තෝරු මෝරු කොටු කළ මෙහෙයුමේ ඇතුළත කතාව

 ඡායාරූපය:

තෝරු මෝරු කොටු කළ මෙහෙයුමේ ඇතුළත කතාව


කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට යාබදව පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් කාර්යාලයට පසුගිය පෙබරවාරි 22 වැනිදා විදේශීය ජාතිකයකු පැමිණ විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පැහැදිලි ඉන්දියානු උච්චාරණයක් සහිතව සන්නිවේදනයේ නිරත වෙමින් ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ල සාමාන්‍යයෙන් තම දෛනික රාජකාරි කටයුතුවලදී තමනට ගනුදෙනු කිරීමට සිදුවන සීමාවට එහා ගිය එකක් බව අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ ‘ශරීර භාෂාවේ’ පැහැදිලිව පෙනෙන්නට තිබිණි. රටේ ඉහළතම රාජ්‍ය නිලධාරින් දෙදෙනකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ ‘එ් බෝම්බය’ අතහැර තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ප්‍රධාන විමර්ෂණ නිලධාරී සහකාර පොලිස් අධිකාරී රුවන් කුමාර ඉදිරියේය. සිය ආයෝජන ව්‍යාපෘතියට බාධා කිරීම හා එය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් විශාල අල්ලස් මුදලක් අවශ්‍ය බවට ඉහළ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු ඉල්ලා සිටි බව එ් පැමිණිලෙන් සඳහන් කොට තිබුණි. අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ල ගොනුකර තිබුණේ එම්.ජී ෂුගර්ස් ලංකා පෞද්ගලික සමාගමේ මෙරට ප්‍රධානියකු විසිනි.   
2015 ජනවාරියේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මෙරටට ප්‍රථමයෙන්ම පැමිණි ආයෝජකයකු වූයේ එම්.ජී ෂුගර්ස් ලංකා පෞද්ගලික සමාගමය. වසා දමා තිබූ කන්තලේ සීනි කම්හල යළි පණ ගැන්වීම උදෙසා එම්.ජී ෂුගර්ස් ලංකා පෞද්ගලික සමාගම මෙරටට පැමිණියේ එ් ක්ෂේත්‍රය හා සම්බන්ධ තවත් ප්‍රකට සමාගම් දෙකක් වන බැංගලෝරය කේන්ද්‍රගත කරගනිමින් ක්‍රියාත්මක ශ්‍රී ප්‍රභූලිංගේෂ්වර් ෂුගර්ස් කෙමිකල්ස් සමාගම හා සිංගප්පූරුවේ S.L.I. ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමද සහකරුවන් ලෙස සම්බන්ධ කර ගනිමිනි. සෘජු විදේශ ආයෝජනයක් වූ ෙම් ආයෝජනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක් වූ අතර, ඊට ඩොලර් මිලියන 10ක බැංකු ආරක්ෂණයක් ද ස්වීස් බැංකුවක් විසින් සපයා තිබුණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එවකට ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියා වූ උපුල් ජයසූරිය මහතා ගිවිසුමට අත්සන් කළ අතර එම්.ජී ෂුගර්ස් හි අධ්‍යක්ෂක මෙන්ඩල් ග්ලුක් විසින් ද ඊට අත්සන් කරන ලදී. දෙපාර්ශ්වය අතර ගිවිසුම් හුවමාරුව සිදු වූයේ 2015 වසරේ ජූලි 27 වැනිදාය. ජයසූරිය හා මෙන්ඩල් ග්ලුක් ගිවිසුම හුවමාරු කර ගනිද්දී ඔවුන් දෙදෙනාගේ දෙපසින් වූයේ එම්.ජී ෂුගර්ස්හි අධ්‍යක්ෂක K.P. නාගරාජා හා ඉඩම් අමාත්‍යංශයේ එවකට ලේකම්වරයා ලෙස කටයුතු කළ I.H.K. මහානාමය. දෛවයේ සරදමකට මෙන් පෙබරවාරි 22දා අල්ලස් කොමිසමට පැමිණ තිබුණේ එම K.P. නාගරාජා ය. ඔහු තම පැමිණිල්ලෙහි නම සඳහන් කර තිබූ ප්‍රධාන චූදිතයකු වූයේ I.H.K. මහානාමය. ඉදිකිරීම ක්‍රියාත්මක කිරීම හා යළි පැවරීම (B.O.T) ක්‍රමය යටතේ එළැඹි සමස්ත කොටස්වලින් 51%ක් ශ්‍රී ලංකා රජයට ද,අනෙක් 49% විදේශීය ආයෝජකයාට හිමිවන බවට ගිවිසුමේ සඳහන් විය.   
S.W.R.D. බණ්ඩාරනායක සමයේ 1957දී චෙකෝස්ලෝවැකියාවෙන් ලද ප්‍රදානයක් ලෙස ඉදිකිරීම් ඇරඹූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සිය මෙහෙයුම් කටයුතු ඇරඹුවේ 1960දී පමණය. අඛණ්ඩව ලාභ ලබමින් පවත්වාගෙන ආ කන්තලේ සීනි සමාගමේ මළගම ඇරඹුණේ 1986න් පසුවය. ත්‍රස්තවාදය හිස එසවීමට සමාන්තරව තවත් අවශේෂ හේතු රැසක් ද ඒ සඳහා හේතුභූත වී තිබුණි. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි අරඹමින් එහි සම්පූර්ණ ධාරිතාව ඔස්සේ සීනි මෙට්‍රික් ටොන් 72000ක් නිපදවීමටත්, සෘජු රැකියා 1220ක් හා වක්‍රාකාරයෙන් පවුල් 25000කට පමණ ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කරන ලදි. මෙහි අපේක්ෂිත නිෂ්පාදනය සිදුවූයේ නම් එය රටේ මුළු සීනි ආනයනයෙන් 20%ක් අඩු කිරීමට  හේතුවක් වන පසුබිමක මේ ගණුදෙනුව ආර්ථික හා සමාජීය වශයෙන් අතිශය වැදගත් වූවක්ම විය. සාමාන්‍ය‍යෙන් ශ්‍රී ලංකාවේ වසරකට සීනි ආනයනය සඳහා රුපියල් බිලියන 06ක් පමණ වැය කරනු ලබයි. ගිවිසුම අත්සන් කිරීමට සමගාමීව ඩොලර් මිලියන 02ක් වැය කරමින් ජර්මනියේ සුප්‍රකට බොෂ් සමාගම ලවා ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට එම්.ජී ෂුගර්ස් සමාගම කඩිනමින් පියවර ගන්නා ලදී. ඔවුන් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුවූයේ එතරම් සුබවාදී ස්ථානයකය.   
මුල් ගිවිසුම අත්සන් කරන මොහොතේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඉඩම් හා අත්හරින ලද ගොඩනැගිලි හා දිරා පත්වෙමින් තිබූ යන්ත්‍රෝපකරණ කිහිපයකට සීමා විය. ගිවිසුම ප්‍රකාරව ඒ සියල්ල සමාගමට හිමි විය යුතු වුවද අදහාගත නොහැකි ආකාරයට පසුව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් ඔස්සේ ගොඩනැගිලිවල ඉතිරි කොටස් හා යන්ත්‍රෝපකරණ සමාගමට හිමි නොවන බව කියැවිණි. සැබැවින්ම, ගැටලුව මතු වූයේ ඉන් අනතුරුවය. සීනි කර්මාන්ත ශාලාව සතුව තිබූ වත්කම් වෙන්දේසි කිරීම වෙනුවෙන් පසුව ඉදිරිපත් කළ එ් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැකසීමේ මහ මොළකරු වූයේ එවකට ඉඩම් අමාත්‍යංශයේ ලේකම් වූ අයි. කේ. මහානාමය. මුල් ගිවිසුමෙන් පසුව ඉදිරිපත් කරන ලද මේ කැබිනට් පත්‍රිකාව සමඟ එම්.ජී ෂුගර්ස් සමාගම බෙහෙවින්ම අපහසුතාවයට පත් වූ අතර ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට ඔවුන් උත්සාහ කළද, ඒ සියල්ල ව්‍යාර්ථ වුණි. ඔවුන් තම දුක්ෙගැනවිල්ල සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණයක් හමුවට රැගෙන ගියේ ඉන් අනතුරුවය. එ් පැමිණිල්ල විමැසීමෙන් පසු කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර උපකරණ විකිණීම නතර කරමින් ජාත්‍යන්තර බේරුම්කරණය අතුරු තහනමක් නිකුත් කරනුයේ පසුගිය ඔක්තෝබරයේදීය.   
මහත් බලාපොරොත්තු සහිත ව ඩොලර් මිලියන සියයක ආයෝජනයක් සහිතව මෙරටට පැමිණි එම්.ජී ෂුගර්ස් සමාගම වර්ධනය වූ මේ තත්ත්වය ඇතුළත පසුවූයේ කිසිත් කර කියා ගත නොහැකි තැනකටය. අබලි යන්ත්‍ර උපකරණවල මුළු වටිනාකම කෝටි 50ට නොවැඩි වූ මුත් එය සමාගමට පැවරීමට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහානාම කිසිසේත්ම කැමැත්තක් නොදැක්වීය. මුල් ගිවිසුමට පිටින් යමින් තමන්ට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් එම්.ජී ෂුගර්ස් සමාගම ද සිටියේ බලවත් කෝපයෙන් හා කලකිරීමෙනි.   
මාතර කිතලගම ප්‍රදේශයේ උපන් අයි. එච්. කේ. මහානාම කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා විද්‍යා උපාධිධාරියෙක් වූ අතර 1985 කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවාවට ඇතුළත් විය. රාජ්‍ය පරිපාලන සේවාවට පැමිණි මහානාමට පළමුව රාජකාරී කිරීමට සිදු වූයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසය. දකුණේ පුද්ගලයන්ට සහජයෙන් උරුම වන ඉහළට යෑමේ ගතිය මහානාමට ද නොඅඩුව පිහිටා තිබූ අතර හෙතෙම බෙහෙවින් උන්නතිකාමී ආශාවන් සහිත පුද්ගලයකු විය. රාජ්‍ය සේවය තුළ ක්‍රමයෙන් ඉදිරියට ආ මහානාමගේ හොඳම කාලය උදාවූයේ 1994 පාලන වෙනස සිදුවීමෙන් පසුවය. ඉන්පසුව පැමිණි සෑම පාලකයකුටම හිතවත් වූ ඔහු අපහසුතාවකින් තොරව තම දිවිය සරු කර ගත්තේය.   
තම ආයෝජන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව දිගින් දිගට ප්‍රමාද වන පසුබිමක මේ කාරණය ගොඩින් බේරා ගතහැකි මඟක් පිළිබඳ ව එම්.ජී ෂුගර්ස් සමාගම කල්පනා කරන්නට විය. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ පිහිටට පැමිණෙමින් අලුත් යෝජනාවක් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා වූ පී.ඩී දිසානායක ඉදිරිපත් කළේය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ පියදාස දිසානායක, අයි.එච්.කේ මහානාමගේ සමීපතම මිතුරෙක් විය. කැමැත්තක් දක්වන්නේ නම් මහානාමට අල්ලස් මුදලක් ලබා දී සීනි කර්මාන්ත ශාලාව ඇරඹීමට අවශ්‍ය මඟ විවර කළ හැකි බව දිසානායක තම යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවේය. මහානාම ඒ වන විට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා විය. අවස්ථා තුනකදී කැබිනට් පත්‍රිකා තුනක් හරහා බලවත් උත්සාහයක් ගත්ත ද සීනි කර්මාන්ත ශාලාවට “යළි පණ දීමේ” කටයුත්ත අසාර්ථක වූ පසුබිමක හා සිය උත්සාහයට අකුල් හෙළු මහානාමට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් තමන් වෙත ඉදිරිපත් වූ යෝජනාව සලකා බැලීමට එම්. ජී ෂුගර්ස් සමාගම ද තීරණය කළේ ය.   
කර්මාන්ත ශාලාව යළි ඇරැඹීමට මාර්ගය නිරවුල් කිරීම සඳහා දිසානායක යෝජනා කර සිටි අල්ලසේ වටිනාකම රුපියල් මිලියන 540ක් පමණ විය. එය කිසිසේත්ම එකඟ විය නොහැකි ගනුදෙනුවක් බව දැන දැනම මහානාමට පාඩමක් ඉගැන්වීමේ අරමුණ ද ඇතිව ගනුදෙනුවට අදාළ සාකච්ඡා එම්. ජී ෂුගර්ස් සමාගම ඇරඹුවේය. සිදුවන සියල්ලම අල්ලස් කොමිසමේ නිලධාරීන්ට දැන්වීමට ද ඔවුන් ඒ අතර වග බලා ගත්තේය. මේ සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පැවැති මුත් මහානාම ඉන් සහභාගී වූයේ අවසන් වරට පැවති සාකච්ඡා දෙකට පමණි. මුලින් රුපියල් මිලියන 540ක් ඉල්ලා සිටියද හෙට්ටු කිරීම් ගණනාවකින් පසු රුපියල් මිලියන සියයකට ගනුදෙනුව සිදුකිරිමට දෙපාර්ශ්වය එකඟ වන ලදී. මේ රහස් සාකච්ඡා බොහෝමයක්ම පැවතුණේ කොළඹ ඇස්වාට්ටුව ඉදිරිපිට ඇති “බ්‍රෙඩ්ටෝක්” අවන්හලේදීය. ගනුදෙනුවේ අතරමැදියා වූයේ පියදාස දිසානායකය.   
අවසන් ගණුදෙනුවට එකඟතාව පළ වෙද්දී මහානාම, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස උසස් වීමක් ලැබ සිටියේය. ජනාධිපති ලේකම්වරයාගෙන් පසුව රාජ්‍ය සේවාවට බලපෑම් කළ හැකි රටේ ප්‍රබලතම තනතුර ලෙස එය සැලකෙයි. මිලියන සියයකට ගනුදෙනුව සිදුකිරීමට එකඟ වූ පසු පළමුව රුපියල් මිලියන 20ක අත්තිකාරමක් සමාගම විසින් එ් එකඟතාව පරිදි ලබා දිය යුතු වූ අතර රාජකාරිය සම්පූර්ණ වූ පසු ඉතිරි මිලියන 80ව ලබා දීමට දෙපාර්ශ්වය එකඟ විය. මෙසේ සිදු වුණු සාකච්ඡා හැම එකක්ම පාහේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් පටිගත කර තිබූ අතර ජනාධිපතිවරයාට සම්බන්ධ ප්‍රබල නිලධාරියකුට එරෙහි ව ලැබී තිබූ ෙම් පැමිණිල්ල පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කොමිසම කල්තියා කටයුතු කර තිබුණි. ඒ, පුද්ගල අනන්‍යතාවන් අනාවරණය නොකරමිනි. යහපාලනය ප්‍රවර්ධනය කරමින් බලයට පැමිණි ජනාධිපතිවරයා වෙතින් කොමිසමට පෙරලා ලැබී තිබූ ප්‍රතිචාරය ඉතා ධනාත්මක එකක් වූ අතර ගැටලුවකින් තොරව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු දැනුම් දී තිබිණි. තම කාර්ය මණ්ඩලයේම හිදිමින් තක්කඩි වැඩ කරන හොර තක්කඩීන් අනාවරණය කර ගැනීමේ උවමනාවක් ජනාධිපතිවයාට ද තිබූ බව ඉන් මනාව පැහැදිලි වේ. සැකකරුවන් කොටු කර ගැනීමේ තීරණාත්මක මෙහෙයුම සඳහා අල්ලස් කොමිසම දින නියම කළේ ඉන් අනතුරුවය.   
ගනුදෙනුව සිදු කළ යුතු ස්ථානය හා දිනය පිළිබඳව වූ සාකච්ඡා කිහිපයකින් අනතුරුව ගාලුමුවදොර ඉදිරිපිට ඇති ටාජ් සමුද්‍රා හෝටලයේදී මැයි 04 වෙනිදා එය සිදුකිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ. එ් අවස්ථාවේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් රැසක් ලබා දීමෙන් පසු ඉන්දියානු ජාතිකයා නියම කරගත් දිනයේ පස්වරු 04ට සිය මෝටර් රථයෙන් ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණියේය. එදින ඔහුගේ රථාචාර්ය ලෙස කටයුතු කළේ අල්ලස් කොමිසමේ රාජකාරීයේ නිරත එහි දක්ෂතම නිලධාරියෙකි. ඊට අමතරව කොමිසමට සම්බන්ධ නිලධාරීන් හත් දෙනකු එදින ඒ මොහොතේ ටාජ් සමුද්‍රා හෝටලයේ වෙනමම ස්ථානගත කර තිබුණි. ඉන්දීය ජාතිකයා මහානාම හා දිසානායක මුණ ගැසුණේ හෝටලයේ ප්‍රවේශ ශාලාවේදීය. ටික වේලාවක් අදහස් හුවමාරු කර ගනිමින් කෝපි හා තේ පානය කිරීමෙන් පසුව මහානාම “මුදල් කොහේදැයි”විමසුවේය. ඔහු සිටියේ එතරම් නොඉවසිලිමත් තත්ත්වයකය.   
මුදල් තම මෝටර් රථයේ බව ව්‍යාපාරිකයා පැවැසීමෙන් පසුව තිදෙනා රථගාල කරා පියමන් කරන්නට විය. ඒ යෑමට මත්තෙන් හෝටල් සේවකයාගෙන් බෑගයක් ඉල්ලා ගැනීමට ද මහානාම අමතක නොකළේය. ඒ තමන්ට හිමිවන මුදල් රැගෙන යාමටය. ව්‍යාපාරිකයාගේ මෝටර් රියේ පසුපස අසුනේ මුදල් සහිත බෑගය තිබූ අතර රුපියල් 5000 නෝට්ටු මිටි හතරකින් එය සමන්විත විය. මෝටර් රථයේ තැන්පත් කිරීමට පෙර ඒ සියලු මුදල් නෝට්ටුවල අංක හා විස්තර ආරක්ෂිත පියවරක් ලෙස අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් ලබා ගෙන තිබුණි. මුදල් මිටිය දුටු මහානාම වහාම පසුපස ආසන විවෘත කර එහි අසුන් ගනිමින් මුදල් ගණන් කරන්නට විය. ඔහු මුදල් ගණන් කළේ සෑහෙන කෑදරකමකින් බව පෙනේනනට විය.   
මේ මුදල් සැබෑ මුදල් දැයි දැන ගැනීමට ඔහුට තදබල උවමනාවක් තිබූ බව පෙනෙන්නට විය. මහානාම සිඟිත්තකු සේ මුදල් නෝට්ටු මිටි එකිනෙක තමන් රැගෙන ආ බෑගයට දමා ගනිද්දී රියදුරු අසුනේ සිටි අල්ලස් කොමිසමේ නිලධාරියා ඉදිරිපස කණ්නාඩිය ඔස්සේ සිදුවන සියල්ල බලා සිටියේය. රුපියල් 5000 නෝට්ටු මිටි තුනක් ගණන් කර ඒවා තමන් අතේ තිබූ රතු පැහැති බෑගයට දා ගත් පසු සිව්වැනි හා අවසන් මිටිය බෑගයට දා ගැනීමට සැරසෙද්දී අල්ලස් කොමිසම් නිලධාරීහු මෝටර් රිය වටකර මහානාම හා දිසානායක අත්අඩංගුවට ගත්හ.   
අත්අඩංගුවට ගත් මහානාම මේ වන විට පසුවනුයේ රිමාන්ඩ් බාරයේය. තව ම මේ කතාව අවසන් නැත. සහතිකවම මෙහි ඉතිරිය තවත් රසවත් වනු නිසැකය. විශාල කළු පැල්ලමක් රාජ්‍ය සේවාවට එක්කළ මුත් මේ සිදුවීම පිටුපස රිදී රේඛාවක් ද තිබේ. ඇඳුරු වළා මැද ඇති එ් රිදී රේඛාව කුමක්ද?   
රටේ රාජ්‍ය සේවාවට සම්බන්ධ ඉහළම නිලධාරීන් දෙදෙනකු අල්ලස් සිද්ධියට කොටුවීම ආයෝජකයන් රට සම්බන්ධයෙන් දරන ස්ථාවරය දුර්වර්ණ කිරීමට හේතුවක් වුවත් මේ සමස්ත නාටකය අපට කියා දෙන වැදගත්ම පණිවිඩය වනුයේ යහපාලනය රට තුළ තහවරු වී ඇති මට්ටම මෙයින් පෙනෙන බවය. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා කිසිදු බාධාවකින් තොරව අත්අඩංගුවට ගැනීමට තරම් නිදහසත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අද හිමිව තිබේ. මීට දින 900කට පෙර එවන් තත්ත්වයක් රටේ නොතිබූ බව සුපැහැදිලිය; එය තර්ක විරහිතය. කෙසේ වෙතත් ඒ වග පෙන්වීමට 2011 වසරේ ඔක්තෝම්බර් 18 වෙනිදා සිදු වූ සිදුවීමත් කෙරෙහි ඔබ රැගෙන යැමට කැමැත්තෙමු. එදින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් මීගමුව දලුපොත ක්‍රීඩාංගනයට හදීසියේ ගොඩ බස්සන ලදී. එ් හෙලිකොප්ටරයේ පැමිණි අමුත්තා වූයේ එවකට සිට ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඇමති බැසිල් රාජපක්ෂ ද ඔහු සමඟ විය. හෙලිකොප්ටරයෙන් බැස මෝටර් රථයකට ගොඩ වීමෙන් පසු මීගමුව හලාවත මාර්ගය ඔස්සේ බන්ධනාගාර පාරේ පිහිටි නිවසකට රාජපක්ෂ මහතා රැගත් රථය ළඟා විය. එ් නිවස එවකට පළාත් සභාවේ අමාත්‍යවරයකු වූ නිමල් ලංසාගේ වූ අතර ඊට පෙර දිනයේ විශේෂ කාර්ය බලකායේ සෙබළු විසින් පළාත් අමාත්‍යවරයාගේ නිවස පීරා තිබුණේ මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී එකලස් කරන ලද වාහන කිහිපයක් සොයමිනි. රටේ ආරක්ෂක ඇමතිවරයා ද වූ ජනාධිපතිවරයා පැමිණි තිබුණෙ එවැනි පුද්ගලයකුගේ නිවසකටය. ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ එ් පරීක්ෂණ එතැනින්ම නතර වූ අතර එම මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන්ගෙන් පළි ගැනීම ද නොඅඩුව සිදුවුණි. අප පසුකර විත් ඇත්තේ එබඳු ඉතිහාසයක්ය. ඒ ගැන කල්පනා කරන විට අද රටේ තහවුරු වී ඇති යහපාලනය පිළිබඳ ව සැබැවින්ම සියල්ලන්ට ම සතුටු විය හැකිය.   

මාතෘකා