ඔහු බාර ගත් දේ නැවත බාර දුන්නාද?

 ඡායාරූපය:

ඔහු බාර ගත් දේ නැවත බාර දුන්නාද?

'තවද, මෙයින් අයිති කර දුන් දේපළ හා ඊට අයිති සියලු දේත් දැනට පවත්නා පාරක අයිතිවාසිකම් ඇතොත් එම අයිතිවාසිකම්වලටද ඒ සම්බන්ධයෙන් මින් මතු ප්‍රකාශ කරනු ලබන හා මෙහි අඩංගු නොයෙකුත් විධිවිධාන හා සීමා කිරීම්වලටද යටත්ව එකී ෂැන්ග්‍රිලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හා එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට සදාකාලයටම නිරවුල්ව භුක්ති විඳීම පිණිස මෙයින් පවරා භාර දෙම්හ.'

2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ඉහත ඇති ඔප්පුවේ අස්සන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේය.

'මම මේ රටේ රජෙක් නොව, භාරකරු පමණි'

මහින්ද වැඩ පටන් ගත්තේ එහෙම කියලාය. ඔහු මුල්ම ධුර කාලයේ වැඩි කාලයක් වැය කළේ යුද්ධය නිමා කිරීම සඳහාය.

'අපිට ලැබුණේ කෑලිවලට කැඩෙන්න ගිය රටක්' කියා ඒ දවස්වල වේදිකාවල මහින්දලා කීවේය.

යුද්ධය දිනුවාම කීවේ කැඩී වෙන්වෙන්න ගිය රට එකතු කළා කියලාය. හැබැයි යමක් කමක් තේරෙන මිනිස්සු මෙහෙම අහන්නේය.

'මහින්ද වෙන්වෙන්න ඔන්න මෙන්න තිබ්බ රට බේරුවා කියලා කියමුකෝ. හැබැයි එයා එනකොට එයාට මිනිස්සු බාර දුන්න බිම් ප්‍රමාණෙම ආපසු යනකොට අපිට බාර දුන්නද?'

මේවා අහන මහින්දවාදියෙක් ඇස් නළලට අරන් මෙහෙම කියනු ඇත.

'ඒ හතරබීරි කතාව මොකක්ද? කැඩෙන්න ගිය රට එකතු කරපු මිනිහා යනකොට රටින් කෑල්ලක් අරන් ගියා කියලද කියන්නේ?'

එහෙම කියන්නේ නැත. හැබැයි එයා අරන් නොගියට චීනාට දෙන්න ගියේය.

'හම්බන්තොට වරාය වික්කේ මේ ආණ්ඩුව. මහින්ද කළේ වරාය හදපු එක.'

එහෙම කියන අය වෙච්ච දේ හරියට දන්නේ නැත.

එදා රාජපක්ෂ සින්නක්කරව චීනයට හෝ වෙනත් රටක ආයෝජකයකුට ලබාදීමට ගිය මේ සම්පත් අද ලබා දෙන්නේ බද්දටය. එදා දීමයි මෙදා දීමයි අහසට පොළොව වාගේ වෙනස්ය. හම්බන්තොට වරාය හදා ඉවර කරද්දී හැමෝම ඇහුවේ කෝ නැව් කියලාය. හැබැයි ඒවට ඒ ආණ්ඩුවෙ අයට බොහෝ උත්තර තිබුණේය. එහෙත් ඒ කිසිම උත්තරයක් මහපොළොවේ ඇත්ත නොවීය.

'බොරුවක් සියවරක් ප්‍රචාරය කළ විට එය ඇත්තක් බව ජාත්‍යන්තර ප්‍රජාව සිතයි. එහෙත් ඒ බොරුව රැවටීමක් බව හෙළි වන විට සිදුවී ඇති හානිය අති විශාලය.' මෙහෙම කියන්නේ රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්ය.

කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියට අත තිබ්බේ චීනයයි. වැඩේ ආරම්භ කළේ උත්සවශ්‍රීයෙන්ය. දැන්වීම්වලින් කියවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවක් වාගේය. 'රටට අලුත් දිවයිනක්' 'ශ්‍රී ලාංකිකයන්ට උරුමයෙන් විවරවුණු පුරවරය' 'කොළොම්තොටේ අසිරි පුරයක් අභිමන් දේශයක ආශ්චර්ය', 'සංවර්ධනයේ සුවිසල් කඩඉම ඇරැඹේ', 'විදෙස් ධනය උපදන මහා ධන උල්පත නව රැකියා තෝතැන්නක්,' 'කලාපයේ වාණිජ කෙන්ද්‍රස්ථානය' ආදී ආලවට්ටම් දැමූ වචනවලින් ඒ දැන්වීම් හැඩවැඩ විය.

'පෝට්සිටි' ගනුදෙනුව ගැන පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කරන්න 'කියා එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉල්ලනකොට අගමැතිව සිටි දි.මු. ජයරත්න කීවේ 'ඉක්මනින්' ඒවා ඉදිරිපත් කරන බවක්ය.

සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ වැනි දේවලින් සමන්විත 'කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය' යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කළ අතර ව්‍යාපෘතිය සඳහා සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් දරන අතර එම මුදල පියවා ගැනීම සඳහා චීනයට හෙක්ටයාර් 108ක ප්‍රමාණයක් ලබාදීමට නියමිත විය.

ඒවා දැන් හැමෝටම අමතක වෙලාය.

ඊට පස්සේ ඒ ආණ්ඩුව බැස්සේ 'ෂැන්ග්‍රිලා හෝටෙල් ව්‍යාපෘතිය'ටය. රුපියල් මිලියන 44,880ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු කර තිබූ එයට විදේශ සේවකයන් 30 දෙනකුට හා දේශීය සේවකයන් 432 දෙනකුට රැකියා ලබාදෙන්නට සැලසුම් කොට තිබුණේය. ෂැන්ග්‍රිලා ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ වෙන්නේ රජය වෙනුවෙන් ආණ්ඩුවය. සාමාන්‍යයෙන් නීතිය වන්නේ මෙවැනි ව්‍යාපෘති අස්සන් කරන්නේ ආයෝජන මණ්ඩලය සමඟ වීමය. එහෙත් ඉඩම් සින්නක්කරේට තබා බද්දටවත් දෙන්න අයිතියක් ආයෝජන මණ්ඩලයට නැති නිසා ෂැන්ග්‍රිලා විකු‍ෙණන්නේ රජය විසින්ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදී ඇත්තේ එවක ජනාධිපතිවරයා විසින්ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8,250කට එය සින්නක්කරව ලබාදී ඇත.

මේ ආණ්ඩුව රට විකිණනවා කියා හන්දිගානේ කෑ මොර දෙන මහින්දවාදීන් අතීතය අමතක කරන්නේ ඔහොමය.

'යහපාලන ආණ්ඩුවට' මුලින්ම විවේචනය ආවේ 'හම්බන්තොර වරාය 'වික්කා' කියමින් ය.

ඔය අතරේ යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරපු දා හිටපු ජනපති අපූරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

'හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනු ලැබූ ආකාරය නිසා මුළු ජාතියම මහත් තිගැස්මකට ලක්වී ඇත. ලංකාව සතු වූ වැදගත්ම උපාය මාර්ගික රාජ්‍ය දේපළක් පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අස්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ආණ්ඩුවට යුතුකමක් තිබුණත් එවැනි කිසිදේකට ඔවුන් ඉඩ හැරියේ නැත.'

'මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසි භාවයක් තියෙනවා. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට.'

චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා පවසා තිබේ.

විපක්ෂය කෑ ගසන්නේ එහෙම තියෙද්දීය.

මේ ආණ්ඩුව, විකුණනවා කියා කෑ ගසන කවුරුවත් මේ ගිවිසුම හරියට කියවලා නැත. අනෙක් අතට මහින්ද යුගයේ විකුණපු හැටි මතක නැත. දකුණේ අයට ඕනෑම දෙයක් ඉක්මනින් අමතක වන බව කිව්වේ ප්‍රභාකරන්ය. ඒ කතාව සහතික ඇත්තය. ඕනෑම දෙයක් අමතක කිරීම සතියකින් සිදුවන රටක් තුළ 'මතක තබා නොගැනීම' ගැන පුදුම වෙන්නට ඕනෑද නැත.

'මා ඉතා ගෞරවයෙන් ඉල්ලනවා මා ගැන මගේ හෘද සාක්ෂිය ගැන විශ්වාසය තියන්න කියලා. මා ප්‍රභූ, ධනපති පවුලක කෙනකු නොවෙයි. මම ආචාර්ය, මහාචාර්ය කෙනකු නොවෙයි. මේ රටේ වෙලේ, පැලේ හැදුණු කුඹුරේ නියරේ ගිය දුප්පත් ගොවියකුගේ පුතෙක්. මම ඔක්ස්පර්ඩ් ගිහින් නැහැ. මම දීර්ඝ කාලීන දේශපාලනයේ නිරත වූවෙක්.

අවුරුදු 49ක් ඊට අයත්. මම ආණ්ඩුවෙන් එළියට බැස්සේ මගේ පවුලේ පස්දෙනකුගේ ජීවිතය ජාතියට පූජා කරලයි. මේ මැතිවරණයේ එන අභියෝග ගැන දන්නවා. මා පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන මාධ්‍ය සාකච්ඡාව තියලා පැය 12ක් යන්න මත්තෙන් මගේ ආරක්ෂාව ඉවත් කළා. මට පොලිසියේ රාලහාමිලා දෙන්නෙක් විතරයි දැන් ඉන්නේ. නමුත් පොදු අපේක්ෂකයකු ලෙස මහින්ද රාජපක්ෂ වැනි කෙනකු සමඟ සටනට යන අපේක්ෂකයකුට තිබෙන අභියෝග පැහැදිලියි. මගේ ආරක්ෂාව ඉවත් කරලා මාව තනි කළාට කමක් නැහැ. මගේ ආරක්ෂාව ජනතාවට බාරයි.'

මෙහෙම කීවේ මෛත්‍රිය. ඒ මීට අවුරුදු 3ට කලින් සිරිකොතදීය. පනස් දෙකේ සිට දෙකට බෙදිලා මරාගත්ත පක්ෂ දෙකක් එකට එක් කිරීමේ වැඩේ මෙන්ම වසර ගාණක් ඒකාධිපති ගමනක් ගිය පාලනයක් ගෙදර යැවීමේ 'වෙඩිමුරයද' එකට තියමින් ඔහු එහෙම කීවේය.

මිනිසුන් ඔහු කෙරේ තැබූ විශ්වාසය ඔහු සුරක්ෂිත කරනවාද නැද්ද යන්න අනාගතය තීරණය කරනු ඇත.

[රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා