සෝල්බරි සාමිවත් ඇන්දවූ ඩී.එස්.ලා

 ඡායාරූපය:

සෝල්බරි සාමිවත් ඇන්දවූ ඩී.එස්.ලා

කතානායකට පාඩම් කියාදුන් ඇන් ඇම්

පාලිමේන්තුවේ ප්‍රධානියා වන්නේ කතානායකවරයාය. ඔහුට බැණ වදින්නට කිසිවෙකුට ඉඩක් නැත. එහෙත් වරක් ඇන් ඇම් කතානායක වරයාට හොඳටම බැණ වැදුනේය. එවක කතානායකව සිටියේ  ස්ටැන්ලි තිලකරත්නය. එන් එම් නැගිට්ටේම කතානායකට 'ඔලුවේ අමාරුව' කියාගෙනය. 'ඔබ ඔලුව නරක් කරගෙන' යනුවෙන් කතාව පටන්ගත් එන් එම් දිගින් දිගටම කතානායකවරයාට බැන වදින්නට විය.

“ඔබ දන්නවද, ඔබේ ඔලුව හොඳටම ඉදිමිලා. ඔබට මුල අමතක වෙලා. තමන්ගේ තරම දැනගන්න ඕනේ.”

එන් එම් ගේ වාග් ප්‍රහාරය ඉවසන්නට නොහැකිව කතානායකවරයා සභාව කල්තබා සිය නිල කාමරයට ගියේය. එතන සිට ස්ථාවර නියෝග කියෙවීය. එන් එම් ට 'යස පාඩමක්' උගන්වන්නට සිතා ඔහු නැවත සභාව රැස් කළේය. ස්ථාවර නියෝග ප්‍රකාරව තිබෙන බලය යොදා ඇන් එම් ව 'කුඩු කරන්නට' සිතාගෙන කතානායක වරයා අසුන් ගත්තේය. එසැනින් නැවත ඇන් ඇම් නැගිට්ටේය.

“ගරු කථානායක තුමණි, මීට ස්වල්ප මොහොතකට කලින් වෙච්ච දේ ගැන කණගාටුයි. ‘සර් අපි වයසක මිනිස්සුනේ’ තරහා යනවා වැඩියි. මේ කී දේවල් ගණන්  ගන්න එපා. මට බොහොම කණගාටුයි. මා කියූ දේවල් සියල්ල ඉල්ලා අස්කර ගන්නවා.” කතානායක නිරුත්තර වුණේය.

ඩී. එස් සෝල්බරි සාමිව 'ඇන්දවූ' හැටි

බ්‍රිතාන්‍යන් විසින් සෝල්බරි සාමිගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක්‌ පත්කර එවන ලද්දේ මෙරටට නිදහස දෙන එක සුදුසුද කියා සොයා බලන්නටය. එහෙම ආව සෝල්බරි සාමි රට පුරා ඇවිද්දේය. මිනිසුන්ගේ තත්ත්වය සොයා බැලුවේය. ඩී.එස්‌. සේනානායක එවක කෘෂිකර්ම අමාත්‍යවරයාය. දිනක් ඔහු සෝල්බරි කොමිසමේ සාමාජිකයන් සමඟ  මහනුවර බලා ගමන් කරමින් සිටියේය.

'අර ඉන්නේ ගොවියෝ පිරිසක්. ඔබතුමා ඒ අය එක්ක කතා කරන්න කැමතිද?' ඩි.එස්. සෝල්බරි සාමිගෙන් විමසුවේය.

'ඔව්, මම කැමතියි. ඒත් ඒ අයට ඉංග්‍රීසි තේරෙයිද?'
සෝල්බරි සාමි ඇසුවේය.

'අපි බලමු'

එහෙම කී ඩී.එස්. ගොවියන් පිරිස තමන් වෙත කැඳවීය. මඩ තවරාගෙන අමුඩ වලින් සහ රෙදි හැට්‌ට වලින් සැරසී සිටි ගොවියන් හා ගෙවිලියන් දුටු සෝල්බරි සිනාසුනා විතරය.

එහෙත් මොහොතකින් ගොවි, ගෙවිලියෝ සෝල්බරි එක්ක 'ඉංග්‍රීසියෙන්' කතාකරන්නට විය.සෝල්බරි සාමි උඩබිම බැලුවේය.

'ගොවියෝ ඉංග්‍රීසියෙන් මෙහෙම කතා කරනවානම් අනික් අය ගැන කවර කතාද?'

සෝල්බරි සාමි සතුටින් කීවේය. රටට නොපමාව නිදහස දිය යුතුයි කියා ඔහු නිර්දේශ කළේය.

හොඳම කොටස ඊට පස්සේය. රහස වූයේ ඒ ගොවියෝත්, ගෙවිලියෝත් ඩී.එස්. විසින් 'සරසවියෙන් ගෙන්වා සිටි සිසුන් වීමය.

ජෝන්ගේ තුප්පොට්ටිය

ජෝන් කොතලාවල 'බටහිර සිරිත' මනාව දත්තෙකි. එහෙත් ඔහු, මන්ත්‍රී ලෙස පත්ව මැති සබයට ගියේ උඩරට නියෝජනය කරන තුප්පොට්‌ටි ඇඳුම ඇඳගෙනය. අනෙක් හැමෝම ජාතික ඇඳුම සහ බටහිර ඇඳුම් ඇඳ සිටියහ.

"මේ ඇඳුම ඇඳගෙන ඉන්නෙක මට හරි කරදරයක්‌ වුණා. ඒත් ඔහු කීවේය. එක දවසකට හරි මේ ඇඳුම ඇඳලා මම උඩරට අපේ ජනතාව නියෝජනය කරන්නට ලැබීම සිතට බලවත් සතුටකට හේතුවක්‌ වුණා"

සාරි පහළට සරොන් ඉහළට

විජයානන්ද දහනායක මෙරට සිටි අගමැතිවරයෙක්ය. හෙතෙම කීමෙහි බිණීමෙහි දක්ෂය. ඔහු අවිවාහකව සිටියේය. ඒක මාධ්‍යට ප්‍රශ්නයක් විය.  වරක්‌ දහනායක මහතාගෙන් මේ ගැන පත්‍ර වාර්තාකරුවකු විමසා සිටියේය.

'ඔබතුමා විවාහ නොවී තනිකඩයෙකු වශයෙන් ජීවිතය ගත කරන්නේ ඇයි?'
දහනායක සිනාසුණේය.

"මම අංග සම්පූර්ණ කාන්තාවක හමුවන තුරු බලා සිටිනවා" වාර්තාකරු නිරුත්තරය.

"හැබැයි දවසක් මට එවැන්නියක හමුවුණා. මම ඇයට යෝජනාවක්‌ කළා"

"ඇයි සර් එයා යෝජනාව පිළිනොගන්තේ? වාර්තාකරු නැවත කුතුහලයෙනි.

"ඇය අංග සම්පූර්ණ පිරිමියකු බලාපොරොත්තු වෙනවා කීවා"
විහිලුවට නමුත් බරසාර උත්තරයක් දුන් දහනායක මහතා පසු කළෙක මේ අවිවාහක බව ගැන මෙහෙම කීවේය.

"යම් පුද්ගලයකු තම මුළු කාලයම දේශපාලනයට කැපකර සිටී නම්, ඔහුගේ ජීවිතය තුළ කාන්තාවකට කාමරයක්‌ නැත."
වරක් දහනායක අමුඩෙන් පාර්ලිමේන්තු ආවේය.

'සරම් මිල ඉහල ගියා කියා ඔබ කෑගැසුවට, සාරි මිල පහළ ගිහින් තිබෙනවා. මන්ත්‍රීවරයෙක් කීවේය. දහනායකට යකා නැංගේය.

"ඔව්, ඒක හරි " සාරි පහළට යනවිට සරොන් ඉහළට යනවා තමයි.'
මන්ත්‍රීවරයා උඩබිම බැලුවේය.

ජේ ආර්ගේ නහය

මුල්ම ජනාධිපතිවරණය පැවැත්වුණේ 1982 ඔක්තෝබර් මාසේ 20 වැනිදාය. මේ සඳහා  නාමයෝජනා බාරගත්තේ සැප්තැම්බර් 17 වැනිදාය.

ජේ ආර් ජයවර්ධන එක්ක ජනපතිවරණ සටනට ආ ප්‍රථිවාදියා වූයේ හෙක්ටර් කොබ්බෑකඩුවය. මහත්මයෙකු වශයෙන් ප්‍රකට වුවත් හෙක්ටර් කතිකයෙකු වශයෙන් ඒ හැටි ප්‍රකට නැත. කොළයක් බලාගෙන කතා කිරීම ඔහුගෙන් බොහෝ විට සිදුවිය. රෝහණ විජේවීරට “රෝහාන් විජේවීර” කීව ජේ ආර්   මාදුරුඔය ජලාශයට ඔහු  “මාදුරුවා ඔය” කිය. ගුවන් හමුදාවට කීවේ අහස් යාත්‍රා හමුදාව කියාය.

ජනපතිවරණය උණුසුම්ව පැවැති අතරේ වරක් හෙක්ටර් කොළයක් නොබලා රස කතාවක් කීවේය.

'මිත්‍රවරුණි, ජේ ආර් ජයවර්ධන කියනවා එතුමා හරි උගත් බුද්ධිමත් මනුස්සය කියලා. ඒ එක්කම සමහරු කියනවා මං ජේ.ආර්. වගේ කියලා. එක අතකට මගේ නහයත් ජේ ආර්ගේ වගේ ලොකුයි තමා'
හෙක්ටර්ගේ මේ සියුම් සෝපහාස කතාවට ජේආර් දුන්නේ හෙක්ටර් කරකවා අතාරින උත්තරයකි.

“කොබ්බෑකඩුව උන්නැහේ කියනවා එයාගෙ නැහැයත් මගේ නැහැය වගේ දිගයි කියලා. මම අහනවා එතුමාගෙන් නැහැයෙන් පුළුවන්ද ආණ්ඩු කොරන්ඩ. මොළේ තියෙන්නේ නහයේ නෙවේ '

ජේ ආර් ඇට අටට දුන් උත්තරේ

77 ජේ.ආර්. බලයට ආවේ, 'ධාන්‍ය ඇට වර්ග අටක් දෙනවා' කියාය. ප්‍රතිවාදීන් ඔහුට උපහාස කළේ ඔය කීව 'ඇට අට කෝ?' කියලාය. වරක් ජේ ආර් 'ඇට අට' හොයපු අයට කට උත්තර නැති කළේය. ඒ මෙහෙමය.

“සමහරු  අහනවා දෙනවා කියූ ඇට කෝ.. ඇට කෝ… කියලා. මිත්‍රවරුණි මම කියනවා දැන් මේ රටේ ඕනෑම කඩේක එක එක ජාතියේ ඇට ජාති විකුණන්ඩ තියෙනවා. අද පුළුවන් තමුන්නාන්සේලාට තමුන් කැමති ඇටයක් තෝරගන්ඩ…”

82 කේනමන්ට වෙච්ච වින්නැහිය

ඒ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුවට පක්ෂයෙන් ලද සහය අල්පය. බුරුතු පිටින් උඩිනුත් යටිනුත් උපකාර කළේ ජේ ආර්ටය.

අඩු තරමේ හෙක්ටර් කොබ්බෑකඩුවට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරගන්නටවත් ඉඩක් තිබ්බේ නැත. ඔහු කොල්ලුපිටිය ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කරන්නට යනවිට ඔහුගේ ඡන්දය හොරෙන් සලකුණු කර දමා තිබුණි. සමහරු ඒ ගැන කතා කළත් තවත් අයෙකුගේ ඡන්දය එවර හොරෙන් දමා තිබිණි. ඒ පීටර් කේනමන්ගේ ඡන්දයයි. 1947 - 1977 දක්වා මැද කොළඹින් පාර්ලිමේන්තුව නියෝජනය කළ 1947 - 1959 දක්වා නාගරික මන්ත්‍රීවරයෙකු වු ශ්‍රී.ලං.කො.ප. නායක පීටර් කේනමන් මහතාගේ ඡන්දයත් හොරෙන් දමා තිබුණා කියනකොට ඉතින් තවත් කුමන කතාද.

දිවුරුම් දෙනකොට ජේ.ආර් ට වැරදුන තැන

ජේ ආර් කතා කරන්නේ සිංහලෙනි. හිතන්නේ ඉංග්‍රීසියෙනි.ඉංග්‍රීසියෙන් සිතා සිංහලෙන් කතා කරනවිට ටිකක් නුහුරුය.
ගාළු මුවදොර පිටියේදී ජේ ආර්, අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුමේ ලියවිල්ලෙහි වූයේ,“ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත වන බවටත්..” යනුවෙනි. එහෙත් ජේ.ආර්.ට වචනයක් පැටලුණේය. අවනත යන්න ඔහුට කියවුණේ 'අවතන වන බවටත්' යනුවෙන් 'ත' සහ 'න'මාරුවෙලාය. ඒ පැටලුම සොයාගත හැක්කේ රජයේ චිත්‍රපට අංශයේ ඇති දිවුරුම් දීමේ මුල් හඬ පටය හොඳින් ඇසූ විටය.

මැතිවරණ සිතියම අකුලන බව ජේ.ආර්. කීවාද?

'මැතිවරණ සිතියම අවුරුදු දහයකට අකුලනවා' කියා ජේ.ආර්. කී කතාවක් අදටත් ප්‍රකටය. සත්‍ය වශයෙන්ම ඔහු කීවේ කුමක්ද? ඒ කතාව මුලින්ම ඔහු අනුරාධපුරයේදී පැවැති රැලියකදී ඔහු එහෙම කීවේය. ඊට පසු ඔහු එය නැවත තහවුරු කළේ ඇහැලියගොඩදීය.

1982 නොවැම්බර් 21 දාය.

“මිත්‍රවරුණි, ලංකාවේ මැතිවරණ සිතියම අවුරුදු දහයකට අකුලා දමන බව මං අනුරාධපුරේදී කීවා. ඒ අදහස් මං නැවත ප්‍රකාශ කරනවා.

අපට වාසිදායක මේ අවස්ථාවේ අපට උදවු කරන අය සමඟ එක්ව දේශපාලන ක්‍රීඩාවෙන් ජය ගෙන, දේශපාලන වශයෙන් විරුද්ධ පක්‍ෂ නැතිකර දමා නැපෝලියන් අවසන් යුද්ධයෙන් ජයගත් අවස්ථාවේ දී එංගලන්තයේ සිටි විලියම් පිට් යුරෝපයේ සිතියම අවුරුදු දහයකට අකුලා දමන්න කියා මැති සබයේදී කීවාක් මෙන් අවුරුදු දහයකට ලංකාවේ ඡන්ද කොට්ඨාස සිතියම අකුලා තබන්නය කියා අපි ජනතාවට කියනවා.'

අපේ දේශපාලනඥයාගේ ආදරේ

මේ සටහන හමාර කරමින් තබන සටහනට අදාල දේශපාලනඥයාගේ නම සඳහන් නොකර සිටීම වටී. එහෙත් කතාවෙහි පවත්නා රසය නිසා නම නොදමා කතාව සටහන් කරමි.

1947 වසරේදී පැවැති ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයට තරඟ කළ, මෙරට ප්‍රකට දේශපාලනඥයෙක් හදිසියේම ඉන්දියාවේ සංචාරය කළේ ඡන්දෙට පෙර වන්දනාවක් ලෙසය. ඔහු එහි යන දිනවල  ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මහතාගේ ප්‍රසිද්ධ රැස්‌වීමක්‌ බලන්නට යාමේ අවස්ථාව උදා විය.

නේරුතුමා කතාව පටන් ගන්නේ අපූරු ආකාරයකින්ය. එය ආකර්ශණීය විය.

“මිත්‍රවරුණි මගේ ජීවිත කාලය තුළ මට සිටියේ එකම එක්‌ කාන්තාවක්‌ පමණක් බව දිවුරා කියමි. මම සදාකල්  ඈට ආදරය කරමි. ඒ ආදරය පවිත්‍රය. ඇයගෙන් තොරව ආදරයක් නැත. ඈ මගේ ආත්මය වගේය.
නේරුතුමා අභිමානයෙන් කියාගෙන යයි..'ඈ කවුද?'

දස දහසක් ජනයා කුතුහලයෙනි.

“ මිත්‍රවරුණි මම ඈට මගේ ජීවිතයේ සෑම දිනකම සේවය කරමි. මා මියගිය පසු ඇගේ උණුසුම් තුරුළට වී සදාකාලිකව සැතපෙන්නෙමි. මගේ මිත්‍රවරුනි ඒ කාන්තාව වූ කලී අනෙකෙක්‌ නොව භාරත මාතාවයි”

මේ අපූරු කතාව අපේ රටෙන් ගිය දේශපාලනඥයාද අසාගෙන සිටියේය.

ටික දිනකින් පෙරළා ආවේය. ඒ වෙනකොට මෙහෙත් මැතිවරණෙට සූදානම්ය.

අපේ දේශපාලනඥයා සූදානම් වන්නේ නේරු වගේ කතා කරන්නටය.

මිත්‍රවරුණි මගේ ජීවිත කාලය තුළ මට සිටියේ එකම එක්‌ කාන්තාවක්‌ පමණක් බව දිවුරා කියමි. මම සදාකල්  ඈට ආදරය කරමි. ආදරය පවිත්‍රය. ඇයගෙන් තොරව ආදරයක් නැත. ඈ මගේ ආත්මය වගේය.
අපේ කෙනා කියාගෙන යයි. මිනිස්සුත් කුහුලින් බලාගෙනය. අවාසනාවට අන්තිම ටික අපේ කෙනාට අමතකය. අන්තිමට ඔහුගෙන් මෙහෙම කියවුණේය.

“මාගේ මිත්‍රවරුනි, ඒ කාන්තාව  නේරුගේ අම්මාය”