ඔරිජිනල් බඩු

 ඡායාරූපය:

ඔරිජිනල් බඩු

ඩඩ්ලි සේනානායක මිය ගියේ වයස හැට දෙකේදීය. එදා මෙදාතුර මියගිය දේශපාලනඥයෙකු වෙනුවෙන් ඇදී ආ විශාලතම ජන ගඟ ආවේ ඩඩ්ලිගේ මළගමටය. ඩඩ්ලිට පෙර මියගිය ඩී. එස් සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක දෙදෙනාම මිය යනවිට අගමැතිවරුය. නමුත් ඩඩ්ලි මියයන විට සාමාන්‍ය පරාජිත පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විතරය.

ඩඩ්ලිගේ අවමඟුලට තරම් සෙනඟක් වෙන කාගෙවත් අවමගුලකට ඇවිත් නැත. ඒ විතරක් නොව, සියම් නිකායේ අස්ගිරි-මල්වතු පාර්ඒවයේ මහ නාහිමිවරු ඩඩ්ලිට අවසන් ගෞරව දක්වනු පිණිස 'වුඩ්ලන්ඩ්' මැදුරට වැඩම කළහ. එය එතෙක් පැවැති සම්ප්‍රදාය කඩකිරීමක් විය. මිනිස්සු ඒ තරමට ඩඩ්ලිට ආදරය කළහ.

මහ වැසි නොතකා කොළඹට ආ ජන ගඟ දැක එවක මැතිනිගේ ආණ්ඩුව තුෂ්නීම්භූත විය.

ඩඩ්ලි සමඟ ගත කළ අඩසියවසක අතීතය සිහිපත් කරමින් කතා කළේ ජේආර් ය. ඒ වෙනකොටත් ජේආර් මිනිස්සු අතර ඩඩ්ලි තරම් 'සමීප'අයෙකු නොවීය.

'ජේ ආර් මිනිස්සුන්ට සමීප නෑ'

'ජේ ආර් හිනාවෙන්න දන්නේ නෑ'

'ජේ ආර් ලංකාවේ දේශපාලනේ දන්නේ නෑ'

ප්‍රතිවාදීන් විතරක් නොව, තමන්ගේ අය පවා ජේ ආර් ගැන එහෙම කීය.

එහෙත් ජේ ආර් ක්‍රමානුකූලව ජනතාව තමන්ගේ පැත්තට හරවා ගත්තේය.

77 දී ජේ ආර් ඊට පෙර කිසිදු නායකයෙකු යටතේ නොලද 'දැවැන්ත' ජයක් ලැබුවේ හයෙන් පහක බලයක් අරගෙනය.

ජේ ආර් සූක්ෂ්ම ලෙස 'රුවල්' බැන්දේය. සුළඟ හැමුවේ ජේ ආර් අපේක්ෂා කළ අතටය. අන්තිමට 'අසමසම ජය' උරුම කරගත්තේය. හැබැයි ජේ ආර් කියන්නේ ජනතාව 'හුරතල් කරන' පන්නයේ නායකයෙක් නොවීය.

මිනිස්සුන්ට සමීප නෑ කීව ජේ ආර්, ලංකාවේ දේශපාලනයට නොගැලපෙන බව කී ජේ ආර් අන්තිමට එතෙක් මෙතෙක් වැඩිම සංවර්ධන වේගය සහිත

ශ්‍රී ලංකාව එවක බිහි කළේය.

රනිල් මෛත්‍රී ආණ්ඩුවට සමහරු බණින්නේ මිනිස්සුන්ට සමීප නෑ කියලාය. කරන වැඩ පේන්නේ නෑ කියලාය. රනිල් යන්නේ නෑ කියලාය. මෛත්‍රී පක්ෂය දාලා ආවා කියලාය.

ජනවාරි 8 විප්ලවයෙන් පස්සේ ආණ්ඩුවට ආව ශ්‍රීලනිප මන්ත්‍රීවරු ආපහු ගියේ 'මහින්ද කාලේ වගේ' කිසි 'ගතියක්' නෑ කියලාය.

රනිල් මෛත්‍රී දෙදෙනාට තියෙන්නෙත් ඊට කිට්ටු චෝදනාය.

හැබැයි ඒ කිසි කෙනෙක් ඒ දෙදෙනාගේ ආණ්ඩුව කරපු දේ ගැන කතා කරන්නේ නැත. පසුගියදා නව සභාවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුව මෙතෙක් නොකී කතාවය.

'විශේෂයෙන්ම, වර්තමාන ආණ්ඩුවට වරමක් ලබා දුන් ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම බවට පත්ව තිබූ, ශ්‍රී ලාංකික සමාජය යළි ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී, සහ වගවීමෙන් යුතු සමාජයක් බවට පත් කරලීමේ කාර්යය පසුගිය වසර තුනක කාලය තුළ සාර්ථකව ඉටු වී ඇති බව, විවේචන මධ්‍යයේ වුවද, ඔබ සැම පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි.'

ඔහු කීවේය. තෙවසර තුළ කළ කී දෑ පිළිබඳව සමාලෝචනයක්ද කළ හෙතෙම, සිදු වූ අඩුපාඩු ගැනද කතා කළේය.

'එහෙත් අප හමුවේ ඇති අභියෝග සියල්ල තුරන්ව ගොස් නැත. රජයේ නව ගමන් මඟ තෝරා ගැනීමේදී අත්‍යාවශ්‍ය කරුණු ගැන මූලික අවධානය යොමු කර රට හමුවේ ඇති රුපියල් කෝටි දශලක්ෂයක් වන ණය බර ජනතාව මත පැටවීමෙන් තොරව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ.'

ඔහු කළේ පුරාජේරුවක් නොවේ. එය සහමුලින්ම ස්වයං විවේචනයක්ද සහිත ප්‍රායෝගික කතාවකි.

පරාජිතයින් නැති පරාජිතයාත් ජයග්‍රහකයෙක් කරන ගමනට ඔහු සැමට ආරාධනා කරත්දී 16 දෙනෙක් විපක්ෂයට ගොස් අසුන් ගත්හ.

'අපි ජනවාරි අට විප්ලවයට වඩා විප්ලවයක් කරනවා' කියා ඩිලාන්ලා පුරාජේරු කීවේ ඒ ගැනය.

ජනවාරි අට තිබූ රටත් දැන් තිබෙන රටත් හරියට කියවා ගැනීමට අපහසු මානසික ව්‍යාකූලත්වයක් ඩිලාන්ලාට තිබෙනවා විය යුතුය.

එවක තිබුණේ රටක් ලෙස අප පිළිගෙන ඇති මානුෂීය නීති හා මානව අයිතිවාසිකම් තුට්ටුවට වැටුණු රටකි. රටේ ආර්ථිකයෙන් සියට 60ට වැඩි පංගුවක් මෙහෙයවීමේ සම්පූර්ණ බලය තිබුණේ එක් පවුලක් වටා කේන්ද්‍රකොටගෙනය. ජාත්‍යන්තර වශයෙන් ලෝකයා කුණු මුල්ලට තල්ලු කළ රටක් බිහි වී තිබුණි. පශ්චාත් යුද සමය ඒක පුද්ගල චරිත පිම්බීමක් වෙනුවෙන්ම වෙන් කළ අතර ඉහළම තැන සිට පහළම අඩිය දක්වා සොරකම නිල නොවන පරිදි අනුදැන වදාරන තැනට රටේ නායකත්වය පත් වී සිටියේය. 'කරන හොරකමක් අහු නොවෙන්න කරපල්ලා' කියන පණිවිඩය උඩ සිට පහළට පොම්ප කළේය.

ඔවුන් සතුව රමණීය භාෂාවක් තිබුණ අතර භාෂාවේ චමත්කාරය තමන්ගේ 'සාහසික පැවැත්ම' වෙනුවෙන් ඔවුහු පාවිච්චි කළහ.

නැති භීතියක් මවා පාමින් පුහු අනුකම්පාවක් ජනතාව වෙතින් බලාපොරොත්තු වෙමින් දේශප්‍රේමය පපුවට ගසාගෙන පිටට පෙන්නීම එකල සාමාන්‍ය ස්වභාවයක් විණි. කැබිනට් මණ්ඩල, අමාත්‍යාංශ, ආයතන සියල්ලේම බල ව්‍යුහයට අත පෙවීමේ 'අසහාය බලය' කිහිප දෙනෙක් සතුව තිබිණි.

අද මහින්ද සෙවනේ සැනසිල්ල සොයන බොහෝ දෙනා එවක සිටියේ මහින්දගේ දූවිලි ගානටය. තමා හැරපියා වෙන කිසිවෙකුට 'බලය' ට අයිතියක් නැති බවට පාරම් බෑ ඒකාධිපති වියරුව කෙරෙහි ඔවුහූ නැවත ලොල් වී ඇති ගානය.

මහින්ද ඔරිජිනල් ශ්‍රීලංකා කාරයා කියා වන්දනාමාන කරන සමහරු ඒ අයගේ අතීත පැටිකිරිය සහමුලින්ම අමතක කරලාය.

මෛත්‍රී පක්ෂය පාවා දුන්නාය කියා සුපුරුදු මිථ්‍යාවට පවන් සලන ගමන් මහින්ද ඒකායන නායකයා ලෙස ඔවුන් මිථ්‍යා සිහිනයක එල්බගෙනය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය බිහි වූවාට පසුදා උපන් මෛත්‍රී දිවි හිමියෙන් පක්ෂයට ආදරය කළේය.

'කොළ බලකොටුවක්' බවට පොළොන්නරුව පත්කොට තිබූ නෙල්සන්ලා එක්ක හැප්පුණු මෛත්‍රී හැමදාම ශ්‍රීලනිපය ගොඩ දමා දුන්නේය. මහින්ද යුගයේ ශ්‍රීලනිපයක් තිබ්බේ නැත. එය හුදෙක් 'මහින්ද චින්තන' පක්ෂයයි. මෛත්‍රී එළියට එන්නේ ඒකෙන්ය.

නමුත් මහින්දලාගේ කතාව එහෙමද?

1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවැති මහ මැතිවරණයෙන් හම්බන්තොට ආසනය දිනුවේ ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තාය. නිරූපමා රාජපක්ෂ කියන්නේ ඩී.එම්. රාජපක්ෂගේ මිණිපිරියයි. ඩී.එම්.හදිසියේ මිය ගියේය. ඒ නිසා පැවැති අතුරු මැතිවරණයෙන් 47දී ඩී.ඒ.රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නේය. ඡන්දය ඉල්ලුවේ එජාපයෙනි. ඔහු මහින්දගේ පියාය.

1952 මහ මැතිවරණයෙන් ඩී.ඒ. ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලා, 1956 දී ඡන්දය ඉල්ලන්නේ මහජන එක්සත් පෙරමුණෙනි.

1960 මාර්තු මැතිවරණයට ඩී. ඒ. ඉදිරිපත් වන්නේ ශ්‍රීලනිපය අතහැර පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණෙනි. 1960 ජුලි මැතිවරණයේදී ඔහු නැවත ශ්‍රීලනිපයට එන්නේය.

ඒ මහින්දගේ පියාය.

බැසිල් මහින්දගේ මල්ලිය. ඉකුත් ආණ්ඩුවේ යුව රජුය. 77 බැසිල් ඡන්දය ඉල්ලන්නේ ශ්‍රීලනිපයෙනි. 78 වෙනකොට බැසිල් මහින්ද දෙදෙනාම හිටියේ මැතිනිට එරෙහිව 13 කල්ලියේය. පසුව බැසිල් එජාපයටත් මහින්ද පුරුදු ශ්‍රීලනිපයටත් එක් වන්නේය. එතැන් සිට මැතිනි රාජපක්ෂලා 'මායිම්' නොකරන්නේය. 1982 දී පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ බැසිල් එජාපයේය. මහින්ද ශ්‍රීලනිපයේය. හැබැයි මැතිනිය තෝරා ගන්නේ 'ශ්‍රීලනිප මුල් උරුමය තිබූ ' ඩී. එම් ගේ දියණිය 'නිරූපමා'ය.

මිනීමැරුම් චෝදනාවක් මත පසුව බැසිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි වන්නේය.

ඔය සේරම වෙනකොට මෛත්‍රී හිටියේ සෙරෙප්පු දෙකවත් නැතිව ගම් දනව්වල කරක් ගසමින් පක්ෂය ගොඩනඟමින්ය. කල්ලිවාදයක් නැතිව නායකයා ශක්තිමත් කරමිනි. නොකා නොබී මැයි රැලිවලට සෙනඟ අදිමිනි.

ඔය ඉතිහාසය දන්නේ නැති සමහරු 'මහින්දලා' ඔරිජිනල් ශ්‍රීලංකා කාරයෝ ලෙස අභිෂේක කරලාය.

දැන් මහින්දලා 'පොහොට්ටුව' හදලාය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීරණාත්මකව දෙකඩ කිරීමේ 'මහා පාපය' සිදුකළ පිරිස ලෙස ඔවුන් ඉතිහාසගතය.

'මේ රජය පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ විවේචන, චෝදනා එල්ල වේ. ඒ සෑම විවේචනයක් සහ චෝදනාවක් ගැනම රජයක් විදියට අපි ඉතා නිහතමානීව සැළකිලිමත් වන අතරම අප ඒ පිළිබඳව ස්වයං විවේචනයකද නිරත වී සිටින බව ප්‍රකාශ කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ගේ ස්වාධීනත්වය දැනටමත් අප තහවුරු කර ඇත. එහෙත්, තවමත් නිදැල්ලේ සිටින මහා පරිමාණ වංචනිකයින්ට එරෙහිව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන ඇත. දූෂණය මුලිනුපුටා දමා සියලු දූෂිතයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ඒකාන්ත අරමුණයි.'

ජනපති සිය ආණ්ඩුවේ 'අපේක්ෂාව'ගොනු කරන්නේ එහෙමය.

'අපට එරෙහිව එල්ල වන තවත් චෝදනාවක් වන්නේ, රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳයි. රට හමුවේ ඇති අභියෝග සැලකූ විට සියලු පක්ෂ එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු වෙනවා. මහා ණය බරක් අප හමුවේ තිබෙනවා, නාස්තිකාර වියදම් කළ යුගයක සුන්බුන් අප ඉවත් කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යැයි සලකා සැම එකාවන්ව කටයුතු කළ යුතු වෙනවා.'

මහින්දලාගේ පොහොට්ටුවත්, පැත්ත මාරු කළ 16 දෙනාත් පයින් ගසා තිබෙන්නේ

ඒ උදාර අපේක්ෂාවටය.

[රංජිත් කුමාර]