මොකක්ද මේ කතා වෙන අරලියගහ මන්දිරේ?

 ඡායාරූපය:

මොකක්ද මේ කතා වෙන අරලියගහ මන්දිරේ?

අපේ රටේ අගනුවර වූ කොළඹ අනාදිමත් කාලයක සිට සුදු අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය ගෙන ගිය යුග කිහිපයක සිට නොයෙකුත් අන්දමේ යුද කෝලහලයන්ට සමාජ විපර්යාසයන්ට හා තවත් ඓතිහාසික සිද්ධීන්ට මුල් වූ ප්‍රධාන පෙළේ නගරවරයකි. ස්වභාවික වරායක්ද පිහිටි හෙයින් විදෙසින් පැමිණි මුහුදු යාත්‍රාවලටද සංක්‍රමණිකයන්ටද ඉමහත් සෙතක් සැලසූ ස්ථානයක් වශයෙන්ද ප්‍රකට විය. පසු කලෙක රාජ්‍ය තාන්ත්‍රික සිද්ධීන්වලට මුල්වීමෙන් ප්‍රසිද්ධියට පත් වූ නායකයන් මෙන්ම සංචාරකයන් වශයෙන් පැමිණි මේ බිමේ අගය මනා ලෙස දැක එහි ග්‍රන්ථාරූඪ කළ විද්වතුන්ද ආගමික වශයෙන් මෙම නගරය සිය කේන්ද්‍රස්ථානය කරගැනීමට මුල් වූවන්ගේද, වෙළෙඳාම තම ප්‍රධාන වෘත්තිය වශයෙන් කරගෙන ගිය දේශීය හා විදේශීය ජාවාරම්කරුවන්ගෙන්ද පිරී ඉතිරී යමින් ඒ සමඟම සංචාරකයන් වශයෙන් මෙහි ගොඩබට ලෝකයේ විවිධ ජාතිකයන්ගෙන්ද මෙම අග නගරයේ අස්සක් මුල්ලක් නෑර සිය පියසටහන් තැබ්බවූ බව දැනුදු දක්නට ලැබෙන කරුණු කාරණාවලින් දත හැකි සත්‍යයකි.

දැනට ශතවර්ෂ ගණනාවකට පෙර සෙබළුන්ගේ මත් සා පවස සංසිඳුවන මත්පැන් ඉස්කාගාරයක් වශයෙන් ඇරඹුණු මන්දිරයක් ශතවර්ෂ ගණනාවකට පසු රටේ සුරාව නැති කරන්නට මුල් වූ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන්ගේ නිල අගමැති වාසභවනය බවට පත්වීමද එක්තරා අතකින් බලන විට දෛවානුරූපව සිදු වූ දෙයකැයිද සඳහන් කළ හැකිය.

සිය වැඩිමහල් දෙසොහොයුරන් සමඟ මෝදර සාන්ත තෝමස් විදුහලේ උසස් අධ්‍යාපනය ලබන්නට ගොස් එහිදී ලද අධ්‍යාපනය හත්වැනි පන්තියෙන් නැවැත්වූ පසු ඉගෙනුමට තිත තබමින් කැලේ පැන්න මීරිගම බෝතලේ වලව්වේ බාල පුතා වූ දොන් ස්ටීවන් අනෙක් සහෝදරයන් දෙදෙනාටද වඩා මුල් තැන ගනිමින් රට නිදහස් කර ගැනීමේ මහා මෙහෙයට නිසි අයුරින් උරදී එවන් නිදහසක් ලබා ගැනීමේදී තම රට බතින් බුලතින් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ ඇත්තන්ගේ දේශයක් කිරීමේ ඒකායන ස්ථිරසාර අදහස් ඇතිව රජරට මෙතෙක් කැළෑ බවට පත් වී තිබුණු පෙර සිංහල රජකාලයේ මහ රජ දහනක් යළි හෙළි පෙහෙළි කරවා සිදුකරන ලද උදාර පියවරට - එහි ගරු උත්තමයාට නිදහස් ලංකාවේ පාලනභාරය ලැබීමට මුල් අවස්ථාව උදාකර ගැනීමටද හේතු වාසනා විය.

එක්දහස් නවසිය පහළොවේ භීෂණ අවස්ථාවේදී තමන් ඇතුළු සිංහල බෞද්ධ ජන නායකයින් මාස එකහමාරක් පමණ කාලයක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවා තැබීමෙන් ඉංග්‍රීසි පාලකයින් විසින් සිදුකරන ලද අපරාජයට විරුද්ධව තමන් කෙසේ හෝ මේ රට නිදහස් කර ගනිමි යන අධිෂ්ඨානය දොන් ස්ටීවන් සේනානායක මැතිතුමන්ගේ සිත තුළ පැලපදියම් වූයේ යැයිද කියති. එසේ හෙයින්ම එතුමෝ තම අධිෂ්ඨානය සපුරාලමින් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයාව මෙසේ වර්ෂ 1948 ජනවාරි 19 වැනි දිනයේදී කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය සිය අගමැති නිල නිවෙස බවට පත්කර ගත්හ.

මෙසේ වූ අරලියගහ මන්දිරයේ අතීත කතාවද රසබර වැදගත් ඉතිහාසයක් තිබෙන එකකි. මෙම භූමිභාගයෙහි වූ දෙමහල් මන්දිරය සැලසුම් කර සාදවනු ලබන්නේ කවරෙක්දැයි ඉතිහාසයේ කවර තැනෙකවත් සඳහන් නොවන නමුදු එය දහඅට වැනි සියවසේ කොළඹ කොටුවේ රැඳී සිටි සොල්දාදුවන්ගේ සුරා සා පවස සන්සිඳුවන ඉස්කාගාරයක්ව පැවැති බවද ප්‍රකටය. බ්‍රැස්බරි මන්දිරය හෙවත් පොල්වත්තේ ස්කාගාරය නමින් එකළ එය ප්‍රකටව තිබුණේය. බ්‍රැස්බරි යනු තැබෑරුම යන අදහස ගෙනෙන ලන්දේසි වචනයකි. එහෙත් පසුව එම මන්දිරය මිලදී ගත් ඩැනියෙල් සිම්ලොක් නම් වූ පසුව රැන්සව්හි කවුන්ට්වරයා වූ අධිපතියා තම මන්දිරයෙන් තැබෑරුම ඉවත් කළේ මෙම ස්ථානයේ ගරුත්වය වඩ වඩාත් රැකගන්නටය. ඒ සමඟම එකල සිටි ඕලන්ද ආණ්ඩුකාරතුමාගේ දියණියගේ මංගල උත්සවයද එහි පැවැතියේය.

පසුව ඉංග්‍රීසි ආධිපත්‍යයට නතුවීමෙන් පසුව නෝර්ත් ආණ්ඩුකාරතුමාගේ කාලයේදී ඉංග්‍රීසි රජයේ ඉහළ නිලධාරියකු වූ ජෝන් වැල්බියොන් මහතාට මෙම මන්දිරය හිමිව තිබිණ. ඔහු දේව කාර්යයටත් වඩා රාජකාරිය උතුම්ව, අකුරටම ඉටු කරන අයකු වූ හෙයින් තම කටයුතු කෙළවර කර මධ්‍යම රාත්‍රියේදී ආපසු නිවෙස බලා එන විට ඔහුගේ ප්‍රමාදය ගැන කනස්සල්ලට පත් රූමත් ඕලන්ද ජාතික බිරිඳ අනියම් ස්වාමියෙකුගේ තුරුල්ලේ සිය පවස නිවා ගන්නට කටයුතු කරමින් තිබිණ. මේ සිද්ධිය කනින් කොනින් ආරංචි වුවද තම බිරිඳ තමන්ට පණ මෙන් ආදරයෙන් සිටි නිසා වැල්බියොන් එය විශ්වාස කළේ නැත. මේ පිළිබඳව කෙළින්ම නොව වක්‍රාකාරයෙන් බිරිඳගෙන් ඇසුවද ඔහුට ඇගෙන් අසන්නට ලැබුණේ තමන් ස්වාමියා වෙත තිර ප්‍රේමයෙන් යුතුව සිටින බවය. ඔහු එය විශ්වාස කළේය.

එහෙත් එක් දිනෙක තම අකුරටම රාජකාරිය කිරීමේ පිළිවෙතින් හදිසියේම බැහැර වී අශ්වයා පිටින් තම මන්දිරය කරා ගිය වැල්බියොන්ට දක්නට ලැබුණේ මන්දිරාංගණයේ මල් ගුලාවක් මැද ලිංගික ප්‍රේමාලිංගනයක රස විඳිමින් සිටින සිය රූමත් බිරිඳ හා ඇයගේ අනියම් පෙම්වතාය. අශ්වයා පිට සිටියදීම තමන් දෙඇසින්ම දුටු ඒ ප්‍රේමාලිංගනය ඔහුට සිය ඇස් අදහාගත නොහැකි විය. ඔහුගේ ඇස් නිලංකාර විය. ඉන් අනතුරුව ස්වල්ප වේලාවක් අසුපිට, අසු නතර කරවාගෙන සිටි ඔහු අසු පිටින් ඇදගෙන වැටුණේය. අසල වූ ගලක වැදී හිසින් ලේ ගලා එන්නට විය. ප්‍රේමාලිංගනයෙහි යෙදෙමින් සිටි යුවළ එතැනින් පලා ගිය අතර සේවකයන් එක්ව ස්වාමියා වහා ආරෝග්‍යශාලාවක් කරා ගෙනයනු ලැබීය. ඒ වනවිටද ජෝන් වැල්බියොන්ගේ සිහිය නැතිව තිබුණි. පසුවදා උදේ ඔහු මිය ගියේ සිහිය නොලබාමය. මේ සිද්ධිය වූයේ වර්ෂ 1832 දීය.

එයටද දශක දෙකකට පමණ පසුව පරිසරවේදියෙකු වූ ජෝන් පිලිප් ග්‍රීන් විසින් මෙම මන්දිරය මිල දී ගනු ලැබිණ. මන්දිරය වටා මනහර උද්‍යානයක්ද කරවූ ඔහු පසුකලෙක මෙම මන්දිරය හඳුන්වන්වට මුල් වූ අරලියගස් පෙළද සිටුවාලීය. දෛවෝපගත සිද්ධිවල පරිණාමය සිදුවන අයුරු කොතරම් විස්මයජනකයැයි දක්වාලිය හැකි සිද්ධියක් වර්ෂ 1832දී සිදු වූ ජෝන් වැල්බියොන්ගේ මෙම මන්දිරාංගණයේදී අසු පිටින් වැටී ඉන් පසුවදා සිහි නොලබාම මියගිය අන්දමට හා සමාන සිද්ධියක් ඉන් හරියටම වර්ෂ 120කට සුව සිදුවිය. ජෝන් වැල්බියොන් ඛේදවාචකය සිදුවූවායින් සෑහෙන කාලයකට පසුව වර්ෂ 1952දී අරලියගහ වලව්ව හා සම්බන්ධ සිදුවූයේ එම මන්දිරය සිය නිල නිවාසය බවට පත් කරගත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා අශ්වයා පිටින් වැටී මියගිය පුවතේ සංසිද්ධියය. කවර ලෙසකින් හෝ අපේ ඩී. ඇස්ට මෙහිදී මාගම් සෝලියකට මුහුණපාන්නට නොලැබුණු අතර එතුමා අශ්වයා පිටින් වැටී මිය ගියේ දිනපතා උදේ ව්‍යායාම උදෙසා අශ්වයා පිටින් ගොස් ගාලු මුවදොර පිටියේ ගමන් ගන්නා අතරය. එතුමෝද ඉන් ලද තුවාල නිසා සිහිසුන්ව ගොස් ආරෝග්‍යශාලා ගතකොට තිබියදී සිහි නොලබාම පහුවදා මිය ගියේය. මෙම සංසිද්ධි දෙස බැලීමේදී පෙනෙන එක් දෙයක් නම් මේ සංසිද්ධි තුනටම බලපෑ පුද්ගලයන් තිදෙනාම එකල ‘ජෝන්’ නමින් හැඳින්වුණු බවය.

මෙම සුවිශේෂී මන්දිරාංගණයේදී අසුපිටින් වැටී පසුවදා මියගියේ ජෝන් වැල්බියොන්ය. ඉන්පසුව මෙම මන්දිරය මිලදී ගෙන අරලියගස් වවා උද්‍යානයක්ද ඇති කර එයට අරලියගහ මන්දිරය නම යොදන්නට මූලාශ්‍ර වූ පුද්ගලයා ජෝන් පිලිප් ග්‍රීන් මහතාය. එයිනුත් පසුව නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්ව රුපියල් පනස්දාහක වියදමින් මේ අරලියගහ මන්දිරය අලුත්වැඩියා කරවා එහි නිල නිවාසය ලෙස පදිංචියට පැමිණි සේනානායක අගමැතිතුමා සිය මුල් නිවෙස වූ බෝතලේ වලව්වේදී පියා වූ දොන් ස්ට්‍රෙෆර් සේනානායක මුදලිතුමා කතා කළේද ජෝන් යන සුරතල් නමිනි. මෙසේ මේ ඩී.ඇස්. ජෝන් අශ්වයා පිටින් වැටී පසුවදා මිය ගියේද තම ජීවිතයේ හැටඅට වැනි වියේදීය.

වර්ෂ 1947 පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් දිනා රටේ සෑම ජාතියම නියෝජනය වන අන්දමින් 14 දෙනෙකුගෙන් යුතු කැබිනෙට්ටුවකින් යුතුව රටේ පාලනය භාරගත් මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමා එදා සිංහල රජ කෙනෙකු මෙන් අශ්වයා පිට නැගී සංචාරය කරන බව දුටුවෝ සිංහල රාජ යුගයේ නරපතියෙකුගේ විලාසය සිහියට නගා ගන්හ.

ජන්මයෙන් ගති පැවතුම්වලින් හා ඇවතුම් පැවතුම්වලින් අමුම අමු ගැමි සිංහල බෞද්ධයෙකු වූ දොන් ස්ටීවන් සේනානායක මැතිතුමෝ මහනුවර රජගෙදරදී සිය රටේ අග්‍රාමාත්‍ය තනතුරින් ශ්‍රීමත් මන්ක් මේසන් මුවර් ආණ්ඩුකාරතුමා අතින් පදවි ප්‍රාප්තිය ලැබ යුරෝපීය ඇඳුමින් යුතුව ඉන් පිටතට පැමිණී පසුව චිරාගත චාරිත්‍රයක් ඉටුකරනු පිණිස මහනුවර දළදා මාළිඟාවට සිය මැතිණිය සමඟ ගියේ සුදු සේද රෙද්දකින් හා සුදු කමිසයකින් සැරසීගෙනය. එතුමාගේ එම ඇඳුමේ වැදගත්කම දුටුවෝ මවිතයට පත්වූහ.

ඉන් දිනගාණකට පසුව නව අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් ශාන්තිකර්මයක් පවත්වනවා යැයිද එයට සහපිරිවරින් පවුල් පිටින් පැමිණ සහභාගි විය යුතු යැයිද නිමන්ත්‍රණ කාඩ්පතක් මැති ඇමැතිවරුන්ට ලැබිණ. එය එවා තිබුණේ ඩී. ඇස්. සේනානායක අගමැතිතුමාගේ මහ පන්දමා වශයෙන් ප්‍රකටව සිටි මරදානේ කේ.ඩී. ඩේවිඩ් මහතා විසිනි. ආරාධනය අනුව පැමිණ විශේෂාරාධිතයන්ට දක්නට ලැබුණේ සුදු රෙද්දකින් සැරසී බඳ වටා රතු රෙද්දක් ඇඳගෙන සිටි ඩේවිඩ් අයියා පන්දම් දෙකක් අතට ගෙන මහා පන්දම් වන්නම කියමින් නටන බවය. ඓතිහාසික තොරතුරු හා සමඟ රසබර ලෙස ලියැවුණු පන්දම් වන්නම මුද්‍රණය කර එහි පැමිණි අමුත්තන් වෙත බෙදා දෙන ලද්දේය. ඩේවිඩ් අයියාගේ පන්දම් වන්නම ගැන කතා කිරීම වෙන වෙනම කිව යුතු කතාවකි. එයින් පසු සවස් යාමයේ ඇරඹුණු වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංතාවේ ප්‍රථම නිදහස් මංගල්‍යය දා අලි හතළිස් අට දෙනෙකුගේ හොඬ අතට දිගු රිටිවල සවි කරන ලද දැවැන්ත සිංහ කොඩි මදනලින් නැලවෙන්නට සැලැස්වූ වේඩිඩ් අයියා එදා සවස ගාලුමුවදොර පිටියේදී දැක්වූ මහා සංදර්ශනයත් ගිනිකෙළි සංදර්ශනයත් කලක් ගතවන තුරුම කාගේත් නෙත් සිත්වල රැඳී පැවැති අගනුවර අපූරු ජන දැක්මක්ද විය.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා