැත්වීමටද ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථාවෙන් බලය තිබේ.

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ක්‍රියාත්මක වන ඇතැම් වගන්ති පාර්ලිමේන්තු බලයෙන් පමණක්‌ සංශෝධනය කළ නොහැක. එවන් අවස්‌ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 2/3 නොඅඩු (පාර්ලිමේන්තු නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව) සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතුය. මෙය ප්‍රංශ ව්‍යවස්‌ථාවෙන් ලද ආභාසයකි.

අප ව්‍යවස්‌ථාවේ 83 (4) යටතේ රජය, ඒකීය රජයක්‌ බව ජනතාවගේ පරමාධිපත්‍යය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය, බුද්ධාගම, සිතීමේ නිදහස, වධ හිංසාවලින් නිදහස යන ව්‍යවස්‌ථාවේ සඳහන් කරුණුය. 83 ව්‍යවස්‌ථාවේ ආ කොටසට අදාළ වනුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6කට වඩා දීර්ඝ කර ගැනීම හා පාර්ලිමේන්තුවේ නිල කාලය අවු. 6කට වඩා දීර්ඝ කිරීමය. මෙම ව්‍යවස්‌ථාමය කරුණු සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ 2/3 නොඅඩු සංඛ්‍යාවක්‌ සම්මත කොට ජනමත විචාරණයකිනුත් අනුමත කළ යුතුය.

මීට අමතරව වෙනත් කරුණු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාට ජනමත විචාරණයක්‌ පැවැත්වීමේ බලය ව්‍යවස්‌ථාවෙන් පවරා ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 85 (1) වගන්තිය යටතේ ජනමත විචාරණයක්‌ මගින් ජනතාවට ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන පනත් කෙටුම්පතක්‌ විධි විධානයක්‌ බවට අමාත්‍ය මණ්‌ඩලය සහතික කොට ඇති විටද ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතු පනතක්‌ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ විටද එම කෙටුම්පතට පක්‍ෂව දෙන ඡන්ද සංඛ්‍යාව මුළු පාර්ලිමේන්තුවේ 2/3 කට අඩු නොවේ නම් එය ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයකට යොමු කළ යුතුය. එසේම 85 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව මඟින් ප්‍රතික්‍ෂේප කරන ලද පනතක්‌ වුවද ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි ජනමත විමසුමක්‌ සඳහා ඉදිරිපත් කළ හැකිය. එහෙත් ඒවා පනත් කෙටුම්පතක්‌ හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන හෝ ව්‍යවස්‌ථාමය වෙනසකට අදාළ නොවන වෙනත් ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්න විය යුතුය. ජනමත විචාරණයකට තබන ලද යෝජනාව ඒකාන්ත බහුතරයකින් අනුමත විය යුතුය. එවිට එය ජනතාව විසින් අනුමත කරන ලද සේ සැලකෙන අතර වලංගු ඡන්ද සංඛ්‍යාවේ මුළු ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් ඡන්ද හිමියන්ගේ 2/3 නොඉක්‌මවන විට ඡන්ද හිමියන්ගේ මුළු සංඛ්‍යාවෙන් 1/3 නොඅඩු සංඛ්‍යාවකගේ ඡන්දයෙන් පනත් කෙටුම්පත හෝ සිය විධිවිධානය අනුමත කරනු ලැබුවහොත් පමණක්‌ එය ජනතාව විසින් අනුමත කරන ලද්දක්‌ සේ සැලකිය යුතුය. 83 (3) අනුව ජනමත විචාරණය පැවැත්වීමෙන් අනතුරුව ජනතාව විසින් එය යථා පරිදි අනුමත කළ බවට ජනාධිපතිවරයා විසින් සහතික කොට අත්සන් තැබිය යුතුය.

ඒ අනුව යම් පනතක්‌ පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්‍ෂේප වුවහොත් ඒ පිළිබඳව ජනතාවගේ කැමැත්ත හා අකමැත්ත දැනගැනීමට ජනාධිපතිවරයාට ජනමත විචාරණයක්‌ පැවැත්වීමට හැකියාව තිබේ. ඊට අමතරව ජනාධිපතිවරයා හිතන අයුරින් ජාතික වැදගත්කමකින් යුතු කරුණක්‌ පිළිබඳව ජනමතය විමසීමට බලය ජනාධිපතිවරයාට ඇත.

1982 ඔක්‌තෝබර් 20 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ඡන්ද තිස්‌හතර ලක්‍ෂ පනස්‌ දහස්‌ අටසිය එකොළහක්‌ (34,50,811), එනම් සියයට පනස්‌ දෙකයි දශම නවයක (52.9) බලයක්‌ ලබාගත් ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි වරටත් තමාගේ බලය තහවුරු කරගෙන ඉදිරි හය වසරක්‌ දක්‌වා රටේ පාලන බලය සියතට ගත්ෙත්ය. විධායක ජනාධිපති බලය එසේ දික්‌ වුවද පාර්ලිමේන්තු බලය තව මාස අටකින් නිමාව දැකීමට නියමිත විය. ඒ පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාගන්නට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ වචනයෙන් කිවහොත් "මහා මන්ත්‍රී තරගයක්‌" 1983 වසරේදී අනිවාර්යයෙන්ම තැබිය යුතු විය. එවකට පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට නියමිතව තිබියදී, ජයවර්ධන මහතා මුහුණදුන් ගැටලුව වූයේ, සාමාන්‍ය ලෙසින් මහ මැතිවරණයන් පැවැත්වුවහොත්, ඔහුගේ පාලක එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ භූක්තිවිඳිමින් සිටි අතිමහත් සුපිරි-බහුතරය අහිමි වීමේ අවදානමයි. ඔහු එබැවින්, පාර්ලිමේන්තුවෙහි අවයවයන් නො‍ෙවනස්ව තබමින්, එහි ආයු කාලය දික් කිරීම සඳහා ජනමත විචාරණයක් යෝජනා කළ අතර, එමඟින් එක්සත් ජාතික පක්ෂය විසින් එහි තුනෙන්-දෙකක පාර්ලිමේන්තු බහුතරය පවත්වාගෙන යෑමට ඉඩ සලස්වා ගැනීමට සිතීය.

එජාපයෙහි පාර්ලිමේන්තු සුපිරි-බහුතරය පවත්වාගෙන යෑමට, සෘජු මැතිවරණ නොපවත්වා, පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කිරීමට ජයවර්ධන මහතා තීරණය කළේය. මෙය සිදු කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකකට වඩා කොටසක සහයෝගය ලබා ගැනීමට රජයට අවශ්‍ය වූ අතර, ජාතික ජනමත විචාරණයක් තුළින් ජනතාවගේ අනුමැතිය මෙම දීර්ඝ කිරීම වෙත ලබා ගැනුමටද ජයවර්ධන මහතා තීරණය කළේය. එහි පළමු පියවර වශයෙන්, 1989 අගෝස්තු 4 දින දක්වා බල පවත්වන පරිදි, පාර්ලිමේන්තුවේ ආයු කාලය සය වසරකින් දිගු කිරීම යෝජනා කරමින්, රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 4වැනි සංශෝධනය ඉදිරිපත් කළේය. මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමේදී, විනිශ්චය මණ්ඩලය 4-3 ලෙසින් බෙදී සිටියහ. විනිශ්චය විසින් දක්වා සිටියේ "මෙම අධිකරණයෙහි බහුතරය අදහස් කරනුයේ, පළමු පාර්ලිමේන්තුවේ වාර කාලය යෝජිත පරිදි දිගු කර හැක්කේ (මෙසේ නම් පමණි) 83 ඡේදය ප්‍රකාර (පාර්ලිමේන්තුවෙහිදී) විශේෂ බහුතරයක් සහිතව සම්මත කර ගැනීමෙන් සහ ජනමත විචාරණයක් තුළ ජනතාවගේ අනුමැතියට පාත්‍ර කිරීමෙනි."

පසුව, 1982 නොවැම්බර් 5 දිනදී, මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තු සභා ගර්භයෙහි සිටි සියලු එජාප මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රීලනිපයෙහි මෛත්‍රීපාල සේනානායක සහ හලීම් ඉෂාක් යන මන්ත්‍රීවරුද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. 1975දී පාර්ලිමේන්තුව වසර දෙකකින් දීර්ඝ කිරීමට සහාය පළකිරීමට තමන් පෙරදී ක්‍රියා කළ බැවින්, මෙම සංශෝධනයට විරුද්ධ වීමට සදාචාරාත්මක අයිතියක් තමන් හට නොමැති බව සේනානායක මහතා පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කර සිටියේය. තම පක්ෂය පනතට විරුද්ධ වන බවට ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙහි නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ප්‍රකාශ කර සිටියද, දෙඑවිපෙ පක්ෂයෙහි සියලු මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. පනතට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කෙරුණේ, ශ්‍රීලනිප පක්ෂයෙහි ලක්ෂ්මන් ජයකොඩි, අනුර බණ්ඩාරනායක සහ ආනන්ද දසනායක වෙතින් සහ කොමියුනිස්ට් පක්ෂයෙහි මන්ත්‍රීවරයකු වූ සරත් මුත්තෙට්ටුවගම වෙතින් පමණි. අවශ්‍යව තිබූ තුනෙන්-දෙකක බහුතරය පහසුවෙන් පසු කරමින් පනත සම්මත වූයේ, පක්ෂව ඡන්ද 142ක් සහ විරුද්ධව ඡන්ද සතරක් ලබමිනි.

සැමට ආගන්තුක වූ ජනමත විචාරණය ගැන පුවත්පත් කලාවේදියකු එවක අමාත්‍ය ලලිත් අතුලත්මුදලිගෙන් මෙසේ විමසීය. ‘මං හිතන්නෙ එය අපට අලුත් දෙයක්‌. ඒ නිසා එම ජනමත විචාරණය ගැන යමක්‌ කිව හැකිද?’

පිළිතුර වූයේ ‘ජනමත විචාරණයට අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් අවස්‌ථා සලසා දී තිබෙනවා. අප මීට පෙරත් ඇතැම් සුළු ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රාදේශිකව ජනමත විචාරණ පවත්වා තිබෙනවා. අප සාමාන්‍යයෙන් එම ජනමත විචාරණ පවත්වා ඇත්තේ මත්පැන් ශාලා, තැබෑරුම් වැසීම වැනි කරුණු සම්බන්ධයෙන්. ජනමත විචාරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පැරණි ක්‍රමයක්‌ බව කිව යුතුයි. මෑත කාලයේ එය යුරෝපයේ දක්‌නට ලැබුණා. විශේෂයෙන් එය යුරෝපයේ පටන් ගත් දෙයක්‌ ලෙසයි කවුරුත් සලකන්නෙ. එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ජනමත විචාරණ ක්‍රමයක්‌ නොතිබුණ බව සමහරු කල්පනා කරනවා. නමුත් වැදගත් ප්‍රශ්න පිළිබඳව එංගලන්තයේ ජනමත විචාරණ පවත්වා තිබෙනවා. විශේෂයෙන් එංගලන්තය යුරෝපීය ආර්ථික හවුලට සම්බන්ධ විය යුතුද යන වැදගත් ප්‍රශ්නය පිළිබඳව මහජනතා අදහස්‌ විමසීම සඳහා එහි ජනමත විචාරණයක්‌ පැවැත්වූ බව කිව යුතුයි. ජනමත විචාරණයත් ඡන්ද ක්‍රමයක්‌. එය ප්‍රජාතන්ත්‍රවාදියි. ඇත්ත වශයෙන් කල්පනා කළහොත් එයට වඩා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්‌ නැති තරම් යැයි කිව හැකියි. මන්ද කිසියම් කරුණක්‌ පිළිබඳව මහජනයාට කෙළින්ම තීරණයක්‌ ගන්නට එයින් ඉඩ ලබාදෙනවා" යන්නයි.

මේ අනුව 1982 දෙසැම්බර් 22 වැනි දින ලංකාවේ ප්‍රථම ජනමත විචාරණය පවත්වන්නේ 1977 ජුලි 21 වැනි දින පවත්වන ලද මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ 5/6ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ඇතුළුව මුළු මැතිසබයේ කාලය තවත් වසර හයක්‌ සඳහා දීර්ඝ කර ගන්නටය. මේ අනුව මන්ත්‍රීවරුන්ගේ නිල කාලය දීර්ඝ කර ගැනීමට ඡන්දදායකයා පක්‍ෂ නම්, ලාම්පුව ලකුණට ඡන්දය ප්‍රකාශ කළයුතු අතර විපක්‍ෂ නම්, කළගෙඩිය ලකුණට ඡන්දය ප්‍රකාශ කළ යුතු විය.

මෙම ජනමත විචාරණය තුළින් ලාම්පුව ජය ලබන්නේ නම් පාර්ලිමේන්තුවේ බලය ආණ්‌ඩුවට යළිත් වරක්‌ හයෙන් පහක බලයක්‌ ලෙස හිමිවන අතර ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණට විපක්‍ෂයේ බලයද වසර හයකට දීර්ඝ වීම සිදුවන අතර ශ්‍රීලනි පක්‍ෂයට තමාට හිමි සීමිත මන්ත්‍රී ආසන අටටත් අඩු ප්‍රමාණය තවත් වසර හයකට දීර්ඝ වීමේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නට සිදුවන බව පෙනී ගිය කාරණයයි. එදා මෙම ඡන්දයට ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලද දිවයිනේ ඡන්දදායකයන් ප්‍රමාණය අසූඑක්‌ ලක්‍ෂ හතළිස්‌පන්දහස්‌ පහළොවක්‌ (81,45,015) ලියාපදිංචි වී සිටින ලදී.

එවක දේශපාලන පිටිය ගිනියම් විය. එකිනෙකා දැවැන්ත වාද විවාදවල යෙදුනහ. ජනමත විමසුමක්‌ පවත්වා පාර්ලිමේන්තු කාලය දීර්ඝකර ගැනීම යුද්ධ අවස්‌ථාවක හැරෙන්නට නොකළ යුතු බව අන්තර් ජූරි කොමිසම නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටි නමුත් රජය ඒවා තැකීමකට ලක් කළේ නැත.

පක්‍ෂයේ පිරිසකට නැක්‌සලයිට්‌ චෝදනා ගෙන ඒම පිළිබඳව අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සාදාගැනීමට පක්‍ෂයට භාරදී තමන්ගේ පක්‍ෂය බලාගන්නා ලෙස බණ්‌ඩාරනායක මැතිනිය ජනපතිට හා අගමැතිට කීවේ ඔය අතරය.

“ලාම්පුව ජයග්‍රහණය කළහොත් එය මේ ජීවිතයේ දෙන අවසාන ඡන්දය විය හැකියි. අලියාට ඡන්දය දෙන්නන් ඡන්ද බලය රැකගන්න” යැයිද ඈ කීවාය.

"රටේ ප්‍රශ්නවලට මුහුණදී ඒවාට සාර්ථකව විසඳුම් ලබාගැනීමට හා ජනාධිපතිවරයාට සහාය වන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ සිටින පාර්ලිමේන්තුවක්‌ පත්කර ගැනීම සඳහා සය අවුරුදු කාලයක්‌ බලයේ සිටීමට ලාම්පුවට ඡන්දය දෙන්න."

කියා ජේ.ආර් කීවේය.

මෛත්‍රිපාල සේනානායක මහතා ඇතුළු ශ්‍රීලනිප ඇතැම් පිරිස්‌ මැති සබයේ කාලය දීර්ඝ කිරීම සඳහා රජයට සහාය දැක්‌වීම විශේෂයෙන් කැපී පෙනුණු සිදුවීමකි.

ජනමත විචාරණය පැවැත්වූෙය් දෙසැම්බර් 22ය. එය ඉතා බිහිසුණු දිනයක් විය. ප්‍රචණ්ඩක්‍රියා උග්‍ර විය. තත්ත්වය කෙතරම් දරුණු වීද යත් ශ්‍රීලනිප නියෝජිතයන්ට මරණීය තර්ජන එල්ලවීම නිසා බණ්‌ඩාරනායක මැතිනිය සිය නියෝජිතයන් ඡන්ද මධ්‍යස්‌ථාන වෙතින් ඉවත් කරගනු ලැබිණි. අත්තනගල්ල මැතිවරණ කොට්‌ඨාසයෙන් ජනාධිපතිවරණයේදී ඡන්ද 31,495 55.92%ක් ලබා ජයග්‍රහණය කළත් ජනමත විමසුමේදී ඡන්ද 35,747 (67.21% ලබා වැඩි ඡන්ද 18305 කින් ලාම්පුව ජය ගෙන තිබිණි.හොර ඡන්ද දැමීමේ වර්ධනය කොතෙක්‌දැයි කිවහොත් ජනපතිවරණයේදී 1,542,398ක් වූ ඡන්ද ප්‍රමාණය ජනමත විමසුමේදී 2,376,353ක් දක්‌වා ඉහළ ගොස් තිබිණි. සමහර තැන්වල මැරයෝ ඡන්දදායකයා ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටද කියා බලා සිටියහ.

ජනමත විචාරණයේ අවසාන ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුව දීර්ඝ කිරීමට පක්‍ෂව ලාම්පුවට ඡන්ද 3,141,233ක් ලැබීමත් එයට පක්‍ෂව කළයට ඡන්ද 2,605,983ක්‌ ලැබීමත්ය. මේ අනුව ජනතා කැමැත්ත මත පාර්ලිමේන්තුව තවත් වසර 6කින් දීර්ඝ කිරීමට එජාප රජයට හැකි විය.

කෙසේ වෙතත් මේ ජනමත විචාරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ 'කළු පැල්ලමකි'.

එය කෙතරම්ද යත්, 1990දී මාර්ටින් වික්‍රමසිංහ ජන්ම ගත සංවත්සරය නිමිත්තෙන් තිසර ප්‍රකාශකයන් නිකුත් කළ ග්‍රන්ථයට ලිපියක් ලියමින් මහා ගත්කතුවරයාගේ දියණිය රූපා සපරමාදු මෙසේ කීය.

“1982දී මැතිවරණයක් පැවැත්වූයේ නම්, 1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් නොකළේ නම්, මෙරට ඉතිහාසය මීට වෙනස් වන්නට ඉඩ තිබිණි. ‘අපට පුතේ මඟක් නැතේ’ යන තත්ත්වයට මෙරටට ගෙන ආවේ මේ සිදුවීම් දෙකය. දූ පුතුන් භීෂණයේ මඟ තෝරා ගැනීමට යෙදුනේද වෙන මඟක් නොමැති වූ නිසාය. දැන්වත් මෙරට තරුණ පෙළට වේගයෙන් වෙනස් වන ලෝකයට ඔරොත්තු දිය හැකි, එහෙත් පාරම්පරික හරයන්ට අනුකූල වූ අපගේ සංස්කෘතියේ ආත්මය රැක දෙන මඟක් පාදා දීම අප සැමගේම යුතුකම පමණක් නොව අත්‍යවශ්‍යතාවද වෙයි…’’

[පේෂල ගුණසිංහ]

මාතෘකා