ජනපති සංචාරයෙන් සවිමත් වන ජපාන සබඳතා

 ඡායාරූපය:

ජනපති සංචාරයෙන් සවිමත් වන ජපාන සබඳතා

ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සඳුදා ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවේ සිට පිටත් විය.

දීර්ඝ කාලයක් පුරා පවතින ජපාන – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අකිහිතෝ අධිරාජයා අතර හමුව ඊයේ (13 දා) පෙරවරුවේ සිදුවිය.

ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ රැජිණ විසින් ඉතා උණුසුම් හා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.
අනතුරුව නායක දෙපළ සුහද කතා බහක නිරත විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැමිණීම පිළිබද සිය සතුට පළ කළ ජපාන අධිරාජයා දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව කියා සිටියේය.
ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා කිරීම පිළිබඳ ජපන් අධිරාජයා වෙත සිය ස්තූතිය පළකළ ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම තම අපේක්ෂාව බව සඳහන් කළේය.

1981 වසරේදී පමණ තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජපාන අධිරාජයා එම සංචාරයේදී මහනුවර ඓතිහාසික දළදා මන්දිරය වැද පුදා ගැනීමට තමාට අවස්ථාව ලැබුණු බව පැවසීය.
එමෙන්ම එම සංචාරයේදී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබුණු ඉහළ පිළිගැනීම ද ජපන් අධිරාජයා ගෞරවයෙන් සිහිපත් කළේය.

ජපානය ස්වභාවික ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී ශ්‍රී ලංකාව සැබෑ මිත්‍රයෙක් ලෙස හැකි පමණින් ජපානයට දැක්වූ සහය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජයා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කළේය.

එම හමුවෙන් අනතුරුව ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙද අවස්ථා  තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ආයෝජන සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල්  හෝටලයේදී පැවැත්විණි.සංවර්ධන  උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජපාන  පාර්ලිමේන්තු, ආර්ථීක, වෙළෙඳ හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතරාහ ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව අද දින පැවැත්වීමට නියමිත අතර එහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල්ව අවධානය යොමු කරනු ඇත.

එමෙන්ම විශේෂ ව්‍යාපාරික හා ආයෝජන සමුළුවකට ද ජනාධිපතිතුමා එක්වීමට නියමිත අතර ජයිකා ආයතනයේ සභාපතිවරයා මෙන්ම ජපාන වාණිජ්‍ය මණ්ඩලය සහ ජපාන විදේශ වෙළෙඳ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සිය ජපාන සංචාරය තුළදී ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ සිද්ධස්ථානයන්හි ප්‍රධාන සංඝනායක හිමිවරුන් බැහැදැකීමට ද ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතර, එරට නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිතව තිබේ.


 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?