මෙහෙම දුර්වල කථානායකවරයෙක් ජීවිතේට දැකලා නෑ

 ඡායාරූපය:

මෙහෙම දුර්වල කථානායකවරයෙක් ජීවිතේට දැකලා නෑ

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල

එක්ලක්ෂ පනස්අටදහසක් මනාප අරගෙන ඔබ 2001 පාර්ලිමේන්තුවට එනවා. ඔබට ලැබෙන්නේ විද්‍යා හා තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය ධුරයක්. එතැන් සිට වසර දාහතකට පසුව භාරකාර ආණ්ඩුවෙන් නැවතත් ඔබට ලැබෙනවා කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍ය ධුරයක්. දැන් මොකද හිතෙන්නේ?

මේක ටිකක් සුවිශේෂී තත්ත්වයක්. මේ තත්ත්වය තුළ ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තියෙනවා. ඇත්තටම මම හිතනවා මේක ඉතා තාවකාලිකයි කියලා. රටේ වර්තමානයේ පවතින සුවිශේෂී තත්ත්වය අතරතුර ජාත්‍යන්තර මාධ්‍යයන්හී හැසිරීම වත්මන් රජයට අවාසිදායක තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ නිසා එම අවාසිදායක තත්ත්වය මැඬපවත්වන්න කළ තාවකාලික වැඩපිළිවෙළක් තමයි මේක. මම කලින් ආණ්ඩුවල වසර ගණනාවක් කැබිනට් ඇමති ධුර දරලා තියෙනවා. මේ සුවිශේෂී තත්ත්වය මත ඇති වන යම් යම් ගැටලු මැඬපවත්වන්න තමයි මේ මොහොතේ පවතින අවශ්‍යතාවය අනුව ජනාධිපතිතුමා මට ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරය දුන්නේ. මේ වගේ මොහොතක ආරක්ෂක, මාධ්‍ය සහ මුදල් කියන්නේ ඉතාම සුවිශේෂී ඇමතිකම්. ඒ නිසා මම කළේ මොකද්ද කියන එකට වඩා මට කළ හැකි දේ මොකද්ද? එමගින් කොතෙක්දුරට පවතින ගැටලු නිරාකරණය වෙනවාද කියන එකයි වැදගත්.

පුදුමාකාර විදිහට රටේ පක්ෂ මාරුව කියන එක හැමදාම සිද්ධ වෙන දෙයක්. මේ පක්ෂ සහ පාට මාරුව සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

ඒ සම්බන්ධයෙන් පැහැදිලිව කියන්න තියෙන්නේ පක්ෂ මාරුව නෙමෙයි, පක්ෂ මාරුවේ ස්වරූපය තමයි වැදගත්. යම්කිසි අරමුණක් වෙනුවෙන් තමන් සිටින දේශපාලන ධාරාවෙන් මාරු වෙන එක ප්‍රශ්නයක් නැහැ. මොකද පක්ෂවල ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ගන්න තීන්දු තීරණ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කොළ පාට, නිල් පාට, රතු පාට කියලා මාරු වෙන එක නෙමෙයි, යම්කිසි අරමුණක් වෙනුවෙන් රට ගැන හිතලා මහජනතාව ගැන හිතලා පක්ෂ මාරු වෙන එක ගැටලුවක් නැහැ. කොහොම නමුත් අපි අවසානයේ බැඳිලා ඉන්නේ මහජනතාවට. 2015දී රට භාරගත්තාම කිසිම කෙනෙක් හිතුවේ නැහැ පැවතුණු ආණ්ඩුව මේ වගේ ජාතිකත්වයට හානි කරයි කියලා. ජාතික සම්පත් විකුණයි කියලා. මෙසේ කළ යුතු නැහැ. මෙමගින් වෙන්නේ විශාල හානියක් කියලා දැන දැනත් පක්ෂයක් නිසා ඉවසනවාය කියන අයත් ඉන්නවා. නමුත් වෙලාවේ හැටියට සාධාරණ තීරණයක් ගන්න එක ඒ ඒ කෙනාගේ අයිතිය.

ඔළුගෙඩි මාරුවලින් ආණ්ඩු හැදෙන එක ගැන ඔබ ඉන්නේ කුමන මතයකද?

ඔළුගෙඩි ඕනෙමයි ආණ්ඩුවක් හදන්න. ඔළුගෙඩි නැතුව ආණ්ඩු හදන්න බැහැ. ඒක අත්‍යාවශ්‍යයි. පැවතුණු ආණ්ඩුව ජාතික සම්පත් කුණුකොල්ලෙට විකුණනවා නම්, අනවශ්‍ය ලෙස ව්‍යවස්ථාව වෙනස් කරලා නම්, ඒ තුළින් රට විනාස වෙලා යනවා නම් ඒ ආණ්ඩුව බලයේ ඉන්නවාට වඩා ප්‍රජාතන්ත්‍රවාදය කියන රාමුව තුළ ඉඳගෙන කටයුතු කරනවාද කියන එක ගැන හිතන්න ඕනේ. ඔළුගෙඩි මාරුවෙන් රටට හොඳක් වෙනවා නම්, රටේ ජනතාවට හොඳක් වෙනවා නම් ඒක වරදක් හැටියට මම දකින්නේ නැහැ.

මේ වෙලාවේ කථානායකවරයාගේ භූමිකාව ඔබ දකින්නේ කොහොමද?

මම දැකපු දුර්වලම, පක්ෂග්‍රාහීම කථානායකවරයා තමයි මේ. ලංකා ඉතිහාසයේ මේ වගේ කථානායකවරයෙක් මම දැකලා නැහැ. පාර්ලිමේන්තුව කල් දැම්මා කියලා ජනාධිපතිවරයා ගැසට් කළාම ඔහු කියනවා නැහැ පාර්ලිමේන්තුව මෙන්න මේ දවසට රැස් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔහු ඒ සම්බන්ධයෙන් වෙනත් දිනයක් කියනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඔහු සමඟ කතා කළාම අගමැතිතුමාට සියල්ල සූදානම් ඔහුගේ කාර්යාලයත් සූදානම් කියලා අනිත් පැත්තට වෙන එකක් කියනවා. එ නිසයි කියන්නේ ඔහු ඉතා දුර්වල කෙනෙක් කියලා.

පාර්ලිමේන්තුව කැඳවන්න තීරණාත්මක දවසක් එනවා. ජනාධිපතිවරයා කියනවා ඒ 16 වෙනිදා කියලා. කථානායකවරයා කියනවා ඒ දවස අද කියලා. මේක අර්බුදයක් නේද?

විධායකය සහ ව්‍යවස්ථාව අතර අර්බුදයක් පවතිනවා නම් ඒක විසඳගන්න යන්න ඕනේ අධිකරණයට. අපි කියන්නෙත් ඒක. ඒත් ඔවුන් දන්නවා අධිකරණයෙන් දෙන තීන්දුව මොකක්ද කියලා. ජනතා පරමාධිපත්‍යය සමඟ ගනුදෙනු කරන විට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන මේ අංශ තුන අවබෝධාත්මකව කටයුතු කළ යුතුයි කියලා තියෙනවා. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටලුවක් තියෙනවා නම් විසඳුම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා. මේ මොහොතේ ගැටලුව පාර්ලිමේන්තුව කල් දැමීම ගැන නම් ඒ අයිතිය රටේ විධායකයට තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට තියෙනවා. කථානායකවරයා ව්‍යවස්ථාව දැකලාවත් නැතුව තමයි මේ දේවල් කියන්නේ.

පසුගියදා රැස් වුණු ජනරැලියෙදි ජනාධිපතිවරයා කියනවා මාස හතක් ඇතුළත තිදෙනෙක්ට අගමැති ධුරය භාරගන්න කිව්වා කියලා. එතුමාට මාස හතක් තුළ තිදෙනෙකුට

ඒ තරම් විශ්වාසයක් එන්නේ කොහොමද?

ඒක බොහොම සරලයි. ඒකට පිළිතුරත් ජනාධිපතිතුමා ඒ කතාවෙදිම කියනවා. ජනාධිපතිතුමා කියනවා පෙබරවාරි 10 පැවැත්වුණු මැතිවරණයෙන් ඒ බහුතර මතය දැනගත්තා කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ ආර්ථිකය පසුබසින වැඩපිළිවෙළක් නිසායි එතුමා තීරණයක් ගත්තේ. ඒ තත්ත්වය තේරුම් ගෙන එතුමා කෙලෙහි ගුණ දන්න නිසා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ට අවස්ථාව ලබාදිය යුතුයි කියලා තීරණය කළා කියනවා. ඒ නිසා එතුමා ඒ තීරණ සියල්ල ගත්තේ ඉතාම ස්ථාවර සහ සාධාරණ පදනමක් යටතේ කියලා කියන්න පුළුවන්.

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ තුන් වෙනි තේරීම වුණා කියලා සහ දෙවරක් ජනාධිපති වුණු මහින්ද රාජපක්ෂට එය එතරම් හොඳ මදි කියලා සමහරු කියනවා.

හොඳ මදි තමයි. ඒත් ඒකට ජනාධිපතිතුමාම පිළිතුරක් දීලා තියෙනවා. එතුමා කියනවා එක්සත් ජාතික පක්ෂයට දෙවරක් අවස්ථාව දුන්නා කියලා. නමුත් එතුමා පිළිගන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ ඒ හැම කෙනෙක්ම පෙරළගෙන යන්න පුළුවන් කෙනෙක් කියලා. ජනාධිපතිතුමා එදා කතාවෙදි කියනවා "රටේ දේශීයත්වය අගය කරන, සංස්කෘතිය හඳුනන, රටට ආදරය කරන, ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් මාත් එක්ක යන්න, මට ගැළපෙන මිනිහෙක් මම හෙව්වා. කරූ ජයසූරිය බෑ කිව්ව අගමැතිකම, සජිත් ප්‍රේමදාස බෑ කියපු අගමැතිකම, රනිල් වික්‍රමසිංහ එක්ක හැප්පෙන්න බැහැ කියලා සජිත් කියපු, කරු කියපු අගමැතිකම රනිල් එක්ක හැප්පෙන්න නෙවෙයි, රනිල් පෙරළගෙන යන්න පුළුවන් මහින්ද රාජපක්ෂව මම අගමැති කෙරුවා" කියලා. ඒ නිසයි ඒ වගකීම අගමැති මහින්ද රාජපක්ෂට භාර දුන්නේ.

මේ හැමදෙයකින්ම පෙන්නුම් කරන්නේ මැතිවරණයක සේයාව නේද?

මගේ පෞද්ගලික මතය වෙන්නේ මේ හැමදෙයක්ම අවසානයේ ජනතා පරමාධිපත්‍යයට යටත් විය යුතුයි කියන එක. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සාධකය වුණාට ඔවුන් ලංකාවේ මිලියන 21ක ජනතාව නියෝජනය කරනවා. ඒක වර්තමානයේ වලංගුද කියලා ප්‍රශ්නයක් තියෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව වසර 4 1/2ක් යනතුරු විසුරුවන්න බැහැ. ඉතින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක බැලුවාම විශේෂ බහුතරයක් සහිතව මැතිවරණයකට යනවා හැරෙන්න වෙන කළ යුතු දෙයක් තියෙනවාද කියන ප්‍රශ්නය එනවා. මහ මැතිවරණයකින් පාර්ලිමේන්තු නියෝජිතයන්ව උරගා බැලීම වරදක් නැහැ. ඒක පවත්වන්නේ ජනතාවගේ කැමැත්ත අනුව. මේ මොහොතේ විකල්ප නැති නිසයි ඔළුගෙඩි මාරු කළේ. හොඳම දේ ජනතා පරමාධිපත්‍ය පරීක්ෂා කිරීම.

ව්‍යවස්ථාව මොනතරම් වලංගු වුණත් අඩු ලුහුඬුකම් තියෙන මුළු රටක්ම විවේචනය කරන ව්‍යවස්ථාවක් ඇයි වෙනස් නොකරන්නේ?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඉතාම කඩිමුඩියේ දෙතුන් දෙනෙකුගේ අවශ්‍යතාවය මත ජාත්‍යන්තරයේ අවශ්‍යතාව අනුව සකසා ගත්ත කඩදාසියක්. ඒකට අපිත් අත ඉස්සුවා. ඒකට අපිත් වගකියන්න ඕනේ. එ් මොහොතේ රට බොහොම අරාජිකත්වයක තිබුණේ. වෙනත් විකල්පයක් නොමැති නිසා අපිත් එයට එකඟ වුණා. ඒත් මේක නිවැරදි කරගැනීම අපි හැමෝගෙම වගකීමක් හැටියට මම දකිනවා.

ජනමාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් විවිධ වකවානුවල පවතින රජයට චෝදනා එල්ල වෙනවා. නව රජයටත් එම චෝදනාව එල්ල වෙන්න පටන් අරන්..?

ජනමාධ්‍යයේ යම්කිසි විදියක ප්‍රවණතාවක් ඇති විය යුතුයි. රාජ්‍ය මාධ්‍යයේ වගකීමක් තියෙනවා පවතින රජය සමඟ සබඳතාවක් ඇති කරගන්න. ඒක බොහොම අවංකව පවත්වාගෙන යා යුතුයි. ඒක 40% ක්වත් තිබිය යුතුයි. සමහර රාජ්‍ය මාධ්‍ය ඒ සබඳතාව 100%ක් ඉටුකරන්න ගිහින් පාඨකයා හෝ ප්‍රේක්ෂකයා නැති කරගන්නවා. ජනමාධ්‍යයේදී ප්‍රධාන වෙන්නේ ග්‍රාහකයා. ග්‍රාහකයාගේ විශ්වාසය නැති වුණහොත් එකී මාධ්‍යයේ පැවතීමක් නැහැ. මිනිස්සු පත්තර බලන්නේ නැත්නම් රූපවාහිනි හෝ ගුවන්විදුලිය වටා එක්රැස් වෙන්නේ නැති නම් ඒ මාධ්‍යයෙන් වැඩක් නැති වෙනවා.

වර්තමාන මාධ්‍යවේ්දයේ දිශාව කුමක් විය යුතුද?

මම හිතනවා මාධ්‍යවේදීන් මීට වඩා වෘත්තීය මට්ටමට යා යුතුයි කියලා. මාධ්‍යවේදීන්ට ඉගෙනීමේ සීමාවක් නැති විය යුතුයි. මාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි සියලු පුරවැසියන්ට ඒක අදාළයි. මාධ්‍යවේදීන්ට ඒ සඳහා පහසුකම් ලබාදිය යුතුයි. අපේ කාලේ ණය මුදල් මඟින් විවිධ වැඩමුළු සහ වැඩසටහන් හරහා ඒ පහසුකම් ලබාදීලා තියෙනවා. නිතරම මාධ්‍යවේදීන් යාවත්කාලීන විය යුතුයි. අද පවතින නූතන මාධ්‍ය, සමාජ මාධ්‍ය සමඟ මිනිසා නිතර ගනුදෙනු කරන නිසා ඒ සමඟ ජනමාධ්‍යයට විශාල තරගයක් දෙන්න සිද්ධ වෙනවා. මේ හේතු නිසා ජනමාධ්‍යවේදියා නවීන විය යුතුයි. නිර්මාණශීලී විය යුතුයි. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ආදිය කවරාකාර දේවල් කිව්වත් ඒවා නිසි ලෙස තෝරා බේරා ගැනීමේ සහ ඒවා ග්‍රහණය කර ගැනීමේ වගකීමක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා