අතපය හකුලා විධායකයට පණ පෙවූ උඩරට ගැමියා

 ඡායාරූපය:

අතපය හකුලා විධායකයට පණ පෙවූ උඩරට ගැමියා

විසි වෙනි සංශෝධනය ගැන කතා බහ කරළියට පැමිණ තිබේ. වසර 25ක පමණ කාලයක් මෙරට ජනාධිපතිවරණ පොරොන්දු පත්‍රවල අනිවාර්ය අංගයක් බවට පත්වු ප්‍රසිද්ධ පොරොන්දුව වූ 'විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම' පිළිබඳ යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ යළිත් ඉස්මතු කර තිබේ. ඉතිහාසය පුරාවටත් විධායකය අහෝසි කිරීමට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හට බලපෑම් කිරීමේ කාර්යයට පණ පෙවූ ජවිපෙට, විධායකයේ අධිපතිධාරී ස්වභාවය හෝ දුර්දාන්ත ස්වභාවය ගෙනහැර පෑමට උදාහරණ ඕනෑ තරම් ඇත.

19වෙනි සංශෝධනයට පෙර තිබූ විධායකය තුළින් ලද බලතල අත පය දිග හැර රිසි සේ හැසිරවූ ජනාධිපතිවරුන් බහුතරය අතරේ එක් වරක් පමණක් මහජන මතයට සම්පූර්ණයෙන්ම නතු වූ මහත්මා ප්‍රජාතාන්ත්‍රිකයෙකු අපට හමු වේ. ඒ ඩිංගිරි බණ්ඩා විජේතුංගය. මෙරට හතරවන ජනාධිපතිවරයාය. නව වෙනි අගමැතිවරයාය. එක්සත් ජාතික පක්ෂයේ හය වෙනි නායකයාය.

ඩී.බි.විජේතුංග, බස්නාහිර පළාතෙන් පරිබාහිරව බිහි වූ ප්‍රථම ජනාධිපතිවරයා වීමද සුවිශේෂීය. මැතිවරණයක් හෝ ජනමත විචාරණයකින් තොරව විධායක ජනාධිපති පදවියට පත් වු එකම පුද්ගලයාද ඔහුය.

නිදහස් චතුරස්‍රයේ දී ජනාධිපති ප්‍රේමදාසගේ අවමංගල්‍ය කටයුතු නිමවා පැය කිහිපයකින් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඩී.බී.විජේතුංගව ජනාධිපති ලෙස තේරුවේ ඒකමතිකවය.

මෙය ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ ඊට පෙර භාවිතයට නොගත් වගන්තියක් ක්‍රියාත්මක කරන්නට සිදු වූ ඓතිහාසික අවස්ථාවකි. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තාවකාලිකව රටින් බැහැරව වූ විටක අගමැතිට ඒ තනතුරේ වැඩ බලන්නා සේ ක්‍රියා කළ හැකි වුවත්, මෙවැනි අවස්ථාවක අගමැති, ජනාධිපති තනතුරට පත්වන්නට නම් පාර්ලිමේන්තුවේ බහුතරයේ සහාය අවශ්‍ය වේ. මේ අවස්ථාවේ ඩී.බී ට වාසි සහගත වූයේ ඔහුගේ ගැටුම්කාරී නොවන චරිත ලක්ෂණ සහ වැදගත් කරුණු පිළිබඳව දැරූ මත භේදාත්මක නොවන ස්ථාවරය විය යුතුය.

මෙරට සිව්වෙනි ජනාධිපතිවරයා ලෙස ඩී.බී.ව පාර්ලිමේන්තුවෙන් පත්කරගත් අවස්ථාවේ තවත් වැදගත් දෙයක් සිදුවිය. ඒ ප්‍රථම වතාවට සමස්ත පාර්ලිමේන්තුවම සැබෑම අත්පොලසන් දීමකින් ඔහුව පිළිගැනීමයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ අපට හමුවන්නේ තනතුරු පසුපස හඹා ගොස් ඒවා නතු කරගන්නා චරිතය. එය එදත් එසේමය. අදටත් වෙනස් නැත. දේශපාලන ජීවිතය පුරාම තනතුරු පසුපස පැන්නීමක් නොකොට ඒවා උකුලට වැටීමේ විරල වාසනාව ඩී.බී ට හිමිව තිබිණි. නමට සරිලන්නා සේම ඩිංගිරි බණ්ඩා විජේතුංගගේ ප්‍රතිරුපය, පුරාණ ජන වහරේ එන සාම්ප්‍රදායික අහිංසක උඩරට ගැමියා සිහි කරන්නට සමත් විය.

ඩී.බී. අගමැතිධුරය සඳහා පැමිණි ගමනත් අපූරු එකකි. ඩඩ්ලි, ජෝන් කොතලාවල සහ ජේ.ආර්. ගෙන් පසු එජාපයේ කැපී පෙනන චරිත බවට පත් වුයේ ප්‍රේමදාස, ගාමිණී සහ ලලිත්ය. ප්‍රේමදාස ජනාධිපතිධුරයට පත්වෙද්දී අගමැති ලෙස පත්වීමේ වැඩිම සුදුසුකම් සැපරූ තැනැත්තා ගාමිණීය. මහවැලි ඇමති ලෙස කැපී පෙනෙන වැඩ කොටසක් ඔහු කර තිබිණ. බුද්ධිමය සහ වෘත්තිමය නිපුණත්වයෙන් ගාමිණී වඩාත් ඉදිරියෙන් සිටියේය. නමුත් ආවේණික ප්‍රතිපත්තියක් සහ සැලසුම් සහිත දේශපාලන ගමනක් යමින් සිටි ගාමිණීව ළං කර ගැනීමෙන් තම ප්‍රතිපත්තිවලට හානියක් වෙතැයි ප්‍රේමදාස කල්පනා කළේය. සාමකාමී සන්සුන් ඩී.බී.ගෙන් කිසි විටෙක තම පැවැත්මට තර්ජනයක් නොවන බව වටහා ගත් ප්‍රේමදාස කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි ඩී.බී.ව තම අගමැතිවරයා ලෙස පත් කළේය.

ඡන්දයෙන් පසු තම මැතිවරණ කොට්ඨාස වෙත නොපැමිණීම අද දේශපාලකයාට නැගෙන ප්‍රමුඛ චෝදනාවකි. විශේෂයෙන් පිට පළාත් නියෝජනය කරන ඇමතිවරුන්ට වැඩි කාලයක් අගනුවර රැඳී සිටීමට සිදුවන නිසා ගමෙන් ඈත් වීමට සිදුවීම ප්‍රායෝගික ගැටලුවකි. ඩී.බී. කිසිදිනෙක තම ඡන්ද බල ප්‍රදේශය සමඟ තිබූ සම්බන්ධතාව පළුදු කර ගත්තේ නැත.

'මිස්ටර් වීරකෝන්, කොළඹ වැඩ කරන ගමන් ආසනේ එක්ක සම්බන්ධතාව තියාගන්න විදිහ මම ඉගෙන ගත්තේ ඩී.බී.ගෙන්. මෙහෙ හිටියට ගමේ මිනිස්සුන්ට ඕන දේ මොනවද, එපා දේ මොනවද කියන එක ඩී.බී. හොඳට දන්නවා. ආසනයේ හැම මනුස්සයෙක්ටම ෆස්ට් නේම් එකෙන් කතා කරන්න පුළුවන් තරම් සම්බන්ධතාවක් තියෙන්නේ ඩී.බී.ට විතරයි.' මෙලෙස කියා ඇත්තේ මේ රටේ දෙවැනි අගමැතිවරයා වූ ඩඩ්ලි සේනානායක ඔහුගේ ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන්ටය.

දැදිගම ආසනයේ රොහල්වල සිට උප තැපැල් කන්තෝරුව දක්වා සියලු විස්තර දැක්වෙන සිතියමක් අරලිය ගහ මැදුරේ තම කාර්යාලයේ එල්ලා තැබීමට ඩඩ්ලි පුරුදු වූයේ ඩිබීගෙන් බව කියැවේ.

1965 දී මුහුණ දුන් පළමු මැතිවරණයෙන්ම පාර්ලිමේන්තුවට පත් වූ ඩී.බී.ට තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ලේකම් තනතුර දුන්නේ ඩඩ්ලිය. 1970 දී එජාපයේ දැවැන්ත පරාජයත් සමඟ ඩි.බී.ට ආසනය අහිමි වුවත් 1977 දී ජේ.ආර්.ගේ ඇමති මණ්ඩලය ඔහුට නැවත විවෘත විය.

ඔහු ජනාධිපතිධුරයේ රැඳී සිටි කාලයේ සිංහල අවුරුදු සමයට ජනාධිපති කාර්යාලයේ අමුතු දෙයක් සිදුවිය. ඒ සුපුරුදු සුදු කපු ඇඳුමෙන් සැරසුන රාජ්‍ය නායකයා වර්ණවත් සරොම් සහ සාරි ගොන්නක් රැගෙන කාර්ය මණ්ඩලය ළඟට යාමය. ඒ ඩීබීගේ අවුරුදු තෑගිය.

1994 දී ජනාධිපති ධුරයෙන් හා දේශපාලන වේදිකාවෙන් විශ්‍රාම ගත් එතුමාගේ නිහතමානිත්වයට කදිම උදාහරණයක්‌ වන්නේ වයෝවෘද්ධව රෝගාතුර වූ විටදී අවශ්‍ය වෛද්‍ය පහසුකම් මහනුවර මහ රෝහලෙන් ලබාගැනීමට තරම් ඔහු සරල මිනිසෙකු විය.

ඩී.බී.ගේ පාලන කාලය තුළ සිදුවීම් ගැන බොහෝ විට කරුණු ඉස්මතු වීම් විරලය. ඊට හේතුවද ඔහුගේ නිහඬ පිළිවෙත විය හැකිය. නමුත් 1988-1992 අතර අතුරුදහන් වූ දහස් ගණනක් ජීවිත පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කරුණු දැක්වීමට සහ සිදුවන ලැජ්ජාවෙන් රට බේරාගැනීමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වූයේ ඩී.බී.ටය. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන එම අතුරුදහන්වීම්වලට රජයේ සම්බන්ධය ගැන පැහැදිලිව කරුණු ඉදිරිපත් කරද්දි ඩී.බී.ගේ දූත පිරිසට සිදුවූයේ කරබාගෙන සිටීමටය.

මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් රටේ තත්ත්වය යහපත් අතට ගැනීමට ඩී.බී. උනන්දුවෙන් කටයුතු කළේය. මෙරට මානව හිමිකම් කොමිසම බිහිකිරීමේ න්‍යෂ්ඨිය බවට පත් වූ මානව හිමිකම් කාර්ය සාධන කණ්ඩායම බිහිවූයේ ඩී.බී.ගේ උනන්දුව මතය.

1989 දී ඇඹිලිපිටියේ සෙවන හමුදා කඳවුරේ රඳවාගෙන සිටි පාසල් සිසුන් 32ක අතුරුදහන් වීම ගැන කරුණු, විශ්‍රාමික විනිසුරු ජේ.එෆ්.ඒ.සෝසා නිර්භයව හෙළි කිරීම පිටුපස සිටි ශක්තිය වූයේ ඩී.බී.ය.

සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඩී.බී. අනුගමනය කළේ ප්‍රේමදාසගේ ජනසවිය සහ ගම් උදාව මූලික කොටගත් වැඩ පිළිවෙලමය. නමුත් ඒ ගැන කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට ඩී.බී. කටයුතු කළේය.

1995 ජනවාරි මාසය දක්වාම රැඳී සිටීමේ නීතිමය හැකියාව ලැබී තිබුණි. අනෙක් අතට චන්ද්‍රිකා, ජාතික දේශපාලනයේ වේගයෙන් ඉදිරියට පැමිණිමෙන් සිටියාය. මේ තත්ත්වයන් යටතේ විධායකයේ බලතල ප්‍රයෝජනයට ගෙන 'ගේමක්' ගැසීමට ඩී.බී.ට අවශ්‍ය නොවීය. ඒ වෙනුවට නිවැරදි ක්‍රමයටම මැතිවරණ පැවැත්වීමට ඔහු කටයුතු කළේය. විධායකය අහෝසි කිරීමේ පොරොන්දුව මත නොපැමිණි ඩී.බී. විධායකය මත දෙවැනි වාරයක් රැඳීමට සිහින දැක්කේ නැත. අසීමිත බල ලෝභයෙන් සහ දේශපාලන 'ගේම්' තම භාවිතාව කරගත් මෙරට දේශපාලන කරළියේ ප්‍රමුඛයන් අතර මහත්මා ජනාධිපතිවරයාගේ සලකුණ දැරීමට ඩී.බී.ට ළං වීමට යළිත් කෙනෙකු බිහිවේදැයි සැක සහිතය.

[මංජුල සමරසේකර]

මාතෘකා