වියත් මඟ යන විපත් මඟ

 ඡායාරූපය:

වියත් මඟ යන විපත් මඟ

මාස කීපයක් නිහඬව තිබූ වියත් මඟ රැස්වීම් නැවත පටන්ගෙන තිබේ. විශේෂ මහාධිකරණ පිහිටුවීමට මඟපාදන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පාලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වීමට සමාන්තරව වියත් මඟ නැවත කෙළින් කිරීම කිසියම් උත්ප්‍රාසයක් දනවන සිදුවීමකි. ජනවහරේ ඇති පරිදි නම් මේ වනාහි බළලා මල්ලෙන් එළියට පැනීමක් හැටියට විනෝදයට කැමති පුද්ගලයන් විසින් හඳුන්වනු ලැබීමට ඉඩ ඇත.

වියත් මඟ සභාවේ මුල් අසුන් හොබවන ප්‍රභූවරුන් තිදෙනා වන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂය. ඒ අනුව වියත් මඟෙහි ප්‍රධාන වියතුන් හැටියට ඔවුන් හැඳින්වීම යුක්ති යුක්තය. සෙසු වියතුන්ගේ නාම ලේඛනය මෙසේය. සරත් නන්ද සිල්වා, අජිත් නිවාඩ් කබ්රාල්, ජී.එල්.පීරිස්, මැදගොඩ අභයතිස්ස, දයාන් ජයතිලක, නාලක ගොඩහේවා, කමල් ගුණරත්න, සීතා අරඹෙපොළ...

වියත් මඟෙහි කථිකයන් තම දෙසුම් සඳහා විෂය කරගන්නා ප්‍රධාන තේමා මෙසේය.


1. රණවිරු දඩයම

2. රට බෙදන ව්‍යවස්ථාව

3. උතුරෙන් හමුදාව ඉවත් කිරීම

4. ආර්ථික පරිහානිය

5. දේශපාලන අරාජිකත්වය

6. වෙනත්

රණවිරු දඩයම පිළිබඳ අඬවැඩියාව පටන්ගැනුණේ පසුගිය පාලන සමයෙහි සිදු වූ ඇතැම් ඝාතන සහ අතුරුදන් කිරීම් පිළිබඳව පරීක්ෂණ කඩිනම් කිරීමේ ප්‍රතිපලයක් ලෙස සමහර හමුදා නිලධාරීන්ටද හිටපු ආරක්ෂක ලේකම්ටද චෝදනා එල්ල වීමත් සමගය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමද තවත් හේතුවකි.

ඝාතකයෝ

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූයේ හිටපු ආරක්ෂක ලේකම්ගේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් කළ අනාවරණය හේතුවෙන් ලසන්ත සහ ගෝඨාභය අතර දරුණු ගැටුමක් නිර්මාණය වෙමින් පවතින අතරතුරය. යට යමින් තිබූ පරීක්ෂණ ක්‍රියාවලිය නැවත ආරම්භ වූයේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවය. ගනුදෙනුවේ එක් පාර්ශ්වයක් වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා ඇත. අනෙක් ප්‍රධාන පාර්ශ්වයද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

නාගරික සංවර්ධන අධිකාරියෙහි මුදල් අවභාවිත කරමින් දෙමව්පිය ස්මාරක තැනීම, දිවිනැගුම අරමුදල ඡන්ද අල්ලස් ලබාදීම සඳහා යෙදවීම, ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, විනිමය සුරැකුම් කොමිෂන් සභාවේ මුදල් අවභාවිතය, මුදල් විශුද්ධකරණය, හමුදා මූලස්ථානයට අයත් ඉඩම් විකිණීම යනාදී වශයෙන් වියත් මගෙහි විවිධ සාමාජිකයන් පටලැවෙන අපරාධ රැසක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී තිබේ. ඇතැම් පරීක්ෂණ තීරණාත්මක අදියරකට පැමිණ ඇත. මේවාට බාධාවක් වූයේ පරීක්ෂණ සඳහා හමුදාවෙන් සහාය නොලැබීම හා නඩු ප්‍රමාදයයි. නඩු ප්‍රමාදය වැලැක්වීම ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමේ අරමුණකි. ඒ පනත සම්මත වීම දූෂණ විරෝධී ජනතීරුවල ප්‍රසාදයට හේතුවී ඇත. එහෙත් වියත් මඟට අනුව මේවා දේශපාලන පලිගැනීම්ය.

ඉංග්‍රීසි බණ

සැබෑ වියත් මග නම් දූෂණ, වංචා සහ ඝාතනවලට එරෙහිව හඬක් නැගීමය. මෙහි සිදු වන්නේ දූෂණයට වැට බැඳීමේ ක්‍රියාවලියට එරෙහිව හඬ නගමින් රට වටේ යෑමය; පන්සල් දෙවනත් කිරීමය. මේවාට අනුබල දෙන මැදගොඩ අභයතිස්ස වැනි භික්ෂූන් අයත් වන්නේ මොන බුද්ධාගමටදැයි ඇසීමට සිදු වේ. ඉංග්‍රීසියෙන් මාධ්‍ය නාළිකාවල බණ කියන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා දූෂණ විරෝධී වැඩපිළිවෙලට එරෙහි වීම ඔස්සේ ඔහුගේ විනිසුරු අතීතයද අභියෝගයට ලක් වේ. තමා අගවිනිසුරු ධුරය හෙබවූ සමයෙහි හෙල්පින් හම්බන්තොට අරමුදලේ වංචා චෝදනා එල්ල වූ පුද්ගලයා නීතියේ රැහැනෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව ප්‍රකාශ කළේද මේ පුද්ගලයාමය. තම චක්ගෝලයකු වූ ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයාගේ විෂමාචාර අනාවරණය වෙද්දී ඔහුට එරෙහිව පියවර නොගෙන ආරක්ෂා කළේද මේ අගවිනිසුරුවරයාය. ඔහු වියත් මඟ දේශකයකු වීමෙන් වියත් මඟ යන දිශාව‍ හොඳින් හඳුනාගත හැකිය.

උතුරෙන් හමුදාව ඉවත් කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වී තිබේය යන්න වියත් මඟෙහි තවත් චෝදනාවකි. 2009 යුද ජයග්‍රහණයෙන් පසුව හමුදාවෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ උතුරේ ජනතාව පසුවූයේ කලකිරීමෙනි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ උගත් පාඩම් කොමිසම පත් කළේ දරුස්මාන් වාර්තාවෙහි ඇතුළත් යෝජනාවලට ප්‍රතිපක්ෂව දේශීය උගතුන්ගේ නිර්දේශ ලබාගැනීම සඳහාය. මේ වාර්තා දෙකින්ම තහවුරු වන්නේ අන්තර් ජාතික මානව අයිතිවාසිකම් නීතිය හා සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උල්ලංඝනය වී ඇති බවය. යුද්ධයෙන් පසුව හමුදාව සිවිල් ජන දිවියට බාධාවක් වන පරිදි කටයුතු කිරීම ගැන උගත් පාඩම් කොමිසම කනස්සල්ල පළ කරයි. ජනතාවට අයත් ඉඩම් ඔවුන්ට ලබාදෙමින් හමුදාව ක්‍රමයෙන් ඉවත් විය යුතු බව කොමිසම කියයි. මේ අනුව ඉඩම් නිදහස් කිරීම ඇරඹුණේ රාජපක්ෂ පාලන සමයේදීය. යහපාලන ආණ්ඩුව කළේ එය ඉදිරියට ගෙන යෑමය. වියත් මඟ මෙයින් ජනතාව භීතියට පත් කිරීමේ උපක්‍රමයකි.

පුද්ගල අතුරුදන් කිරීම්වලට එරෙහිව ‘89 දී ජිනීවා ගිය රාජපක්ෂ මහතා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය කුමන්ත්‍රණයක් ලෙස දකී නම් එබඳු කුමන්ත්‍රණවලට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ඔහුද දායක වී තිබේ. ඔහු 13 ට එහා ගිය බලයක් වෙනුවෙන්ද පෙනී සිටියේය. එවිට එය රට බෙදීමකි. මන්ද යත් 13 වැනි සංශෝධනයෙන් පුළුල් බලතල බෙදාදීමක් කර ඇති හෙයිනි. වරද ඇත්තේ ලබාදුන් බලය ආපසු ගැනීමේය.

ත්‍රි පුද්ගල මහාධිකරණය ක්‍රියාත්මක වීමේදී වියත් මග ක්‍රියාදාමය තවත් තීව්‍ර කරනු ඇත. ජනබලයට මුවාවී අධිකරණය බියගැන්වීම එහි යටි අරමුණයි. අපරාධවලට සම්බන්ධ හමුදා කොටස්, කළු සල්ලිකාරයන් මෙන්ම රාජ්‍ය දේපළ කොල්ලකරුවන්ගේ සහාය වියත් මඟට ලැබෙනු ඇත. ආගමික පාර්ශ්ව ආගම හා ජාතිය පිළිබඳ මන්ත්‍රය මතුරනු ඇත. ඉදින් වියත් මඟ යන මඟ පෙනේ හොඳ හැටි.

පසුගිය ආණ්ඩුව ඡන්දයෙන් පරාජය වන විට රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරුවී තිබිණ. ලබාගෙන ඇති ණයවලට පොලිය ගෙවිමේ හැකියාවක් රජයට නොවීය. එය රාජපක්ෂ පාලනය නිසාම ඇති වූ තත්වයක් නොව දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එහෙත් රාජපක්ෂ පාලන සමයේ ණය ලබාගැනීම අසීමිත විය. වෙන කිසිදු අවධියකට වඩා රාජ්‍ය දේපළ අවභාවිත විය. මේ නිසා රට තුළ දරුණු අරාජිකත්වයක් ඇති වීමේ ලකුණු පහළ විය. රටේ ආර්ථිකය කඩාවැටීමක් ගැන කතා කරන වියත් මඟ දේශකයන්ගේ චෝදනාව පෙරළා ඔවුන් වෙතම එල්ල වීම නොවැළැක්විය හැක්කකි.

ෆැසිස්ට් මග

වත්මනෙහි කෘෂිකර්මයෙහි ඇති වී තිබෙන අර්බුදයට බලපෑ ආසන්න හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න පිට පිට කන්න පහක් පුරා පැවති නියඟයෙන් වී ඇතුළු නිෂ්පාදන අඩාළ වීමය. දෙවැන්න පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීමත් කෘත්‍රිම පොහොර හිඟයත් නිසා නිසා ඇති වූ අර්බුදයයි. කාබනික ගොවිතැනට බර තැබීම යහපත් වුවත් එය කිසියම් අනුපාතයකට ක්‍රමිකව කළ යුත්තක් මිස ක්ෂණිකව කළ හැක්කන් නොවේ. ආණ්ඩුව පසුව එම වැරැද්ද නිවැරදි කරගත්තේය. ගොවීන්ට ඇති නිෂ්පාදන අලෙවි කරගැනීමේ ගැටලුව රාජපක්ෂ පාලන සමයේද එලෙසම පැවතිණ. වියත් මඟ ඒ කාලය නොසලකා හරී.

රටක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිස්‍රංස්කරණ හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් අරගල මාවත සකස් කරන්නෝ වියත්තුය. වියත් මඟට එක්වී සිටින්නේ ඒ මඟට ප්‍රතිපක්ෂව පැසිස්ට් වියරුව ඇති කණ්ඩායමකි. රට, ජාතිය, ආගම පිළිබඳ මිථ්‍යාව කෙළින් කරන්නේ ඊට අනුබල පිණිසය. රට පාලනය සඳහා විධායක බලැති ශක්තිමත් නායකයකු පිළිබඳ ප්‍රවාදය ඔවුහු සමාජ ගත කරති. එනිසා මෙය වියත් මඟ නොව විපත් මඟය.

[තිඹිරියාගම බණ්ඩාර]

 

මාතෘකා