එක එක බිල්ලෝ

 ඡායාරූපය:

එක එක බිල්ලෝ

සමනළ කන්ද පිහිටියේ නුවර එළිය සහ රන්තපුර මායිමේය. වර්ෂයේ සාරවත් මාස කීපයකදී ශ්‍රීපාද වන්දනා සමය එළැඹෙයි. මිනිස්සු පේවී වන්දනාවේ යති. ශ්‍රීපාද වන්දනාවට යන පිරිස බෞද්ධයින් පමණක් නොවේ. මුස්ලිම්, දෙමළ, බර්ගර් සේම එතෙර සිටින විජාතිකයෝද එය තරණය කරති. අරමුණු රැසක් කැටිව වුවත් යන්නේ එකම ගමනක්ය. බෞද්ධයින් විශ්වාස කරන්නේ බුදුන්වහන්සේගේ ශ්‍රී පතුල එහි පිහිටි බවය. මුසල්මානුවන් විශ්වාස කරන්නේ ආදම්ගේ පාදය එහි වන බවය. ශ්‍රීපාදස්ථානය පිහිටි මාවතේ දේවාල කිහිපයක් වෙයි. හින්දූන් විශ්වාස කරන්නේ දෙවියන් එහි වැඩ වසන බවයි. සමනළ කන්ද සොබා දහම් චමත්කාරයෙන් අනූනය. විදේශිකයින් සිතන්නේ එය අසිරිමත් සුන්දරත්වයක් කියාය.
හැමෝම තම තම අරමුණු පෙරදැරිව ශ්‍රීපාදය වන්දනා කරති. කිසිවෙක් ඇනකොටා ගන්නේ නැත. කිසිවෙක් ඉඩ බෙදා ගන්නට යන්නේ නැත. අවසන කඳුමුදුනතදී  එකට හමුවෙති. සිනාසී නික්ම යති.
එකම තැනකට එකට යන මිනිස්සු ඉන් බැස්ස විට එකිනෙකා බෙදී වෙන්වී මරා ගන්නට යන්නේ කෙසේද?
මේ කතාව හිතේ සටහන් කොටගෙන 'ගුරුදා මතවාදය' කියැවීම වටී.
"ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාලකණ්ණි මෝඩයකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරැදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි" යනුවෙන් ආතර් ෂොපෙන්හොර් කියන කතාව සහතික ඇත්තය.
ලංකාවේ 'දොන් කරෝලිස්' නම් ව්‍යාපාරයක් තිබේ. එය ධර්මපාලතුමාගේ පවුලේ ව්‍යාපාරයක් බව ප්‍රසිද්ධ රහසක්ය. ධර්මපාලතුමා නිතර කීවේ 'කළු සුද්දන්' නොවන ලෙසත්, ඉංග්‍රීසි ඌරුවේ නම් ගම් නොතබන ලෙසත්ය. ඔහු ඉතාම කර්කශ භාෂාවක් භාවිතා කළ අතර ඔහුගේ කතාවලට ආශක්ත වූ පිරිස් නම් ගම් පවා වෙනස් කළහ. හැබැයි අරුමය වන්නේ දොන් කරෝලිස් ව්‍යාපාරයේ 'දොන්' නොහැලී නොසැලී තිබීමය.
මෙරට ප්‍රධාන පෙළේ නාග විහාර දෙකකි. එකක් තියෙන්නේ කෝට්ටේය. අනෙක තියෙන්නේ යාපනයේය. ඒ විහාර දෙකේම වැඩ සිටියෝ ජාතියට අතිමහත් සේවයක් ඉටු කළ යතිවරයෝය. එක් අයෙක් මාදුළුවාවේ සෝභිත හිමියෝය. උන්වහන්සේ කෝට්ටේ නාග විහාරය කේන්ද්‍ර කරගෙන දැවැන්ත සමාජ හා ශාසනික මෙහෙවරක් ඉටු කළහ. අනෙක් යතිවරයාණන් වහන්සේ සෝභිත හිමි තරම් ප්‍රකට නැත. එහෙත් වෙනම රටක් ඉල්ලා අවි අතට ගත්තවුන් සැරිසැරූ භූමියේ උන්වහන්සේ ජාතියේ ඉරණම් කතාව ලියමින් සිටියහ. ඒ යාපනය ශ්‍රී නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජඳුරේ ඥානරතන නාහිමිපාණෝය. උන්වහන්සේ අපවත් වී වදාළහ. සෝභිත හිමියෝද අපවත් වී වදාළහ. සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය සඳහා සහභාගි වීමේදී ජාති භේද තිබුණේ නැත. ආගම් භේද තිබුණේ නැත. පටු කල්ලිවාද තිබුණේ නැත. සහජීවනය උදෙසා ස්වකීය ජීවිත කාලයම කැප කළ උන්වහන්සේට සකල ජාතීන්ගේ බුහුමන් හිමි විය.
රටේ එහා කොනේ නාග විහාරයේ වැඩසිටි ඥානරතන නාහිමිපාණන්ද ජාති, ආගම්, කුලමල භේද සැලකුවේ නැත. උන්වහන්සේ කාටත් එක සේ සැලකූ සේක. එහෙත් ස්වකීය කාර්යභාරය උන්වහන්සේ කිසි විටෙකත් පැහැර නොහැරියහ. හැබැයි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යාපනය, මුත්තවේලි ක්‍රීඩාංගණයේ නොපවත්වන ලෙසට ඇතැම්හු විරුද්ධ වූහ. ඉන් නොනැවතී යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කළහ. මුත්තවේලි ක්‍රීඩාංගණයේ මීට පෙර දෙමළ ජනතාවගේ අවසන් කටයුතු සිදුකළ තැනක් බවත් මේ වන විට එම ස්ථානයේ කෝවිලක් ඇති හෙයින් එම ක්‍රීඩාංගණයේ නාග විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය නොපැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
වසර 40කට ආසන්න කාලයක් යාපනයේ නාග විහාරයේ වැඩවාසය කළ නාග විහාරාධිපති නාහිමියන්ගේ ආදාහන උත්සවය යාපනය කොටුවේ ජනාකීර්ණ ස්ථානයක පැවැත්වීමෙන් පරිසර දූෂණය මෙන්ම ජනතාව පීඩාවට පත්වන බවද ඔවුන් සඳහන් කොට තිබිණි.
ඔවුන්ට ඉතිහාසය අමතකය..!
'රකුසන් හා යුද වදින්නන්, ඒ කාර්යය නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලා ගත යුතුය. ඇති පමණ කල් අගාධයක් පතුළට නෙත් යොමා සිටියොත් අගාධයද පෙරළා ඔබ වෙත නෙත් යොමනු ඇත' කියා නිට්ෂේ පවසා තිබේ.
දශක ගණනාවක් පුරා මේ රට තිබ්බේ භීතිය, ත්‍රාසය පිරි උගන්ඩාවක් වගේය. චෙල්වනායගම්ගේ හා අමිර්තලිංගම්ගේ අවමංගල්‍ය ආදාහනෝත්සවය සිදුවූයේද යාපනය සෙන්ට්‍රල් කොලේජ් ග්‍රවුන්ඩ් හා ‍දොරේඅප්පා ක්‍රීඩාංගණයේය. හින්දුන්ගේ පූජනීය ස්ථානයක් වූ කෝවිල ඒ අසලමය.
එහෙත් එම බිම  ඥානරතන හිමිට තහනම් විය.
වරක් යාපනය පුරා ලේ හිඟයක් මතුවිය. කුල ප්‍රශ්නය හේතු කොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ලේ නොදීම නිසා යාපනයේ ලේ බැංකුවල ඇති වූ ලේ හිඟය නිසා වහාම උපකාර කළේ යුද හමුදාවේ සෙබළුන්ය. සෙබළුන් දෙසීයක් ලේ පරිත්‍යාග කළහ. මේ ලේ හිඟය සැලවූ වහාම භික්ෂුන් වහන්සේ පිරිසක් යාපනයට ගොස් ලේ පූජා කළහ. අපවත් වූ
ශ්‍රී දේහය ආදාහනය කරන්නට මුත්තවේලි ක්‍රීඩාංගණය ලබා නොදෙන ලෙස ඉල්ලූ අයට අමතක වූයේ ඒ ලේ දුන් භික්ෂුන් අතර ඥානරතන නාහිමිපාණන්ද සිටි බවය.
ඥානරතන නාහිමිපාණෝ ජාතිවාදී නොවූහ. නමුත් දෙමළ අන්තවාදීන්ගේ ජාතිවාදීන්ගේ බෙදුම්වාදීන්ගේ තර්ජන, ගර්ජන හා එල්.ටී.ටී.ඊ.යේ මරණීය තර්ජන මැද උන්වහන්සේ තම ජාතික, ශාසනික හා මහජන සේවය ඉටු කළේය. ආගමික හා සමාජයීය මෙහෙවරට ජාතියක් හෝ පාටක් නැත.
එහෙත් අන්තවාදීන්ට ඒක තේරෙන්නේ නැත.
දුෂ්ටකම් සහ නොපනත්කම් තිරශ්චීනය.
පෘතුගීසි ආක්‍රමණ කාලයේ සිංහල හමුදාව සමඟ එක්ව සීතාවක රජු බේරාගන්නට යුද්ධ කළේ මුස්ලිම් මිනිස්සුය. දෙගල්දෝරුව විහාරයට අයත් ඉඩමක පංගොල්ලමඩ මුස්ලිම් පල්ලිය ඉදිකොට තිබේ. තවත් බොහෝ පල්ලි විහාර සතු ඉඩම්වල තිබේ. ඒ මුස්ලිම්වරුන් විහාරවල කටයුතුවලටද දායක වී තිබේ.
එවක සිංහල මුස්ලිම් ගැටුම් තිබ්බේ නැත. එහෙත් අවාසනාවට දැන් දැන් රට යන්නේ වැරදි කොණකටය. අවස්ථාවාදී සහ අන්තවාදී බිල්ලෝ 'රටක්' ආපස්සට රැගෙන යාමේ කටයුත්ත අපූරුවට සිදු කරමින් සිටිති.
 අපාගත වූ මිනිසෙක් යමපල්ලන් විසින් යම රජු හමුවට ඉදිරිපත් කරන ලදී. යම රජු පව්කාරයාට කතා කොට අසූචි වළ හෝ කටු ඉඹුල යන දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස කීහ.
පව්කාරයෝ කිහිපදෙනෙක් ඇඟේ ලේ පෙරා ගෙන විලාප දිදී කටු ඉඹුල දිගේ නඟිමින් සිටියහ. අනෙක් පස වූ අසූචි වළේ සිටියේ සිගරැට්ටුවක් කටේ ඔබා ගෙන දුම් වළලු පිට කරමින් මහත් සතුටින් සිටින පව්කාරයන් කිහිපදෙනෙකි. කටු ඉඹුල දෙසත් අසූචි වළ දෙසත් බැලූ පව්කාරයා මහත් සතුටින් අසූචි වළ තෝරා ගත්තේ 'ෂා අපායට ඇවිල්ලත් මෙහෙම ඉන්න තියෙනවා නම් මාරයිනේ' යැයි කියමිනි.
ඒ අනුව යමපල්ලෝ අලුත් පව්කාරයා අසූචි වළ අසලට රැගෙන ගියහ. ගත වූයේ තවත් තත්පරයකි. අසූචි වළ අසලින් නළා හඬක් ඇසුණේය.
'හරි දැන් ඉන්ටවල් ඉවරයි. දැන් ඉතිං ඔළුවෙන් හිටගනිල්ලා' යමපල්ලෙක් සිගරැට් උරමින් සිටි පව්කාරයන්ට අණ දුන්නේය.'
තැන තැන සිදුවූ ගැටුම් ආණ්ඩුවේ කරපිට දමා 'දෑත්'සෝදා ගන්නට ඒකාබද්ධය උත්සාහ කරයි. එහෙත් යටින් සිටි බිල්ලෝ ගැටුමෙන් පසු කළ හැසිරීමෙන් වෙස් මුහුණු ගැලවී ගියේය.
ආණ්ඩුව නොවලහා කළ යුත්තේ 'ඉන්ටවල්' ඉවර කරන එකය.
ඒකාබද්ධය කියන්නේ අගමැතිට එරෙහි ගේන්න ගිය විශ්වාසභංගයෙන් බේරෙන්නට මේ ගින්න ඇති කළා කියාය. හැබැයි ඒකාබද්ධය අමතක කළ කරුණක් තිබේ. ඒ එතෙක් මෙතෙක් ගෙනා කිසිම විශ්වාසභංගයක් මේ මහපොළවේ ආණ්ඩුවක් පරාජය වී නැති බවය.

මාතෘකා