‘වියත්මග’ දූෂිතයන්ගේ බළල් අතක්

 ඡායාරූපය:

‘වියත්මග’ දූෂිතයන්ගේ බළල් අතක්

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය

අජිත් පී. පෙරේරා

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ගැන ඔබ තෘප්තිමත්ද ?

පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ පිළිවෙල තවම අවසන් නැහැ. මම විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වුණු ආකාරයට එය අවසන් වෙයි කියලා.

පක්ෂයේ වෘත්තීය සමිති පිළිබඳ ලේකම්වරයා ලෙස පක්ෂය වටා වෘත්තීය සමිති එකතු කිරීමේ නව වැඩ පිළිවෙළ ගැන කිව්වොත්?

මම පක්ෂයේ වෘත්තීය සමිති පිළිබඳ ලේකම්වරයා විදිහට මේ සතියේ ප්‍රධාන වෘත්තීය සමිති නායකයන් හමුවෙනවා. ඔවුන්ගේ අදහසුත් අරගෙන වැඩකරන ජනතාව තවත් ශක්තිමත්ව පක්ෂව වටා ගොනු කරන වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයනවා.

යහපාලන රජය බලයට පත්වූ පසු පක්ෂයේ වෘත්තීය සමිති නොසලකා හැර ඇතැයි නගන චෝදනාව ගැන ඔබේ අදහස ?

එක්සත් ජාතික පක්ෂය කිසි දිනෙක වෘත්තීය සමිති නොසලකා හැරපු පක්ෂයක් නෙමෙයි. අපි දන්නවා මේ රජය බලයට පත් කරන්න වැඩ කරන ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරපු බව. මේක රාජ්‍ය අංශයට වගේම පෞද්ගලික අංශයටත් පොදුයි. නමුත් අපි පිළිගන්න ඕන යම් අඩුපාඩු වෙලා තියෙනවා කියන එක. මොකද වෙනදා ආණ්ඩුවක් මාරුවෙලා අලුත් ආණ්ඩුවක් ආවාම පසුගිය ආණ්ඩුකාලේ දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු අයට සහන ලබා දෙනවා. ඔවුන්ගේ ගැටලු කඩිනමින් විසඳනවා. නමුත් මෙවර අපට ඒක වෙනදාවගේ කරන්න බැරි වුණා. ඒකට හේතු තිබුණා.

මොනවද ඒකට බලපෑ හේතු කාරණා?

මෙවර බලයට පත්වුණේ හවුල් රජයක්. පක්ෂයක් විදිහට අපිට තනියම තීරණ ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම අවාසිසහගත කැබිනට් තීන්දුවක් ගැනීමත් මෙයට බලපෑවා. පක්ෂය වෙනුවෙන් තමන්ගේ දේශපාලන අයිතිය යොදවා දේශපාලනය කොට පළිගැනීමට ලක් වූ සාමාජිකයින්ට පිළිසරණක් වෙන එක අපේ යුතුකමක්. ඉතා ඉක්මනින් මෙතෙක් නොවිසඳුණු ඒ ගැටලු විසඳන්න කටයුතු කරනවා.

ඔබ පෙර සඳහන් කළ පරිදිම හවුල් ආණ්ඩුව තුළ සිටීම මේ ගැටලුව විසඳන්න බාධාවක් නොවේද?

නෑ. දැනට තිබෙන පරිසරය තුළ ඒ සඳහා වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. කම්කරු අමාත්‍යධුරය එජාපයට හිමිවෙලා. ඒ සඳහා ඉතා පළපුරුදු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පත්වෙලා ඉන්නවා. ඒ වගේම පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිතුමාගේ සහයෝගයත් මේ සඳහා ලැබෙනවා. රජයත් මේ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුයි කියන මතයට අද ඇවිල්ලා තියෙනවා.

කැබිනට් සංශෝධනයේදී ඔබට කැබිනට් අමාත්‍යධුරයක් හිමි වෙන්න තිබූ අවස්ථාව මඟ හැරුණේ ඇයි?

මම පැහැදිලිවම දන්නවා මට මේ අවස්ථාවේ කැබිනට් අමාත්‍යධුරයක් හිමි නොවන බව. මොකද මෙවර අමාත්‍යධුර පිරිනැමුවේ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙනයි. දක්ෂතාවය පදනම් කර ගත්තා නම් මටත් කැබිනට් අමාත්‍යධුරයක් හිමි වෙන්න තිබුණා. නමුත් මට ඉතා හොඳින් වැඩ කරන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යධුරයක් ලැබී තිබෙනවා. ඒ ගැන මම තෘප්තිමත්.

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සංශෝධනය වුණාට නව අධිකරණ ආරම්භ කිරීම ප්‍රමාද වෙනවා කියන්නේ ඇත්තද?

ඔය නිකං දේශපාලන වාසි ගන්න කියන කතා. ඒ වගේම නව අධිකරණ පිහිටුවීම ගැන බය වුණාම කියන කතා. ඔය පනත් කොටුම්පත සංශෝධනය කළා වගේම ඉතා ඉක්මනින් බරපතළ දූෂණ චෝදනා විභාග කරන්න වෙනමම නව අධිකරණ තුනක් පිහිටුවනවා. ඒවායේ නඩු අහන්න මහ අධිකරණ විනිශ්චයකාරවරුන් තුන් දෙනෙක් පත් කරනවා. ඒ අනුව ඉතා ඉක්මනින් බරපතළ දූෂණ වංචා පිළිබඳ නඩු විභාග කරලා හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් වෙනවා.

පක්ෂයේ මැයි දිනයේදී ඔබ සඳහන් කළ ‘අලුත් හොරුන්ටත්’ මේ අධිකරණ මඟින් දඬුවම් දෙනවාද ?

අනිවාර්යෙන්ම. හොරුන් හොරුන්ම තමයි. අලුත් පරණ කියලා වෙනසක් නැහැ. ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නේ රාජ්‍ය දේපල හොරා කෑ අයට දඬුවම් දෙන්න මිසක් හොරුන් ආරක්ෂා කරන්න නොවෙයි.

ඔය කිව්වට ඒක වචනයට පමණක් සීමා වුණොත්?

ඒ ගැන වැඩිය මම කියන්නේ නැහැ. ඉදිරියේදී ඔබට බලා ගන්න වගේම වාර්තා කරන්නනත් පුළුවන් වේවි.

ළඟ එන පළාත් සභා මැතිවරණයට එජාපයේ සූදානම කොහොමද?

රජයක් විදිහට අපි ඉක්මනින්ම ඒ මැතිවරණය පවත්වන්න කටයුතු කරනවා. ඒ වගේම ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය ආකාරයට පක්ෂය ශක්තිමත් වෙලා තියෙනවා. මේ වෙන විට අපේ අපේක්ෂකයින් තෝරා ගන්න කටයුතු ආරම්භ කරලා තියෙනවා.

ඔබ ජයග්‍රහණය ගැන කතා කළාට පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඔබේ පක්ෂය පරාජය වුණා නේද?

මේ රටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳගන්න මිනිස්සු එජාප රජයක් බලයට එනකම් බලන් ඉන්නවා. ඒ වගේම ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් එජාපයට විතරයි කියලා ජනතාව දන්නවා. ඒක තමයි ඇත්ත. නැවත කිසිම වෙලාවක ඒකාධිපති මිනීමරු පාලකයන් මේ රටේ බලයට ගේන්න ජනතාව පෙළ ගැහෙන්නේ නැහැ.

මේ රටේ ඡන්දෙන් ඡන්දෙට මිනිස්සු තම ඡන්දය පාවිච්චි කරන විදිහ වෙනස්. පළාත් පාලන ඡන්දය දිහා බලලා අපට මේ ඡන්දය මෙහෙම වෙනවා කියලා කියන්න බැහැ. පළාත් පාලන ඡන්දෙ ප්‍රතිඵලය ජනතාව අපට දුන්නු සිග්නල් එක හොඳින් අඳුරගෙන කටයුතු කරන්න ආණ්ඩුවක් විදිහට අප සූදානම්. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර මේ වෙනකොටත් අරගෙන ඉවරයි. ඒ අනුව මම විශ්වාස කරනවා අපේ රටේ අනාගතය ගැන හිතලා මේ රටේ බහුතර ජනතාව එජාපයට ඡන්දය දේවි කියලා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වියත් මඟ නමින් ජනතාව අතරට යන්න සකස්කළ යාන්ත්‍රණය ඔබ දකින්නේ කොහොමද?

මොකද්ද මේ වියත් මඟ කියන්නේ. මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලියට ගොඩ යන්න කිසිම මඟක් නැති වුණාම අටවගත්තු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්. ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගේ අනුග්‍රහය අරගෙන සිදු කරන දූෂිත කුමන්ත්‍රණයක්. කවුද මේ අයට මුදල් ලබා දීලා තිබෙන්නේ. දූෂිත චීන සමාගම්. ඒ දූෂිත චීන සමාගම් බළල් අතක් සේ මේ අයගේ පිටිපස්සේ ඉන්නවා. ඒ අයට ඕනා තමන්නට ඕන විදිහට වැඩ කරන්න පුළුවන් රූකඩයක් බලයට ගේන්නයි. මේකෙ එක වැඩ පිළිවෙලක් තමයි වියත් මඟ කියන්නේ. එක රැස්වීමකට යන වියදම කෝටියයි. කවුද මෙහෙම සල්ලි දෙන්නේ. කොටින්ම කිව්වොත් මේ රටේ ජාතික දේපල මංකොල්ල කාපු දූෂිත චීන සමාගම්වල දේශීය මුහුණුවරක් තමයි වියත් මඟ කියන්නේ. මේක චීන රජයත් එක්ක තියෙන ප්‍රශ්නයත් නෙමෙයි. ඒකත් පැහැදිලිව කියන්න ඕන. මෙතැන ඉන්නේ දූෂිත චීන සමාගම්.

ජනතාවට දුන් සහන තෙල්, ගෑස් මිල ඉහළ දමා නැවත රජය උදුරාගන්න කටයුතු කරනවා නේද?

අපි බලයට ඇවිත් ජනතාවට දෙන්න පුළුවන් හැම සහනයක්ම දුන්නා. සහන ලැබෙනකොට තෙල්මිල අඩුවෙනකොට කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි හැටි. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තෙල්මිල අනුව අපිට කටයුතු කරන්න වෙනවා. ඒ අනුව තෙල් මිල ඉහළ දාන්න වෙනවා. ඒකට මිල සූත්‍රයක් හඳුන්වාදීම කළ යුතුයි.

යහපාලන රජය අල්ලස් දූෂණ අවම කළා කීවාට ඒ ප්‍රතිලාභ ජනතාවට දැනුන බවක් පෙනුණේ නෑ නේද?

අල්ලස හා දූෂණය ප්‍රමාණයෙන් අඩුවෙලා තිබෙනවා. මේ රටේ සම්පූර්ණයෙන් හොරකම නැතිවෙලා නැහැ කියලා මම පිළිගන්නවා. නමුත් හොරකම් කරන අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙන බව අපි දැන ගන්න ඕන. පසුගිය දිනවලත් ඒක ඔප්පු වුණා.

20 වෙනි සංශෝධනය මඟින් රට වැනසෙන බවට පොදුජන පෙරමුණ ප්‍රධාන කණ්ඩායම් ගෙන යන විරෝධය ඔබ දකින්නේ කොහොමද?

අපේ රටේ ජනතාව හතර වතාවක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඡන්දය දුන්නා. නමුත් එය යථාර්ථයක් කරන්න පසුගිය කිසිදු රජයක් ක්‍රියා කළේ නැහැ. හැමදාම ඡන්දෙ දීපු ජනතාව රැවැට්ටුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ යන දෙන්නම මේකට වගකියන්න ඕන. යහපාලන රජය විසිවෙනි සංශෝධනය හරහා බලාපොරොත්තු වෙන්නේ හැමදාම ජනතාව බලාපොරොත්තු වූ නමුත් ඉටුනොවූ ඒ පොරොන්දුව ඉටු කරන්නැයි. ඒ බව හොඳින් දැන දැනත් සමහර අය සටන් පාඨවල එල්ලී ඉන්නවා. මේක ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඒ වගේම මේ රටේ ජනතාවට ද්‍රෝහි වීමක්.

රජය ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් ඔබේ පක්ෂය 2020ට ජනාධිපති අපේක්ෂකයෙක් සූදානම් කරන්නේ ඇයි? මේ කරන්නේ උගුරට හොරා බේත් කෑමක් නේද?

මං පෞද්ගලිකව විශ්වාස කරනවා 2020 ජනාධිපතිවරණයට කලින් 20 වෙනි සංශෝධනය සම්මත වෙයි කියලා. බැරි වෙලා හරි කරන්න බැරි වුණොත් ජනාධිපතිවරණයට පක්ෂයෙන් කෙනෙකුට ඉදිරිපත් වෙන්න වෙනවා.

[පබුදු සපුතන්ත්‍රි]

මාතෘකා