2020දී ඇත්ත තේරේවි : කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක

 ඡායාරූපය:

2020දී ඇත්ත තේරේවි : කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක, ජේ.ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, ඇන්.ඇම් පෙරේරා වගේ දේශපාලනයේ දැවැන්තයින් හිටපු නගර සභාවක නගරාධිපතිනිය වෙන්න ලැබුණ එක ඔබට අභියෝගයක්ද?

ඇත්තටම ආඩම්බරයි ඒ වගේ පුද්ගලයෝ හිටපු තැනකට මට එන්න පුළුවන් වුණ එක. ඒ අභියෝගය මම සතුටින් බාර ගන්නවා. නගරාධිපති වෙන්න කලින් යහපාලන ආණ්ඩුවේ ඉඳලා ජනතාවට වැඩ කළා. ගැබිනි මව්වරුන්ට ලබාදෙන රුපියල් 20,000 පෝෂණ මල්ල ලැබෙන්නේ මගේ යෝජනාවක් නිසා. සමහරු දේශපාලනයට එන්නේ බිස්නස් කරන්න. ඒත් මම දේශපාලනයට ආවේ ජනතාවට වැඩ කරන්න. මගේ එකම අරමුණ කොළඹ නගරය නීල හරිත නගරයක් බවට පත් කරන එක.
   
කොළඹ නගර සභාවට තේරී පත් වුණු පළමු වැනි කාන්තාව වශයෙන් ඔබට දැනෙන හැඟීම කෙබඳුද ?

කොළඹ නගර සභාවට තේරුණ පළමු කාන්තාව මම වුණාට, වැඩ කරද්දි ගැහැනියක් කියලා කවදාවත් හිතන්නේ නැහැ. පිරිමින්ට වගේම ගැහැනුන්ටත් එක සමානව ශක්තිමත්ව වැඩ කරන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා කරන සමහර පුද්ගලයින් කාන්තාවන් කොන් කරනවා. ඒත් කාන්තාව කියන්නේ ජාතියේ ජීවනාලිය. මේ රටේ බහුතරයක් ඉන්නේ කාන්තාවෝ. ඒ කාන්තාවන්ට, පිරිමින්ට වගේ ශක්තිමත්ව වැඩ කරන්න පුළුවන්.   

ලංකාවේ කාන්තාවන්ට මෙවර මැතිවරණයෙන් නිසි තැන ලැබුණාද ?

මෙවර තමයි පළවෙනි වතාවට කාන්තාවන්ට නිසි තැන ලැබුණේ. ඒකට මැතිවරණ කොමසාරිස්තුමාටයි අගමැතිතුමාටයි ස්තුතිවන්ත වෙන්න ඕන. මීට පෙර කිසිම රජයක් කාන්තාවන් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සහභාගී කර ගන්න කැමති වුණේ නැහැ. ඒත් මේ මැතිවරණයේදී සියයට 25කට වඩා වැඩි කාන්තා නියෝජනයක් ලැබුණා. සමහර පක්ෂ ඡන්දෙන් දිනපු කාන්තාවන් ලැයිස්තුවෙන් අයින් කරලා හිටපු දේශපාලඥයෝ පත් කරන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තුවේ සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් මහ හයියෙන් කෑ ගහන ඔවුන් කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් කෑ ගැහුවේ නැහැ. මම කියන්නේ ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25 නෙමෙයි 50ක් කරන්න ඕන.   

ඔබ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනකොට ප්‍රතිඥා රැසක් දුන්නා. ඒවා ඉටු කරන වැඩ පිළිවෙළ ගැන කිව්වොත්?

ඊයේ දිවුරුම් දුන්න ගමන් මම අගමැතිතුමා ඇතුළු ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් සමඟ කොළඹ ගොඩනගන ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කළා. සමහර දේශපාලනඥයෝ මැතිවරණයේදී අහස උසට පොරොන්දු දුන්නත් ඒවා මැතිවරණයෙන් පස්සෙ අමතක කරනවා. ඒත් මම පොරොන්දු වුණා වගේම ඒ පොරොන්දු හැම එකක්ම ඉටු කරනවා.
   
ඔබ වැඩියෙන් සතුටු පාර්ලිමේන්තුවේ අමාත්‍යවරියක්ව හිටපු කාලෙ ගැනද? නගරාධිපති වුණ එකටද ?

මගේ එකම අරමුණ ජනතාවට සේවය කරන එක. ඒකට මම පාර්ලිමේන්තුවේ හිටියත් නගරාධිපති වුණත් වෙනසක් වෙන්නේ නැහැ. ඉන්න තැන නෙමෙයි වැදගත්, ජනතාවට සේවය කරන්න පුළුවන්ද බැරිද කියන එක. මම පැරදුණා කියලා පසුතැවිලත් නැහැ. පසුතැවෙන්නෙත් නැහැ. කලින් කිව්වා වගේ මම කොතැන හිටියත් ඉන්නෙ ජනතාව එක්ක   

නගරාධිපතිනිය වශයෙන් දිවුරුම් දුන්නට පස්සේ ඔබට තිබෙන අභියෝග මොනවාද ?

කොළඹ නගරයේ තියෙන විශාලම අභියෝගය තමයි කුණු ප්‍රශ්නය. කුණු දාන්න හරි තැනක් නැහැ. අපි දැනටමත් පුත්තලම ප්‍රදේශයේ ඉඩමක් තෝරාගෙන අවසන්. මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට එතනට කුණු බැහැර කරන්න පුළුවන්. සමහර ප්‍රදේශවල පුද්ගලයින් කුණු වෙන් කරන්නේ නැතුව බැහැර කරන නිසායි මේ ගැටලුව උග්‍ර වුණේ. ඒ වගේම ඩෙංගු රෝගය නැවතත් හිස ඔසවලා නිසා ඒක පාලනය කරන්න අලුත් වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. මීට අමතර අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කරනවා.   

ඔබ නගරාධිපතිනිය ලෙස දිවුරුම් දෙනකොට අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංගයක් එනවා?

අගමැතිතුමාට විශ්වාසභංග ගෙනාවේ අද ඊයේ නෙමෙයි. රටේ මොකක් හරි අවුලක් ඇති කරන්න වසර ගණනාවක ඉදන් කවුරු හරි විශ්වාසභංගයක් ගේනවා. මම දකින ආකාරයට මේ රට හදන්න පුළුවන් එකම මනුස්සයා අගමැතිතුමා විතරයි. කවුරු විශ්වාසභංග ගෙනාවත් එතුමාගේ ගමන නවත්වන්න බැහැ.  
 
යහපාලනයට වසර තුනකින් කරන්න බැරි වුණ දේ වසර දෙකකින් කරන්න පුළුවන්ද?

පසුගිය වසර 03 යහපාලන රජය කළ දේවල්වල ප්‍රතිඵල දැන් තමයි ලැබෙන්නේ. ඒ නිසා මේ වසර 02 ගැන ජනතාව හොඳ අවධානයෙන් සිටිය යුතුයි. පසුගිය වසර තුන ඉවර වෙනකොට 19 වෙනි සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, ළමයින්ට සෞඛ්‍ය රක්ෂණ වගේ දිගුකාලීන ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති ගොඩක් ගෙනාවා. මේ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලැබෙන්නේ දැන්.
ඒ නිසා 2020දි මිනිසුන් ඇත්ත ඇති සැටියෙන් දකීවි.