අනුරගෙන් එජාපයට ලියුමක්

 ඡායාරූපය:

අනුරගෙන් එජාපයට ලියුමක්

අනුර බණ්ඩාරනායකයන් ලංකාවේ දේශපාලනය වර්ණවත් කළ ගුණ නැණ පිරිපුන් නිසි දැක්මක් සහිත ජන නායකයෙක් විය.

හෙතෙම ලාංකේය දේශපාලනය තුළ කිසිදිනෙක ජාතිවාදී, ආගම්වාදී හෝ ගෝත්‍රවාදී කටයුතුවල යෙදී නැත. 77 වසරේදී බහුපක්ෂ ඡන්ද ක්‍රමයෙන් මස්කෙළිය ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අනුර බණ්ඩාරනායක 2000-2001 කාලය තුළ ගරු කථානායකවරයා වශයෙන් කටයුතු කළේය. 93-94 කාලයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය. 2004-2007 අතර කාලයේ සංචාරක ඇමතිවරයා වශයෙන් ද, 2007 වසරේ ජාතික උරුම අමාත්‍යවරයා වශයෙන් ද, 2005 වසරේ කෙටි කාලයකට විදේශ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය. 83-88 අතර සමයේ විපක්ෂ නායකයා වූයේ ද ඔහුය.

සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක හා අනුර අතර පැවති මතභේදයක් උඩ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් විය. එවක ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් එජාපයට එක්වෙන බවට ලිපියක් එක්සත් ජාතික පක්ෂයට යැවීය.

1993 ඔක්තෝබර් මස 27 වැනි බදාදා “දිනමිණ” එය පළ කර තිබුණේ මෙසේය.

37, හර්ගා කෝට්

පඩ්‍යුරිහිල්, හැරෝ,

එච්. ඒ. අයි 3 ආර්ට්, මිඩ්ල්සෙක්ස්,

එංගලන්තය - 1993 ඔක්. 24 වැනිදා.

 

පා.ම. ගරු සිරිසේන කුරේ මයා,

එක්සත් ජාතික පක්‍ෂය - ප්‍රධාන ලේකම්,

හිතවත් කුරේ මහතාණෙනි,

“මා සම්බන්ධයෙන් අතිශයින් උණුසුම් සුහද හැඟීම් පළ කිරීම ගැනත්, එක්සත් ජාතික පක්‍ෂයට බැඳෙන ලෙස අතිගරු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාත්, එක්සත් ජාතික පක්‍ෂයේ සියලු තරාතිරම්වල හැම දෙනාත් වෙනුවෙන් මට කළ ආරාධනය ගැනත් මම ඔබට ස්තුති කරනු කැමැත්තෙමි.

සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අත්වැල් බැඳගැනීම ජාතික සුබසිද්ධිය උදෙසා වන බව ද ඔබ සඳහන් කර තිබිණ. මා දේශපාලනයෙන් ඉවත් නොවිය යුතු බවත් මගේ අගය තේරුම් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අසමත් වූවද එක්සත් ජාතික පක්‍ෂය ඉතා සන්තෝෂයෙන් එසේ කිරීමට සූදානම් බවත්, 1993 ඔක්තෝම්බර් 17 වැනි ‘ඉරිදා ලංකාදීප’ පුවත්පත සමඟ ඔබ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔබ ප්‍රකාශ කර තිබිණ. මා ඔබගේ පක්‍ෂයට බැඳෙතොත් ඒ ගැන කිසි ආකාරයක විරෝධතාවක් ඇති නොවනු ඇතැයි ද ඔබ එහිදී සඳහන් කර තිබිණ.

සැලකිය යුතු කාලයක් තිස්සේ හිතාමතාම සැලසුම්කොට මා වෙත එල්ල කෙරුණු ඇනුම් - බැණුම් ගණනාවක් නිසාම මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා අස්වූයෙමි. ඒ හැරුණුවිට ඔවුහු පැහැදිලි හේතු කිසිවක් නොදක්වා දවස් අසූ නවයක් තිස්සේ මා පක්‍ෂ තහනමකට ලක්කොට තැබූහ. මගේ අත් පා හා කට ද බැඳ දමා දේශපාලන වශයෙන් මා හුදකලාකොට තැබූහ.

ඒ මාස කිහිපය තුළ මා ලක් වූ බරපතල අවමානයත් මා විඳි දැඩි සිත් වේදනාවත් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයම පැහැදිලිව දනී. සති කිහිපයක් තිස්සේ සුපරික්‍ෂාකාරීව කල්පනා කිරීමෙන් පසු, මගේ ජීවිතයේ සාරවත්ම කොටස වූ විසි අවුරුදු කාලයක් මා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වීම, ඇතැම්විට දුෂ්කරම තීරණය මම ගත්තෙමි.

මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස් වී දවස් දෙකකට පසු ඔවුහු මගේ ඉල්ලා අස්වීමේ ලියුම කිසි පැකිළීමකින් තොරව බාරගත්හ. මගේ මුළු ජිවිතයම දේශපාලනයට විනා අන්දෙයකට කැප නොවුණ හෙයින් ශ්‍රී ලංකාවෙන් ගිය මා පෙළුනු දැඩි පීඩනයෙන් බැහැරව, ගත වූ දවස් කීපය තුළදී මම මගේ අනාගතය ගැන ඉතා පරීක්‍ෂාවෙන් කරුණු සලකා බැලුවෙමි. පිහිටුවීම සඳහා, මගේ පියා ද උදව් කළ ඔබගේ පක්‍ෂයට බැඳෙන ලෙස ඔබ මට කළ විවෘත ආරාධනය ගැන ද මම පරීක්‍ෂාකාරීව සලකා බැලුවෙමි.

එහෙයින් එක්සත් ජාතික පක්‍ෂයට බැඳෙන ලෙස අතිගරු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාත් ඔබගේ පක්‍ෂයේ සියලු තරාතිරම්වල පාක්‍ෂිකයනුත් වෙනුවෙන් ඔබ කළ ආරාධනය පිළිගැනීමට මම තීරණය කළෙමි.”

හිතවත් අනුර ඩයස් බණ්ඩාරනායක,

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?