ජනමතය කාටද?

 ඡායාරූපය:

ජනමතය කාටද?

ජනමතය ගලේ කෙටූ අකුරක් සේ ස්ථාපිත වන්නා වූද සදාකාලික වන්නා වූද දේව වාක්‍ය වාගේ වෙනස් කළ නොහැක්කා වූද වෙනස් නොවන්නා වූද එකක් නොවේ. ජනමතය කලින් කලට වෙනස් වේ. ජනමතය මොහොතින් මොහොත චලනය වේ. එහෙයින්, ජනමතය මූලික කරගනිමින් රාජ්‍ය පාලනය කිරීම ආරම්භ වූ සමයේ පටන්ම කලින් කලට ජනයාගේ අදහස විමසීමේ ක්‍රමවේදයන් ලොව පුරා ක්‍රියාත්මක වේ. ඒ අනුව, ඒ ඇතැම් මත පවත්නා තත්ත්වයන් සාධාරණීකරණය කරමින් හෝ ඊට අනුබල දෙමින් තීන්දු වන අතර ඇතැම් ප්‍රතිඵල මගින් කියා සිටින්නේ පවත්නා තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයන්ය. ඒ අනුව, රාජ්‍ය පාලකයන් හෝ රාජ්‍ය පාලනය මෙහෙයවීම පිළිබඳ වන අධිකාරීන් විසින් එකී ජනමතයන් පදනම් කර ගනිමින් විවිධ වූ පාලන වෙනස්කම් සිදු කරයි.

2010 පාර්ලිමේන්තුව සහ 2015 ජනවාරි

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ප්‍රකාශිත ජනමතය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට ආසන්නය. එකී පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද ඇතුළු අණ පනත් බොහෝමයක් සම්මත වූයේ තුනෙන් දෙකක පමණ කැමැත්තෙනි. එකී කාල පරාසය තුළ පැවැත්වූ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදීද 2010 අප්‍රේල් මාසයේ ප්‍රකාශිත ජනමතය උඩු යටිකුරු කිරීමට සමත් අදහසක් සන්නිවේදනය කිරීමට ජනතාව උනන්දු නොවීය. එම වකවානුවේ පැවති ඉතාම ආකර්ෂණීය මැතිවරණයක් වූ ඌව පළාත් සභා ඡන්දයේදී පවා අවසන් ප්‍රතිඵලය සටහන් වූයේ පවත්නා ආණ්ඩුවේම බලය තවදුරටත් ජනතාවගේ පිළිගැනීමට ලක් වීමෙනි.

නමුත්, යටකී තත්ත්වය වෙනස් වූ එක් අවස්ථාවකි. එනම් 2015 ජනවාරි මස 8 වැනිදා පැවති ජනාධිපතිවරණය. එහිදී, එතෙක් ජනතාව විසින් අනුමත කරමින් පැමිණි පවත්නා පාලනය එක්වරම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ ගෙවුණු පස්වසරක කාලය තුළ ජනතාව විසින් පවත්නා පාලනය පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි පරිදි පරාජය කළ පළමු හා එකම අවස්ථාවයි. එහි ප්‍රතිඵලය වූයේ සන්ධානයේ අපේක්ෂකයා පරාජයට පත් කරමින් එක්සත් ජාතික පක්ෂය හා තවත් පක්ෂ හා සංවිධාන පනහකට වැඩි ගණනක් සහාය දැක්වූ පොදු අපේක්ෂකයා දිනවීමයි.

එකී ප්‍රයත්නයේ ප්‍රතිඵලය ලෙස අලුත් ජනාධිපතිවරයෙක් පත් විය. එහි අතුරුඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමිකර ගෙන සිටි අග්‍රාමාත්‍යවරයා වෙනුවට අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් වීමය. ජනාධිපතිවරණයක ප්‍රතිඵලයෙන් ඒ හා කිසිදු සම්බන්ධයක් නොමැති අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීම සම්බන්ධයෙන් වන දේශපාලන විද්‍යාත්මක තර්කය වූයේ පෙර ජනමතය පසු ජනමතය විසින් වෙනස් කර ඇති හෙයින් එකී පසු ජනමතයෙන් පිළිබිඹු කෙරෙන්නා වූ ජනතා අභිලාෂයන් සාක්ෂාත් කරනු පිණිස ක්‍රියාමාර්ග තෝරා ගත යුතුය යන්නයි. මේ තර්කය කිසිවෙක් විසින් අභියෝගයට ලක් නොකරම පිළිගත්තේය.

2018 පුංචි ඡන්දය

2018 පෙබරවාරි මාසයේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණය 2015දී බලයට පැමිණි ආණ්ඩුව පැවැත්වූ පළමු හා එකම මැතිවරණයයි. 2015 මාර්තු මාසයේ හෝ ඊට ආසන්න කාලයේ පැවැත්වීමට නියමිතව තිබූ එම මැතිවරණය විවිධ සාධාරණ වන හා නොවන හේතු පදනම් කර ගනිමින් වසර තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වූයේය. ස්වකීය පළාත් පාලන නියෝජිතයා පත් කර ගැනීමට ජනතාවට ඇති ප්‍රජාතාන්ත්‍රීය අයිතිය එමඟින් අහුරන්නේ යැයි හීන් කෙඳිරිලි පමණක් ඇසුණත්, පාර්ලිමේන්තුව නීත්‍යනනුකූලව මසක් කල් දමන අවස්ථාවේ පැමිණි මහා විවේචන එහි නොවීය. එය වෙනම කාරණාවකි. කෙසේ නමුත්, යටකී පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පෙන්නුම් කළේ වෙනස්ම තත්ත්වයකි.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වූ මෙම මැතිවරණයෙන් වැඩි වාසියක් හිමි වූයේ සිය කුළුඳුල් මැතිවරණයට ඉදිරිපත් වූ සන්ධානයෙන් කැඩුණු අලුත් පක්ෂයක් වූ පොදුජන පෙරමුණටය. දෙවැනි තැන එක්සත් ජාතික පක්ෂයටත්, තෙවැනි තැන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සන්ධානයටත් හිමි විය. මෙම ප්‍රතිඵලය මගින් ඍජුවම ලබා දුන් පණිවුඩයක් විය. එනම් පවත්නා ආණ්ඩු පාලනය කෙරෙහි ජනතාව තුළ වැඩි මනාපයක් නැති බවයි. ඒ වන විටත් ආණ්ඩු බලය පවත්වාගෙන ගිය සන්ධානයේ හා එජාපයේ ඡන්ද පදනම එක්කොට, ඒ ඡන්ද ආණ්ඩුවට පක්ෂව වැටුණු ඡන්ද යැයි උපකල්පනය කළද එහි එකතුව සියයට පනහ ඉක්මවීමට සමත් නොවීය. නමුත්, සන්ධානයේ හා සන්ධානයෙන් කැඩී ගොස් වෙනම තරග කළ පොදුජන පෙරමුණේ සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතය එක්කළ විට එහි අගය වුවමනා තරමටත් වඩා සියයට පනහ ඉක්මවා යන්නේය.

සන්ධානය හා පොදුජන පෙරමුණ එකිනෙකින් වෙන් වූ පක්ෂ දෙකක් නොවේ. එක පැත්තකින් එකම අවශ්‍යතාවක්, එකම අභිලාෂයක්, එකම දිශානතියක් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ කඳවුරු දෙකක් පමණි. එහෙයින්, එකී කඳවුරු දෙක එක් වී පොදු කඳවුරක් නිර්මාණය කර ගැනීම හෝ එසේ නිර්මාණය වන කඳවුරක් හරහා රටේ බලය මෙහෙයවීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ප්‍රකාශිත විරෝධයක් නොවීය. ජනතාවගේ නොනිල ඉල්ලීම වූයේද එයයි.

බහුතරය

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදීද කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සන්ධානයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොවීය. පැවති ආණ්ඩුව සතුව තිබූ පාලනය සඳහා අවශ්‍ය බහුතරය නිර්මාණය කර ගත් එකකි. එහි එජාපයේ කඳවුරේ නියෝජිතයෝද, මුස්ලිම් කොංග්‍රසයද, බදියුදීන්ගේ පක්ෂයද, හෙළ උරුමය වැනි හුදෙකලා පක්ෂද සාමාජිකයන් වූහ. එපමණක් නොව එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන වැනි ඍජුවම මෛත්‍රී කඳවුර නියෝජනය කළ පිරිසේද හවුල්කාරීත්වය ලැබිණි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුවට ලබාදුන් දායකත්වය තීරණාත්මකම දායකත්වයකි.

එදා මෙන්ම අදද තත්ත්වය එසේය. එදා පාර්ලිමේන්තු බහුතරය එජාපය මූලික කරගෙන නිර්මාණය කිරීමට දේශපාලන පක්ෂ හා ජනතාව විසින් තීරණය කර තිබිණි. දැන් ජනතාවගේ අභිලාෂය හා ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කර දේශපාලන පක්ෂවල වුවමනාව වී ඇත්තේ මෛත්‍රී-මහින්ද මූලික කරගත් සන්ධානය මූලික කරගත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමය. ඒ අනුව, එජාපය සමඟ අත්වැල් බැඳගත් පරිදිම අද මේ වන විට මෛත්‍රී-මහින්ද සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටියි.

සිදුවෙමින් තිබෙන දේ ගැන සීමිත පිරිසක් අකමැත්තෙන් හා තරහෙන් පසුවන බැව් අපි දනිමු. ඔවුන් උද්ඝෝෂණය කරති. ඔවුන් වර්ජනය කරති. ඔවුන් සහ ඔවුන්ගේ දෙවැනි පෙළ එක්ව ෆේස්බුක් වෙබ් අඩවි ආදිය තුළ පිටු පිරෙන්නට විවේචන ලියමින් සිටියි. නමුත්, රටේ බහුතරයගේ වුවමනාව හෝ අභිලාෂය ඊට හාත්පස වෙනස්ය. හන්දියේ, පොළේ, කඩපිළේ, බස් එකේ සිට රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, පෞද්ගලික කාර්යාල ආදිය දක්වාම අපේක්ෂා සහගත බවින් පිරීගොස් ඇත. දරුවන්ට රැකියා, දුගියන්ට ශක්තිමත් ආර්ථිකයක්, පුරවැසියන්ට අභිමානවත් රටක්, ආගමට සංස්කෘතියට ඉහළ පිළිගැනීමක්, කුස්සියට සහනයක් ගැන ජනතාව තුළ ඇත්තේ අපේක්ෂාවකි. එක වටයකින් පෙට්‍රල් ලීටරය රුපියල් දහයෙන් පහළොවෙන් ඉහළ දමන ආණ්ඩුවක් අනෙක් පැත්තෙන් තම පන්ති මිතුරන්ට පමණක් වාසි දෙන්නා වූ බදු සහන දෙන විට රටේ ජනතාව සිටින්නේ සතුටින්ද දුකෙන්දයි අමුතුවෙන් ඇසිය යුතුද?

එහෙයින්, ජනමතය යනු ජනතාවගේ අභිලාෂයන්, අපේකෂාවන් හා අරමුණු පිළිබඳ වන සංවේදීතාව මිස එක්තරා පන්තියක හෝ සීමිත ජන කොට්ඨාසයක අවශ්‍යතාවන් වෙනුවෙන් කැප වෙන්නා වූ දෙයක් නොවේ. ජනමතය කවරක්ද යත් සිය නායකයාගෙන් ඔටුනු ගැලවුණු විට, ඒ ගැන ශෝක වෙන්නට පිරිසක් වුවමනා වූ විට වෙනම දිනයක් යොදාගෙන බස් යොදවා කන්නට බොන්නටදී වෙනම ව්‍යාපෘතියක් ලෙස ජනයා කොළඹට ගෙන්වන්නට සිදු විය. ඒ මිනිස්සුද හැරෙන තැපෑලෙන් ආපසු ගියා ගියාම මිස ආයේ පැත්ත පළාතවත් හැරී බැලුවේ නැත. පසුගියදා කොල්ලුපිටියේ පැවැත්වූ ඔවුන්ට පක්ෂ උද්ඝෝෂණයක සිටියේ පනහකටත් අඩු පිරිසකි. සුමානයක් පමණක් ඇවෑමෙන් තත්ත්වය එසේ නම්, 16 වැනිදා වන විට තත්ත්වය ගැන සිතාගත හැකිය. ඒ ජනයා ස්වකීය නායකයා ගැන දක්වන ප්‍රතිචාරයයි.

ජනමතය මුදලට ගැනීම

මේ මොහොතේ පරාජිතයා විසින් සිදු කරමින් සිටින ඉතාම තක්කඩි නිර්මාණය මෙයයි. එනම් ආණ්ඩුවට සහාය දක්වන්නේ මුදල් ලබා ගත් ජනතා නියෝජිතයෝ යන බවයි. කිසි සාක්ෂියක් නැත. දුන් කෙනෙක් නැත. ගත් කෙනෙක් නැත. දුන් තැනක් නැත. ගත් තැනක් නැත. එවැනි පසුබිමක මෙවැනි අභූත චෝදනා නගමින් ජනතා නියෝජිතයන් කෙරෙහි ආක්‍රෝෂ පරිභව කෙරෙන අයෙක් වෙත්නම්, ඔවුහු ජනතාවගේ නියෝජිතයෝ ගැන සිතා සිටින මට්ටම ගැන සිතා ගත හැකිය. එය හුදෙක් නියෝජිතයාට පමණක් නොව, එකී නියෝජිතයා නියෝජනය කරන ජනයාටද කරනු ලබන ගර්හාවකි. කරුණාකර තමන්ගේ තරමින් අනෙකා නොමනින්න යැයි පමණක් ඒ කඳවුරේ ඉන්නා වරක් දෙවරක් පමණක් නොව පස් හය වරක්ම එහා මෙහා පැන දැන් දේශපාලන කන්‍යාවන් වන්නට වෙර දරන මහත්වරුන්ට සිහිපත් කරමි.

මාතෘකා