පුස් වෙඩි

 ඡායාරූපය:

පුස් වෙඩි

බණ්ඩාරනායක 56 විප්ලවය කොට අවුරුද්දකින්  ඇන්. ඇම් ට එරෙහිව එජාපය විශ්වාසභංගයක් ගෙනාවේය. ඒ 1957දීය. ඇන්. ඇම්. එවක බණ්ඩාරනායකගේ දෙවැනියා වගේය. ඔහු   කොළඹ පුරපතිය. දිනුවේ කුසපත් ඇදලාය. උප නගරාධිපති

ආර්. ප්‍රේමදාසය. ඔහු දිනුවේ කම්කරු පක්ෂයෙන්ය.කොළඹ බලය අල්ලන්න කොතලාවලට උවමනා විය.

චෝදනාව කොළඹ නගර සභාව විසුරුවා හැරියාය කියන එකය.යෝජනාව ගෙනා එජාපය වෙනුවෙන් ලැබුණේ ඡන්ද 27ක්ය. ඇන් ඇම් වෙනුවෙන් ඡන්ද 50ක් ලැබුණේය. අන්තිමට වුණේ මෙරට ඉතිහාසයේ හපුරා කියා ගෙනා විශ්වාසභංගය පරාජය වෙච්ච එක ය.

හැබැයි කොතලාවලලා වැඩේ අත්හැරියේ නැත.අන්තිමට කොහොමහරි ඇන් ඇම් නෙරපුවේය.

මේ වතාවේ විශ්වාසභංගයක් එන්න යන්නේත් ආණ්ඩුවේ දෙවැනියාට එරෙහිවය. එහෙමත් නැත්නම් අගමැති රනිල්ට එරෙහිවය.

එදා ඇන් ඇම් ලැබූ ප්‍රතිඵලයම මෙදා රනිල් ලබයි ද කියන්නනම් තවම කල් වැඩිය.

57සිට මේ දක්වා විශ්වාසභංග 25කට වඩා ඇවිත් තිබේ.කෙටි කලක් තුළ වැඩිම විශ්වාසභංග ඇවිත් තිබෙන්නේ 'යහපාලන ආණ්ඩුවට' එරෙහිවය. ඒකාබද්ධය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග දෙකක් ගෙනාවේ මාස පහක් යන්නටත් කළින්ය.
හැබැයි ඒ එකක්වත් දිනුවේ නැත.

බණ්ඩාරනායකගේ මරණයෙන් පස්සේ දහනායක අගමැති වුණාම ආණ්ඩුවේ බොහෝ දෙනා දහනායකට මෙල්ල වුණේ නැත. එළිවෙන ජාමෙට තනතුරු මාරුකොට ඇමැතිවරු දොට්ට දැමූ දහනායක 'සතුරන්'හදා ගත්තේය. බණ්ඩාරනායක ඝාතනය ගැන පරීක්ෂණ මන්දගාමීය කියා චෝදනා ආවේත් දහනායකටය. අන්තිමට ඇන් ඇම්ලා එකතුව දහනයකට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවේය.

'ආණ්ඩුවේ විශාල පිරිසක් අපි එක්ක දහනායකට එරෙහිව ඉන්නවා'
විපක්ෂය පාරම් බෑවේය.

'වැඩේට බැස්සේ ඇන් ඇම්ලා. මෙද ඉතින් දහනායක ගෙදර'
ආණ්ඩුවේම සමහරු කීය.

'දහනායක පක්ෂෙට සැලකුවේ නෑ. පක්ෂේ දුර්වල කළා.අලුත් නායකයෙක් ඕනා. මේ වතාවේ දහනායකගේ ගමන ඉවරයි'
ශ්‍රීලනිපයේ රැඩිකල් මන්ත්‍රීවරු කීය.

තනතුරු අහිමි කළ නියෝජිතයෝ දහනායකව ගෙදර අරිනු ඇතැයි බොහෝ දෙනා සිතූහ.

හැබැයි දහනායකට එරෙහිව ගෙනා විශ්වාසභංගය පරාජය විය. මොනතරම් අවාසිදායක පසුබිමක වුණත් දහනායක ජය ගත්තේය.

විශ්වාසභංග පුස්සක් විතරක් බව ඔප්පු වූ දෙවන වතාව ඒකය.

75 අගෝස්තු 12 ඇන් ඇම් කළ කතාවක් නිසා කිපුණු මැතිණිය ඇන් ඇම් ඇතුලු 3කගේ තනතුරු ගලවා දැම්මේය. ඇන් ඇම් වැඩේට බැස්සේය. මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේය.

ඒ වෙනකොට ආණ්ඩුව තිබ්බේ දතක් වගේ හෙල්ලි, හෙල්ලිය. ආණ්ඩුවේම කල්ලි හතරට පහට බෙදිලාය.

'මෙදා පොටේ මැතිනි වැටේ'
සමහරු කීවේ එහෙමය.

'ඇන් ඇම්ගේ සුපිරි ගැටේ-හිරවෙනවා මැතිනි වටේ'සමහරු සටන් පාඨ කීය.

විශ්වාසභංග යෝජනාව ගෙනෙමින් කොල්වින් පාර්ලිමේන්තුව හෙල්ලෙන කතාවක් කළේය.

'දේශපාලකයෝ පිරිසිදු වෙන්න ඕනා. සීසර් වගේම බිරිඳත් අවංක වෙන්න ඕනා'
කොල්වින් කීවේය.

හැබැයි, විශ්වාසභංගය පරාජය විය. මැතිනිය ජයගත්තාය. ආණ්ඩුව නොසෙල්විණ.

එහෙම බැලුවම විශ්වාසභංග රැසකටම ඇන් ඇම් දායක වෙලා තිබේ. එහෙත් එකක්වත් ජයගත් ඉතිහාසයක් දකින්නටද නොවේ.

2001 ජූලි එජාපය චන්ද්‍රිකා රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේය. ඊට මන්ත්‍රීවරු 115ක් අත්සන් කළහ.

චන්ද්‍රිකා කළේ විධායක බලය අතට ගන්න එකය.ඈ පාර්ලිමේන්තු සැසිවාරය කල් තිබ්බාය.චන්දිකා ආණ්ඩුවේ සිටි යෝධයෝ 10කට වඩා ආණ්ඩුවෙන් ගැලවී එජාපයට ගියහ. අන්තිමට පරිවාස ආණ්ඩුවක් බිහි විය. චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවා හැරියා මිස විශ්වාසභංගයෙන් පරාජය වුනේ නැත. හතරවන විශ්වාසභංගයත් පුස්සක් විය.

එතෙක් මෙතෙක් විශ්වාසභංග සියල්ල දෙස බැලූ විට පෙනෙන්නේ ඒ සියල්ල 'පුස්සක්'වූ බව මිස සාර්ථක වූ බව නොවේ.

අගමැතිට එරෙහිව විශ්වාසභංගය මේ වෙනකොට කරලියට ඇවිදින්ය. ඒකාබද්ධයේ සමහරු 'මහනුවර ගැටුම'ගැන කීවේ 'රනිල්ට එන විශ්වාසභංගයෙන්'බේරෙන්න ගහපු ගැටයක් කියලාය.එහෙම කියපු අයම දැන් ආපහු විශ්වාසභංගය කරළියට එනකොට කලින් කීව කතා අමතක කරලා ය.

අගමැතිට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට කුමක් වෙයිද කියා දැන්ම කියන්න බැරි නමුත් මේ ආණ්ඩුව තුනෙන් දෙකෙන් අයවැය දිනූ ආණ්ඩුවක් බව කිව යුතුමය.

1970 වන විට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දරමින් සිටියේ රිචඩ් නික්සන්  ය. ඔහු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙක් විය. එම සමයේ ඩිමොක්‍රටික් පක්ෂයේ මුලස්ථානය පිහිටියේ වොෂින්ටන්හි වෝටර්ගේට්  හෝටල් සංකීර්ණයේ හය වැනි මහලේය. වෝටර්ගේට් සිදුවීම හරහා ආන්දෝලනයකට ලක් වූ නික්සන්  1974 අගෝස්තු නව වැනි  ඇමෙරිකා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීය. විශ්වාසභංගයකින්ද ඔහු පරාජය විය.

ඔහුට තිබුණේ 'ඒකාන්ත'චෝදනා ය.මහජන ඡන්දයෙන් බලයට පත් නායකයෙක් හිතුමනාපෙට නෙරපිය නොහැකිය. මක්නිසාද යත්  ඔහුට මහජනතාව පැවරූ වගකීමක් තිබෙන නිසාය.

විකාබද්ධය කරන්නේ හිතෙන හිතෙන ලෙස විශ්වාසභංග යෝජනා ගේන එකය.

දැන් ඒක විලාසිතාවක් වෙලාය.

'අපි අගමැතිව වෙනස් කරනවා'
සමහරු කියයි.

'අපිත් අත්සන් කරනවා'
තවත් අය කියයි.

හැබැයි කතානායකට දුන් අත්සන් ලේඛනයේ තිබෙන්නේ අත්සන් 55ක්ය.

ඉන්දිය නිදහස් සටන අතට ගත් මහත්මා ගාන්ධි වරක් ආපහු හැරුණේය. කෙලවරක් නැතිව කැප වී අවිහිංසාවාදයෙන් යුතුව නිදහස් සටන දිනන්නට ඔහු ගත් වෑයමට එරෙහි බලවේග ගාන්ධිගේ වෑයම තුට්ටුවකට මායිම් නොකළහ.

සියල්ල අතැර ඔහු බලවත් කම්පාවෙන් යුතුව නිදහස් සටනින් ඉවත් වෙන්නට තීරණය කළේය.

එහෙම සිතා නිවෙසට ගොස් ඉන්න අතරේ ගාන්ධිගේ සිත වෙනස් කළේ එක්තරා ගීතයක පදවැලය.

එය 1905 රවීන්ද්‍රනාත් තාගෝර් ලියූ ගීතයකි. ගායකයා ක්‍රිෂෝර් කුමාර් ය. 'එක්ලා චෝලො රේ'නමින් බෙංගාල ගීතයක් ලියයි. ඉන් කියැවෙන්නේ අපූරු කතාවකි.

'ඔවුන් ඔබට ප්‍රතිචාර නොදක්වන්නේනම්,
තනිවම ඔබ ඔබේ ගමන යන්න.
ඔවුන් බියනම්, බියෙන් හැකිලෙනවානම්,
ඔවුන් අවාසනාවන්තයෝය.
ඔබේ මනස විවෘත කරන්න-තනිවම හඬ නගන්න
ඔබ දුෂ්කර වන ගහණ පසුකරනවිට
ඔවුන් ඔබව අතැර ඈත් වෙනවානම්
ඔවුන් අවාසනාවන්තයෝය...
ඔබේ අඩිපාරේ ඇති කටි පාගා දමා යන්න..
රුධිර පැල්ලම් පිරි මඟ දිගේ තනිවම යන්න...
ඔවුන් දෝර වසා ඔබට ආලෝකය නොදුන්නොත්
ඔවුන් අවාසනාවන්තයෝය...
වේදනාව නැමති අකුණෙහි ගිනි දැල්ලෙන් දැල්වුණු හදවත ඇතිව එයට තනිවම දැවෙන්න ඉඩ දෙන්න'

ගීතය ඇසුණු ගාන්ධි ආපසු හැරුණේය.වෙනදාටත් වඩා ජවයකින් 'නිදහස් සටනට'පණ පෙවුවේය. පරාධීනත්වයේ හේතුවෙන්  බිමටම වැටී තිබූ ඉන්දියාව ගොඩනැඟීමට දණහිසට කදර් රෙද්ද ඇඳගත් මහත්මා ගාන්ධි මුල් විය.  

මේ කතාව ඕනම ජීවිතයකට අදාළ කරගන්නට පුලුවන්ය.