වැඩේ වැරදි නම් ඇයි එජාපය උසාවි නොයන්නේ?

 ඡායාරූපය:

වැඩේ වැරදි නම් ඇයි එජාපය උසාවි නොයන්නේ?

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ

ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න

ජනාධිපතිවරයා කළ වැඩේ වැරදි නම් එක්සත් ජාතික පක්ෂය දින දහයක් ගත වී ඇතත් අධිකරණයට නොගියේ මන්දැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා මෙසේ පැවසීය.

"ගිය සිකුරාදා තමයි රනිල් මහත්මයා අයින් කළේ. අලුත් අගමැතිවරයාව පත්කළේ. සතියකට වඩා වැඩි කාලයක් තිබුණා ඕන නම් උසාවියට යන්න. අද වනතුරු උසාවියට ගිහිල්ලත් නෑ. උසාවි යනවයි කියලා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍යයෙන් තාම ප්‍රකාශ කරලාත් නෑ.

"අගමැතිවරයා අයින් කරපු එක ගැන වාද විවාද ඇති වී තියෙනවා. අගමැතිවරයා අයින් කළේ ඔක්තෝබර් මාසේ විසිහය වැනිදා. අදට දින දහයක් ගතවෙලා තියෙනවා අගමැතිවරයා අයින් කරලා.

එතකොට මේ අයින් කිරීම ගැන එක කණ්ඩායමක් කියනවා මේක හරි කියලා. තව කණ්ඩායමක් කියනවා මේක වැරදියි කියලා. ඒකට විරුද්ධ පාර්ශ්වය, මම වුණත් කියනවා මේ අගමැති ඉවත් කරන්න පුළුවන් ප්‍රතිපාදන තියෙනවා, ඒක නීත්‍යනුකූලව තමයි කරලා තියෙන්නේ කියලා. නීතිපතිතුමා කියනවා එතුමාට මේකේ මතයක් ප්‍රකාශ කරන්න බැහැයි කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාත් නීතිඥයෙක්.

එතුමාගේ ඉන්නවා හිටපු නීතිපති තිලක් මාරපන මහත්මයා. ඒ වගේම ඉන්නවා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගිය වික්‍රමරත්න මහත්තයා. සුමන්දිරන් මහත්මයා ඉන්නවා. ඔය වගේ නීතිඥ මණ්ඩලයක්ම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. මෑත කාලෙදී ජනාධිපති නීතිඥවරුන් කීපදෙනෙක්වම පත් කළා. එතකොට මේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයට ඉද්දී දින දහයක් ගත වෙලත් අධිකරණයට ගියේ නැත්තේ ඇයිද කියන එක තමයි අද තියෙන ලොකුම ප්‍රශ්නය. අධිකරණයට යන්න තිබුණා. ගිය සිකුරාදා තමයි රනිල් මහත්මයා අයින් කළේ. අලුත් අගමැතිවරයාව පත්කළේ. සතියකට වඩා වැඩි කාලයක් තිබුණා ඕන නම් උසාවියට යන්න. අද වනතුරු උසාවියට ගිහිල්ලත් නෑ. උසාවි යනවයි කියලා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍යයෙන් තාම ප්‍රකාශ කරලාත් නෑ.

සාමාන්‍යයෙන් ගමේ ඉන්න මිනිස්සුන්ට වැටේ ප්‍රශ්නයක් ආවත් පොලිසියට පැමිණිලි කරනවා. කවුරු හරි රස්සාවෙන් නීත්‍යනුකූල නොවන විදියට අස් කළොත් වහාම කම්කරු විනිශ්චයකාර සභාවට යනවා. ඉතින් මේ වගේ වැඩසටහන් තියෙද්දී ඇයි එක්සත් ජාතික පක්ෂය උසාවි යන්නේ නැත්තේ කියන එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම දන්නවා අගමැතිවරයා ඉවත් කිරීම නීත්‍යනුකූලයි කියලා. උසාවියට ගියොත් එහෙම ඒ නඩුව නිෂ්ප්‍රභ වෙන නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා, හිටපු අගමැතිවරයා අද වෙනකන් උසාවි ගිහිල්ලා නැත්තේ.‘


මේ චෝදනාවලට මම නඩු දානවා

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

සුරේෂ් වඩිවේල්

තමා මුදල් ගෙන පැති මාරු නොකළ බවත්, මුදල්වලට පිල් මාරු කළ බවට චෝදනා කරන අයට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සුරේෂ් වඩිවේල් මහතා පැවසීය.

කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුරේෂ් වඩිවේල් මහතා මෙසේද පැවසීය.

“මම මේ රටට ආදරෙයි. කවුරු මොනව කීවත් බදුල්ලේ ජනතාව මම ගැන දන්නවා. අවුරුදු 200ක් වතුකරයේ ජනතාව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙහෙස වුණා. නමුත් ඒ අයට වුණ සෙතක් නැහැ. ඒත් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න කම්කරු ජනතාව කවදාවත් ආයුධ අතට ගත්තේ නැහැ. වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය හා උතුරේ ජනතාවගේ ප්‍රශ්න එකිනෙකට වෙනස්. අපේ ජනතාවට තිබෙන්නේ ඒ අයගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබීම, යටිතල පහසුකම් වැඩි දියුණු නොවීම වාගේ ප්‍රශ්නයි. ඒවා විසඳන්න ඕනෑ. වතු ජනතාවට සේවයක් කරන්නයි මම මේ ඇමැතිකම ගත්තේ.

දැන් වතු කම්කරුවන්ගේ දරුවන් උගත්. ඒ අය තමන්ගේ උගත්කමට ගැළපෙන රැකියා බලාපොරොත්තු වෙනවා. වතු කම්කරුවන්ගේ නියෝජිතයෙක් විදියට මම ඒ බලාපොරොත්තු ඉටුකරන්න ඕනෑ. පළාත් සභාවේ අමාත්‍යවරයෙක් විදියට මම ඒ දරුවන්ට වතු රෝහල්වලට පත්වීම් දුන්නා. ඒ අය දැන් හොඳ වැටුපක් ගන්නවා. මට ඒ ගැන සතුටුයි.

මම අවුරුදු තුනහමාරක් මේ ආණ්ඩුවේ හිටියා. කිසිම වැඩක් නොකර මම නිකම්ම කාලකණ්ණි වුණා. පසුගිය ආණ්ඩුවේ තිබුණේ කතන්දර විතරයි. කරපු කිසි වැඩක් නැහැ. වතු කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන මම පාර්ලිමේන්තුවේදිත් කතා කළා. නමුත් වැඩක් වුණේ නැහැ. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මන්ත්‍රී කෙනෙක් විදියට ඉඳලා බැහැ. ඒ ප්‍රශ්න විසඳන්න නම් ඇමැතිකමක් තිබිය යුතුයි.

අපි මේ රටට ආදරෙයි. අපිට ජීවත් වෙන්න රටක් ඕනෑ. ජනාධිපති, අගමැති යම් සැලසුමක් ඇතිව රට පාලනය කරනවා නම් රට සංවර්ධනය කරන්න පුළුවන්. ඒත් පිටින් ඉන්න අය මේ ප්‍රශ්නය අවුල් කරනවා. උතුරේත්, දකුණේත් කම්කරු ජනතාව වෙනුවෙන් මම සේවය කරනවා. එතැන කිසිම දේශපාලන භේදයක් නැහැ."


ජනාධිපතිතුමා කියපු වචනයක් එජාපය වැරදි ලෙස අර්ථ දක්වනවා

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු

අමාත්‍ය දයාසිරි ජයසේකර

පසුගියදා පැවති ජන රැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවෙහි ‘සමනලයා’ යන වචනය එක්සත් ජාතික පක්ෂයේ මඩ බලකායේ පිරිසක් වැරදි අර්ථකථන දෙමින් සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (07) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“බොහොම පැහැදිලිව ජනාධිපතිතුමාට තිබෙන බලය අනුව නව අගමැතිවරයෙක් පත්කිරීම, අමාත්‍යාංශ ලේකම්වරයකු පත්කිරීම, කැබිනට් මණ්ඩලයක් පත් කිරීම වැනි මේ සියල්ලම තිබෙන්නේ ජනාධිපතිතුමාගේ බලය යටතේ. ඒ සම්බන්ධව නිවැරදි තීන්දුවක් ජනාධිපතිතුමා අරගෙන තියෙනවා. මේ පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කිරීම කළ යුත්තේ පාර්ලිමේන්තුවේ නෙමෙයි. නීතිමය පසුබිම සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ගැටලු විසඳගන්න පුළුවන්.

“කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිතුමා, කැබිනට් මණ්ඩලය පත්කරන්නේ ජනාධිපතිතුමා, කැබිනට් මණ්ඩලය විසුරුවන්නේ ජනාධිපතිතුමා නව ආණ්ඩුවක් පත්කළ හැක්කේ ජනාධිපතිතුමාට, අමාත්‍යාංශ වෙන් කළ හැක්කේ ජනාධිපතිතුමාට, අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කළ හැක්කේ ජනාධිපතිතුමාට ඒ නිසා බලය පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් ජනාධිපතිවරයාගේ තීන්දු වැරදී කියලා අපි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයට මතක්කර දෙන්න කැමතියි. 2015 ජනවාරි 08 වැනිදා මන්ත්‍රී ධුර 47ක් පමණක් තිබියදී දී.මූ. ජයරත්න මහතාට කිසිදු දැනුම්දීමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණා. අද මේ කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුත් එදා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වුණේ නෑ.


පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී

ලක්ෂ්මන් යාපා අබේවර්ධන

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීමට හැකියාවක් නැති නම් මනාප ක්‍රමයට හෝ පැවැත්වීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ලබන 14 වැනිදාට නීත්‍යනුකූල වශයෙන් රැස් වන පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතව පවතිනවා. ඉන්පසු සභාව එක් දිනක් සඳහා කල් දැමීටට නියමිතව තිබෙනවා. ලබන 14 වැනිදා රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීම අවශ්‍ය වන්නේ නැහැ. අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට එහිදී හැකියාවක් නැහැ”


නැවත ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි

සජිත් ප්‍රේමදාස

රට තුළ ඇතිව තිබෙන තත්ත්වය විසඳිය හැකි සාධාරණම විසඳුම වන්නේ නැවත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඊයේ (07) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

"අද වන විට දේශපාලනයේ අඳුරුතම යුගයට පැමිණ තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමෙන් නව ආණ්ඩුවක් නීති විරෝධි ලෙස පත් වීම මුළු මහත් රටම පිළි ගන්නේ නැහැ.

"විශේෂයෙන්ම මෙම නීති විරෝධි ක්‍රියාවලිය තුළ මුළු මහත් මාතෘ භූමියම අනතුරට ලක් වෙලා. රටක රජයකට ඇති පිළිගැනීම ජාත්‍යන්තරය තුළ අහිමි වීමේ තත්ත්වයට ශ්‍රී ලංකාව ද මුහුණ පා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ රටට විශාල අනතුරක් වී තිබෙන්නේ. විදෙස් සංචාරකයන්ට ලංකාව තහනම් ප්‍රදේශයක් වෙමින් පවතිනවා.

"ආණ්ඩුව බලයට පත් වුයේ සම්මුතියක් තුළ. එකමුතුවක් තුළ. අර්බුධකාරී තත්ත්වයක් ඇතිවුණ වෙලාවක ඒ අර්බුධය මුල්කරගෙන පුද්ගලික වාසි ගන්න මට අවශ්‍ය වුණේ නෑ. අපි දැරූ ස්ථාවරය නිවැරදි බව අපිට විශ්වාසයි.

"බහුතරය පිළිබඳ නිවැරදි හෙළිදරව්වක් කිරීමට පාර්ලිමේන්තුව රැස් කළ යුතුයි. නොවැම්බර් 14 වෙන තෙක් බලා නොසිට ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා රට වෙනුවෙන් කළ හැකි වටිනාම දේ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා."


ජනතා ජයග්‍රහණය දෛවඥයන්ගේ කටගැස්මක් වෙන්න දෙන්න බැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක

දෛවඥයන් සමඟ ගනුදෙනු කිරීම ගැන මේ රටේ එක්තරා ආකාරයක පිළිගැනීමක් තිබෙන බවත්, මේ ජනතා ජයග්‍රහණය දෛවඥයන්ගේ කටගැස්මක් වීමට ඉඩ දිය නොහැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පසුගියදා හොරණ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"නව අග්‍රාමාත්‍යතුමා එතුමගේ නිල නිවසට කැඳවලා තිබුණා අපේ මන්ත්‍රී කණ්ඩායම. අපි ඒ යන අතරතුර සහ නැවත එන අතරතුර දැක්කේ නැවත වතාවක් අර පට්ට හොරුන් එකතු වෙලා ඉන්නවා. මෙතනට ඇවිත් මේවා අරක්ගන්න ලෑස්ති වෙලා. ආතම ශක්තියක් නැති, ප්‍රතිපත්තියක ඉන්න බැරි කණ්ඩායමුත් ඒ අතර හිටියා. දේශපාලන අනාථයන්ට සහ දේශපාල අපතයින්ට මේ ජනතා ජයග්‍රහණය පාවලා දෙන්නට හොඳ නැහැ. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය පත්කරන කොට, අමාත්‍ය මණ්ඩලයට පත්විය යුත්තේ විෂය පිළිබඳ දැනුමක් තියන සුදුස්සන් පමණයි. දොළ පිදේනි දෙන්න අමාත්‍ය ධුර අවශ්‍ය නැහැ.

"මහ බැංකු මුදල් වංචාවට එරෙහිව කටයුතු කරනවා වගේම, මේ වෙනකොට මැති ඇමතිවරුන්ට පවරලා තියෙන නඩු ඉවත් කරගන්නත් බැහැ. ඒ වගේම නඩු අහලා, වැරදිකාරයන්ට දඬුවම් ලබාදිය යුතුමයි. කිරෙන් හේදුවත් අඟුරු නම් සුදු වෙන්නේ නැහැ. දේශපාලනයටද ඒක එහෙම්මයි. හොරකම් කරන කෙනා මොන පැත්තෙ හිටියත් හොරාම තමයි" යැයි පැවසීය.

මාතෘකා