දූෂණයට වැට බැඳීම වචනයට සීමා නොවීම

 ඡායාරූපය:

දූෂණයට වැට බැඳීම වචනයට සීමා නොවීම

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට පත් වන විට හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට එරෙහි ව පරීක්ෂණ ගණනාවක් පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම ප්‍රකාශ කරන ලද පරිදි  ජනාධිපති ධුරය හෙබවූ චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ  දෙදෙනාගේ සහ තමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානිහු මේ වන විට  දූෂණ වංචා  පරීක්ෂණවලට මුහුණ දී සිටිති.  මෙය බියකරු තත්වයකි. අනාවරණය වී ඇත්තේ ස්වල්පයකි. සිදු වී ඇති මහා පරිමාන වංචාවල සීමා නොපෙනේ. විශේෂ පොලිස් අපරාධ කොට්ඨාසයට පසු ගිය පාලන සමයෙහි සිදු වූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්භාරයෙන්ම එහි දිග පළල පෙනේ. ඇතැම් දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි. ඇතැම් පරීක්ෂණ මන්දගාමීය. මේ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා අංශ කිහිපයක නිරෝගී ක්‍රියාකාරිත්වය අවශ්‍ය‍ වේ. එය ඒකාබද්ධ ක්‍රියාවලියකි. අධිකරණය, පොලිසිය, මාධ්‍ය යන ආයතනවල සහයෝගය වැදගත් වේ. ඒවායෙහි ඇතැම් අංශ  දූෂිතයන් වෙනුවෙන් කටයුතු කළ හොත් ගැටලුව සංකීර්ණ වේ.
එදා සහ මෙදා
පසු  ගිය පාලන සමයෙහි  එබඳු අපරාධ පිළිබඳ තොරතුරු අනාවරණය වන්නට තිබූ කවුළු වසා තිබිණ. පරීක්ෂණ අංශ ක්‍රියාත්මක වන අවස්ථාවල ඒවාට බාධා කෙරිණ. විධායකයේ අදිසි හස්තය ක්‍රියාත්මක විය. රාජ්‍ය දේපළ පවුලේ දේපළ බවට සිතා කටයුතු කරන ලදි. මේ නිසා කීර්ති නාමයක් තිබූ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ටද සිදු වූයේ පවුලේ නියෝග ක්‍රියාත්මක කිරීමට ගොස් ආත්මය විනාශ කර ගැනීමටය. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මුහුණ දුන්නේ එබඳු අභාග්‍යසම්පන්න ඉරණමකටය.
 ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂගේ නියෝග පරිදි දිවි නැගුම අරමුදලේ සංචිත අවභාවිතය සඳහා නිදහස් කිරීමට ගොස් සමෘද්ධි අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් නීතියේ රැහැනට කොටු වීම තවත් ඛේදනීය සිදු වීමකි. මේ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග තවමත් අවසන් නොමැත.
දූෂණයේ මුල්
දූෂණයට, වංචාවට හුරුවූ නිලධාරීන් කටුස්සන් පාට මාරුකරන්නාක් මෙන් පැහැය වෙනස් කරගෙන පාලකයන්ට ළංවී තනතුරු ලබා ගැනීම ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවේ. මීට පෙර පැවති තත්වය වූයේ පාලකයන් මේ පිළිබඳ අවබෝධය ඇතිව ම දූෂිත නිලධාරීන් හට අවස්ථාව ලබා දීමය. රාජ්‍ය  දේපල  කොල්ල කෑමේ දී එයට සහාය වීම සඳහා දූෂිත නිලධාරීන් සිටිය යුතුය. කෙළින් වැඩ කරන නිලධාරීන් සමග දූෂණ වංචාවල යෙදීම අසීරුය. එනිසා එබඳු නිලධාරීන් මුලුගැන්විය යුතුය. ඒ වනාහී පැවති සම්ප්‍රදායයි. යහපාලනයෙන් අපේක්ෂා කළේ එම දූෂිත සම්ප්‍රදාය වෙනස් කිරීමය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති වරයා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම ඒකාබද්ධ විපක්ෂයේ කටවල් ඇවිස්සීමට හේතුවක් වනු නිසැකය."ඔන්න යහපාලන ආණ්ඩුව හොරකම් කරනවා. අපි හොරකම් කළා නම් අපට දඬුවම් නැත්තේ ඇයි?"
මෙවැනි උදාන පාඨ ඇසීමට නියමිතය. මෙහි දෙපැත්තක් තිබේ. ඉන් පළමු වැන්න මේ සිදුවීමේදී ජනාධිපතිවරයා චූදිතයන් ආරක්ෂා කිරීමෙන් වැළකී සිටීමය. පරීක්ෂණවලට බාධා නොකිරීමය. පසුගිය පාලන සමයේ සිදු වූයේ එහි අනෙක් පැත්තය. ආරක්ෂක අංශ නිමල් ලන්සාගේ නිවස පරීක්ෂා කිරීම සැල වූ වහාම ජනාධිපතිවරයා ලන්සාගේ ආරක්ෂාවට ඔහුගේ නිවසට ගියේය. ආරක්ෂක අංශ දුර්මුඛ විය. එවැනි තත්වයක් දැන් නොමැති යැයි බැලූ බැල්මට පෙනේ.
පහුගිය වැරදි
මේ සිදුවීම්වලට ප්‍රතිචාර විවිධය. "දැන් සිද්ධවන දේවලට ක්ෂණික ප්‍රතිචාර දක්වද්දි පහුගිය කාලේ ඒවා අයාලෙ යන්නේ ඇයි?"ඒ වනාහී එක් ප්‍රතිචාරයකි. ඊටද සාධාරණ හේතු ඇත. බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ වත්මන් ආණ්ඩුවටය. කොමිෂන් සභාවක් පත් කෙරුණේ ඒ ගැන සෙවීමටය. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට පහර දීම ස‍ඳහා මෙය යගදාවක් කර ගත්තේය. එහෙත් බැඳුම්කරයේ ලොකුම ගනුදෙනු සිදු වී ඇත්තේ පසුගිය පාලන සමයේය.මුළු ක්‍රියාවලියම පරීක්ෂා කිරීමක් තවම සිදුවී නැත. ඒ වාසිය ඒකාබද්ධ විපක්ෂය උපක්‍රමශීලීව භාවිතයට ගනී.
නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් යොදවාගෙන දෙමාපිය ස්මාරක තැනවීමේ චෝදනාව පිළිබඳ පරීක්ෂණ ක්‍රියාවලිය අවසානය දක්වා පැමිණිණ.ඒ අතර ප්‍රකට හිමිවරුන් දෙපළක් ඉහළම දේශපාලකයකු හමුවී හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි ඉල්ලා සිටි බව ප්‍රකට විය. ඒ පරීක්ෂණ ගැන දැන් වැඩි හාහෝවක් නැත. ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේ දී තරුණයන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ පැවැත්වෙන අතරතුර ප්‍රධාන චූදිතයන් රාජ්‍ය සේවයේ නිලතලවලට පත්කර ඇත. මේ නිසා යහපාලන ආණ්ඩුවෙන් අපේක්ෂා කළ නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක වීම පිළිබඳ සිහිනය තව දුරය. එය සිහිනයක් නොවී යථාර්ථයක් බවට පත් විය යුතුය.
යන තැනට වැඩ කර ගැනීම
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා හා දැව සංස්ථා සභාපතිවරයා බාධාවකින් තොරව අත්අඩංගුවට ගැනීම හා සිදුවීම පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දීම යහපත් ආදර්ශයකි. මෙය පෙර නොවූ විරූ තත්වයකි. සාධාරණ සමාජයක් අපේක්ෂා කරන්නවුන්ගේ බලාපොරොත්තු අවදි කරන්නකි.
ජනාධිපති කාර්ය මණ්ඩලයේ ඇතැම් ශාඛාවල මෙහෙයවීමෙන් නිහඬව ජාතික වශයෙන් වැදගත් වැඩ කටයුතු රාශියක් දියත් වේ. මාධ්‍ය අංශය මැදිහත් වී අධ්‍යාපන සහ සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. සිසුන්ගේ සාහිත්‍ය කලා රසවින්දනය මුල් කරගනිමින් ජාතික වශයෙන් සැලසුම් කළ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයාගේත් අනුමැතිය ලැබ මාස ගණනක් මාධ්‍ය අංශ ප්‍රධානියකුගේ ලාච්චුවේ හිර වී ඇතැයි චෝදනාවක් නැගේ. තමන්ට මූල්‍ය වාසියක් නැති නම් ව්‍යාපෘති යට ගැසීම ඇතැම් නිලධාරීන්ගේ සිරිතය. වාසියක් ඇති නම් බලය පාවිච්චි කර යටගිය ව්‍යාපෘතිද පණ ගැන්විය හැකිය. කන්තලේ සීනි සමාගමේ ඉඩම සහ යකඩ බඩු ටික ඉන්දියන් සමාගමකට පැවරීම එවැන්නකි. කාර්ය මණ්ඩල ප්‍රධානියා අතගැසුවේ එයටය. කෝටි පනස් ගණනක අල්ලස ලබා ගැනීමේ වෑයම කෝටි දහයට ලඝු විය. අත්තිකාරම කෝටි දෙකකි. අල්ලස් දැළට කොටු වූයේ අත්තිකාරම ගැනීමේදීය.
ජනාධිපතිටත් කොළේ වහන නිලධාරියෝ
ඇතැම් නිලධාරීන් මේ දිනවල හැසිරෙන්නේ ජනාධිපති ධුර කාලය අවසන් වන්නට පෙර යමක් කමක් කරගැනීමටය. ගාණක් අතට නොලැබෙන යහපත් කටයුතුවලට බාධා පැමිණෙන්නේද එනිසාය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අත ගැසුවේද ගාණක් ලැබෙන වැඩකටය. එය අතේ මාට්ටු විය. තමන්ට ළංව සිටින නිලධාරීන්ගේ අරමුණු මොනවාදැයි අවබෝධයක් මෙන්ම පසු විපරමක්ද නායකයන්ට අවශ්‍ය වේ. දූෂණයට නැඹුරු වූ නායකයන්ට එය වැදගත් වන්නේ තමුන්ගේ ආරක්ෂාවටය. එහෙත් දූෂණයට වැට බඳින නායකයකුට එය වැදගත් වනුයේ රටේ යහපතටය. වත්මනෙහි රට වැසියන්ට පෙනෙනුයේ දූෂණයට වැට බැඳීම සඳහා විවෘතව කටයුතු කරන නායක දෙපළකි. මේ ක්‍රියාවලිය සාර්ථක වනුයේ නීතිය ක්‍රියාත්මක වීමට ඇති බාධා ඉවත් කිරීමෙනි. එහිදී වැරදිකරුවාගේ පන්තිය හෝ තරාතිරම අදාළ නොවේ. රාජ්‍ය නිලධාරියා, පූජකයා, හමුදා සොල්දාදුවා යන කවුරුත් නීතිය ඉදිරියේ එක සමානය. යුද සංස්කෘතියේ හෙවණැලි වැටී තිබූ පමණින් ඊනියා රණ විරු විඥානය හෝ ආගමික මිථ්‍යාව අධිකරණ ක්‍රියාදාමය වැලැක්වීමේ අඩයාළමක් කරගත යුතු නැත.

 

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා