රාජාසන කතාව පැරදී ගෙදර ගිය ඩඩ්ලි

 ඡායාරූපය:

රාජාසන කතාව පැරදී ගෙදර ගිය ඩඩ්ලි

"උතුමාණන් වහන්සේගේ ආණ්‌ඩුව කෙරෙහි මේ සභාවේ විශ්වාසයක්‌ නොමැතිවීම ගැන කනගාටුවෙයි". මෙහෙම කියැවුණේ 60 මාර්තුවේ ඩඩ්ලිගේ ආණ්ඩුව 'රාජාසන කතාව'පරාජයට පත් වූ අවස්ථාවේදීය.

ආණ්‌ඩු බලය ලබාගත් රජය විසින් නව පාර්ලිමේන්තුව විවෘත කිරීමේ නිල උත්සවයේදී ඉදිරිපත් කරනු ලැබූ "රාජාසන කතාව" ය, .ආණ්ඩුවේ වැඩපිළිවෙල එයින් කියැවේ.

"එය ඉතාමත් විධිමත් අවස්‌ථාවකි. අද රාජ්‍ය රථයකින් වෙස්‌ට්‌ මිනිස්‌ටර්කරා ගමන් කරයි. රාජ මාළිගයේ අශ්වාරෝහක හමුදාව ඇය පෙරටුව ගමන් කරති. කබා ඇඳගත් "පියර්" වරු පැමිණෙති. පියර්වරියෝ කිරුළු පැළඳ ගැලරියේ සිටිති. පරිදහන ඕවරකයේ සිට රැජින ඇඳුම් අඳියි. කිරුළ පළඳියි. ඇය රාජාසනයේ වාඩිවෙයි. මහජන නියෝජිතයන් කැඳවයි. සෙංකෝලය සහිත කථානායකතුමා විසින් පිරවරන ලද මහජන නියෝජිතයෝ විනිශ්චයාගාර ප්‍රදේශයේ සිටිති. පාර්ලිමේන්තු වාරය තුළදී ආණ්‌ඩුවේ වැඩ කටයුතු ප්‍රකාශයට පමුණුවමින් ඈ රාජාසනයේ කථාව කියවයි" THE QUEEN'S GOVERNMENT සර් අයිවෝ ජෙනිංග්ස්‌ - සිංහල අනුවාදය - "රැජිනගේ ආණ්‌ඩුව, එන්. කේ. සිරිසේන - සරච්චන්ද්‍ර වික්‍රමසූරිය)

රාජාසන කතා ස්‌තූති යෝජනාව පරාජයට පත්කර ගෙදර යවනු ලැබූ එකම ආණ්‌ඩුව 1960 මාර්තු 19 දින පිහිටුවන ලද එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවය. එහි අගමැතිවරයා වූයේ ඩඩ්ලි සේනානායකය. එවක විපක්ෂ නායකයා වූයේ සී.පී.ද සිල්වාය.

ශ්‍රී ලංකාවේ එක දිනයක් තුළ ඡන්ද විමසීම පැවැත්වීම ඇරඹුණේ ද 1960 මාර්තු 19 වන දා පැවැති මැතිවරණයේ දී ය. එසේම පිළිගත් දේශපාලන පක්ෂ සඳහා වෙන වෙනම ඡුන්ද ලකුණු මෙම මැතිවරණ සඳහා ලැබී තිබුණු අතර රජයේ සේවකයින්ට තැපෑලෙන් ඡන්දය දීමේ අවස්ථාව ද එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂවලට ගුවන්විදුලියෙන් සිය ප්‍රතිපත්ති පිළිබඳව කතා කිරීමට විනාඩි 15 බැගින් කාලය ලබා දීම ක්‍රියාත්මක වූයේ ද මෙම මැතිවරණයෙනි.

ඊට අමතරව, මන්ත්‍රීධුර සංඛ්‍යාව 101 සිට 151 දක්‌වා වැඩි කිරීම,තැපැල් ඡන්ද අයිතිය ලබාදීම, කොඩි ධජ පතාක හා දැන්වීම් ප්‍රදර්ශනය තහනම් කිරීම, ගාස්‌තුවක්‌ නොමැතිව අපේක්‍ෂකයකුට ඡන්ද දායකයන් වෙත ලිපියක්‌ යෑවීමට ඉඩ ලබාදීම, ඡන්දය දින මෝටර් රථවලින් ඡන්දදායකයින් ප්‍රවාහනය තහනම් කිරීම, ගුවන්විදුලියෙන් පක්‍ෂ නායකයන්ට මැතිවරණ කතා පැවැත්වීමට ඉඩ ලබාදීම. වැනි නවමු සිදුවීම්ද මේ මැතිවරණයේදී සිදුවිය. මැතිවරණයට පෙර අගමැතිව සිටි විජයානන්ද දහනායක මහතා ඒ වනවිට ශ්‍රීලනිපයෙන් ඉවත්ව සිටියේය.

එක්‌සත් ජාතික පක්‍ෂය ආසන 50 දිනාගත්දද එය බහුතර බලයක් නොවීය. එහෙත් 1960 මාර්තු 21 වැනිදින ඩඩ්ලි සේනානායක අගමැති පදවියට පත්විය. ඔහුගේ කැබිනට් මණ්ඩලය 8දෙනෙකුගෙන් සමන්විත එකක්ය. අගමැති විදේශ හා ආරක්‍ෂක ඇමැති ඩඩ්ලි සේනානායක මහතා, අධ්‍යාපන සංස්‌කෘතික කම්කරු කර්මාන්ත හා ධීවර ඇමැති - බර්නාඩ් අලුවිහාරේ මහතා, කෘෂිකර්ම ඉඩම් ආහාර වාණිජ හා වෙළෙඳ අමාත්‍ය -

ඇම්. ඩී. බණ්‌ඩා මහතා, අධිකරණ ඇමැති - උත්තර මන්ත්‍රී එඩ්මන් ඡේ. කුරේ මහතා,මුදල් පළාත් පාලන හා නිවාස ඇමැති - ඡේ. ආර්. ජයවර්ධන මහතා,ජනසතු සේවා නාවුක ගමනාගමන තැපැල් වැඩ සහ විදුලිබල ඇමැති - මොන්ටෙගු ජයවික්‍රම මහතා, ස්‌වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය - ඇම්. සී. ඇම්. කලීල් මහතා, සෞඛ්‍ය හා සමාජසේවා අමාත්‍ය - උත්තර මන්ත්‍රී එම්. වී. පී. පීරිස්‌ මහතා ඒ කැබිනට් මණ්ඩලය ය.

මාර්තු 30 වැනිදා පළමු සභා වාරය ආරම්භ විය.කතානායකවරායා පත් කිරීමේ ඡන්ද විමසීමෙන්ම ආණ්ඩුව හෙල්ලෙන දතක් බව ඔප්පු විය. ආණ්ඩුවේ නියෝජිතයා පරාජය කරමින් කතානායක ලෙස පත් වූයේ විපක්ෂයේ නියෝජිතයාය. එවැන්නක් වූ මුල්ම අවස්ථාව එය විය. සුබනිමිති වෙනුවට අසුබ නිමිති එක්ක ආණ්ඩුව ඊළඟට මුහුණ දුන්නේ තීරනාත්මකම කටයුත්තට ය. ඒ, ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියා මාර්ග පැහැදිළි කරන රාජාසන කතාව ඉදිරිපත් කිරීම ය. එය සිදු වුණේ, 1960 අප්‍රියෙල් 06 වැනි දා ය. රාජාසන කතාවේ වැදගත්ම යෝජනාවක් වූයේ ශත 25 කට හාල් සේරු 02, එක්‌ පුද්ගලයකුට සතියකට ලබාදීමේ යෝජනාවය. අග්‍රාණ්‌ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරිපත් කළ රාජාසන කතාව මේකය.

"සෙනෙට්‌ සභාවේ සභාපතිතුමනි, සෙනෙට්‌ සභිකවරුනි, කථානායකතුමනි, නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ මන්ත්‍රීවරුනි,

එක්‌ අතකින් ලංකාවත්, අනිත් අතින් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සහ අනෙකුත් විදේශ රටවල් සමඟ පැවතුන මිත්‍ර සම්බන්ධකම ඉතා හිතවත්ව පවත්වාගෙන යැම සඳහා තමන්ට හැකි අන්දමින් ආධාර කරන්නට මගේ ආණ්‌ඩුව බලාපොරොත්තු වෙයි. සම්පූර්ණයෙන්ම මධ්‍යස්‌ථව මහා ජාතීන්ගේ බලමුළු හා සමඟ අත්වැල් නොබැඳ හැම රටක්‌ සමඟම මිත්‍රත්වයෙන් විසීමේ ප්‍රතිපත්තිය ඉදිරියටත් අනුගමනය කිරීමට කරගත් තීරණය මාගේ ආණ්‌ඩුව නැවතත් ස්‌ථිර කරයි.

අපතේ යන සියලු වියදම්වලින් වළකිනවා ඇත. එය අරමුණු කරගෙන පිටරටවල්වල තානාපති නියෝජිතයන් සඳහාත්, රජයේ වියදමින් ගනු ලබන විදේශ ගමන් පහසුකම් සඳහාත් වැය කරනු ලබන මුදල් සීමා කරනු ලැබේ.

ලංකාව පොදු රාජ්‍ය මණ්‌ඩලය ඇතුළත සමූහාණ්‌ඩුවක්‌ බවට පත් කිරීමත්, සුළු ජාතීන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කරදීම සඳහාත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ඉක්‌මනින් කටයුතු කිරීමට කටයුතු කරනු ලැබේ.

ලංකාව සහ පිටරටවල්වල තමන් සතුව ඇත්තා වූ වත්කම් නිතර නිතරම එළිදරව් කරන ලෙස ඇමැතිවරුන්, සෙනෙට්‌ සභිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන මණ්‌ඩලවල සභිකයන්, රජයේ බල මණ්‌ඩලවල සේවකයන්, රාජ්‍ය සේවයේ නියුක්‌ත නිලධාරීන්, පළාත් පාලන මණ්‌ඩල නිලධාරීන් යන සියල්ලන්ටම බල කිරීමට හැකිවන පරිදි මාගේ ආණ්‌ඩුව ව්‍යවස්‌ථාවක්‌ පනවනවා ඇත.

මේ දිවයිනේ ප්‍රධාන ජාතීන් දෙක අතර පවතින භේදය ගැන තම සංවේගය පළ කරයි. ජාතීන් අතර සමගිය වැඩි කිරීමේ අදහසින් ඉතා ඉක්‌මනින් සාකච්ඡා පැවැත්වීමට මගේ ආණ්‌ඩුව බලාපොරොත්තු වෙයි.

ජනසතු සේවාවන් වඩාත් කාර්යක්‍ෂම ලෙස පවත්වාගෙන යැමට විධි විධාන සහතික වශයෙන්ම සලසනු ලැබේ.

ජාතික සංවර්ධනයට ඉවහල් වන අන්දමේ ප්‍රතිසංවිධානයක්‌ හා ඒකාබද්ධ රාජ්‍ය සේවයක්‌ ඇති කිරීම සම්බන්ධයෙන් මාගේ ආණ්‌ඩුව බලවත් සැලකිල්ලක්‌ යොමු කරනවා ඇත. රජය හා මහජනයා අතර වඩා කිට්‌ටුවූත් වැඩදායක වූත් සම්බන්ධතාවක්‌ ඇති කිරීමට ඉවහල් වන අන්දමින් මහ ආණ්‌ඩුවේ කටයුතු හැකිතාක්‌ දුරට බෙදාහැරීමට යෝජනා කර ඇත.

වගා කළ ඉඩම්වල නිෂ්පාදන වේගය වැඩි කිරීමටත්, අලුත් ඉඩම් වඩ වඩා වේගයෙන් සංවර්ධනය කිරීමටත් අවශ්‍ය සියලු විධි විධාන මගේ ආණ්‌ඩුව ගන්නවා ඇත. ගම්බද කර්මාන්ත දියුණු කරන අතර වඩා ලිහිල් ණය පහසුකම් සලසනු ලැබේ. සුළු කර්මාන්ත හා සුවිශාල කර්මාන්ත ආයතන ආරම්භ කිරීමට අනුබල දෙනු ලැබේ.

ආර්ථික නිෂ්පාදන ශක්‌තිය වැඩි කිරීම සඳහා වැඩදායක වූ සෘජු මාර්ග අනුගමනය කරනු ලැබේ. විසඳීමට තිබෙන නිෂ්පාදන ප්‍රශ්නය වූ කලී පොදු අංශයට විරුද්ධව පෞද්ගලික අංශය විසින් හෝ පෞද්ගලික අංශයට විරුද්ධව පොදු අංශය විසින් හෝ කරන තරගකාරී කටයුත්තක්‌ නොව, ජාතියේ යහපත පතා ඒ දෙපක්‍ෂය උරෙන් උර ගැටී රටට ප්‍රයෝජනවත් වන ලෙස සහයෝගයෙන් එකමුතුව කළ යුතු වැඩකි.

ඒ ඒ නිකායවල බෞද්ධ පූජක පක්‍ෂයේ අදහස්‌ විමසා එක එක නිකාය නීතිගත කිරීම සඳහා ව්‍යවස්‌ථාවන් ඔබ ඉදිරියේ තැබීමට මගේ ආණ්‌ඩුව යෝජනා කරයි. නිකාය සතුව ඇත්තා වූ ස්‌වාධීන ශාසනික බලතලවලට කිසිදු හානියක්‌ නොවන පරිද්දෙන් ගිහි පැවිදි දෙපක්‍ෂයේම දියුණුව සඳහා වැඩ කිරීමට ගිහි පැවිදි දෙපක්‍ෂයෙන්ම සැදුම්ලත් ශාසන මණ්‌ඩලයක්‌ පත් කිරීමට අදහස්‌ කර තිබේ. දරුවන්ගේ අධ්‍යාපනයේ ඉතා වැදගත් අංගයක්‌ වනුයේ ආගමික පරිසරයයි යන ප්‍රතිපත්තිය මගේ ආණ්‌ඩුව පිළිගනී. මේ ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීමට රජයේ ආගමික පාඨශාලා සහ රජයෙන් ආධාර ලබන ආගමික පාඨශාලා මාර්ගයෙන් ආගමික පරිසරයකින් යුතු අධ්‍යාපන ක්‍රමයක්‌ සැලසීම සඳහා සෑම ප්‍රයත්නයක්‌ම දරනවා ඇත. සියලු දෙනාටම ඔවුන්ගේ ආගම ඇදහීමේ නිදහස රැකදීමට මගේ ආණ්‌ඩුව පොරොන්දු වෙයි.

කම්කරු ප්‍රතිපත්තිය අතින් සේව්‍ය සේවක දෙපක්‍ෂය අතර වඩා සම්බන්ධතාවක්‌ පවත්වා ගැනීම සඳහා තවත් කුමන අන්දමේ ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කළ යුතු දැයි යන්න ගැන මගේ ආණ්‌ඩුව සලකා බලනවා ඇත. රැකීරක්‍ෂා නොමැතිකමත්, ප්‍රමාණවත් නොවන රැකී රක්‍ෂාවල යෙදී සිටීමත්, ශීග්‍රව වැඩිවීම ගැන කටයුතු කිරීම සඳහා විධි විධාන ඉතා ඉක්‌මනින් ගන්නවා ඇත. පොතපතින් ඉගෙන ගන්නා අධ්‍යාපනයට වඩා කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණුව ගැන වැඩි සැලකිල්ලක්‌ දක්‌වනවා ඇත.

ලබන මුදල් වර්ෂයේ අයවැය යෝජනා ඔබ හමුවේ තබනවා ඇත.

වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමෙනුත්, බඩු අලෙවි කිරීමේ මාර්ග දියුණු කිරීමෙනුත් ක්‍රමානුකූල කර්මාන්ත සම්බන්ධතා ඇති කිරීමට ඉඩ සැලැස්‌වීමෙනුත් ජීවන වියදම පහළ බැස්‌සවීමට සෑම උත්සාහයක්‌ම දරනවා ඇත. මේ අතින් ඉක්‌මනින් ගන්නා පියවරක්‌ වශයෙන් හාල් සේරුවක මිල ශත විසිපහට අඩු කරනු ලැබේ. එක්‌ අයෙකුට තමන්ට ලැබෙන සාමාන්‍ය හාල් සේරු දෙක ශතපනහකට මිලයට ගත හැකිය.

ක්‍රීඩා පිළිබඳ උනන්දුව වැඩි කිරීමට අනුබල දෙනු ලැබේ. ගම්බද පාඨශාලාවලත් ක්‍රීඩාංගණ ඇති කරනු ලැබේ.

අපේ පොදු ජීවිතයේ දූෂණතාව මුළුමනින්ම පිස දැමීමට සෑම පියවරක්‌ම ගනු ලැබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ඉකුත් වී ගිය සමහර කෙටුම්පත්, පණත් නැවතත් ඔබ ඉදිරියේ තබනු ඇත. මේ කියන ලද හැම කරුණක්‌ම ඔබේ සැලකිල්ල සඳහා යොමු කරන අතර ඒ ගැන ඔබ සුපරීක්‍ෂාකාරීව කල්පනා කරනු ඇතැයි මම විශ්වාස කරමි.

රාජාසන කථාවට ස්‌තුති යෝජනාව ද විවාදය සඳහා කල් තැබීමේ යෝජනාවද ඉදිරිපත් කිරීමට උපරිම වශයෙන් විනාඩි විස්‌සක පමණ කාලයක්‌ ප්‍රමාණවත්ය. එහෙත්, යෝජනාව පැය 05 විනාඩි 20 ක පමණ කාලයක්‌ පැවැති රාජාසන කථාව පිළිබඳ විවාදය ආරම්භ වූයේ 1960.04.19 වැනි දින දීය. එය පැය 29 1/2ක්‌ තුළ පැවැත්වීණ. ආණ්‌ඩු පක්‍ෂයට පැය 12ද විරුද්ධ පක්‍ෂයට පැය 17 1/2 ක්‌ද කාලය වෙන්කර දී තිබුණි.

"ඊයෙ නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය සවස 3.10 ට රැස්‌වී සවස 3.15 ට තේ පානය සඳහා විසිර ගොස්‌, සවස 3.45 ට නැවත රැස්‌වීම යෝජනාව ස්‌ථිර කිරීමෙන් පසු සභාව කල් තැබීමේ යෝජනාවද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරු 53 දෙනෙක්‌ කතා කළහ. තවත් මන්ත්‍රීවරු කතා කිරීම සඳහා දිගින් දිගටම නැගී සිටි නමුත් කතානායක ටී. බී. සුබසිංහ මහතා ඇමැතිවරුන්ට උත්තර දීමට නියමිත නිසා කතා කල් තබන ලෙස ඉල්ලා සිටියේය. ඉන්පසු ව්‍යවස්‌ථානුකූලව රැස්‌වීම පැවැත්වීමට හැකි කාලය වූ රාත්‍රි 8.30 දක්‌වාම පැවැත්විණි. "යනුවෙන් එවක ලංකාදීපය වාර්තාකොට තිබිණි.

අප්‍රියෙල් 22 දින විවාදය අවසන් වී ඡන්ද විමසීම සිදු විය. විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගන්නට ආණ්ඩුව දැඩි වෑයමක් ගත් අතර ඡේ. සී. ඩබ්. මුණසිංහ, පී. බී. ඒ. වීරකෝන් යන මන්ත්‍රීවරු දෙදෙනා දිනා ගන්නට ආණ්ඩුව සමත් විය.එහෙත්,මහජන එක්‌සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනාගෙන් තිදෙනෙක්‌ විපක්ෂයට සහය දුන්හ. විපක්ෂය ගෙනා සංශෝධන යෝජනාවට පක්‍ෂව ඡන්ද 86 ක්‌ද විපක්‍ෂව ඡන්ද 61 ලැබීමෙන් විපක්‍ෂයේ යෝජනාව සම්මත විය. ඒ අනුව ඩඩ්ලිගේ මාර්තු ආණ්ඩුව අප්‍රිල් ගෙදර යන තැනට පත් විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 86 ක්‌ ලැබෙත්දී, විපක්‍ෂව ඡන්ද 61 ලැබීමෙන් විපක්‍ෂයේ යෝජනාව සම්මත විය.

1960 මාර්තු 19 දින පිහිටුවන ලද එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව අප්‍රියෙල් 22 පෙරලුණි.රාජාසන කතා ස්‌තූති යෝජනාව පරාජයට පත්කර ගෙදර යැවූ එකම ආණ්‌ඩුව ඒක ය.

කොහොම වෙතත්, නවසිය හැත්තෑවේ මහ මැතිවරණයෙන් පසු ලංකාව ජනරජයක් වීමෙන්, බ්‍රිතාන්‍ය සම්ප්‍රදායක්ව පැවති රාජාසන කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අහෝසි විය.

මාතෘකා