වසර අවසන් වෙද්දී පැල්පත්වාසීන්ගේ ජීවිතයට ආලෝකයක් ලබාදෙනවා

 ඡායාරූපය:

වසර අවසන් වෙද්දී පැල්පත්වාසීන්ගේ ජීවිතයට ආලෝකයක් ලබාදෙනවා

 අමාත්‍ය පාඨලී චම්පික

කොළඹ නගරයේ ප්‍රබල ගැටලුවක්ව පවතින පැල්පත් ගැටලුව සඳහා යහපාලන ආණ්ඩුව මඟින් ආරම්භ කළ නිවාස ව්‍යාපෘතිය තුළින් පසුගිය වසර දෙක තුළ නිවාස 2270ක් ජනතාවට ලබාදී ඇති අතර මෙම වසර අවසානයේදී නිවාස 21077ක ව්‍යාපෘතිය මඟින් පැල්පත්වාසීන්ගේ ජීවිතයට ආලෝකයක් ලබාදෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා පුද්ගල සංවර්ධනය සඳහා නැණ දිරිය වැඩසටහනද, රිද්ම සැරිය මඟින් මහල් නිවාසවාසී දරු දැරියන්ගේ කලා කුසලතා ඔප් නැංවීමේ වැඩසටහනද ආරම්භ කරන බවත්, “ජවයට දිරිය” වැඩසටහන මඟින් තරුණ තරුණියන් හට වෘත්තීය පුහුණු ක්‍ෂේත්‍රයට යොමු කිරීමත්, “දිවි දිරිය” වැඩසටහන හරහා මහල් නිවාසයන්හි වාසය කරන ජනතාවගේ ආර්ථිකමය ශක්තිය වර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් ද ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ග්‍රාමීය දුප්පත්කම හා නිවාස ගැටලුව පිලිබඳව බොහෝ දුරට සාකච්ඡා වුවත් කොළඹ නගරයේ ප්‍රබල ගැටලුවක් වූ පැල්පත් ප්‍රශ්නය පිළිබඳව විටින් විට විවිධ ආණ්ඩු මඟින් විවිධ පියවර ගත්තත් එම ගැටලුව විසඳීමට කිසිවෙකු සමත් වූයේ නැත. මුල් කාලයේ පැල්පත්වාසීන් වෙනුවෙන් සර් ඔලිවර් ගුණතිලක මැතිතුමා දෙවන ලෝක යුද සමයේ නිවාස ඉදිකරනු ලැබුවේ වරායේ කම්කරුවන් ඉලක්ක කර ගනිමිනි. ඉන්පසු කොළඹ පැල්පත්වාසීන් ගැන අවධානය යොමුකරනු ලැබුවේ 1970න් පසු බිහි වූ රජයන්ය. පීටර් කෙනමන් මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස අගමැති සහ ජනාධිපති අවධියේ දී සිරිසේන කුරේ යන මහත්වරුන් මෙම පැල්පත් නිවාස සංවර්ධනය කිරීම සඳහා විවිධ පියවර ගනු ලැබුවා. ඒ අතර ඔවුන් දැනට ජීවත් වූ නිවාස දියුණු කර ඔප්පු ලබාදීම වගේම නාගරික සංවර්ධන අධිකාරිය හා නිවාස සංවර්ධන අධිකාරිය එක්ව නිවාස ඉදිකරදීම යන වැඩපිළිවෙලයි. ඒ අනුව නිවාස 1,600ක් පමණ ඉදිදී තිබුණා. ඉන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සහස්පුර වැනි ව්‍යාපෘති මඟින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම මෑත කාලයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ව්‍යාපෘති 16ක් දියත් කරමින් පැල්පත්වාසින් වෙනුවෙන් නිවාස 50,000ක් ඉදිකිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා රුපියල් බිලියන 200කට අධික මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබුණත් රුපියල් බිලියන 100කින් එම ව්‍යාපෘති ආරම්භ කරනු ලැබුවා.

මේ වන විට කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් මිලියන 39,000ක් ගෙවීමට සිදුවූයේ අපටයි. මෙම වසරේ දී රුපියල් බිලියන 1.3 කින් නිවාස 21,077ක් හදන්න අපි වැඩ ආරම්භ කර තිබෙනවා. මේ වනවිට මෙම වැඩපිළිවෙල සඳහා කිසිම චෝදනාවක් ගැටලුවක් නොමැතිව ඉතාම සාමකාමීව වෘත්තීය මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදුවන තවත් දැවැන්ත ව්‍යාපෘතියක් වන්නේ උප නගර 5ක් කොළඹ නගරය තුළ සැලසුම් වීමයි. උතුරු කොළඹ හේනමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් එක් උපනගරයක්ද, මැද කොළඹ මාලිගාවත්ත, බොරැල්ල දෙමටගොඩ, කොලොන්නාව, නැගෙනහිර කොළඹ ආදී ප්‍රදේශවල මෙම උපනගර නිර්මාණය කෙරෙනවා.

ඒ වගේම 2016/17 වර්ෂවලදී නිවාස 2,270ක් ජනතාවට මේ වන විටත් උරුම කර දී හමාරයි. අප රටට ණය නොවී ස්වශක්තියෙන් නැගී සිට මෙම දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමට කටයුතු කරන්නේ නැහැ. එසේම පසුගිය සංවර්ධන කටයුතු විවේචනය කරමින් අපි ඒවා ඉවත නොදමා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ඉදිරියට ක්‍රියාත්මක කිරිමට කටයුතු කර තිබෙනවා. කොළඹ පැල්පත්වාසීන් සඳහා නිවාස 20,000 ක් මේ වන විට ඉදිවෙමින් පවතින අතර ඉතිරි 30,000ක් සඳහා මේ වන විට අන්තර්ජාතික මට්ටමේ ආයෝජකයින් කැඳවා රජයට බරක් නොවී ක්‍රියාත්මක කිරීම සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙල යටතේ විශේෂයෙන් නිවසක් වෙනුවට ජීවිතයක් යන පරම චේතනාවෙන් තම සමාජ පරිසරය සමඟ අලුත් ජීවිතයක් සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීමද අප සිදුකරනවා. ඒ අනුව නැන දිරිය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා පුද්ගල සංවර්ධනය හා ආකල්ප දියුණු කරන අතර රිද්ම සැරිය මගින් මහල් නිවාසවාසී දරු දැරියන්ගේ කලා කුසලතා ඔප් නැංවීට කටයුතු කරනවා. ඒ වගේම ජවයට දිරිය වැඩසටහන මඟින් තරුණ තරුණියන් වෘත්තීය පුහුණු ක්‍ෂෙත්‍රයට යොමු කිරීමත් දිවි දිරිය වැඩසටහන මඟින් මහල් නිවාසයන්හි වාසය කරන ජනතාවගේ ආර්ථිකමය ශක්තිය වර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්ද ආරම්භ කර ඇත. ඒ වගේම මෙම මහල් නිවාස සංකීර්ණ වටා ඉදිකෙරෙන උප නගරයන් හි ආගමික ස්ථාන, පාසල් ක්‍රීඩා සංකීර්ණ ආදී ජනතාවාදී සංවර්ධනයන් කිරීමටද සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මෙම නිවාස ව්‍යාපෘතීන් තුළ නිවාස හිමිකම දේශපාලන හිතවත්කම් නිසා හෝ දැන හැඳුනුම්කම් මත හෝ කිසිම කෙනෙකුගේ බලපෑම් හේතුවෙන් ලබාදීමට කටයුතු කරන්නේ නැහැ”.

මාතෘකා