ඩඩ්ලිට ඩී.එස්. අගමැතිකම දෙන්නම හිටියද?

 ඡායාරූපය:

ඩඩ්ලිට ඩී.එස්. අගමැතිකම දෙන්නම හිටියද?


ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්‌. සේනානායක මහතා 1952 මාර්තු 21 වැනිදා ගෝල්පේස්‌ පිටියේදී අසු පිටින් වැටී 22 දා  අභාවප්‍රාප්ත විය. ඉන් අනතුරුව මෙරට දේශපාලන ක්ෂේත්‍රය කිසියම් 'කුණාටු' ස්වභාවයකට පත්විය.
ඩී.එස්. ගෙන් පසු අගමැති ධුරයට පත්වෙන්නේ, ඩඩ්ලි සේනානායක මහතාය.
කෙසේ වෙතත් සමහරු පවසන්නේ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන්නේ අගමැතිකම නොලැබෙන බව දැනගත් නිසා කියාය. එහෙත්, බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා මිය යන්නටත් පෙරය. එනම්,1951 ජුලි 12 දාය. ඔහු එදින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්‌ කර එජාප රජයෙන් ඉල්ලා අස්‌වූයේය. 1951 සැප්තැම්බර් 02 දා ශ්‍රී ලනිපය පිහිටුවා ගත්තේය. ඒ වන විටත් ඩී.එස්. සේනානායක අගමැතිය. අනෙක් අතට, හදිසියේ අනපේක්ෂිත අනතුරක් ඔහුට වෙන බව කල්තියා දැනගෙන සිටි අයෙක්ද නැත.
එහෙව් තත්ත්වයක් තුළ බණ්ඩාරනායක මහතාගේ ඉවත්වීම ඩඩ්ලි නිසා සිදු වූවක්ය යන්න එක එල්ලේම පිළිගත නොහැකි කතාවක්ය. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන දවසේත් බණ්ඩාරනායක මහතා පැමිණෙන්නේ අවසන් මොහොතේය. ෆාම්කෝට් මන්දිරයේදී එජාපය බිහි කරන රැස්වීමට බණ්ඩාරනායක මහතාව ගෙන්වා ගන්නේ ඩී.එස්. සේනානායක මහතාගේ 'පෙරැත්ත කරන ලද' දුරකතන ඇමතුමෙනි.
මේ සියල්ලටම වඩා බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වෙමින් 51 ජූලි 12දා කළ කතාව අපූරු එකකි. එහි කිසි තැනෙක ඔහු අගමැතිවරයාට චෝදනා කරන්නේ නැත. පක්ෂ මාරුවක් කළ මුල්ම දේශපාලනඥයා ලෙසත්, එහෙම මාරු කොට මුල්ම කතාව කළ දේශපාලනඥයා ලෙසත් ඉතිහාසගත වන්නේ බණ්ඩාරනායක මහතාය. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙමින් බණ්ඩාරනායක මහතා කළ කතාවේදී මෙහෙම කීවේය.
'වසර ගණනාවක් තිස්සේ එකට කටයුතු කළ කණ්ඩායමකින් වෙන්ව යාම මම කරන්නේ මහත් වේදනාවකිනි. ඒ බොහෝ දෙනෙකු මා සලකන්නේ මගේ පුද්ගලික මිතුරන් ලෙසිනුයි. අවුරුදු 25ක් තිස්සේ මම ඉතාම සමීපව ඇසුරු කළ මහාමාන්‍ය ගරු අගමැතිතුමාගෙන් මා විශාල පුද්ගලික උදවු සහ අතිමහත් කරුණාවක් ලැබුවා. එතුමා කෙරෙහි මා තුළ විශාල  ගෞරවයක් තිබෙන බව ප්‍රකාශ කිරීමට මා කිසිවිටෙක මැලි වන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුවේ සිටින මගේ හිතවත් මිත්‍රයින් රාශියක් කෙරෙහිත් එසේමයි.'
මේ කතාවෙන් ගම්‍ය වන්නේ කුමක්ද? බණ්ඩාරනායක මහතාගේ නික්ම යාමට ඩඩ්ලි සේනානායක මහතා කිසිසේත් සම්බන්ද නැති බවයි. තවත් අතකින් ගත් විට ඩඩ්ලි සේනානායක ඒ ආණ්ඩුවේ 'තීරණාත්මක' චරිතයකුත් නොවීය.
සේනානායක මහතාගේ අභාවයෙන් පසු 'අගමැති' චරිත 3ක් මතු විය. ඒ ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල සහ ජේ ආර් ජයවර්ධනය.
පසුකාලීනවා ආ සමහර කටකතා සහ ඕපාදූප වලින් කියවුණේ ඩී.එස්. සේනානායක මහතා විසින් ස්වකීය අනුප්‍රාප්තිකයා ලෙස ඩඩ්ලි සේනානායකව නම්කොට තිබූ බවයි.
එය සත්‍යයෙන් තොර 'හිස් ප්‍රලාපයකි'. එහෙම නම්කොට තිබුණා නම් යට කී තිදෙනාම 'අගමැති' බවට පුවත් නිර්මාණය වන්නේ කෙසේද?
ඔය 'කටකතා' අතරේ 52 මාර්තු 26 සිලෝන් ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෙසේය.
'රජය පිහිටුවීම ඩඩ්ලි භාර ගනී' ආණ්ඩුවේ සහය ඔහුටයි.
මුල සිටම ජේ. ආර්. ජයවර්ධන මහතා 'අගමැතිකමට' බලාපොරොත්තු තබා ගත් බවක් පේන්නට නැත. එහෙත් ඒ සටනේ ජෝන් කොතලාවල සිටියේය. ඔබ්සවර් පුවත්පත එදිනම වාර්ථා කරන්නේ 'ඇතැම් කණ්ඩායම්වල සහය ජෝන්ට නෑ' යනුවෙනි.
සෝල්බරි සාමිවරයා 'නව අගමැති' ධුරයට ඩඩ්ලිට ආරාධනා කරන්නේ ඒ අනුවය. එහිදීවත් ඩී.එස්. සේනානායක ඩඩ්ලි ඊළඟ අගමැති ලෙස නම් කළ බවක් පේන්නට නැත. ඊටත් වඩා විශේෂ කාරණය වන්නේ ඒ වනවිටත් ආණ්ඩුවේ 19ක් 'ජෝන් එපා' කියා ජෝන්ටම ලියුමක් ලියා යැවීමය.
'අද උදේ අපි ඔබතුමා සමඟ සාකච්ඡා කළෙමු. විශේෂ කරුණු කිහිපයක් ගැනත් ඔබගේ අවධානය යොමු කරවූයෙමු. ඔබද අපවෙත කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය. අපි ඒ ගැන විමසිලිමත් වීමු. ඒ අනුව අපට හැඟී ගියේ ඒවා ප්‍රායෝගික නොවන, ව්‍යවස්ථා විරෝධී දෑ බවය. ඒ කිසිවක් ඔබගේත්, අපගේත් ඉදිරියේ පැන නැගී අඇති මහා කාර්යයට පිටිවහලක් නොවේ. එසේම අපගේ අභාවප්‍රාප්ත ගරු නායකයාගේ සිතේ තිබූ අදහස් වලටද එකඟ නොවේ. ඒ නිසා සෝල්බරි සාමි, ආණ්ඩුවක් පිටිටුවීමට ඔබට ආරාධනා කළහොත් අපට ඔබතුමාට පක්ෂ වීමට නොහැකිය.
ඩඩ්ලිට අගමැති වෙන්නට ඩී.එස්. හේතුවක් නොවූ බවට අනෙක් සාක්ෂිය ද්‍රවිඩ කොංග්‍රස් මතයයි. ඔවුන්ද ජෝන්ට අකමැති විය. 'ඩඩ්ලිගේ ආණ්ඩුවකට අපි එකඟයි'
ද්‍රවිඩ කොන්ග්‍රසය කීවේ එහෙමය. මීට අමතරව ස්වාධීන හා නිදහස් මන්ත්‍රීවරු බොහෝමයක්ම ඩඩ්ලිට එකඟ වූහ. 52 මාර්තු 21 දින සිට දින හතරක්‌ වැඩබලන අගමැතිවරයකු ද නොමැතිව පැවැතියේ අරාජික කාලයකි.
'ඩඩ්ලි අගමැතිකමට කෙල හැලුවා' කියන විවේචකයින් නොදන්නා තවත් කරුණක් තිබේ. ඒ එවක සියලුම මාධ්‍ය ඩඩ්ලිට අගමැතිකම ලැබෙනු ඇති බවට 'තාර්කික' මත ඉදිරිපත් කළ බව. ඒ කිසිම තැනක 'ජෝන් අගමැති' වියයුතු බවක් සඳහන් නොවිණි.
ඊටත් වඩා විශේෂම කාරණය වන්නේ 'ඩඩ්ලි අගමැති වී ගනු ලැබූ අතිශය 'ආන්දෝලනාත්මක' තීන්දුවය. ඔහු 52 මාර්තු 26 වෙනි දින අගමැති ලෙස පත් වී රාජකාරි කරන්නේ දින 13කි.
'මට උවමනා ජනතා මතය උරගා බලන්නයි. ඒ නිසා මම ජනතාව වෙත යමි' කියමින් ඩඩ්ලි ආණ්ඩුව විසුරුවා හැරියේය. අගමැතිකමට ඔහු ලොල්ව සිටියා නම් එවැන්නක් කරයිද. ජෝන්ලා කකුලෙන් අදිද්දීත්, බණ්ඩාරනායක මහතා නව පක්ෂයෙන් අභියෝග කරද්දීත් ඩඩ්ලි ජනතාව ඉදිරියට ගියේය.
මැතිවරණයෙන් ඔහු ජයගත්තේ වාර්තාවක් තියමිනි. ඒ මෙරට තුනෙන් දෙකේ බලයක් ගත් පළමු 'ආණ්ඩුව' බිහි කළේත් ඩඩ්ලිය. 
කෙසේ වෙතත් 'අගමැතිකමට' ඩඩ්ලි හීනදැක්ක බවට වූ ප්‍රලාපයට පියාපත් ලැබුණේ තාමත් කතෲ අඥාත (මෙය ජෝන් කොතලාවලගේ පූර්ණ අනුදැනුමෙන් ලියූ බවට සැක කෙරේ) 'අගමැති පොරය' කෘතිය හරහා ය. එයින් අතිශයින් සාහසික ලෙස ඩඩ්ලිව ප්‍රහාරයට ලක් කොට තිබිණි.
'අගමැතිකම' බලාපොරොත්තුව සිටියත් තමන්ට එය අහිමි කළ බවට චෝදනා කරමින් ජෝන් වියරුවෙන් කෑ ගැසූ බව පැවසේ.
'මම ඩී.ඇස්. සේනානායක මහතාගේ ඥාති පුත්‍රයෙක්. එහෙම සිටියදීත් මට කළ මේ විනාශයට සෝල්බරි සාමිගෙන් පළිගන්නව. ඒ විතරක් නෙවේ, මම ඩඩ්ලිගේ ආණ්ඩුවේ කිසිම තනතුරක් ගන්නේ නෑ'
ජෝන් කෑගසා තිබුණේ එහෙම ය.
එහෙත් ඩඩ්ලි ජෝන්ට අමාත්‍ය ධුරයක් දුන්නේය. එහි දිවුරුම් දී උණුසුම යන්නත් පෙර ජෝන් කැනඩාවට ගියේය.'අගමැති පොරය'පොත එලියට එන්නේ ජෝන් කැනඩා ගිය දවසේමය. රටම කැලඹුෙණ් ඉන් පසුවය.
'මේක ජෝන්ගේ වැඩක්' හැමෝම කීය.
කැනඩාවට යන අතරේ ජෝන් අමෙරිකාවට ගොඩ බැස්සේය.ජෝන් අමෙරිකාවේ බව දැනගත් ආණ්ඩුව ජෝන්ට පණිවිඩයක් යැවීය.
'ගෞරවාන්විත අවසානයක් ඇතිව මෙම මතභේදය නිරාකරණය කර ගැනීම සඳහා නොපමාව ඉල්ලා ඇස්වීමේ ලිපියක් එවන්න'.
කේබල් පණිවිඩය දුටු ජෝන් වියරුවෙන් කෑ ගැසුවේය.
 'මොන අස්වීමක්ද යකෝ ඒක ගහගනින් තොගෙ පු...'කියා ජෝන් තමාට පණිවිඩය යොමු කළ ඇමරිකා එක්සත් ජනපදයේ එවකට ලංකා තානාපති සර් ක්ලෝඩ් කොරෙයා වෙත කඩා පැන්නේය.
මේ එක්කම, ජෝන් තරමක් කලබල විය. ඒ සිය අමාත්‍යධූරය අහිමි වෙතැයි කියාය. ජෝන් වහාම ලංකාවට ආවේය. අගමැති ඩඩ්ලිව මුණගැසුනේය. අනතුරුව ප්‍රකාශයක් කළේය.
'අගමැති පොරය' නම් පොත හේතුවෙන් ඇති වූ තත්ත්වය ගැන අගමැති සමඟ සාකච්ඡා කළෙමු. මීට මගේ කිසිම සම්බන්දයක් නැත. මගේ පැහැදිලි කිරීම් අගමැතිතුමා පිළිගත්තේය.'
කෙසේ වෙතත්, ඊට ටික කලකට පසු ජෝන් තමාගේ ජීවිත කතාව ලීවේය. එය 'ආසියානු අගමැති වරයෙකුගේ කතාව' නම් විය. එහි තිබෙන කාරනා තරමක් ආන්දෝලනාත්මකය.
 ඒ පොතේ 'නැති වූ නායකයා' පරිච්ඡේදයේ මෙහෙම සටහනක් එයි.
'ලොක්කා මං නොව ඔහුගේ පුතා වන ඩඩ්ලි සේනානායක තමාගේ උරුමක්කාරයා බවට නම් කළ බව ඇසූ විට මට ඇති වූ පුදුම සහගත හැඟීම් ගැන සිතන්න.මට කිවහැකි එකම දේ මෙය බොරුවක් යන්න පමණි. මා මෙතරම් විශ්වාස කළ නායකයා මෙලෙස මා පහතට හෙළනු ඇතැයි සිතීම පවා පිළිගත නොහැකි විය'.
මෙහෙම කියන ජෝන් පසුව මෙහෙමත් කියයි.
'අද මම ඒ සිදුවීම් දෙස අපක්ෂපාතව බලන විට ඩී.එස්. සේනානායක එවැනි නිර්දේශයක් කිසි විටෙක නොකළ බව හඟින්නට මම පෙළඹෙමි.'
ඒ අනුව ඔහු විසින්ම 'ඩඩ්ලි'ගැන ගොඩනඟා ගත් 'ව්‍යාජය' ඔහු විසින්ම බැහැර කරයි.
අවසන් වශයෙන් ගත් කළ දේශපාලනය කවදත් 'කුමන්ත්‍රණ, යටිකූට්ටු වැඩ, කැපිලි කෙටිලි, අතරේ දිවෙන 'අමුතු පහේ සෙල්ලමකි. එය හැමදාම ගතිකව සිදුවන්නකි. බොහෝ විට අපි කළු යැයි සිතනා චරිත සුදුය. සුදු යැයි සිතන චරිත කළුය. එය කාලානුරූපීවද වෙනස් විය හැක.
තුනෙන් දෙකක බලයක් ගත්තද ඩඩ්ලිට ආණ්ඩුව නිසි වයස් සපිරෙනතුරු කරගෙන යන්නට ඉඩ ලැබුණේ නැත.1953 අගෝස්තු මහා හර්තාලය නිසා අගමැති ඩඩ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වීය. දෙවැනි අගමැති වෙන්නට බැරි වූ ජෝන් තෙවැනි අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ඊට අවුරුදු දෙකහමාරකට පසු 1956 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවූයේ ජෝන්ය. තුනෙන් දෙකේ ආණ්ඩුව ගෙදර ගියේ සෝදාපාලු වෙලාය. එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබුවේය. ඒ මුළු ලංකාවෙන්ම ආසන 8ක් පමණක් ලබා ගන්නා තැනට පත් වෙමිනි.

මාතෘකා