ශ්‍රී ලංකා - ඉරාන මිතුදම ශක්තිමත් කළ ජනපතිගේ සංචාරය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - ඉරාන මිතුදම ශක්තිමත් කළ ජනපතිගේ සංචාරය

ඉරානය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවය මෑත අතීතයේ ආරම්භ වූවක් නොවේ. ඉරානය සහ ඉන්දීය සාගරයේ කුඩා දූපතක් වූ ලංකාව අතර සම්බන්ධතාව හයවන සියවස දක්වා දිවෙන අතර මුලින්ම අනුරාධපුරය රාජධානිය මෙම රාජතාන්ත්‍රික සබඳතාවලට මුලපිරීය. එකල ශ්‍රී ලංකා රජු ඉරාන අධිරද වූ අනුෂ්රාවන් සමඟ දෙරට අතර ශක්තිමත් තානාපති සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට ඓතිහාසික සාධක පවතී.

නිල වශයෙන් 'ඉරාන ඉස්ලාමීය ජනරජය' ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය පර්සියාව ලෙසින් හැඳින්වූ අතර නිල වශයෙන්, දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය.

මිලියන 14 ක ජනතාවක්‌ වෙසෙන ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරය ලොව විශාලතම නගරවලින් එකකි. ඉරානය ලොව පැරණිම ශිෂ්ටාචාරයකට හිමිකම් කියයි. තෙල් සංචිත නිධි සහ ස්‌වභාවික වායුන් නිසා ඉරානය ලෝක ආර්ථිකයේ විශේෂ තැනක්‌ ගනී.ගොලේස්‌ටාන් මාලිගා කෞතුකාගාරය ඉරානයේ ඇති පැරණිතම සහ විශාලම කෞතුකාගාරය වේ.

පර්සියාවේ විසූ දාර්ශනිකයකු, ගණිතඥයකු සහ තාරකා විද්යාඥයකු වූ ඔමාර් ඛයියාම්ගේ සොහොන පිහිටා තිබෙන්නේ ටෙහෙරාන් සිට කි. මී. 772 ක්‌ දුරකින් පිහිටි නයිශාබෝර් නගරයේය. ඔහු පිළිබඳව එරට ජනයා තුළ පවත්නේ දැඩි ආඩම්බරයකි.

ලෝකයේ ඛණිජ තෙල් අපනයනකරුවන් නියෝජනය කරන "ඔපෙක්" සංවිධානයේ රටවල් අතරින් දෙවැනි විශාලතම අපනයනකරුවා ඉරානය වේ. මේ අනුව ගත් කල, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවීය සබදතා අවශ්‍යයෙන්ම දෙරටෙහි ඉතිරි ප්‍රගතිය උදෙසා බෙහෙවින්ම වැදගත් ය.

පශ්චාත් යුධ සමයේදී ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාවය වර්ධනය විය. එම සබඳතා බොහෝ විට දේශපාලනමය හෝ සාමාජීය සබඳතාවලට වඩා ආර්ථිකමය ස්වරූපයක් පෙන්නුම් කරයි.

එහෙත් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීමට නම් බොහෝ විට ශක්තිමත් දේශපාලනමය සන්නිවේදනයක් රටවල් දෙක අතර පැවතිය යුතුය. ඉරානය ශ්‍රී ලංකාවෙහි දේශපාලනමය ස්ථාවරත්වය පිළිබඳ විශාල විශ්වාසයකින් යුතුව කටයුතු කරනු ලබන අතර දෙරට අතර ආර්ථිකමය සහ අනෙකුත් සබඳතාවන්ට ඔවුන් අවතීර්ණ වන්නේ එම දේශපාලන පදනම මත හිඳගෙන වීම විශේෂත්වයකි.

එදා මෙන්ම අදද ඉරානය සහ ලංකාව අතර ඇති බැඳීම ශක්තිමත් කර ගැනීම සඳහා දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යනු ලබයි. ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ ඇරයුම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙරටෙහි ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉරානයේ පසුගිය සෙනසුරාදා (12 දා) සංචාරයක නිරත විය.

මෙහිදී දෙරටෙහි ජනාධිපතිවරුන්ගේ හමුව ඉරිදා (13 දා) ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය වන සදබාද් පැලස් හි සිදුවිය. අතීතයේ පටන් දෙරට අතර පවතින ආර්ථික හා වෙළෙඳ සබඳතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ නායකයෝ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. එය හුදෙක් සංචාරයක් ඉක්මවාගිය අතිශය සාර්ථක රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ රැසක් අත්පත්කොට දුන් ඵලදායි ගමනක් විය.

සෞඛ්‍ය, වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය උපකරණ, ප්‍රමිතිකරණය, මිනුම් විද්‍යාව සහ පුහුණුව, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, සිනමාව, රූපවාහිනී, සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණය යන ක්ෂේත්‍රවලට අදාළව දෙරට නව අවබෝධතා ගිවිසුම් පහකට රාජ්‍ය නායකයන් ඉදිරියේ අත්සන් තැබීය. ඛණිජ තෙල්, තේ සහ සංචාරක කර්මාන්තය එදා සිට අද තෙක් ඉරානය හා ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට හේතු විය. එබැවින් එම ක්ෂේත්‍රයන්හි දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට සාකච්ඡා කෙරිණි. එහි විශේෂ අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුව යාවත්කාලීන කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ඉරානයෙන් ලබා ගැනීම කෙරෙහිය. වසර 50 ක කාලයක සිට ඉරානය ශ්‍රී ලංකාවට තෙල් පිරිපහදුව සඳහා සහය ලබා දෙයි.

ශ්‍රී ලංකාව විසින් වැඩිවශයෙන් තේ අපනයනය කරන රටක් ලෙස ඉරානය සඳහන් කළ හැකිය. එම කටයුතු ඉදිරීයේදී වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා, ඉරාන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට මෙහෙදී ක්‍රියා කළේය. මීට අමතරව දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇරඹීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඹෟෂධ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දෙරටෙහි ගනුදෙනු පහසුකර ගැනීමට මුදල් හුවමාරුව සඳහා විධිමත් බැංකු සේවාවක් පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපතිවරයා සඳහන් කළ අතර ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසම යටතේ මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඉරාන ජනාධිපතිවරයා මෙහිදී එකඟ විය.

නායකයන් දෙදෙනා සපථ කළ කාරණා අතර ආසියානු සහයෝගිතා සංගමයේ සහ නොබැඳි ජාතීන්ගේ සාමාජික රටවල් ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී සහයෝගයෙන් කටයුතු කිරීමටත්, ලෝක ත්‍රස්තවාදය පිටුදැකීම මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමටත් තීරණය කර ගත් අතර, උමා ඔය ව්‍යාපෘතියට සහ ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිබල සැපයීම සහ දුම්රිය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සහය වෙනුවෙන් ජනාධිපතිවරයා ඉරාන රජය වෙත සිය ස්තුතිය පිරිනැමීය.

මෙම සංචාරයේ සිදු වූ සුවිශේෂිතම සිදුවීමක් වූයේ ජනාධිපතිවරයා සහ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර පැවති හමුවයි. එහිදී ලංකාවේ තේ ඉරාන ජනතාව හඳුන්වන්නේ "චායි සීලාන් " යන නමින් බවත් ඉරාන ජනතාව එම තේ ඉතාම කැමැත්තෙන් පරිහරණය කරන බවත් පැවසූ එතුමා, ශ්‍රී ලංකාව හා ඉරානය අතර සංස්කෘතික හා වෙළෙඳ සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබුණද වත්මන් වෙළෙඳ සබඳතා, රටවල් දෙක අතර පවතින හැකියාවන්ට වඩා දුර්වල මට්ටමේ පවතින බැවින් එය වඩාත් ඉහළ මට්ටමට ගෙනයාමට කටයුතු කිරීමේ වැදගත්කමද එතුමා පෙන්වා දුන්නේය.

[නදී මාණික්කගේ]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?