සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කාටවත් වුවමනා නැහැ-අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ | ඇස පාදන රැස


සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කාටවත් වුවමනා නැහැ-අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කාටවත් වුවමනා නැහැ-අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමට කිසිවෙකුටත් වුවමනා නැති නමුත්, මේ අංශ පිළිබඳව අධීක්ෂණය කරන, ක්‍රියා කරන මාර්ගයක් තිබිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඊෙය් (14) ෙකාළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීෙම් අවස්ථාවට සහභාගී වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“අප මීට පෙරත් ෆේස්බුක් සමාගමට මේ පිළිබඳව දැන්වූ විට ඉක්මණින් ක්‍රියා කළේ නැහැ. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ෆේස්බුක් ආයතනයේ නියෝජිතයන් හෙට (15) ශ්‍රෙ ලංකාවට පැමිණෙනවා. ඊට අමතරව අනෙක් ක්‍රමවේදයන් පිළිබඳවද අප සාකච්ඡා කරනවා.
වර්තමානයේ ඉතා නවීන අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. එම අධ්‍යාපන ක්‍රමය පොතපතට, කාමර තුළට පමණක් සීමා වී නැහැ. අන්තර්ජාලය නිසා අධ්‍යාපනය මුළු ලොව වටාම පැතිරී තිබෙනවා. පාසල් සිසු සිසුවියන්ද ජංගම දුරකථනය තුළින් මේවාට සම්බන්ධ වී කරුණු සොයනවා. වර්තමානය වන විට සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් උද්ගත වී තිබෙනවා. ශ්‍රී ලංකාවට පළමුවෙන්ම අන්තර්ජාලය හඳුන්වා දුන්නේ මමයි. 1993 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස මා ඇමරිකාවට ගොස් එවකට එරට උප ජනාධිපති ඇල්ගෝ සමග මේ පිළිබඳව ගිවිසුමක් අත්සන් කළා. අන්තර්ජාල ක්‍රමය ලෝකයට ගෙන ආවේ ඇල්ගෝ උප ජනාධිපතිවරයායි. අප අන්තර්ජාල ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ලෝකය සමග එකතු විය යුතු නිසායි.
වර්තමානයේදී ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් නිසා ශ්‍රී ලංකාව ගෝලීය සමාජ ක්‍රමයටත්, ආර්ථිකයටත් ඇතුළු වී තිබෙනවා. ඒ කාරණය වෙන් කරන්නට හැකියාවක් නැහැ. එය ජීවිතයේ කොටසක් බවට පත් වී තිබෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අපට පණිවුඩ හුවමාරු කරන මාධ්‍යයක් අවශ්‍යයි. ඉතා වේගයෙන් මෙන්ම කෙටියෙන් පණිවුඩ හුවමාරු කිරීමෙන් ආර්ථික ගනුදෙනු සීඝ්‍රයෙන් වැඩි වී තිබෙනවා.
අධ්‍යාපනය, සෙසු අංශ සියල්ලටම මෙම නව ක්‍රමවේද අප විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ තුළින් පණිවුඩ හුවාරු කිරීමේදී යම් සීමාවක් පනවා නැහැ. ඒ ප්‍රශ්නයට අපට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා තුළින් වෛරීසහගත, ජාතිවාදී, වර්ගවාදී ගැටුම් වැඩි කරන පණිවුඩ ගලා යනවා. එක් කණ්ඩායමක් යම් වෛරී පණිවුඩයක් යැවූ විට අනෙක් පැත්තෙන් ඊට ප්‍රතිචාර ගලාගෙන එනවා.
පසුගිය සතියේ සඳුදා තෙල්දෙනිය, දිගන ප්‍රදේශයේ කෝලාහල ඇති වුණා. සාමාන්‍යයෙන් කෝලාහලයක් ඇති වූ විට පළමු දිනයෙන් පසුව එය පාලනය කිරීමට හැකි වෙනවා. නමුත්, එදින උදේ එම තත්ත්වය පාලනය කළත් සවස් වන විට නැවතත් ගැටුම්කාරී තත්ත්වය ඇති වුණා. කැබිනට් මණ්ඩලය සමග මේ තත්ත්වය සාකච්ඡා කළ විට අලුත් අභියෝගයකට මුහුණ දීමට තිබෙන බව ආරක්‍ෂක අංශ දැනුම් දුන්නා. ෆේස්බුක් හරහා එවන වෛරීසහගත පණිවුඩ තුළින් සමාජය ගිනි තබන බව ඔවුන් දැනුම් දුන්නා. අම්පාර ප්‍රදේශයේ මේ තත්ත්වය දකින්නට හැකි වුණා. සංඝයා වහන්සේ ඝාතනය කර ඇති බවත්, පන්සල්වලට ගිනි තබා ඇති බවත් කියමින් බොරු ප්‍රචාර පතුරුවනු ලැබුවා. මේ නිසා මිනිසුන් කලබල වී නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.
එම නිසා ඉක්මනින්ම ඇඳිරි නීතිය ඉවත් කිරීමටත් හැකියාව ලැබුණා. දැන් පවතින්නේ හදිසි නීතිය පමණයි.
එක් අතකින් සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම තුළින් ඒ හරහා කෙරෙන ධනාත්මක ක්‍රියා නතර වූ විට එයින් සමාජයට හානියක් සිදු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට, පණිවුඩ හුවමාරුවට මෙන්ම ආර්ථිකයට හානියක් වෙනවා. අප මෙහි ධනාත්මකභාවයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි. එම ධනාත්මක භාවයෙන් සැබෑ ප්‍රයෝජනය ලබා ගන්නට නොහැකි නම් සමාජයට විශාල හානියක් සිදු වෙනවා. එම ධනාත්මක කටයුතු කඩාකප්පල් කිරීමට අපට අවශ්‍ය නැහැ. මුද්‍රිත හා විද්‍යුත් යන මාධ්‍යයන් දෙකම රටේ නීතිවලට යටත් විය යුතුයි. නමුත්, බොහෝ රටවල් මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රතිපත්තිවලට අත්සන් තබා තිබෙන නිසා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තහවුරු කළ යුතුයි. නමුත් ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් එවැනි කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට යටත් වී නැහැ.
ඔවුන් සමග සාකච්ඡා කිරීමටත් මෙවැනි ගැටලු ඇති අපේ කලාපයේ අනෙක් රටවල් සමඟ සාකච්ඡා කිරීමට මම විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දුන්නා. අප එම පියවර ගන්නේ මේ රටේ සාමය ආරක්‍ෂා කිරීමටයි. ඒ වගේම ෆේස්බුක් ඇතුළු අනෙක් සමාජ මාධ්‍ය සම්බන්ධ තහනම් ඉක්මණින් ඉවත් කිරීමටත් අපි බලාපොරොත්තු වුණා.
පසුගිය දා රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය ජනතාවට අමතක වීමට තරම් මෙම සමාජ මාධ්‍ය වාරණය බලපා තිබෙන නිසා මම ඒ පිළිබඳව ඔබට විශේෂයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කළා."

මාතෘකා