කතා කරන්න දෙයක් නෑ වාසිය අපිට : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම

 ඡායාරූපය:

කතා කරන්න දෙයක් නෑ වාසිය අපිට : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම

ලබන5 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න සූදානම් දැන්?

මම දැක්කා අගමැතිතුමා උපදෙස් දීලා තියෙනවා පස් වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න කියල.

ඒ කියන්නේ බහුතර බලය ලෑස්තියි කියන එකද?

බහුතර බලය ලෑස්තියි. ඔව්.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඇයි ඇමතිධුර ලබා ගන්නේ නැත්තේ?

අපි තීන්දුවක් ගත්තා, අපට අවශ්‍ය සංඛ්‍යාව පිළිබඳ ගැටලුවක් තිබෙන නිසා ඒ සංඛ්‍යාව සම්පූර්ණ වෙනතුරු ඒ සඳහා අපි අවස්ථාව දෙනවා කියලා. වෙනත් පැතිවලින් පුද්ගලයන් ගන්නකොට හිටපු ඇමැතිවරුන් නම් එන්නේ ඒ අයට ඇමති ධුර දියයුතු වෙනවා.

ඒ නිසා අපිත් මේ තරගයට ඉදිරිපත් වෙලා අගමැතිතුමාව අපහසුතාවට පත් කරන්න ඕන නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අප වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති ධුරය ලබාදී තිබෙනවා.

ඒ නිසා අනිත් තනතුරු පිළිබඳ අප විශේෂ උනන්දුවක් දක්වන්නේ නැහැ. අප කවුරුත් ඇමතිකම එපා කියනවා හෝ හෑල්ලුවට ලක් කරනවා නෙවෙයි, නමුත් අර කියපු සංඛ්‍යාව සකස්කර ගැනීම සඳහා එතුමාට පහසුවක් සලසන්න දැනට අපි ඒ තරගෙට එන්නේ නැතුව ඉන්නේ.

ඒ පැත්තෙන් එන පිරිස ඇමතිකම්වලින් අසාර්ථක වෙනකොට, පසුකාලීන ඔබ පාර්ශ්වය වාසියක් ගැනීමේ බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවෙයි කියලද ඔබ කියන්නේ?

කොහෙත්ම නැහැ. එකම බලාරොත්තුව ඉහතදී කී කාරණය විතරයි. ඒ සංඛ්‍යාව සම්පූර්ණ වුණාට පස්සේ අපට ඇමතිකම් දුන්නොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

කඩිනම් මැතිවරණයකට යනවද?

මැතිවරණයකට යන්න බැහැනේ. මැතිවරණයකට යන්න බැරි නිසයි මේ ක්‍රියාමාර්ග ගන්නේ. මේ වගේ තත්ත්වයකදී සුදුසුම දේ තමයි මැතිවරණයකට යන එක. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලම ගෙනාපු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා අවුරුදු හතරහමාරක් යනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා.

පාර්ලිමේන්තුවට වසර හතරහමාර තවම සම්පූර්ණ වෙලත් නැහැ. වසර හතරහමාර ගත වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනද නැද්ද කියන තීරණය ගන්න ඕන ජනාධිපතිවරයා. මැතිවරණයකිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආණ්ඩුවක් පිහිටුවන්නනේ. දැන් අපේ ආණ්ඩුව පිහිටුවලා තිබෙනවානම් අපට සම්පූර්ණ කාලෙම යන්න පුළුවන් මැතිවරණයක් නොතබාම.

මැතිවරණයකට යනවා නම් ජනතාව හමුවට යන්නේ අත ලකුණින්ද? පොහොට්ටුවෙන්ද?

ඒ ගැන තවම සාකච්ඡා කරලා නැහැ. පොහොට්ටුව හදලා ජනාධිපතිතුමා ජාතිය අමතනකොට කීව කතාවේදී පැහැදිලිවම කීවා පහුගිය පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුවේ ප්‍රතිඵලයෙනුත් එතුමාට පණිවිඩයක් ලැබුණා කියලා. ඒකෙන් එතුමටත් ඒ පණිවිඩය ලැබුණා නම් සලකුණ පොහොට්ටුව හැටියට තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළත් වෙන සන්ධානයකින් අප මැතිවරණයකට ඉදිරිපත් විය යුතුයි කියන එක මගේ පෞද්ගලික මතය.

ඔබ නියෝජනය කරන පක්ෂයේ නායකයා කවුද?

තාක්ෂණිකව අප පාර්ලිමේන්තුවට පත් වෙලා තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඒ පිළිබඳ විවාදයක් නැහැ. ඒක තාක්ෂණික කරුණක් විතරයි. අප සියලු දෙනා නියෝජනය කරන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ. එහි තරුණ පෙරමුණේ සභාපති මම. අප වැඩ කරන්නේ මොන පක්ෂයටද කියලා නම් ඔබ අහන්නේ, අප වැඩ කරන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට.

පොදු ජන පෙරමුණට ඔබ වැඩ කළත් පක්ෂයේ නායකත්වය පිළිබඳ ගැටලුවක් තිබුණා?

අපි තවම පොහොට්ටුවෙන් තරග කරලා නෑනේ. අප ප්‍රවර්ධනය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.

ඔලු ගෙඩි මාරුවක් එක්ක ආණ්ඩු මාරුවීම සුබයි කියලා ඔබ හිතනවද?

හුඟක් අය පටලාගෙන තිබෙන කාරණයක් 113ක් නැති වුණොත් අගමැතිවරයා සහ රජය අහෝසි වෙනවාද කියන කාරණය. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කෙරුවේ ජනාධිපතිවරණයෙන් පස්සේ, මහ මැතිවරණයක් තිබුණේ නැහැ.

ජනාධිපතිවරයා 2015 බලයට පත් වුණෙත් අගමැතිවරයා පත් කළේත් 19 ගෙන ඒමට පෙරයි. 19 ගෙනා පසුවයි දෙවන වර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය ලැබුවේ?

19 නිසාම තමයි මේ පත් කිරීම කරන්න පුළුවන් වුණේ. 19 ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ආණ්ඩුව සකස් කිරීම සඳහා මූලික වන ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් රජයෙන් ඉවත් වුණොත් ආණ්ඩුවක් නෑ කියලා. ඒ අනුව තමයි නව අගමැති පත් කළේ. පාර්ලිමේන්තුවේ 113 අපි දැන් හදාගෙන යනවා. ජනතාවට ප්‍රශ්නයක් තියෙනවානේ 113 නැති වුණොත් ආණ්ඩුව නැති වෙනවද කියලා. එහෙම වෙන්නේ නෑ. මොකද 113 නැති වුණොත් පාර්ලිමේන්තුවේ නොයකුත් අණපනත් සම්මත කරගැනීමට අපට නොහැකි වෙනවා.

අයවැයට 113 නැතිවුණොත්?

ටීඑන්ඒ එක වගේ පක්ෂ අය වැයට විරුද්ධ වෙයි කියලා අප හිතන්නේ නැහැ.

මේ තත්ත්වයත් එක්ක ඒ වගේ පක්ෂ අය වැයට පක්ෂ වෙයි කියලා හිතන්න පුළුවන්ද?

සීයට සීයක් කියන්න බැහැ. උදාහරණයක් විදිහට මම කියන්නේ මුස්ලිම් කොංග්‍රසය වගේ අප සමඟ එකතු නොවුණත් අයවැයට ඡන්දය දීමට ඉඩ තියෙනවානේ. අය වැය ජය ගැනීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න අප සූදානම්.

ආණ්ඩුවට අයවැයට 113 සම්මත කරගන්න බැරි වුණොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන්න වෙනවා?

බැරිවෙලා හරි අයවැය පරාජය වෙලා මහ මැතිවරණයකට යන්න වුණොත් මේ වෙලාවේ වාතාවරණය අනුව මහ මැතිවරණයකට යෑම ඉතාම වාසිදායකයි. මේ වෙලාවේ කොහෙන් ගියත් අපට වාසියි.

මේ දේශපාලනය ගැන ජනතාව ඉන්නේ කලකිරීමෙන් නේද කියලා අවංකව පිළිගන්න වෙනවා නේද?

ජනතාව ඉන්නේ දේශපාලඥයන් ගැන කලකිරීමෙන්. ඒක පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. දේශපාලනඥයන්ගේ හැසිරීම ගැන සමහර දේශපාලඥයනුත් කලකිරීමෙන් ඉන්නේ. ඒක වෙනස් විය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක මට වැඩිය හැප්පුණු කවුරුත් නැහැ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මට ගොඩක් උදවු කරලා තිබෙනවා. එතුමාගේ නීති රීති සියල්ල බිඳ දමමින් නුවර පළමුවෙනි වේදිකාවට නැගලා එතුමට විරුද්ධව මුළු ගමනම ආරම්භ කළේ මම.

ඒකේ ප්‍රතිඵලයක් හැටියට අනිත් මන්ත්‍රීවරුත් පිටිපස්සෙන් ඇවිත් එහි ප්‍රතිපලයක් ලෙස මහින්ද සුළඟ වර්ධනය වෙලා මේ තත්ත්වය දක්වා වර්ධනය වුණේ. එතුමා විරුද්ධව එහෙම හිටපු කෙනෙක් හැටියට වුණත් මම කියන්න ඕන මේ රට වැටී ඇති අගාධයට එතුමා වගකිව යුතුයි.

හැබැයි රට වළ ඇතුළට දලා පෙට්ටියට පස් ටික දාන්න කලින් හරි මේක නතර කරපු එක පිළිබඳව අපේ සතුටක් තිබෙනවා. ‍මේ ආණ්ඩුව කොහොම ගියත් තව වසරකින් වැටෙනවා. එතැන සිට රට භාරගැනීමට පෙර මෙතන සිට භාරගැනීමට හැකිවීම හොඳයි කියන එකයි මා අදහස් කළේ.

යහපාලනයෙන් ජනතාව බලාපොරොත්තු වූ යුක්තිය ඉටු වුණේ නැහැ. දේශපාලනඥයන්ට තිබුණු චෝදනාවලට නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. යහපාලන ආණ්ඩුවේදී චෝදනාවලට සිදුවූ දෙයම මේ ආණ්ඩුවෙත් සිදුවෙයිද?

මැතිවරණ කාලයේ ඉදිරිපත් කළ චෝදනා බරපතළයි. හැබැයි ඒවා මැතිවරණ වේදිකාවේදී ජනතාව නොමඟ යැවීමට කී කතා. ජයග්‍රහණයට පස්සේ පවරපු නඩු දිහා බැලුවාම ඒක බොහොම පැහැදිලියි.

ඩුබායි, මැරියට්, ස්විස් එකවුන්ට් ගැනනේ කතා කළේ. නමුත් නඩු පැවරුවේ යකඩ බටවටල, සිල් රෙදිවලට, ජොන්ස්ටන් ඇමතිතුමාට ලක්ෂ තිහක බඩු ගංවතුර ආධාර හැටියට බෙදුවට. දේශපාලන වේදිකාවේ නගපු චෝදනා සම්පූර්ණ බොරු කියලා ඔප්පු වෙනවා පවරපු නඩු ටිකෙන්ම. සියලු දෙනාට නඩු දැමීමේ අරමුණකින් මේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැහැ. බැඳුම්කර සිදුවීම වැනි ඒවා වෙනුවෙන් පරීක්ෂණ පවත්වා නීතිය අනුව ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නවා.

රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ එතුමා තවම අගමැති කියලයි.

හිටපු අගමැතිතුමා කාර්යාලයත් භාරදීලා, වැඩත් භාරදීලා නිල නිවාසෙට විතරක් වෙලා කළ වැඩෙන් එතුමාගේ ප්‍රතිරූපයට බලවත් හානියක් වෙනවා. ඕන නම් මිනිසුන්ගෙන් කැඳවීමක් විතරයි කරන්න තියෙන්නේ.

උස්සගෙනම ගිහින් දායි කොහෙට හරි. එතුමා තවම අගමැති කියාගෙන එක්සත් ජාතීන්ගේ හමුදාවට එන්න කියමින් අසරණභාවය පිළිබිඹු කිරීම එතුමට හොඳ නැහැ. එතුමාට කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුණාම ගෙදර ගියා කියන එකයි.

[රශ්මි සඳරේඛා]

මාතෘකා