කථානායක මේ මැච් එකේ අම්පයර් විතරයි

 ඡායාරූපය:

කථානායක මේ මැච් එකේ අම්පයර් විතරයි

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

නව අගමැතිවරයා පත්වීමේ නීත්‍යනුකූලභාවය ගැන මේ මොහොතේ මතභේදයක් ඇතිවෙලා?

නව අගමැතිවරයාගේ පත්වීම සම්බන්ධව සාකච්ඡා කළ යුත්තේ පත්වීම දෙස බැලීමෙන් පමණක් නොවෙයි. මේ සම්බන්ධයෙන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ විධිවිධාන සියල්ලක්ම සලකා බලා නීත්‍යනුකූලභාවය ගැන මතයක් ඉදිරිපත් කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අගමැති පත්කිරීමේ පූර්ණ බලය තිබෙන්නේ ජනාධිපතිවරයා සතුවයි. සාමාන්‍ය නීතිය යටතේ පත්වීමක් කිරීමට බලය පැවරුණු විට ඒකට සාපේක්ෂව අස් කිරීමේ බලයකුත් ලැබෙනවා.

මේ පාර්ලිමේන්තුව පත්වුණේ 2015 අගෝස්තු මාසයේ මහජන ඡන්දයෙන්. එහිදී කිසිම පක්ෂයකට සරල බහුතරයක් ලැබුණේ නැහැ. එනම් 113ක් ලැබුණේ නැහැ. එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ බහුතරයක ප්‍රසාදය ලබාගත් මන්ත්‍රීවරයා කියා ජනාධිපතිවරයා සිතන අයකු අගමැති වශයෙන් පත්කිරීමට ඔහුට බලය තියෙනවා. ඒ අවස්ථාවේ ජනාධිපති සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් කළා පමණක් නොවෙයි, ඔහු නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහයෝගය බහුතරයක් සකස් කරගැනීමට ලබා දුන්නා.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙන බැවින් කැබිනට් මණ්ඩලයේ 30ක සීමාව ඉක්මවා ඕනෑම සංඛ්‍යාවක් පත් කිරීමේ බලයක් තිබෙන බව පැවැසුවා.

ඒ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතා මේක ජාතික ආණ්ඩුවක් නොවන බවත් පක්ෂ දෙකක ආණ්ඩුවක් ආදී ප්‍රශ්න මතු කරමින් විරෝධතාවක් ගෙනාවා. නමුත් කථානායකතුමා ඊට අවසර දී කැබිනට් මණ්ඩලය 48 දක්වා වැඩි කළා.

එනම් ඔබ කියන ලෙස කැබිනට් මණ්ඩලය මේ වන විට නීතිප්‍රකාරව විසුරුවා හැර අවසන්?

ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය ඉවත්කරගත් විට කැබිනට් මණ්ඩලය නීති විරෝධී කැබිනට් මණ්ඩලයක් බවට පත් වෙනවා. එවිට කැබිනට් මණ්ඩලය විසිර යනවා. ඒ අනුව නැවත වතාවක් අගමැතිවරයෙක්ව පත් කරන්න ඔහුට බලය ලැබෙනවා.

දෙවන ජනරජ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතලවල වෙනස්කමක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවුණා නේද?

19 වැනි සංශෝධනයේ අගමැති පත්කිරීම සම්බන්ධයෙන් කිසිම වෙනසක් සිදුවුණේ නැහැ. ඒ විධිවිධාන එසේමයි. 78 මුල් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් ඇමතිවරු පත්කරන්නේ ඔහුට අවශ්‍ය නම් අගමැතිවරයාගේ උපදෙස් ලබාගෙනයි.

කථානායකවරයා කියන්නේ ආණ්ඩුවේ බහුතර බලය පෙන්වන්න කියලා. මේ සමඟ විශාල මතවාදයක් සමාජයේ ගොඩනැඟී ඇති බව පේනවා?

කථානායකවරයාගේ ප්‍රකාශය නිසා මේ වෙලාවේ ගැටුමක් ඇති වෙලා තිබෙන්නේ. කථානායකතුමාට මෙතන ක්‍රියා කිරීමට කිසිම භූමිකාවක් නැහැ. කථානායකවරයා යනු පාර්ලිමේන්තුව රැස්වී සිටින අවස්ථාවක ක්‍රියාත්මක වන තැනැත්තෙක්. පාර්ලිමේන්තුව රැස්වූ විටයි කථානායකගේ බලය ක්‍රියාත්මක වෙන්නේ. එවිටත් ඔහු ක්‍රියාත්මක වන්නේ ස්වාධීන විනිශ්චයකාරවරයකු වශයෙන්.

පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කර තියෙද්දී පාර්ලිමේන්තුවේ දොරවල් වසා ති‍යෙනවා. මේ වෙලාවත් පාර්ලිමේන්තුවේ දොරවල් වසා තිබෙන අවස්ථාවක්. කථානායකවරයාට කිසිම බලයක් නැහැ ඒ වගේ ප්‍රකාශ කරන්න. එවැනි ප්‍රකාශ කිරීමෙන් වන්නේ ජාත්‍යන්තර වශයෙන් පවා ප්‍රශ්න මතුවීමයි. කථානායක කියන්නේ මැච් එකක අම්පයර් වගේ ඉන්න කෙනායි.

ව්‍යවස්ථාදායක හා විධායකයේ සංවරණ හා තුලන ක්‍රමයක් තිබුණත් මේ ආයතන දෙක අතර ගැටුමක් ඇති වෙලා තිබෙනවා නේද?

මෙතන කිසිම ගැටුමක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාව අනුව බලය බෙදීම හොඳට විග්‍රහ වී තිබෙනවා. ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ ජනතාවගෙන් පත් කරගත් නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් විසින්. ජනතාව තෝරාපත් කරගන්නා ලද ජනාධිපතිවරයකු විසින් තමයි රටේ ආරක්ෂාව ඇතුළු විධායක බලය ක්‍රියාත්මක කරන්නේ. අධිකරණ බලය ක්‍රියාත්මක වන්නේ ව්‍යවස්ථාවට අනුව පිහිටුවන ලද අධිකරණයක් මඟින්. එහි කිසිම ගැටලුවක් නැහැ.

අගමැති පත්කිරීමේ බලය සම්පූර්ණයෙන්ම විධායක බලයක්. ඊට හේතුව අගමැති කියන්නේ විධායක තනතුරක්. රටේ අගමැති ලෙස නැඟී සිටියාට ඔහු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්. ඔහු විධායක බලය ක්‍රියාත්මක කරන්නේ කැබිනට් මණ්ඩලයේදීයි. ඔහු පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී පමණයි.

ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බලය සම්බන්ධයෙන් ගැටුමක් නිර්මාණය වී ඇති බවක් ඇහෙනවා?

ආණ්ඩුව පත් කිරීම ව්‍යවස්ථාදායක බලයක් නොවෙයි. ආණ්ඩුව කියන්නේ විධායකයක්. විධායකයට ක්‍රියාත්මක කරන්න පුළුවන් ව්‍යවස්ථාදායකයේ පනවපු නීති පමණයි. විධායකයට වියදම් කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන මුදල් විතරයි. එයයි සංවරණ හා තුලන බලය වන්නේ.

විටින් විට මේ පේන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු, නොපැහැදිලිකම් නේද?

78 ව්‍යවස්ථාවේ හා සංශෝධිත ව්‍යවස්ථාවේ කිසිම අඩුපාඩුවක් නැහැ. අපහැදිලිකම් තිබෙන තැන්වලදී අර්ථකථනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පූර්ණ අයිතිය තිබෙනවා.‍

කෙසේ නමුත් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමඟ ගොඩනැඟී තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක්?

ස්වාධීන පුරවැසියන් වශයෙන් නොයෙක් හුවමාරුවීම් සිදුවෙනවා අපට පේනවා. සරත් එන්. සිල්වා තමයි එක පැත්තකින් තව පැත්තකට යන්න අවස්ථාව ලබා දුන්නේ කියලා මත පළ වෙනවා. එවැනි තීන්දුවක් මං කිසිම දවසක දීලා නැහැ. ඒ කාලයේ හිටපු රංජිත් අමරසූරිය කියන වැඩ බලන අගවිනිසුරුතුමා දුන් තීන්දුවක් ඒක. මට ඒක ආරුඪ කරන්න පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහයි.

මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂිය අනුව එක් පැත්තකින් අනිත් පැත්තට යන්න පුළුවන්. ඒත් මෙතැන සිදුවෙලා තියෙන්නේ හෘද සාක්ෂිය අභිභවා යන අවස්ථාවක්. එක දවසක එක තැනක, අනිත් දවසේ තව තැනකට යන අවිචාරවත් තත්ත්වයක් මතුවෙලා තියෙන්නේ. ඒක සමස්ත ආණ්ඩුක්‍රමයටම බලපාන තත්ත්වයක් බවට පත්වෙලා.

මේ අවිනිශ්චිත තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව මගේ මතයයි. පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාවට. ඒ බලය තමයි අප සලකා බැලිය යුත්තේ. කථානායකත් පක්ෂග්‍රාහී වුණු බවක් පේන්න තියෙනවා. දැන් පාර්ලිමේන්තුව රැස් වුණොත් වෙන්නේ විශාල ගැටුමක් නිර්මාණය වෙන එක. දැනටමත් මිනිස්සු කියනවා, මිලියන සීයට දෙසීයට පැති මාරු කරනවා කියලා. ඒ වගේ වාතාවරණයකදී රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා කළ යුත්තේ ජනතාව සතුව ඇති පරමාධිපත්‍ය බලය නැවත ජනතාවට පැවරීමයි.

එසේ මැතිවරණයකට යෑමට ප්‍රතිපාදන තිබෙනවාද?

මුලින්ම ඒ සඳහා ජනාධිපතිවරයාට බලයක් තිබෙනවාද යන්න සලකා බැලිය යුතුයි. 1978 මුල් ව්‍යවස්ථාවේ ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය තිබුණේ, 70 වැනි ව්‍යවස්ථාවට. පාර්ලිමේන්තුව රැස් වී අවුරුද්දකට පසුව ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිට පූර්ණ බලයක් තිබුණා. අවුරුද්ද තුළ විසුරුවා හැරිය යුත්තේ එක්කෝ පාර්ලිමේන්තුවේ බහුතරයක යෝජනාවක් මත නැත්නම් අයවැය ලේඛනය ප්‍රතික්ෂේප වූ විට.

මේ තත්ත්වය 2002 වසරේදී ඇතිවුණා. රනිල් වික්‍රමසිංහ එදත් 19 වැනි සංශෝධනයක් ගෙනාවා. එහිදී සරල බහුතරයක සම්මතයක් නොමැතිව ජනාධිපතිතුමාට කිසියම් හෝ අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවීමට නොහැකිය යන යෝජනාව ගෙනාවා. මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු හත් දෙනකුගෙන් යුක්ත විනිශ්චය මණ්ඩලයට ඒ ප්‍රශ්නය යොමු වුණා. ඒ අයගේ තර්කය වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක බලයක් ලෙසයි. ජනතා බලයේ භාරකරු හා එය ක්‍රියාත්මක කරන්නා ජනාධිපති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දුන්නා. ඒක අන්සතු කළොත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය අන්සතු කරනවා කියලා තීරණය කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වුණේ ජනාධිපතිගේ විසුරුවා හැරීමේ බලය ඉවත් කරනවා නම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන සහ හතර ව්‍යවස්ථාවට පටහැනි බවයි. විසුරුවා හැරීම තුනෙන් දෙකේ බලයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි කියන තීරණයට ආවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පනත අතෑරලා දැම්මා.

i19 වැනි සංශෝධනයට අනුව වසර හතරහමාරක් යනතුරු තුනෙන් දෙකේ බලයක් නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ නේද?

මේ නව 19 වැනි සංශෝධනය ගෙනෙද්දි අවුරුදු හතරහමාරක් යනතුරු තුනෙන් දෙකක සම්මතයක් නැතුව පාර්ලිමේන්තුව විසුරුවන්න නොහැකි බවට 70 ව්‍යවස්ථාවේ වගන්තියක් දැම්මා.

19 සකස් කරනකොට ජනාධිපතිගේ බලයත් මෙයට ඇතුළත් කළා. 33 ව්‍යවස්ථාව සංශෝධනය කර 33-2 (ඇ)

වගන්තියේ හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙන නීතියක කිසියම්ම දෙයක් සඳහන් වුවත් ඊට අමතරව ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවීමට, සැසි වාර අවසන් කිරීමට, විසුරුවා හැරීමට බලයක් ඇත්තේය යනුවෙන් වගන්තියක් ඇතුළත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිට පූර්ණ බලය තිබෙනවා. මීට අමතරව 983 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ නීතිය ක්‍රියාත්මක වනවා. ඒ නීතියේ 10 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක හෝ ඡන්දයක් අවශ්‍ය යැයි කියා ප්‍රකාශ කරපු අවස්ථාවක නාම යෝජනා බාරදිය යුතු ක්‍රමයත්, දින වකවානු අවසාන වන දිනයත්, මැතිවරණය පවත්වන දිනයත්, පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනයත් තීරණය කිරීමේ එකම බලය ජනාධිපතිට තිබෙන බව.

සාකච්ඡාව [රසිකා හේමමාලි]

මාතෘකා