එයාලගේ කැබිනට්

 ඡායාරූපය:

එයාලගේ කැබිනට්

නව කැබිනට් සංශෝධනය ගේන්න ආණ්ඩුව සූදානම් වෙත්දීම මහින්ද පිල 'වළං' බිඳින්නට පටන් ගත්හ. 'විද්‍යාත්මක කැබිනෙට්ටුවක්' කියමින් මහින්දවාදී වෙබ් අඩවියක් පාන්දරම 'මඩ ඇනිල්ල' ආරම්භ කළහ. හැන්දෑවේ පන්සල් ගිය මහින්ද සංශෝධනයෙන් අල්ලාගත් කොන ගැන වොයිස් කට් එක දුන්නේය. ඔහු අල්ලා ගත්තේ සරත් ෆොන්සේකාගේ අමාත්‍යාංශයය.
'විද්‍යාත්මක ක්‍රමේට එක අමත්‍යාංශයක් දීලා තියෙනවා. ඒ තමා වනජීවී අමාත්‍යාංශය. දැන් නම කීවත් කැලෑවල ඉන්න හාවෝ මුවෝ දුවයි'
මේ ප්‍රහාරය එල්ල කළේ සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කරගෙනය.
එක අතකින් ෆොන්සේකාට මහින්දලා හිතන විදිහේ අලකලංචියක් වෙලා නැත. මුලින්ම ෆොන්සේකාට හිමිවූ අමාත්‍යාංශය 'වන ජීවී' ලෙස පමණක් කොටුකරගෙන රාමුවක් ගහන්නේ දේශපාලන 'තක්කඩියන්'ය. වනජීවී අමාත්‍යාංශයට අමතරව ඔහුට 'තිරසර සංවර්ධන' අමාත්‍යාංශයත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයත් හිමිව තිබේ.
තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම, අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.
මේක නොදන්නා සමහරු නන්දෙඩවීමේ යෙදෙයි.
හරියට කළොත් ෆොන්සේකාට 'තුන්වෙනි මෙහෙයුම' තරම් විශාල වැඩ කොටසක් මේ අමාත්‍යාංශය හරහා කළ හැකිය. මහින්දලා 'කෝචොක්' කරන්නේ එහෙම අමාත්‍යාංශයකටය.
2017 මැයි මාසයේ ඇමති මණ්ඩල සංශෝධනයේ දී ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පැවරුවා. එමඟින් ලොව ලොතරැයි විකුණන එකම විදේශ ඇමති බවට ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා පත්වුණා.
2018 මාර්තු මාසයේ ඇමති මණ්ඩල සංශෝධනයේ දී තමයි, තරුණ කටයුතු රාජ්‍ය ඇමති ලෙස හැට පැන්න තරුණයෙකු පත් කළේ.'
මෙහෙම කියන්නේ ගම්මන්පිලය. ඒකාන්තවම ගම්මන්පිලට වසර 3කට පෙර කිසිවක් මතක නැතිවා විය යුතුය. මහින්දගේ ආණ්ඩුවේ යෞවන කටයුතු ඇමැතිකම ලැබුණේ ඩලස් අලහප්පෙරුමටය. ගම්මන්පිල හිතනවා ඇත්තේ ඩලස් 'තරුණයෙක්' කියා විය යුතුය.
මේ ආණ්ඩුවේ කැබිනට් එකේ 'විද්‍යාත්මක' බව හොයන මහින්දලා, විමල්ලා ඒ අයගේ ආණ්ඩුවේ 'විද්‍යාත්මක' බව හොයන්න අමතක කරලාය. එහෙම හෙවුවොත් ඒ අයට යන්න වෙන්නේ 'හොම්බෙන්'ය. මදය ගලවා පොත්ත විතරක් බෙදා දුන් අමාත්‍යාංශ සහිත 'නාමික ඇමැතිවරු' රොත්තක්ම ඒ ආණ්ඩුවේ සිටියහ. ආර්ථිකය මෙහෙයවීමේ බලය සහමුලින්ම 'පවුලක්' වටා ගොඩගසාගෙන ඒ ආණ්ඩුව තිතට 'මහින්ද චින්තනය' ක්‍රියාත්මක කළහ. එවක ඇමැති තනතුරු බෙදිල්ල එහෙම පිටින්ම විගඩමක්ය.
ආපදා කළමනාකරණ තිබ්බේ අමරවීරටය. ආපදා සහන සේවා තිබ්බේ බදියුදීන්ටය. පරිපූරක වතු බෝග සංවර්ධන කියා ඇමැතිකමක් ධර්මදාස බණ්ඩාට දෙද්දී, කුඩා අපනයන වගා ප්‍රවර්ධන අමාත්‍යවරයා වූයේ රෙජිනෝල්ඩ්ය. අධ්‍යාපන සේවා ඇමතිකමක් දුමින්දට දුන්නේ මහින්දලාය.
රටක තීරණාත්මකම අමාත්‍යාංශය තුනට බෙදා විගඩමක් කළේ මහින්ද ආණ්ඩුවය. එහි තිබූ අධ්‍යාපන සේවා අමාත්‍යාංශයට හිමිව තිබ්බේ පුස්තකාල ප්‍රලේඛනය විතරක්ය. සුලු අපනයන භෝග අමාත්‍යාංශයට තිබ්බේ කජු සංස්ථාව විතරක්ය. ඔය අතරේ 'සීනි' ඇමැතිවරයෙකුත් පත් කළේ මහින්ද ආණ්ඩුවය. ඒ ඉක්කම පොල් සංවර්ධන කියා පොල් ගස් වලටත් ඇමතිවරයෙක් දැම්මේය.
ඒ සියල්ලම අතරේ මහින්ද තවත් විගඩමක් හඳුන්වා දුන්නේය. ඒ 'පෙන්ෂන්' ඇමැතිවරුය. ජ්‍යේෂ්ඨ ඇමැතිවරු කියා කොටසක් හදා ආණ්ඩුවේ සිටි ජ්‍යේෂ්ඨයෝ 'අනාත මඩමකට' ගාල් කළේ මහින්ද ආණ්ඩුවය. අද කෑ ගහන වාසුලා, ඒ ආණ්ඩුවේ 'පෙන්ෂන් ඇමැතිවරුය.
මහින්දලා එක දිගට දශකයක් ආණ්ඩු කළේය. ඒ අයට ඇමැතිකම් නැතිව ඉන්නට අමාරුය. ඒ නිසා නමට හෝ ඇමැති පට්ටමක් ඕනෑය. අනපේක්ෂිත මොහොතක 'බෝම්බයක්' පිපිරී ගිය කලක මෙන් මහින්දගේ ආණ්ඩුව පෙරළිණ. මේ ආණ්ඩුව ආව දා සිටම මහින්ද පිල දත කෑවේ ආණ්ඩුව පෙරලන්නේ කවදාද කියලාය. එය ඒ ආණ්ඩුවේ නමට ඇමැතිකම් අරගෙන සිටි සියලු දෙනාටත් කම්පාවක් විය. තාමත් ඒ ආණ්ඩුව පෙරළුණ බවක් විශ්වාස කරන්නට තරම් සිහි එළවා ගන්නට සමහරුන්ට අමාරුය. නමට හෝ ඇමතිකම් නැතිව බෑ කියා සිතූ මහින්දලා ආණ්ඩුව පෙරළිලා තියෙද්දී ඡායා කැබිනට් එකක් හදා ගත්හ. වැඩේ කළේ ඩලස්ය. එහෙම පත් කළ ඡායා කැබිනෙට්ටුවේ රංචුවකටම චෝදනා තිබිණි.
ජනක බණ්ඩාර තෙන්නකෝන් - පුද්ගල ඝාතන 2ක් සම්බන්ධ චෝදනා මත ඇප මත මුදා හැර සිටී. 
විමල් වීරවංශ - ගමන් බලපත් දෙකක් භාවිතය, 
ඥාති සංග්‍රහය 
කෙහෙළිය රඹුක්වැල්ල - රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් යකඩ බට මිලදී ගැනීමේ සිද්ධිය , ප්‍රතිකාර සදහා රජයේ මුදල් භාවිතය 
කුමාර වෙල්ගම - ලංකා ගමනාගමන මණ්ඩලය තුළ උප සභාපති තනතුරක් ස්ථාපිත කිරීම තුළින් රජයට රුපියල් මිලියන 3යි දශම 2ක පාඩුවක් සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරා ඇප මත මුදා හැර සිටී. 
ජොන්ස්ටන් ප්‍රනාන්දු - වත්කම් හෙළි නොකිරීම , සතොස ගනුදෙනු 
රෝහිත අබේගුණවර්ධන - වත්කම් හෙළි නොකිරීම, මුදල් විශුද්ධිකරණ පනතට අදාළව චෝදනා 
නාමල් රාජපක්ෂ - මුදල් විශද්ධිකරණ පනතට අදාළව හා ගුවන් යානා අවභාවිතයට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මකය. 
ප්‍රසන්න රණතුංග - ව්‍යාපාරිකයකුගේ බලෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධිය - ඇප මත නිදහස් 
තේනුක විදානගමගේ - එජාප පාක්ෂිකයින් පිරිසකට පහරදීමේ චෝදනා. 
උදය ගම්මන්පිල - විදේශිකයකු සතු කොටස් ව්‍යාජ ඇටර්නි බලපතකින් වංචා කිරීමට අදාළ චෝදනා
සනත් නිශාන්ත - අපරාධ චෝදනා 
ගීතා කුමාරසිංහ - ද්විත්ව පුරවැසිභාවය සහිතව මැතිවරණයට ඉදිරිපත්වීම
මහින්දානන්ද අලුත්ගමගේ - වත්කම් සම්බන්ධ නඩු
මේ ආණ්ඩුවට එරෙහිව ඡායා කැබිනට් හදන්න මුල් වෙච්ච ඩලස් යෞවන කටයුතු ඇමැතිකම් කළේ කොහොමද කියා රටම දනී.
'මුන් අපිට ඇමැතිකම් කරන්න දෙන්නේ නෑ. හැම මගුලටම පවුල අත දානවා. අපිට තියෙන්නේ ෆෝටෝ එක බිත්තියේ එල්ලාගෙන ඉන්න විතරයි'
ඒ දවස්වල ඇමැතිවරු නිතර ජප කළ මන්ත්‍රය ඒකය.
දැන් හැමෝම නින්දෙන් ඇහැරිලාය. එක්කෝ මැරිලා ඉපදිලාය. මාධ්‍යවලට කඩා පැන්න, රාජ්‍ය නිලධාරින්ව ගස් බැන්ද මර්වින්ලා මහජන සම්බන්ධතා ඇමැතිකම දුන්නේ මහින්දය. කොටි සංවිධානයේ සන්නද්ධ අංශ ලොක්කාව සිටි කරුණාට ශ්‍රීලනිපයේ නියෝජ්‍ය සභාපතිකමත් එක්ක ඇමතිකමක් දුනේ මහින්දය. 'වෙහෙර ගිල්ල උන්ට අග්ගලාත් ගිලින්න දී' හොරුන්ගෙන් පිරි රටක් හැදුවේ එවකය. ප්‍රාදේශීය සභා මංත්‍රීලා පවා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළේ එවකය. මේ ආන්ඩුවේ විද්‍යාත්මක කැබිනට් ගැන හොයන මහින්දලාට ඒවා මතක නැත.
'මේ ආණ්ඩුව මැයි දිනයත් නැති කළා' මහින්දලා අන්තිමට කීවේ එහෙමය. අද එදා ගැන සුරංගනා කතා කියන මහින්දලාට අමතක වූ බොහෝ දේ තිබේ. පුරසාරම් දෙඩුවාට 2012 දී වෙනකොට රට තිබ්බේ හරහට වැටිලාය. මහින්ද 2012 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න මූල්‍ය අරමුදල පස්සේ ගියේය.
'අරගත්තු ණය ගෙවන හැටි කියන්න' ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහින්දලාට කීය.
ලෝකයෙන්ම කොන් වෙලා කුණු මුල්ලට වැටුණු රට අදත් තිබ්බානම් මැයි රැලි තියා මිනිස්සුන්ට හුස්මක් ගන්න ක්‍රමයක් හොයාගන්න වෙන්නේත් නැත.
එහෙම තිබ්බා නම් මහින්දවාදීන්ට වෙන්නේ 71 මිනිස්සු පෙළපාලි ගියපු සටන් පාඨ මෙවරත් කියන්නටය.
'සීනි නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපිට කියනවා නම්
පිදුරු වුණත් අපි කන්නම්'
එහි 'මැතිනි' වෙනුවට එකතු කරගන්නට තියෙන්නේ 'රාජපක්ෂ'ය.

මාතෘකා