සාක්ෂිත් තිබේ නම් යහපාලනයත් තිබේ නම් නීතියත් තිබේ නම් තවදුරටත් නඩු කල් යා යුතුද? | ඇස පාදන රැස


සාක්ෂිත් තිබේ නම් යහපාලනයත් තිබේ නම් නීතියත් තිබේ නම් තවදුරටත් නඩු කල් යා යුතුද?

 ඡායාරූපය:

සාක්ෂිත් තිබේ නම් යහපාලනයත් තිබේ නම් නීතියත් තිබේ නම් තවදුරටත් නඩු කල් යා යුතුද?

නාවික හමුදාවේ ඉහළ නිලයන් කීපයක් විසින් මෙහෙයවනු ලදුව තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ගෙන අනතුරුව අතුරුදන් කිරීමට අදාළ නඩු විභාගය අවසන් වරට ඊයේ (03) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ විභාග කෙරිණි. එහිදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ තවත් නිලධාරීන් කීප දෙනෙකු පෙනී සිටි අතර රජයේ පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බන්ඩාර පෙනී නොසිටියත්, වින්දිත පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න පෙනී සිටියාය. තවද සැකකරුවන් වෙනුවෙන්  ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු හා අසිත සිරිවර්ධන පෙනී නොසිටි අතර වෙනත් නීතිඥවරු කීප දෙනෙක් ඒ වෙනුවට පෙනී සිටියහ.

කෙසේ වුවද මීට පෙර නඩු විභාගයේදී ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඉල්ලා සිටියේ ඊයේ, එනම් මැයි 3 වැනිදා දිනය නඩු විභාගය සඳහා ලබාදෙන ලෙසයි. එහෙත් ඊයේ ඔහු අධිකරණයට දන්වා තිබුණේ තමන්ට වෙනත් අධිකරණයක පෙනී සිටීමට සිදු වූ හෙයින් පැමිණිය නොහැකි බවයි. ඒ අනුව දහවල් 1.30ට නඩුව කැඳවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දන්වා සිටියේ කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක කර ඇති පැහැරගැනීම් පිළිබඳවත්, කප්පම් ලබාගැනීම් පිළිබඳවත් වෙන වෙනම පරීක්ෂණ සිදු වන බවත්, දැනට සිදු කළ විමර්ශන තොරතුරු නීතිපති දෙපාර්තුමේන්තුව වෙත යොමු කර ඇති බවත්ය. ඒ අනුව එම තොරතුරු සලකා බලා 8 වන සහ 9 වන සැකකරුවන් ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අතර දැනට ඇප මත සිටින අනෙකුත් සැකකරුවන් ජූලි 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නඩුව එදින දක්වා කල් තබනු ලැබිණි.   

අචලාට මරණ තර්ජන 

වර්ෂ 2008 මාර්තු මස සිට 2009 මැයි දක්වා කාල පරාසය තුළ සිදු වූ පැහැරගැනීම් හා කප්පම් ලබාගැනීම් පිළිබඳ මෙම නඩුවේ වින්දිත පාර්ශ්වය වෙනුවෙන් වසර 10කට ආසන්න කාලයක් පුරා පෙනී සිටින්නේ නීතිඥ අචලා සෙනෙවිරත්නය. ඇයට ඒ ගෙවුණු වසර 10 පුරා නඩුව වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් එවක රාජපක්ෂ රජයේ හා යහපාලන රජය යටතේදීත්, ආරක්ෂක අංශ මෙන්ම නීතිඥවරු අතරින්ද විවිධ තර්ජන ගර්ජන එල්ල වී තිබිණි. නඩුවෙන් ඉවත්වන ලෙසද ඇයට කීප වරක් මරණ තර්ජන එල්ල වී තිබූ අතර එක් මරණ තර්ජනයකට අදාළ නඩුවක් ඉකුත් 2 වැනිදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විය. එහිදී ඇයට මරණ තර්ජන එල්ල කර තිබුණේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගේ බිරිඳ විසිනි. අදාළ කාන්තාව 2 වැනිදා අධිකරණය මඟහැර තිබූ අතර මීට පෙර සිටම සමථ මණ්ඩලය හා අධිකරණය මඟහරිමින්ද කටයුතු කර තිබේ. 

කෙසේ හෝ මහරගම පොලිස් ස්ථානයක් තුළදී අචලා සෙනෙවිරත්න නීතිඥවරියට මරණ තර්ජන කළ අදාළ චූදිත කාන්තාවට, අධිකරණය මඟහැරීම හේතුවෙන් කැස්බෑව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු රුචිර වැලිවත්ත එදින වරෙන්තු නිකුත් කළේය.

දසනායකලාට තනතුරු 

මේ අතර මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වන නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායකට හා නාවික හමුදාවේ ආහාර සැපයුම් සහ නිල ඇඳුම් සම්බන්ධ සුබසාධන අධ්‍යක්ෂ ධුරය සහ කොමදෝරු ධුරය දැරූ සුමිත් රණසිංහට සුබසාධන නිලධාරී ධුරය ඉකුත් මාර්තු 16 වැනිදා සිට යළි ලබා දී තිබේ. මෙම හෙළිකිරීම ‘රැස’ මුල් පුවත ලෙස ඉකුත් 26 වැනිදා වාර්තා කළද තවමත් ඔවුන් කිසි නීතිමය දඬුවමක් නොමැතිව සේවයේ නිරත වීම මවිතය දනවන්නකි. ඒ පිළිබඳව එදින ආරක්ෂක ලේකම්, නීතිඥ කපිල වෛද්‍යරත්න මහතාගෙන් අප විමසූ විට කියා සිටියේ නඩු විභාගයක් පවතිද්දී එලෙස නව තනතුරක් හෝ තිබූ තනතුරම ලබාදීම ගැන නීති උපදෙස් ලබාගැනීමෙන් පසු වහා පියවර ගන්නා බවයි. එහිදී ඔහු ඒ පිළිබඳව මීට පෙර නාවික හමුදාපතිවරයා සමගද සාකච්ජා කළ බවත්, මෙම පත්වීම් පිළිබඳ ගැටලුව අංශ දෙකකට බෙදෙන බවත් ප්‍රකාශ කළේය. තවදුරටත් ඔහු කියාසිටියේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු අපරාධ නඩුවක සාක්ෂිකරුවෙකු වීම මත සේවයේ යෙදීම එක් ක්‍රියාවලියක් බවත්, අපරාධ නඩුවක සැකකරුවකු ලෙස ඇප ලබා පැමිණීම අනුව සේවයේ පිහිටුවීම තවත් ක්‍රියාවලියක් බවත්ය. පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙවැන්නක් සිදු වී නම් එම නිලධාරීන්ගේ සේවය නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවීම සිදු වන නමුත් නාවික හමුදා අභ්‍යන්තරය තුළ මෙවැන්නකට ඇති නෛතික ඉඩකඩ වෙනස් විය හැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කළ අතර ඒ අනුව කඩිනමින් මේ පිළිබඳව සොයා බලා නීති උපදෙස් අනුව කටයුතු කරන බවද සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා ඇති කරුණු අනුව දෙහිවල ප්‍රදේශයෙන් පැහැරගෙන ගොස් තිබූ රජිව් නාගනාදන් නැමති තරුණයාගේ මෝටර් රථය එවකදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ගෙන ගොස් තිබේ. ඉන් අනතුරුව එහි වර්ණය වෙනස් කර දසනායකගේ බිරිඳ වෙත ලබා දී ඇත. එම රථය ගිරිඋල්ලේදී බාරගත් නාවික නිලධාරියා මේ වන විට 8 වැනි සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි දසනායක අද නිරුපද්‍රිතව නව රැකියා තනතුරක්ද ලබාගෙන නාවික සේවයේ සිටී! අනාවරණය වන පරිදි මේ වන විට ඔහු ආරක්ෂා කරමින් සිටින රජයේ හා ආරක්ෂක අංශ උසස් නිලධාරීහු එම පත්කිරීම්වලට අදාළ තොරතුරු සඟවා එවැනි පත්කිරීමක් නොකළ බව පෙන්වීමට උත්සාහ කරමින් සිටිති. 

වැලිසර පාටි 

අපරාධ චෝදනා ලත් නාවික නිලධාරීන්ට මෙසේ ඉහළ තනතුරු ලබාදීම මගින් සාක්ෂිකරුවන් අධෛර්යට පත් කිරීමත්, වක්‍රාකාරව තර්ජනය කිරීමත් සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන් පෙන්වා දුන්නද වසර දහයක් පුරාම ඔවුහු රාජ්‍ය සේවයට යටත්ව සුව පහසුව සේවය කරමින් මහජන වැටුප් ලබමින් සිටිති. මෙම නඩුවේ ප්‍රධානතම සැකකරුවකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ තුන්වන චූදිතව නිදහස් වූ ලුතිනන් කොමදෝරු ප්‍රසාද් හෙට්ටිආරච්චි රටින් පැන ඇත. එවන් වටපිටාවක මෙම බරපතළ අපරාධයේ ප්‍රධාන සැකකරුවන්ට ඇප ලැබීම පමණක් නොව රජයේ ආරක්ෂක අංශවල නැවත තනතුරුද ලබා දී තිබේ. එපමණක් නොව සැකකාර කොමදෝරු දසනායක පසුගිය මාර්තු 23 වැනිදා මෙම අපරාධ නඩුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසිත සිරිවර්ධන, අජිත් ප්‍රසන්න සහ මධ්‍යවේදීන් කිහිප දෙනෙකුට විශේෂ සාදයක්ද පවත්වා තිබේ.

කරන්නාගොඩ සම්බන්ධය 

පසුගිය පෙබරවාරි 8 වැනිදා අධිකරණය හමුවට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, විනිසුරුවරිය හමුවේ දන්වා සිටියේ එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද මෙම පැහැරගැනීම් හා කප්පම්ගැනීම් ඇතුළු ඝාතන ගැන දැන සිට ඇති බවයි. කරන්නාගොඩ 2008 වසරේ මැයි මාසයේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි, දැනට අපරාධ නඩු ගණනාවක සැකකරුවකුව සිටින කුප්‍රකට අනුර සේනානයකට ලිපියක් එවමින් නඩුවේ පළමුවන සැකකරු වන ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ (කරන්නාගොඩගේ පුද්ගලික සහකාර නිලධාරිවරයා) මෙම පැහැරගැනීම් හා ඝාතන සියල්ල කළ බවට දන්වා ඇති බවද, ඒ අනුව 2008 මාර්තු මස සිට 2009 මැයි දක්වා නාවික හමුදාවේ ආවේශන කණ්ඩායමක් විසින් කර ඇති බව කියන මෙම පැහැරගැනීම් පිළිබඳව එවක නාවික හමුදාපතිවරයා දැන සිට ඇති බවද අධිකරණයට දන්වා තිබේ. එමෙන්ම අධිකරණයට දන්වා ඇති කරුණු අනුව දෙහිවල ප්‍රදේශයෙන් පැහැරගෙන තිබූ රජිව් නාගනාදන්ගේ මෝටර් රථය එවක නාවික හමුදාපතිව සිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ නිල රථ ගාලේ රඳවා තබා පසුව එය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ගෙන ගොස් ඇති බවද දන්වා තිබේ. නීතිඥ අචලා සෙනෙවිරත්න මෙම කරුණු පිළිබඳව නිශ්චිතව දන්වන ලෙස ඉල්ලා දැන් වසරකට ආසන්න වෙමින් තිබේ. 

අවසානයක් තිබේද? 

මෙම නඩුවේ සැකකරුවන් ලෙස හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක, කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදයකුමාර සහ නාවික සෙබළුන් වන නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි ‍යන සැකකරුවෝ මේ වන විට ඉකුත් ජනවාරි මස 9 වැනිදා මහාධිකරණය මගින් ඇප ලබා නිදහස්ව සිටිති. පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමෙන් පසුව ඝාතනය කළ තරුණයන් වන්නේ රජිව් නාගනාදන්, කස්තුරිආරච්චිගේ ජෝන් රීට්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේශ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජීන්, ජමල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනී කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අයයි. 

ඉහත තරුණයන් සුදු වෑන් මඟින් පැහැරගෙන ගොස් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය පිහිටි චෛත්‍ය පාරේ ‘පිට්ටු බම්බුව’ නමින් හඳුන්වන ස්ථානයේ 2008 වසරේ අගෝස්තු මාසයේ සිට 2009 වසරේ මාර්තු මාසය දක්වා සම්පත් මුණසිංහ සහ ඩී.කේ.පී දසනායක යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නීති විරෝධීව රඳවා තබාගෙන තිබේ. 2009 වසරේ මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ එම තරුණයන් 11 දෙනා කොළඹින් රැගෙනවිත් ඩී.කේ.පී. දසනායක සහ මාණ්ඩලික නැගෙනහිර බුද්ධි ලෙස කටයුතු කළ ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ යන නිලධාරීන්ගේ අධීක්ෂණය සහ පාලනය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ බුද්ධි අංශයේ සමීප අධීක්ෂණය තුළ ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ‘ගන්සයිඩ්’ නමැති භූගත කඳවුරේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිට තිබේ. පසුව ඔවුන් ඝාතනය කර සිරුරු කොටස්වලට කපා මුහුදට ගෙන ගොස් දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තහවුරු කරගෙන අධිකරණයට දන්වා බොහෝ කල්ය. එක් පැත්තකින් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින අචලා සෙනෙවිරත්නලාට හා පරීක්ෂණ මෙහෙයවන නිශාන්ත සිල්වාලාට මරණ තර්ජන දිනෙන් දින එල්ල වෙමින් තිබේ. අනෙක් අන්තයෙන් චූදිතයන්ට රජයේම රැකියා හා උසස්වීම් ලැබෙමින් තිබේ. නඩු දිනයන්ද දිනෙන් දින කල් යමින් තිබේ. පැහැරගෙනගිය තරුණයින්ගෙන් මව්වරුන් දෙදෙනෙක්ද එම වේදනාවටම මේ වන විටත් මියගොස් තිබේ. මෙතරම් සාක්ෂි තිබේ නම්, යහපාලනය තුළ ඉහළින් බලපෑම් නොමැති නම් හා නීතියේ ආධිපත්‍යය ස්ථාවර නම් තවත් වසර දහයක් නඩු ඇසිය යුතුද? එසේ වුවහොත් තවදුරටත් මේ රටේ මහජනයා නීතිය පිළිගනු ඇතිද?

මාතෘකා